වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




නීමෝ වෙනුවට ඩෝරි සොයා

නීමෝ වෙනුවට ඩෝරි සොයා

2003 වසරේ තිරගත වූ ඩිස්නි සහ පික්සර් එක්ව නිර්මාණය කළ ‘ෆයින්ඩින් නීමෝ’ (නීමෝ සොයා ගැනීම) පරිගණක සජීවීකරණ චිත්‍රපටය ලොකු කුඩා බොහෝ දෙනාගේ මතකයේ රැඳුණු චිත්‍රපටයක්. තම එකම පුතු වන ‘නීමෝ’ කිමිදුම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන යාමෙන් පීඩාවට පත් කුඩා මාළුවෙකු වන මාලින් ගේ පරම අධිෂ්ඨානය සිය පුතු සොයා ගැනීම වේ. පුතු සොයා තනිවම ගමන් අරඹන මාලින්ට තවත් කුඩා මාළුවකු වන ‘ඩෝරි’ ව අහම්බෙන් එක වන අතර, මේ ගමන අතරතුර විටෙක භයානක සහ විටෙක මිතුරු අනේක විධ මුහුදු සතුන් රාශියක් මොවුන් දෙදෙනාට මුණගැසේ. වික්‍රමාන්විත අත්දැකීම් සමුදායකට මුහුණදෙන මේ දෙදෙනාට අවසානයේ නීමෝව බේරා ගැනීමට හැකිවේ. අමෙරිකානු ඩොලර් මිලියන 94 ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය, එවන් දස ගුණයක (අමෙරිකානු ඩොලර් මිලියන 936) ආදායමක් ඉපැයූ අතර, ලොව සත් වෙනි ස්ථානයට වැඩිම ආදායමක් ඉපැයූ පරිගණක සජීවීකරණ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක් විය.

‘ෆයින්ඩින් නීමෝ’ ගෙන් වසර 13 කට පසුව ඩිස්නි සහ පික්සර් සමාගම් විසින් එහි දෙවන කොටස ‘ෆයින්ඩින් ඩෝරි’ නිර්මාණය කර ඇති අතර, ත්‍රිමාණ පරිගණක සජීවකරණ හාස්‍යෝත්පාදක ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙය ජූනි මස 17 වැනිදා සිට ලොව පුරා සිනමාහල් රැසක විකාශය වෙයි.

පළමු චිත්‍රපටයෙන් වසරකට පසු සිදුවන සිදුවීම් දාමයක් මෙම චිත්‍රපටයේ දිගහැරේ. නිතර අමතකවීමේ ගැටලුවකින් පෙළෙන ඩෝරි, නිමෝ සහ මාලින් සමඟ ඔවුන්ගේ නිවහනෙහි වෙසෙන අතර, එක විටම ඇයට තමන් ගේ පවුල ගැනත් ඔවුන් තමන් ගැන සොයමින් සිටිනු ඇති බවත් සිහි වේ. ඩෝරි, මාලින් සහ නීමෝ එක්ව තවත් ත්‍රාසජනක ගමනකට මුල පුරන්නේ ඩෝරිගේ පවුලේ උදවිය සොයා යාමේ අරමුණෙනි. මේ ගමන අතරතුර, අත්දැකීම් සමුදායකට මුහුණ දෙන මේ තිදෙනාට මිත්‍රත්වය සහ පවුල්දම ගැන බොහෝ පාඩම් ඉගෙනීමට ලැබෙයි.

එලන් ඩිගේනේරෙස් (ඩෝරි), ඇල්බට් බෘක්ස් (මාලින්), සහ හෙඩන් රෝලන්ස් (නිමෝ) ඇතුළු හඬ ශිල්පීන් බොහොමයකගේ දායකත්වයෙන් නිමැවුණු මෙම චිත්‍රපටය, ‘ෆයින්ඩින් නීමෝ’, ‘වෝල් ඊ’ සහ ‘අ බග්ස් ලයිෆ්’ අධණක්ෂ ඇන්ඩෘ ස්ටැන්ටන් ගේ අධ්‍යක්ෂණයකි. ලින්ඩ්සේ කොලින්ස් ගේ නිෂ්පාදනයක් වන මෙහි සංගීතය ප්‍රවීණ සංගීතඥ තෝමස් නිව්මාන් ගෙනි. විනාඩි 97ක් පුරා දිවෙන ‘ෆයින්ඩින් ඩෝරි’ සඳහා පිරිවැය අමෙරිකානු ඩොලර් 200 ක් වේ. මෙම චිත්‍රපටය පසුගිය සතිය අවසානය වන විට ලොව පුරා ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 600 ඉක්මවා තිබිණි.

‘ෆයින්ඩින් ඩෝරි’ සිය පළමු චිත්‍රපටය සේම බොහෝ විචාරක පැසසුම් ලත් චිත්‍රපටයකි. ධ්ර්ච්ඕ හි 7.9/10 ක ලකුණු ප්‍රමාණයක් සටහන් කරන මෙය, ‘රෝටන් ටෝමාටෝස්’ හි 95% ක් සටහන් කර තිබේ. මෙටාක්‍රිටික් දර්ශකයේ ලකුණු ප්‍රමාණය 77% කි. බොහෝ විචාරකයින් පවසන අන්දමට මෙම චිත්‍රපටයත් ෆයින්ඩින් නීමෝ තරමටම ආකර්ශනීය එකකි. පවුල සහ එහි වටිනාකම් ගැන බොහෝ දේ කියාදෙන්නකි. අතිසාර්ථක අන්දමින් තාක්ෂණය යොදාගෙන ඇත. රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරය පවසන අන්දමට, මෙය සිය පළමු කතාවට, හාස්‍යෝත්පාදක, හෘදයාංගම, මැනවින් සජීවකරණය කරන ලද ත්‍රාසජනක පරිච්ඡේදයක් එක කරයි. ‘උප්රෝක්ස්’ නම් වෙබ් අඩවියේ විචාරක මයික් රයන් පවසන්නේ මෙවැන්නකි. “මා කිසිදිනෙක ෆයින්ඩින් නීමෝ ට දෙවැන්නක් නිර්මාණය වේවි යයි සිතුවේ නැහැ. ඒත් එවැන්නක් නිර්මාණය කිරීම විශාල සතුටක්. මෙය මට පළමු චිත්‍රපටයටත් වඩා හැඟුම්බර අත්දැකීමක්. ‘ෆයින්ඩින් ඩෝරි’ මගේ ඇසට කඳුළක් එක් කළා.”