වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වන් ටේක්, නෝ ගේම්...

වන් ටේක්, නෝ ගේම්...

ඔය ස්වර්ණවාහිනියේ මුදිත ඉන්නවා නේද, මේ හාදයා නිවේදනයට මෙන්ම රංගනයට ද දස්කම් පානවා. අද වන විට ස්වර්ණවාහිනියේ නිෂ්පාදකවරයකු වශයෙන් ද ඔහු කටයුතු කරනවා. පසුගිය දිනෙක මුදිත අලි අමාරුවක වැටුණා. එහෙම කියනවාටත් වඩා ඒක අලි අභියෝගයක් කියලා කියන්න පුළුවන්. ජැක්සන් ඇන්තනිගේ දස්්කොන් ටෙලි සිතුවමේ රඟපාන්න ගිහින් තමයි ඔහුට මේ දේ සිද්ධ වුණේ. දස්කොන් හි මුදිත රඟපෑවෙ සරණංකර හාමුදුරුවෝ හැටියට. ඒක බොහොම ගෞරවාන්විත චරිතයක්. ඉතින් පිටපතට අනුව තිබුණලු මෙරට සංඝරාජ නාමාවලිය එක දිගට කියාගෙන යන්න. එයට නාමයන් විසි ගණනක් අයත්. එක නමකට අනිවාර්යයෙන්ම වචන පහ හයක් තියෙනවා. මුදිතට කියන්නත් බැහැලු ජැක්සන්ට ඒ සීන් එක කඩින් කඩ ගන්න කියලා. කෙසේ වෙතත් මුදිත තීරණය කළාලු කොච්චර කල්ගියත් කමක් නැහැ ඒ සේරම නම් ටික කට පාඩමින් තනි ෂොට් එකේදී කියනවා කියලා. පිටපත කලින් ඉල්ලගෙන මාස තුනක් වගේ කාලයක් ඇතුළත මුදිත අර නම් ටික සේරම කට පාඩම් කර ගත්තලු. ඒ සීන් එක මුදිත තනි ෂොට් එකේ ප්ලේ කරපු වෙලාවේ ජැක්සන් බොහොම සතුටින් අත්පොඩි ගැහැව්වලු.


රහසේ බැඳි පෙම එළි වූ දා

 

නදීශානි නිලුක්ෂි කාටත් හොරෙන්ම විවාහ වෙලා. ඒ පිළිබඳ ප්‍රසිද්ධ කරන්නේ නැතිලු. නදීෂානි ඉන්නේ පානදුර පැත්තෙනෙ. ඒ ප්‍රදේශයේම හාදයෙක් තමයි නදීෂානිගේ ස්වාමියා වෙලා තියෙන්නේ. මේ දිනවල නිර්මාණ කිහිපයකින්ම නදීෂානිගේ රුව දැක ගැනීමට පුළුවන්. ඒ හින්දම නදීෂානි තමන්ට තිබෙන ජනප්‍රියත්වය අඩුවේවි කියලා හිතලද මන්දා මේ විවාහය සැඟ වූයේ. කෙසේ වෙතත් මඟ දිගට රසකතා හොයාගෙන යද්දී අපිට නම් අහුවුණා නදිෂාගේ හැංගිමුත්තං විවාහය.


නිළි හිඟයට පිළියම් සොයමින්

මේ දිනවල අපේ පැරැණි නිර්මාණකරුවන් දෙදෙනෙකු අමාරුවේ වැටිලා. එක් කෙනෙක් තමයි හෙක්ටර් කුමාරසිරි. අභිනික්මන චිත්‍රපටය එහෙම කළේ එයා. ඒ වගේම හෙක්ටර් සම්මානනීය වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. අනෙක් නිර්මාණකරුවා තමයි ඩැනී ඩබ්ලිව්. පතිරණ. චංචල රේඛා, නිල්ල සොයා ආදී චිත්‍රපට රැසක කැමරා අධ්‍යක්ෂවරයා වූ හෙතෙම චන්දිරා, කවුළුව සහ බයිසිකලය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. මේ දෙන්නා තමයි අමාරුවේ වැටිලා තියෙන්නේ. ඒ වෙන කාරණයක් හින්දා නෙවෙයි, තමන්ගේ අලුත් නිර්මාණ සඳහා ප්‍රධාන චරිතයට නිළියක් නැතිවීම හේතුවෙන්. හෙක්ටර් සහ ඩැනී චිත්‍රපට යුවළක් අධ්‍යක්ෂණය කිරීමට සූදානමින් සිටිනවා. නමුත් ඒවාහි ප්‍රධානම චරිතයට ගැහැනු ළමයෙක් නැතිලු. ඉන්න නිළියොත් ලොකු ලොකු ටෝක්ස් දෙනවලු. බලාගෙන ගියාම චරිතයක් රඟපාන්න ලංකාවේ නිළියෝ හරිම හිඟයි. ඉතින් මේ දෙන්නම මේ දිනවල ඉන්ටර්වීව් තිය තිය නිළියෝ හොයනවා.


තරුෂි රෑනගල වලව්වට ගිහින්

තරුෂි පෙරේරා ගැන අලුත් ආරංචියක් අපට අහන්නට ලැබුණා. ඒ ඇය තිර රචනයට පිවිස ඇති බව. තරුෂි මෙහෙම හා හා පුරා කියලා ලියලා තියෙන්නේ ටෙලි නාට්‍යයක්. ඒකේ නම රෑනගල වලව්ව. එය අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටින්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්. තුසිත අනුරාධ කැමරාව මෙහෙයවනවා. සාරංග දිසාසේකර, ආශා එදිරිසිංහ, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුවිනීතා වීරසිංහ, තිසුරි යුවනිකා, නයනා කුමාරි, ඉෂාන් ගම්මුදලි, සුසන්තා චන්ද්‍රමාලි, අයෝමි ශානිකා, නිලන්ති විජේසිංහ, සෝමවීර ගමගේ, සමන් අල්මේදා, බුද්ධික ලොකුකැටිය, නුවනි වලිමුණි ඇතුළු රංගන ශිල්පීන් රැසක් මෙහි රඟපානවලු. අගෝස්තු මාසයෙන් පසුව රෑනගල වලව්ව රූපගත කිරීමට නියමිතයි කියලයි ආරංචිය.


නිරෝෂන් ඉතුරු වුණු පිටු අරන්

නිරෝෂන් විජේසිංහව අප වඩාත් හඳුනාගෙන සිටින්නේ රංගන ශිල්පියකු විදිහට. හොඳ කවියෙක් කියලා කිව්වොත් වැඩි දෙනෙකු පුදුම වේවි. ඔව්, එහෙම තමයි. නිරෝෂන් කවි ලියන්නේ දැන් සෑහෙන කල් ඉඳලා. නමුත් ඒක හරිම අප්‍රසිද්ධයි. නිරෝෂන් කලක සිටන් ලියූ කවි එකතු කරලා ඔන්න පොතක් අච්චු ගහලා. ඒකෙ නම 'ඉතිරි වුණු පිටු කිහිපයක්' ලබන 21 වැනිදා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී නිරෝෂන්ගේ ඉතිරි වුණු පිටු කිහිපයක් එළි දැක්වෙනවා. රත්න ශ්‍රී විජේසිංහ සහ ලූෂන් බුලත්සිංහල යන දෙපොළ එදින දෙසුම් පැවැත්වීමට නියමිතයිලු.