වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




විවේකාගේ ‘කඳුළු’ එළිදකියි

විවේකාගේ ‘කඳුළු’ එළිදකියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි විවේකා සමරසිංහ විසින් පරිවර්තනය කරන ලද ‘කඳුළු’ කාව්‍ය සංග්‍රහය එළිදක්වා ඇත. ශ්‍රේෂ්ඨ භාරතීය කාව්‍ය රචක ජයශංකර් ප්‍රසාද්ගේ ‘ආංසු’ ස්මෘති කාව්‍ය ඇය විසින් ‘කඳුළු’ නමින් සිංහලයට පරිවර්තනය කර තිබේ. අතීත අනුභූතින් නැවත ආවර්ජනය කිරීම නිසා පැන නැඟෙන වේදනාබර හැඟීම් මෙහි ඉදිරිපත් කර ඇත.

සරසවිය පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙසින් කටයුතු කළ විවේකා සමරසිංහ ‘රාඛි’ හින්දි කෙටිකතා එකතුව, සංවර්ධනය සහ සන්නිවේදන සමීක්ෂණ කෘතිය ඇතුළුව, මුකේෂ් නොමියන ගීත, මහා භාරත කවියෝ සහ උත්තර භාරතීය රසමසවුන් යන හින්දි පරිවර්තන කෘති රචනා කර තිබේ. ඉදිරියේදි ඇය විසින් හින්දි - සිංහල සහ ඉංග්‍රීසි කුඩා ශබ්දකෝෂයක් ද එළිදැක්වීමට සූදානම්ව සිටියි.


පන්සිය පනස් ජාතකය 20දා

කලාසූරි නෝමන් සිරිපාල විසින් සංස්කරණය කළ විමර්ශන හා ඌණ පූර්ණ සහිත ‘පන්සිය පනස් ජාතකය’ ජූලි 20 වැනිදා කොළඹ, මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ , දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී නිකුත් කෙරේ.

පන්සියපනස් ජාතකය අටවැනි කාණ්ඩයෙන් මහා නිපාතය – අට ජාතකය අවසානයට කතා අංක 538 සිට 545 දක්වා මෙහි ඇතුළත් වේ.


මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ

ශාස්ත්‍රපති, පණ්ඩිත දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියන් සමඟින් මාධ්‍යවේදිනි රමණී සුබසිංහ කළ පුවත්පත් සාකච්ඡා ඇසුරෙන් සම්පාදිත ‘මසැස නොදුටු දෙවියෝ සහ භූතයෝ’ (නොපෙනෙන ලොව සමග ගනුදෙනු - 03) කාලීන බෞද්ධ ග්‍රන්ථය එළිදක්වා ඇත. මෙම කෘතිය සාහිත පොත් පියස ප්‍රකාශයකි.


දැහැන් සිත

වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනාධිපති පොල්ගහවෙල මිතභාණි හිමියන් ලියූ ‘නිවනට මඟ 05 – දැහැන් සිත’ බෞද්ධ ග්‍රන්ථය සාහිත පොත් පියස ප්‍රකාශයක් ලෙසින් එළිදක්වා ඇත.

යහපත් වෑයම, සක්කාය දිට්ඨිය ඇතිවන ආකාරය, ආනාපානාසතිය තුළින් කෙලෙස් ගිනි නිවා ගන්නා ආකාරය ධ්‍යානාංගවල දෝෂ දැක සිත වඩන ආකාරය ඇතුළුව මාතෘකා රැසක් මෙම කෘතියේ ඇතුළත් වේ.


ජූලි 15

සයිමන් නවගත්තේගමගේ ‘සුදු සහ කළු’ ඇහැළියගොඩ සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේදි

ජූලි 17

සයිමන් නවගත්තේගමගේ ‘සුදු සහ කළු’ කොළඹ ටවර් රඟහලේදී

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ ගම්පහ සුමේධ විදුහල් රඟහලේදී