වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානයයි සමරු කලාපයේ කවරයයි දෙකම අමතක වෙන්නේ නැහැ

 සම්මානයයි සමරු කලාපයේ කවරයයි දෙකම අමතක වෙන්නේ නැහැ

රුවන්ති මංගලා

සරසවිය සම්මාන උලෙළේ 1996 වසරේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි වුණේ රුවන්ති මංගලාට. ඒ සුනිල් සෝම පීරිස් අධ්‍යක්ෂණය කළ ‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන්. සිනමාවට පිවිසෙනවිටදීම සම්මානනීය වෙමින් තම දක්ෂතා ඇගයීම පිළිබඳව ඇය සිටින්නේ සන්තෝෂයෙන්. රිදී තිරයෙන් සිය රංගන ජීවිතයේ ප්‍රථම සම්මානයට හිමිකම් කීවද කාලයත් සමඟින් ඇය වඩාත් සමීප වූයේ පුංචි තිරයටයි. එදා ඒ සුන්දර අත්දැකීම සමඟින් මේ දක්වා පැමිණි ගමන ගැන රුවන්තිගේ මතකය ආයෙමත් සිහිපත් කරමු.

* සරසවිය සම්මාන උලෙළට ආරාධනා ලද අවස්ථාව ඔබේ සිතේ සටහන්ව තිබෙන්නේ කෙසේද?

මට ප්‍රථමයෙන්ම සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබුණේ 1996 වසරේදීයි. ක්ෂේත්‍රයට පැමිණි අලුත නිසා ඒක මට ලොකු සතුටක් වගේම ඉතාම වැදගත් අවස්ථාවක් වුණා. මොකද සරසවිය සම්මාන උලෙළ කියන්නේ අපේ රටේ සිනමාව වෙනුවෙන් පැවති ප්‍රධානතම සම්මාන උලෙළයි. මීට පෙර අවස්ථාවල මම ඒ සුවිශේෂි උලෙළ ගැන විස්තර අසා තිබුණා. අපේ ප්‍රවීණයන් සම්මානයට පාත්‍ර වූ අයුරු ගැන තොරතුරු දැනත්තා. ඉතිං එවැනි සම්මාන උලෙළක් දකින්න ලැබීමත් මං වගේ නවකයෙකුට ලොකු සතුටක් වුණා.

* එහෙනම් විශේෂ අයුරින් සූදානම් වෙන්නත් ඇති?

අනේ එහෙම විශේෂ සූදානමක් නම් තිබුණේ නැහැ. ලැබුණු ආරාධනාව ගැන ලොකු සතුටක් තිබුණා තමයි. ඒ වුණත් මම බොහොම චාම් විදියට අඳින පලඳින කෙනෙක්. ඒ නිසා එදාටත් ඒ සරලබවේ වෙනසක් වුණේ නැහැ. මම බොහොම චාම් විදියට සාරියකින් සැරසිලා සරසවිය සම්මාන උලෙළට සහභාගි වුණා.

* නැගී එන නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඔබේ නම නිවේදනය වෙනකොට මොකද හිතුණේ?

ඇත්තටම ඒ අවස්ථාව ගැන නම් මට හිතා ගන්න බැරි වුණා. නම කියලත් විනාඩි පහකටත් වඩා වැඩි වෙලාවක් මම වාඩි වෙලාම හිටියා. මට සම්මානයක් ලැබේවි කියා හීනෙන්වත් හිතුවේ නැහැ. සම්මානය ගන්න යන්න සූදානම් වෙන විට කකුල් දෙක වෙව්ලනවා වගේ. වේදිකාවට ගොඩ වෙන්නේ කොහොමද? සම්මානය ගන්නේ කොහොමද? ප්‍රශ්න ගොඩයි. අවසානයේදී හිතට ධෛර්ය අරගෙන වේදිකාවට ගොඩ වුණා. නැගී එන නිළියට හිමි සම්මානය අතට ගත්තාම කියා ගන්න බැරි තරම් සතුටක් හිතට දැනුණා.

එදා මට සම්මානය ගත් සතුටට අමතරව තවත් ලොකු සතුටක් තිබුණා. එවර සරසවිය සමරු කලාපයේ කවරය හැඩ වුණෙත් මගේ ඡායාරූපයකින්. ඉතිං මේ කාරණා දෙකම නිසා 1996 වසරේ සරසවිය සම්මාන උලෙළ මගේ රංගන ජීවිතයේ ගොඩක් සුවිශේෂී දිනයක් වුණා.

* විශේෂ සුබ පැතුම් එහෙමත් ලැබෙන්න ඇති?

මාලිනි අක්කා, ගීතා අක්කා ඇතුළු ප්‍රවීණයන් රැසක් එදා මට සුබ පැතුවා. පවුලේ අයටත් ගොඩක් සතුටුයි. ඒ කාලයේ මමයි නාමලුයි පෙම්වතුන්. මට සම්මානය ලැබෙන වෙලාවේ ඔහු හිටියේ පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක වැඩසටහක. එහිදී නාමල් මට සම්මානය ලැබුණු බව දැන ගෙන තිබුණා. වැඩසටහන ඉවර වුණු ගමන් නාමල් ගෙදරට ඇවිත් සුබ පැතුවා.

* රුවන්ති පුංචි කාලයේ පටන්ම රංගනයට ආසා කළාද?

පොඩි කාලයේදිත් රංගනයට ආසා කළා. දැන් කාලයේ වගේ නෙවෙයි ඒ කාලයේ සිනමා නිළියක් වෙනවා කියන එක හරිම අමාරු දෙයක්. චිත්‍රපටයක් වෙනුවෙන් තෝරා ගන්න වාසනාවත් තියෙන්න ඕනෑ. අනික අපේ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. චිත්‍රපටයකට අලුත් නිළියක් ගන්නවා කියලා ඇඩ් එකක් දාලා තිබුණා. ඒ වෙනුවෙන් මම අයදුම් කළා. සෝනියා දිසා මහත්මිය තමයි එය දාලා තියෙන්නේ. ඉතිං මම ඒ වෙනුවෙන් ගියාම ඇය මා තෝරා ගත්තා. එතකොට මගේ නම රුවන්ති මංගලා කාන්ති පෙරේරා. මම පාවිච්චි කළේ රුවන්ති පෙරේරා කියලායි. ඒ වෙනුවට රුවන්ති මංගලා නම පාවිච්චි කරන්න කියලා සෝනියා දිසා මහත්මිය තමයි මට කිව්වේ. මගේ ප්‍රථම චිත්‍රපටය වුණේ ‘ලස්සනයි බලන්න’ චිත්‍රපටය යි.

* එතකොට ‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද?

‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයත් නිර්මාණය කළේ සුනිල් සෝම පීරිස් සහ සෝනියා. ඉතිං ඒ නිසා ඔවුන් මටත් ‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයේ රංගනයට ආරාධනා කළා. මේ නිසා මටත් දැනුණේ ලොකු සතුටක්. ඒ විතරක් නෙවෙයි ‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයේ රූගත කිරීම් කරන විටදි රෝයි - සුමනා යුවළ එතැනට පැමිණියේ ඔවුන්ගේ චිත්‍රපටයට නිළියක් හොයන්න. එදා මගේ රංගනය දැකලා ‘සුදු පිරුවට’ චිත්‍රපටයේ රංගනයටත් මට ආරාධනාවක් ලැබුණා.

‘චණ්ඩියාගේ පුතා’ චිත්‍රපටයේ මට රඟපාන්න තිබුණේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ පුතු දමිත් ෆොන්සේකා සමඟින්. ඔහු දර්ශන තලයේදී දුන් සහයෝගයත් විශේෂයි. ඒ ගැනත් ස්තූතිවන්ත විය යුතුයි. චිත්‍රපටයේ මංගල දර්ශනය දවසේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් සුබ පැතුම් ලැබුණා.

* සුනිල් සෝම පීරිස්ගේ අධ්‍යක්ෂණය යටතේ රංගනය කොහොමද?

සුනිල් සෝම පීරිස් කියන්නේ අපේ සිනමාවේ වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ සුවිශේෂී නිර්මාණකරුවෙක්. ඔහු සමඟින් කටයුතු කරන්න ලැබීමත් සතුටක්. එතුමා දර්ශන තලයේදී ටිකක් සැරයි. මම ඊට කලින් චිත්‍රපටවල ඔහු සමඟින් කටයුතු කරලා තිබුණා. ඒ නිසාම මට ලොකු අවබෝධයක් තිබුණා. ඊට අමතරව මට කැපවීම වගේම ඉවසීම හොඳින් තිබුණා. ඒ නිසා රංගන කාර්යය හොඳින් ඉටු කරන්න හැකියාව ලැබුණා.

* නැගි එන නිළිය සම්මානය නිසා ඉදිරිය ගැන මොකද හිතුවේ?

ඇත්තටම මේ වගේ සම්මානයක් ලැබීම කලාකරුවෙකුට හිමිවෙන වගකීමක් කියලයි මට හිතෙන්නේ. මොකද එතැනින් එහාට සම්මානයේ අගය නැතිවෙන විදියට වැඩ කළොත් වැඩක් නැහැනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අප ඊට වඩා වගකීමක් ගෙන තමන්ගේ උපරිම දායකත්වයෙන් නිර්මාණය සාර්ථක කරන්න දායක විය යුතුයි. මමත් සම්මානය අතැතිව එය හිතට ගත්තා.

* සිනමාවේ සම්මානනීය වුවත් ඔබේ වැඩි දායකත්වය ලැබෙන්නේ පුංචි තිරයට. මේ ක්ෂේත්‍ර දෙකෙන් වැඩි කැමැත්ත පුංචි තිරයට ද?

සරසවිය සම්මානය හිමි වීමෙන් පසුව මට දිගටම චිත්‍රපට ලැබුණා. ඒ වගේම ගොඩක් ටෙලි නිර්මාණ ආරාධනාත් ලැබුණා. සිනමාව ටෙලි නාට්‍ය කියා භේදයක් නැහැ. ක්ෂේත්‍ර දෙකෙන් එකකටවත් විශේෂයක් නැහැ. පොදුවේ රංගනයටයි මම ගොඩක් ආසා කළේ. ඒ කාලය වෙනවිට ටෙලි නාට්‍ය ගොඩක් ජනප්‍රිය වුණා. හොඳ නිර්මාණවලට මට ලැබුණු ආරාධනා මා පිළිගත්තා. ඒ අනුව තෝරා ගත් නිර්මාණ වැඩි ප්‍රමාණයක් වුණේ ටෙලි නාට්‍ය. එහෙම කියා සිනමාවෙන් දුරස් වුණේ නැහැ.

* රංගන ශිල්පිනියක ලෙසින් මේ දක්වා පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

රංගන ශිල්පිනියක වීම හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි. ඒ අවස්ථාව බොහොම වටිනා අවස්ථාවක්. ඉතිං මටත් ඒ වටිනා අවස්ථාව ලැබුණා. බොහොම ගෞරවයෙන් මම මගේ දායකත්වය ඒ වෙනුවෙන් කැප කළා. රසික රසිකාවන්ගෙන් ලද ආදරය ගෞරවය සුවිශේෂයි. මම විතරක් නෙවෙයි මගේ මහත්තයා නාමල් වටා සිටින රසික රසිකාවන් ගැනත් සිහිපත් කළ යුතුයි. ඔහු අසනීප වුණු කාලයේ ඒ ආදරය දෝරේ ගලා ගියා. රසික රසිකාවන් වගේම කලා ක්ෂේත්‍රයේ අයත් අපට වැටෙන්න දුන්නේ නැත්තේ ඒ ආදරය නිසා. මේ දක්වා පැමිණි ගමන ගැන හිතේ තියෙන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. ඇත්තටම එය දෙවියන් ගෙන් ලද වටිනා ත්‍යාගයක්.