වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

මිර්නාල් සෙන් ගැන සිත සසල කළ පුවතක්

ඉන්දීය සිනමාවේ දැනට ජීවතුන් අතර සිටින ශ්‍රේෂ්ඨතම සිනමාකරු මිර්නාල් සෙන් පිළිබඳ පසුගියදා ඉතා කනගාටුදායක ප්‍රවෘත්තියක් අසන්න ලැබුණා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අනූදෙවැනි වියේදි ඔහු ජීවිතයෙන් සමුගත් බවයි. අන්තර්ජාලය, ගුවන්විදුලි, රූපවාහිනි මාධ්‍ය පමණක් නොව පුවත්පත් පවා මේ පුවත වාර්තා කළා. එපමණක් නොව රජයේ ශෝකයත් පළ කරලා.

මේ අතරේ එක් කණ්ඩායමක් මිර්නාල් සෙන්ගේ නිවෙසට ගියේ ඔහු පිළිබඳ පුවතට තවත් පෞද්ගලික තොරතුරු ටිකක් සොයා ගැනීමටයි. එහිදී දුටු දෙයින් ඔවුන් අන්දමන්ද වී තිබෙනවා. ඔවුන් එහි යනවිටදි දැක තිබෙන්නේ මිර්නාල් සෙන් තම නිවස ඉදිරිපස පුටුවක වාඩි වී තේ කෝප්පයක රස විඳිමින් සිටින අයුරුයි. එසේම තමා පිළිබඳ මාධ්‍ය වාර්තා කළ කිසිම පුවතක් මිර්නාල් සෙන් හට දැනගැනීමට ඔහුගේ පවුලේ උදවිය ඉඩ තබා නැහැ. හැමෝම මේ සිදුවීම දකින්නේ අග්‍රගණ්‍ය කලාකරුවාට දීර්ඝායුෂ ලබා දෙන්නක් ලෙසින්.


ටයිගර්ගේ අලුත් කතා

2014 වසරේදී ‘හීරෝපන්ති’ චිත්‍රපටය සමඟින් බොලිවුඩයට පැමිණි ටයිගර් ෂ්්රොෆ් ගැන දැන් කාගෙත් අවධානය යොමු වෙලා. මෑතකදි තිරගත වූ ‘බාගි’ චිත්‍රපටයත් කාගේත් කතාබහට ලක් වුණා. තරුණයන් ටයිගර්ගේ කඩවසම් බව ගැන සිතද්දී තරුණියන් ඔහු ගැන බලාපොරොත්තු ඇතිකර ගත්තා.

හැබැයි දැන් ඒ බලාපොරොත්තු බිඳි යන බවක් තමයි ආරංචි වෙන්නේ. ඒ ටයිගර්ගේ අලුත්ම මියුසික් වීඩියෝ එක ‘බෙෆික්රා’ නිසා. එහි ටයිගර් සමඟින් රංගනයට එක් වෙන්නේ නවක නිළියක වන ඩීෂා පතානි. ඇය ටයිගර්ගේ ප්‍රේමය දිනාගෙන ඇති බවට කටකතා පැතිරෙනවා.

සුපිරිවීර චරිතයක් ගෙන එන නවතම චිත්‍රපටය ‘අ ෆ්ලයින් ජාට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්න අවස්ථාව ලැබුණේ ටයිගර්ට. ටයිගර් මේ දිනවල කාලය වෙන් කරලා තියෙන්නේ ‘අ ෆ්ලයින් ජාට්’ චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන්. එය අධ්‍යක්ෂණය කරන්නේ රෙමෝ ඩි සූසා. ‘අ ෆ්ලයින් ජාට්’ චිත්‍රපටය නිසා බොලිවුඩයේ ලාබාලතම සුපිරි වීරයා බවට පත්ව සිටින්නේ ටයිගර්.


තුන් ඛාන්ලා සමඟ අනුෂ්කා

අනුෂ්කා ෂර්මා මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් බොලිවුඩයට පැමිණි නිළියක්. බොහොම ටික කාලයකින් ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නත් ඇයට වාසනාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඒ ටික කාලය තුළ බොලිවුඩයේ ඛාන් ත්‍රිත්වය සමඟින්ම චරිත නිරූපණයට ලැබීමත් විශේෂත්වයක්. මේ නිසා දැන් ඇය හැඳින්වෙන්නේ වාසනාවන්ත නිළිය ලෙසින්.

අනුෂ්කාගේ සිනමාගමනය සිදු වුණේ ‘රබ්නේ බනා දි ජෝදි’ චිත්‍රපටයෙන්. එහිදී ඇය රඟපෑවේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් සමඟින්. අනතුරුව බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ‘පීකේ’ චිත්‍රපටයේදී අමීර් ඛාන් සමඟින් රඟපෑවා. මේ දිනවල තිරගත වෙන ‘සුල්තාන්’ චිත්‍රපටයේ ඇය රඟපාන්නේ සල්මන් ඛාන් සමඟින්.

මේ අත්දැකීම් නිසා අනුෂ්කා ඛාන් ත්‍රිත්වය හඳුන්වන්නේ මේ අයුරින්. “සල්මන් බොහොම නිදහස් පුද්ගලයෙක්. අමීර් ඛාන් බොහොම සැලසුම් සහගතයි. ශාරුක් මේ ගුණාංග දෙකින්ම යුක්ත අයෙක්”.


කරීනාට මවු පදවිය

සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් මව් පිය පදවි ලබන්න සූදානම් බව පසුගියදා මාධ්‍යයට හෙළි කළා. ඔවුන් සිය දරුවා බලාපොරොත්තු වන්නේ ලබන දෙසැරම්බර් මාසයේදී යි. මේ සුබ ආරංචිය නිසා ගොඩක්ම සතුටු වෙලා තියෙන්නේ සයිෆ්ගේ අම්මා ෂර්මිලා තාගෝර්.

“මුනුපුරු මිනිපිරියන් තිදෙනෙකුගේ අත්තම්මා වෙන්න ලැබීම මොන තරම් සුන්දර අත්දැකීමක්ද” ඇය පවසනවා. සයිෆ් අම්රිතා සිං සමඟ වූ පෙර විවාහයෙන් ඉබ්රාහිම් සහ සාරා නමින් පුතෙකු සහ දියණියක සිටිනවා.

කරීනා ගැබිණියක වුවත් ජූලි මාසය මැද භාගයේ සිට චිත්‍රපටයක රූගත කිරීම් යොදා ගෙන තියෙනවා. ලබන ඔක්තෝබර් මාසයේදී එම රූගත කිරීම් නිමා කිරීමෙන් පසු ඇය දරු ප්‍රසූතිය වෙනුවෙන් විවේක ගැනීමට සූදානම්.


ශිල්පාගේ ස්ට්‍රෝබෙරි විවේකය

ශිල්පා ෂෙට්ටි මේ දවස් තම විවේකය වෙනුවෙන් වෙන් කරලා. ඇය ඒ වෙනුවෙන් තෝරා ගත්තේ එංගලන්තය. ශිල්පා තම සැමියා රාජ් කුන්ද්‍රා සහ එකම පුතු සමඟින් එංගලන්තය කරා පිටත් වුණා.

ශිල්පා කියන්නේ සෞඛ්‍ය සම්පන්න නිරෝගි ජීවිතයක් ගැන නිතරම උනන්දු වන නිළියක්. ඒ වෙනුවෙන් යෝග ව්‍යායාම සහ නැවුම් එළවළු පළතුරු කන්න කියලත් හැමෝටම උපදෙස් දෙනවා. ඉතිං එංගලන්තයට ගිය වහාම ඇය ගියේ ස්ට්‍රෝබෙරි ගොවිපළකට. රතට රතේ ඉදුණු ස්ට්‍රෝබෙරි කඩා ගන්න ගමන් ඡායාරූප අන්තර්ජාලයට එක් කරන්නත් ඇය අමතක කළේ නැහැ.