වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිරෙක්ටර්’ රූගත වෙයි

හොරණ මීවනපලානේ මුළු රෑම නන් ස්ටොප් ෂූටිං

ඩිරෙක්ටර්’ රූගත වෙයි

‘ඔය ගොල්ලො එතකොට මේ දවස්වල අමු මිරිස් එහෙම කනවද?' අම්මෝ බුලත් විටක් රුපියල් තිස් පහක්ද? ඇහැව්වහම මිනුවන්ගොඩට කිට්ටුව තිබිච්ච ලෑලි කඩේක හිටිය ලස්සන මුදලාලි මෝන කෙනකුගෙන් අපට උත්තර ලැබුණේ එහෙම.

ආයෙත් අමු මිරිස් කිලෝව රුපියල් දාහට කිට්ටු කරන කාලයක් ඇවිත් කිය කිය අපි මාකෙවිට, අකරවිට, තඹවිට, කිරිඳිවිට විතරක් නෙවෙයි මොන්ටිසෝරි ඇරිලා පාර පුරා ගාටන පුංචි ළමයිවත් පහුකරන් ගිිහින් හැරෙන්නේ ගම්පහ මල්වත්තට.

ලේක්හවුස් අපි හැරෙන්න දිවයින කන්තෝරුවෙන් කට්ටියකුත් කොළඹින් මේ ගමනට එක් වෙනවා. ඒ හැරෙන්න තව තව මාධ්‍යවල හුඟ දෙනෙක් අස්ගිරියෙ මල්වත්තට ඇවිත් ඉන්නවා.

පෙරෙයිදා මහ රෑ ජාමේ හරියට සාලාව කෑම්ප්පෙක කිට්ටුවම තිබිච්ච පොල් ගස්වල කරටි වගේ තිබිච්ච ඔළු ඊට දවසකට පස්සේ අද ගම්පහදි නම් පණගහල කෙළින් වෙලා තියෙනවා. ඒ කට්ටියටම කටකපල බුදියගන්ඩ නිවාඩුවක් කීර්ති බණ්ඩාරගෙන් ලැබිච්ච නිසා වෙන්ඩැති. ඒ වුණාට පෙරෙයිදා රෑ තමයි රෑ.

එදා මුළු රෑම නන්ස්ටොප් (ව්ධද ඉබධන) ෂූටිං. හොරණ මීවනපලානෙ තමයි ලොකේෂන් තිබ්බෙ. මේ ෆිල්ම්මෙකේ රියල්ම ඩිරෙක්ටර් කිර්ති බණ්ඩාරට ඉතින් එදා මුළු රෑම ස්පෝර්ට්ස් මීට් වගේ.

ඕ කේ සර්, අපි වැඩේ කරමු කිව්ව ඒ. ඩී. (සහාය අධ්‍යක්ෂවරයා) තිලකරත්නගෙ කොම්බුව පාන්දර දෙකට කිට්ටු කරද්දි කඩා වැටෙන්ඩ ගත්ත. තිලකෙ කිරන්ඩ ගත්ත විත්තිය දැක්ක කීර්ති තට්ටුවක් දාලා නැගිට්ටෙව්ව තිලකෙව ඇඳට පිටත් කෙරුව. ඒ වෙනුවට කීර්තිම දෙවැනි සහාය අධ්‍යක්ෂිකා වාසනා කුමාරිව තිලකෙ හිටිය පුටුවෙ ඉන්ඳෙව්වා. ඒ වුණාට වාසනාටත් පැයක් හමාරක් යද්දි තිලකරත්නට හැදිච්ච හිටිගමන් කොම්බුව කඩා වැටෙන ලෙඩේම හැදෙනවා. ඒ පාර නිදිමත ඇස්වලින් වාසනා දිහා බැලුව කීර්ති ඔළුව කැක්කුමයි කිව්ව වාසනාවත් ඇඳටම යවලා ඇසියො නැතිව තනියමයි එළිවෙනකල්ම වැඩේ ඇද්දෙ. දෙයියනේ කියලා එදා දවසෙ වැඩ ඉවර කරගනිද්දී අන්තිමේදී මේ කට්ටියගෙ ඇඟට පෙරළුණේ නිකමටවත් හිතුවේවත් නැති බාල්දියක්.

'පන්දාහකින් මොන මළඉලව්වක් කොරන්ඩද? වෙනදට මං දහදාහක්වත් අරන් තමයි මේ ගෙදර වතුපිටි දෙන්නේ. දැන් තිස්දාහක් විතරවත් නැතුව බෑ. නොදුන්නොත් මං ගේට්ටුව වහලා දානවා'

රුපියල් පන්දාහකට කතා කර ගත්තයි කියලා කීර්තිලා කියන මීවනපලානෙ ලොකේෂන්නෙකකට අන්තිමේදී ඒකේ අයිතිකරු තියලා තියෙන්නේ එහෙව් ලන්සුවක් කියලයි කිර්ති බණ්ඩාරල කියන්නෙ. ඒත් කලාකරුවෙක් විදියට තමන්ට වෙච්ච මේ අසාධාරණය හෙට මේ මිනිහා තව කලාකරුවකුටත් කරයි මල්ලි, කියලයි ඒ ගෙවල් අයිතිකරුත් එක්කලා උස් හඬින් අත පය එහෙම දික් කර කර කළ සුහද කතාව හමාර කරලා කීර්ති කිව්වේ.

ඔය සිද්ධි මතක් කර කර ගම්පහ මල්වත්තෙ මැද්දෑවට කිට්ටු කරද්දිත් මුලින්ම දැක්කෙ මළ හත්තිලව්වක්. ටෙනී (ටෙනිසන් කුරේ) ගස් දෙබලකට නැඟගෙන අත්තක් උඩ පැද්දි පැද්දි කැටපෝලයකුත් මානගෙන.

ගම්පහ - අස්ගිරියෙ මල්වත්ත කියන්නෙත් හත්වලාමේ අපේ රටේ නමගිය මහ පාක් එකක්නේ, පත්තර හිල්වලිං, කණ්ණාඩි යටින්, අකුල් අස්සෙන් එහෙම නාඹර ජෝඩු දිහෑට බැල්ම හෙළන තනිකඩ අමාරුකාරයො එහෙමත් ඔව්වෑ ගැවසෙනවනේ. ඒ වුණාට දෙයියනේ කියලා කපල්වලට අද නම් නිදහසේ පෙම් කළ හැකි. එහෙම හිතුණෙම තනිකඩ තලත්තෑනි හත් අට දෙනකුත් ටෙනී නැඟගත්ත ගහ යටට වෙලා ටෙනීගේ ඇක්ටිං බල බලා හිටිය විදිය දැක්කහම.

හොරණදි එහෙම පිනි බබා නිදිමරලා උණ ගැනෙන්ඩ වගේ කිය කිය හිටිය ටෙනීවත් හත් අට වතාවක් ගස් දෙබලට නග්ගවල කැටපෝල විදින්ඩ පොළඹවලා තමයි කීර්ති ටෙනී ලවා වැඩේ කරව ගත්තෙ. ඒ සීන්නෙකත් ඉවර කරන් ඔයගොල්ලො එනවැයි කිව්ව හින්දම මං පාරෙ ෂූට් කරන්ඩ හිටිය සීන් දෙකකුත් කල් දැම්මා කියාගෙන කීර්ති අපිව පිළිගන්නව. එහෙම කියලත් මිනිත්තුවක් දෙන්ඩ කියාගෙන අඩියට දෙකට මල් ගාලකට රිංගුව කීර්ති එතැන දෙදරන්ඩ දාලා තිබිච්ච කාර් කැසට්ටෙකකින් ඇහිච්ච 'ඔයාගෙ ගැස්සෙන ඔය නිල් ඇස් දෙක' සින්දුවට බැඳිච්ච ජෝඩුවකගෙ ඩාන්ස්සෙක බලා හිටිය. හතළිස් දෙවතාවක් විතර ජෝඩුව නටවලා, නටවලා තමයි අන්තිමේ කීර්ති ඒ සීන්නෙකත් ඕකේ කළේ.

මේ පික්චර්රෙකේ විධායක නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු ලොකේෂන්නෙකට ඇවිදින් වාහනෙන් බැස්සෙත් එවෙලෙ. සම නිෂ්පාදකත්වය දරන ආචාර්ය චම්මි එන්. බණ්ඩාර, දේශමාන්‍ය ආර්. පී. තිස්ස, ජයරත්න සිල්වා එහෙමත් ඉදිරියේ ආයෙමත් රූ ගැන්වීම් නැවැත්තුව කීර්ති අලුත් වැඩේ ගැන මෙහෙම කියනව.

'මේ චිත්‍රපටය හිනාවෙන්ඩ විතරක්ම නෙවෙයි. හුඟක් කලාව කරන මජර මිනිස්සු කරන අජූත වැඩ ටිකකුත් මේක ඇතුළෙ තියෙනව. මේ ෆිල්ම්මෙක බලලාවත් ඒවා හරි සවුත්තු වැඩ කියලා කට්ටිය තේරුම් ගත්තොතින් ඒක ලොකු දෙයක්. දැන් මේ ෆිල්ම් එකේ රූගත කිරීම් නිමයි. අපි දවස් අටකින් තමයි රූගත කිරීම් නිම කලේ.

'පරණ පත්තර එක්කහු කර කර සින්නා නගරෙ ඇවිදිනවා. පරණ පත්තර විතරක්ම නෙවෙයි, අලුත් බඩු, පරණ බඩු බඩු බඩු බඩු බඩු බඩූ කිය කියා මිනිහා ඇවිදින්නේ. ඒ යද්දි එක පටු පාරකදි 'අම්මෝ මිනීමරනවෝ' කියලා ගෑනියක් යටිගිරියෙන් කෑගහන සද්දයක් සින්නට ඇහෙනව.

කවුද යකෝ මිනීමරන්නේ කියලා සින්නා මහ මන්දිරයක් ඉස්සරහට ගිහින් බෙරිහන් දෙනව. ඊළඟට ඒ ගේට්ටුව ඇරෙනවා. ඇත්තටම ඒ ඇරුණේ සින්නගෙ වාසනාවෙ දොරටුව.

සින්නව දැන ඇඳුනගෙන ඒ මහ බංගලාවෙ අයිතිකාර ගෝට් ෆාදර් හෙවත් එළු පියා සින්නාගෙන් ප්‍රශ්නයක් අහනවා.

'සින්නා මොකද කියන්නේ කැමැති නැද්ද පික්චර්රෙකක රඟපාන්ඩ?'

'මොකද නැත්තේ. හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් කියලා සින්නා ඒ වෙලාවේ බොක්කෙන්මයි ටෝක්ස් දෙන්නේ. එහෙම එළු පියාගෙන් විවරණ අරගත්ත සින්නට එළු පියා මොඩ් නමක් යෝජනා කරනව.

'අයිසෙ සින්නා නෙවෙයි මං ඔයාට රැජිණි කාන්ත් කියලා දානවා'

මේ කතාවට සින්නා උත්තර දෙන්නේ ඊට වඩා වෙනස් යෝජනාවකින්.

අයියයියෝ රැජිණි කාන්ත් ඉන්නේ ඉන්දියාවෙනේ, එහෙම නෙවෙයි බොසා මං රජා කාන්ත්.

මේ නමට එළු පියා (ක්ලීටස් මෙන්ඩිස්) එකඟ වෙනව. එදා ඉඳන් රජා කාන්ත් රටේ හිට් කැරැක්ටර්රෙකක් වෙනව . රජා කාන්ත්ට සුරූපිණියෝ එහෙමත් හුඟක් මුණ ගැහෙනව.

එමිල්ඩා (නයනා කුමාරි) එයින් විශේෂයි. නයනා කුමාරි - ගයත්‍රි ඩයස් සැබෑ ජීවිතේ අඹ යාළුවෝ වුණත් හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර් ෆිල්ම්මෙක ඇතුළෙදි නම් නයනාට ගයත්‍රිව කපාගෙන පීදෙන්ඩ දඟළන සීන්නෙකක් තියෙන්නේ. ඒ නිළියො දෙන්නවම තෝරගන්ඩ විශේෂයක් තියෙනවද ඇහැව්වම කීර්ති මෙහෙම තව හෑල්ලක්ම කියනව.

'මං බැලුවේ රඟපාන්ඩ පුළුවන්ද කියලා විතරයි. කිසිම සහතිකයක් බැලුවේ නෑ. අනෙක ඉතින් මං ගත්තත් මං ජනාධිපති සම්මාන දිනුව, දේශබන්ධු, විශ්වාභිමානී ගෞරව නාම ලැබු විත්තියත් දන්නේ බිරියයි දරුවොයි විතරද මන්දා. ඒත් ඒකට ආරෝවක් මගේ නෑ.'

ටෙනිසන් කුරේ, නයනා කුමාරි, ගයත්‍රි ඩයස්, මානෙල් වානගුරු, රොජර් සෙනෙවිරත්න, විජේරත්න වරකාගොඩ, මිහිර සිරිතිලක, ක්ලීටස් මෙන්ඩිස්, විශාඛා සිරිවර්ධන, රූපා ගෝමස්, සුරංගා නිලුෂිණී, ප්‍රසන්න කොස්තා, සුසිල් පෙරේරා, දොන් ගයි, උපුල් විරසිංහ, කිත්සිරි හේවාගමගේ, ගාමිණී ගුණසේකර, උපසේන සුබසිංහ, මානෙල් කුමාරි, රවි චන්ද්‍රසිරි, මනෝජ් විතානාරච්චි, සචිනි කාංචනා, වාසනා කුමාරි, චම්මි එන්. බණ්ඩාර, අමේෂ් රංවල, කාන්ති නිසංසලා, වර්ණා පද්මිණී, තුෂාරා ප්‍රියන්ති, චින්තක පතිරණ, තිලකරත්න ලියනගේ, ප්‍රියන්ත දසනායක, සරත් රණවීර, රවීන් සමරසේකර, නිෂී ප්‍රනාන්දු, මංජුලා සජීවනී, චතුරිකා ආරියවංශ, ප්‍රියන්ත කුමාර, දිල්මි චමල්කා, එමිල් ප්‍රනාන්දු, ධනුෂ්ක අබේකෝන්, සමන් රාජපක්ෂ, රන්දිම අමරකෝන්, නලින් අප්පුහාමි, චමින්ද සංජිව කුමාර, රාණි මීගොඩ, නිලු ප්‍රියදර්ශනී, උෂාන් තාමිල් ආදීහු එහි රඟති.

සහාය අධ්‍යක්ෂණයෙන් තිලකරත්න ලියනගේ, වාසනා කුමාරි, සචිනි කාංචනා, සමන් රාජපක්ෂ සහ තුෂාරා ප්‍රියන්ති ද කැමරාකරණයෙන් සමිත් අලහකෝන් ද නිෂ්පාදන කළමනාකරණයෙන් චින්තක පතිරණ ද අංග රචනයෙක් ගාමිණී කොස්තා සහ සරත් රණවීර ද කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රියන්ත දසනායක ද සංගීත අධ්‍යක්ෂණයෙන් සමීර සුබසිංහ ද ගී පද රචනයෙන් ධම්මක සල්වතුර, කීර්ති බණ්ඩාර සහ මලර් රන්බන් ද ගැයුමින් නුවන් ගුණවර්ධන සහ අමේෂ් රංවල ද නිශ්චල ඡායාරූපකරණයෙන් හේමක බණ්ඩාර සහ ගාමිණී කුලසේකර ද 'හලෝ මිස්ටර් මං ඩිරෙක්ටර්' පිරිවරට සබැඳිව සිටිති.