වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සුපෙම් ස්වරයේ පුනරාගමනය

සුපෙම් ස්වරයේ පුනරාගමනය

කරුණාරත්න දිවුල්ගනේ - නිල් දියවර]

කරුණාරත්න දිවුල්ගනේ යනු සිංහල සුභාවිත ගීතයට නොමඳ ප්‍රභාවක් ප්‍රදානය කළ ගායනවේදියෙකි. දශකත්‍රයකට ආසන්න කාලයක් ඔහු ඔහුටම අනන්‍ය අඬ පෞරුෂයක් ඇසුරෙහි මුදාහරිනු ලබන ගීතාවලිය දෙස විමසුම් ඇස දල්වන ඕනෑම ප්‍රාමාණික සහෘදයකුට එම සුවිසෙස් ප්‍රභාව නිරීක්ෂණය කළ හැකිය. සිංහල ගීතය තුළ ඔහුගේ ලකුණ සොයා පාදා ගත හැකි වනුයේ එම ගායනයෙහි ඇති විෂය බද්ධ තාක්ෂණික හැඩතල විමසුමට ලක් කිරීමෙන් නොව ඔහු සිය හඬ වාහකයකු ලෙස යොදා ගනිමින් ගීතයට කැඳවාගෙන එනු ලබන නව මානව අත්දැකීම් කලාපය විමර්ශනය කිරීමෙනි. ඔහුගේ හඬෙහි ඇති විරල වාජීකරණ ගුණය කේවල අනන්‍යතාවක් සඳහා පරිහරණය කරනු වෙනුවට ඔහු පය ගසා සිටින සමාජය සංජානනය කිරීම ප්‍රමුඛ කොට පරිහරණය කිරීම ප්‍රශංසනීය වෙයි. එම අරුතින් ගත් විට කරුණාරත්න දිවුල්ගනේ යනු තමා පසුබිම් වන සමාජයේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ජීවිතයට සංවේදීව ගී ගැයු අවසන් අධ්‍යතන ගායකයා ද වේ. බොහෝ ගායකයන් සුසර කරගත් සිය මාධූර්ය පූර්ණ හඬ අර්ථ විරහිත මායලෝක ඇසුරෙහි අයාලේ යවමින් සිටියදී දිවුල්ගනේ සිය හඬට පැවතින වගකීම හොඳින් අවබෝධ කොටගෙන ගී ගැයූ බව පෙනේ.

ඔහු ප්‍රසිද්ධ කරළියට බට 90 දශකයේ මුල් භාගය ඉතාම අභියෝගාත්මක වූ කාලයකි. 70 - 80 දශකයන්හි ඉහළ නිර්මාණාත්මක ජයග්‍රහණ අත්පත් කරගත් සිංහල ගීතයේ සමාජ මෙහෙවර වෙනුවට එහි ජනප්‍රිය ලක්ෂණ කෙරෙහි පමණක් විශ්වාසය තැබූ ගායකයන් කේන්ද්‍රීය කොටගත් සංගීත රැල්ලක් එකල සිංහල ගීතය ආක්‍රමණය කළේය.

කර්ණ කඨෝ්ර ප්‍රේම විලාප ඇසෙද්දී 'ඇසට අසුවන මායිමේ' වැනි රමණීය ගීතයක් ගයමින් ඔහු එවක පැවති අවිචාරවත් සංගීත රැල්ලට එරෙහිව කැරැල්ල ආරම්භ කළේය. සංගීත අඳෙීනා මැද ඇසුන එම හඬට ශ්‍රාවකයා පෙම් බඳින්නට පටන් ගත්තේ ඒ අනුවය. එහෙත් එම ශ්‍රාවක ප්‍රේමයෙන් වල්මත් නොවූ දිවුල්ගනේ බොහෝ ගායකයන් අත්හල අත්දැකීම් කලාපයකට තම කටහඬ රැගෙන ගියේය. ඔහු සිය ගීතාවලිය තුළින් සන්සුන් ශ්‍රාවකයකු සොයා වෙහෙසුණේය.

ඔහු ප්‍රේමයේ සම්ප්‍රයෝගයේත්, විප්‍රයෝගයේත්, සමාජ, ආර්ථික, සංස්කෘතික මූලයන් නිරීක්ෂණය කරන්නට විය. ඒ සඳහා ගේය පද රචකයන්ගේ ප්‍රබල කවි කල්පනා සොයා වෙහෙසෙණු පෙනිණි. ගේය පද රචනයක යටිපෙළ කියවාගත හැකි ගායකයන් ලංකාවේ සිටින්නේ එක් අතක ඇඟිලිවලටත් වඩා අඩු ප්‍රමාණයක් බව මගේ කල්පනාවයි. ඒ අතුරින් කරුණාරත්න දිවුල්ගනේ ගායනවේදියාට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එය පොතපත පරිශීලනය කිරීමෙන් හා ජීවිතය ඇසුරින් ලබාගත් පරිචය විනා අන් කවරක්ද?

වියරු වාර්ගික යුද්ධය ඇවිලී ගය වකවානුවේ ඔහු ' ශාන්තිනී' ගීතය ගැයුවේය. 'පාතිමා' ගීතය තුළින් සංස්කෘතික සිර ගෙයක ශෝකාන්තය දෙස අපගේ නෙත් විවර කළේය. දැනුමින් පාරගතව ගිය තාරුණ්‍යයේ ඛේදවාචකය 'අජානේය ස්කූටර්' වැනි ගීයකින් ස්පර්ශ කළේය. ප්‍රේ්මයේ වේශයෙන් ඇඟළුම් කම්හල් තරුණියන් සොයා එන අනතුර 'පේරැස් මුද්ද දෙන්න' වැනි ගීතයකින් කරළියට ගෙනාවේය. මිනින්දෝරු කන්තෝරුව, ඡන්ද්‍රකින්නර ජාතකේ, මාල ගිරවියේ, කොණ්ඩ කිරිල්ලියේ, ලා දළු බෝපත්, ගේ කිරිල්ලියේ, මැටි ගෙදර කිරි අම්මා, සීතල වතුර ගලන, තරු එළිය දිගේ. විඳිමි දඬුවම්, දුර ඈත වුවද ගතිනා, ගහක මල් පිපිලා, ඉපැරණි පෙම්වතී වැනි ගීත හරහා මානව ප්‍රේ්මයේ විවිධ ඉසව් නිරීක්ෂණය කළේය. දෘෂ්ඨිවාදී අගතීන්ට නොවැටී තමා ජිවත්වන වටපිටාව සිය මාධ්‍යයක සීමාව ඇසුරෙහි කියවා ගැනීමට ඔහු දක්වන සමත්කම් ඉතා විරල එකකි.

ජුලි මස 17 වන ඉරු දින පැවැත්වෙන 'නිල් දියවර' ගී අමෝඝය වූ කලී විශිෂ්ට ගායනවේදියෙකුගේ ඒක පුද්ගල සංගීත චාරිකාවේ රසාලිප්ත සුයාමයකි. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අරලිය කණ්ඩායමේ 25 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය වන මෙය සුභාවිත ගීයට පෙම්බැඳි ශ්‍රාවකයාට නෙතට උලෙළක් වනු නොඅනුමානය. එමෙන්ම මෙම විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන සම්මානනීය සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන් 'නිල් දියවර' ගී අමෝඝයෙහි සංගීත අධ්‍යක්ෂවරයා වීම ද මනරම් ප්‍රසංගයක සාක්ෂිකරුවකු වීමට රසිකයාට විරල අවස්ථාවක් ලැබෙන බවට පූර්ව ඉඟියකි. මුදල් ඉපැයිය හැකි කොතෙකුත් ඉසව් බහුලව තිබියදී සහෘදයාගේ ජිවන ලාලසාව දල්වන මෙවන් ප්‍රසාංගික අත්දැකීමකට අරලිය කණ්ඩායම දරන මෙම වෑයම ප්‍රශංසනීය වෙයි.