වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරස රාවය 16 දා

සරස රාවය 16 දා

සනත් මල්ලිකාරච්චි සහ ගීතානි චම්පිකා යටිවැල්ල ඉදිරිපත් කරන 'සරස රාවය' සංගීතමය සාහිත්‍ය සංවාදය මෙම මස 16 වැනිදා සවස මාතලේ සංචාරක හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. රශ්මි තරංගා කුමාරි සහ චරිත් කුලතිලක මේ සඳහා ගායනයෙන් සහාය වෙති. කථනය ගාමිණී නිශාන්ත කරුණාරත්නගෙනි. තෝරා ගත් ගීත කිහිපයක සාහිත්‍ය පසුබිම ඉදිරිපත් කරමින් ඒවා ගායනය කෙරෙමින් ප්‍රසංගය ඉදිරියට ගලා යයි. මෙහිදී සනත් සහ ගීතානිගේ නව නිර්මාණ කිහිපයක් ද එළි දක්වයි. සනත් මාතලේ ශාන්ත තෝමස් විදුහලේ සංගීත ආචාර්යවරයා වන අතර ගීතානි මාතලේ විජයපාල මහ විදුහලේ සංගීත ආචාර්යවරිය වේ.


ගී රඟ සොබා ගම්පහට

‘ගී රඟ සොබා’ මියුරු ගී සැන්දෑව ලබන ජූලි 17 වැනිදා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය රංග ශාලාවේදි පැවැත්වේ. ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, රත්නා ලාලනි, රොඩ්නි වර්ණකුල, මාදනි මල්වත්තගේ, ෆර්නි රෝෂිණි ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ගීතවත් කිරීමට එක්වීමට නියමිතය. ‘ගී රඟ සොබා’ මියුරු ගී සැන්දෑව සංවිධානය කරනු ලබන්නේ මහජන බැංකුව විශ්‍රාමික සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධානය – 1 විසිනි.