වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිජිටල් නැත්නම් ‘සරිගම’ නෑ

ඩිජිටල් නැත්නම් ‘සරිගම’ නෑ

ආචාර්ය සෝමරත්න දිසානායක අවධාරණය කරයි

ආචාර්ය සෝමරත්න දිසානායක සිනමා විෂය සම්බන්ධ ගැටලුවලදී සිය මතය විවෘතව හා නිර්භයව ප්‍රකාශ කරන අයකු බව ප්‍රකටය. එම ප්‍රකාශයන් බොහෝ විට ආන්දෝලනාත්මක ස්වරූපයක් උසුලයි. පසුගිය පාලන සමයේ එවකට සිටි චිත්‍රපට සංස්ථා සභාපතිවරයා විසින් චිත්‍රපට ප්‍රදර්ශනය පිටපත් තිස් පහකට සීමා කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් සෝමේ එළිපිට සිය විරෝධය පළ කළ අයෙකි.

2013 වසරේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයෙන් පසු ඔහු සිනමාවෙන් ඈත්ව සිටීමට එකී කරුණු ද බෙහෙවින් බලපෑවේය. එහෙත් වසර තුනකට පමණ පසුව යළි ඔහු සුපුරුදු නිර්මාණකරණයට ප්‍රවිශ්ටව සිටියි. ඒ ‘සරිගම’ සිනමාපටය සමඟිනි.

සෝමරත්න දිසානායක අද අප සමඟ මෙම කතාබහට එක් වන්නේ සිය නවතම චිත්‍රපටය මෙන්ම සිනමා ක්ෂේත්‍රයේ වත්මන් ගැටලු පිළිබඳ තීරණාත්මක කරුණු කිහිපයක් මුල් කොටගෙනය.

* ඔබේ නවතම චිත්‍රපටයේ වැඩ කටයුතු මේ වන විට සෑහෙන දුරකට අවසන්?

දැනට අපි රූගත කිරීමේ අදියර අවසානයි. සංස්කරණ කටයුතු දැන් කරගෙන යනවා. සංගීත මිශ්‍රණ කටයුතු තවම කෙරෙනවා. කොහොම වුණත් මේ මාසය අවසන් වීමට පෙර චිත්‍රපටයේ සියලු වැඩ කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

* ‘සරිගම’ මම හිතන්නේ ලෝක සිනමාවේ ඉතාමත් ජනප්‍රිය හා විශිෂ්ට චිත්‍රපටයක් වූ ‘Sound of Music’ අනුසාරයෙන් තැනුණ සිනමාපටයක් හැටියටයි අපට දැනගන්න ලැබී තියෙන්නේ?

ඔව්. ‘Sound of Music’ කියන්නේ හොලිවුඩ් සිනමාවේ ඇකඩමි සම්මාන හතක් හිමි කර ගත් චිත්‍රපටයක්. එය ලෝකයේ විවිධ රටවල, විවිධ භාෂාවලින් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා ඉංග්‍රීසි චිත්‍රපට නොබලන අපේ ප්‍රේක්ෂකයන්ට මේ වගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ කලා කෘතියක් සිංහලෙන් කරනවා නම් හොඳයි කියලා. දැන් අපි එහෙම වේදිකා නාට්‍යයත් කරනවානේ. ශේක්ස්පියර්ගේ නාට්‍යය. බ්‍රෙෂ්ට්ගේ නාට්‍යය වගේ. ඉතින් මම හිතුවා අපේ සිනමාවටත් ඒ වගේ විශිෂ්ට කෘතීන් හඳුන්වලා දෙන එක හොඳයි කියලා. හැබැයි මේක ‘Sound of Music’ පාදක කරගෙන තැනෙන චිත්‍රපටයක් මිසක එහි පරිවර්තනයක් නෙවේ.

* තරමක නිහැඬියාවකින් පසුවයි ඔබ නැවත සිනමාවට එක්වන්නේ. මම හිතන්නේ යම් කලකිරීමක් තිබුණා ඔබට?

මට කලකිරීමකුත් තිබුණා. ඒ වගේම සිනමාවේ අර්බුදත් තිබුණා. විශේෂයෙන්ම අර පිටපත් තිස් පහේ සීමාව නිසා හොඳටම කලකිරිලා හිටියා. මම කියා සිටියේ ඒ නීතිය තිබෙනතාක් කල් මම චිත්‍රපට හදන්නේ නෑ කියලා. දැන් ඉතින් තිස් පහේ සීමාවත් නෑනේ. අලුතින් හැදෙන චිත්‍රපට හැට, හැත්තෑ ගණන් පිටපත් ප්‍රදර්ශනය කරනවනේ.

* ඔබ ඉල්ලා සිටියෙත් එහෙම ක්‍රමවේදයක් නේ?

ඔව්. මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ බලනවා නම්, සිනමා ශාලාවලට ආදායමක් ලැබෙනවා නම් එබඳු ආකර්ෂණීය චිත්‍රපට සීමා කළ යුතු නෑ. කලාවත්, කර්මාන්තයත් රැකෙන්න නම් ප්‍රේක්ෂකයෝ චිත්‍රපට බලන්න ඕනෑනේ. සෑම සිනමා ශාලාවටම ආදායක් ලැබෙනවා නම් ප්‍රේක්ෂකයෝ සතුටු නම්, නිෂ්පාදකයන්ට ආදායමක් ලැබෙනවා නම් ඒකේ මොකක්ද වැරැද්ද? ඇයි ඒවා සීමා කරන්නේ. එහෙම සීමා නොකළොත් පෝළිම් දිග් ගැහෙනවා. අනෙක් චිත්‍රපටවලට අවස්ථා නොලැබෙනවා කියන ඒවා බොරු කතන්දර, ඔය පෝළිම බැලුවොත් එහෙම සියයට අනූවක්ම චිත්‍රපට නෙවෙයි. ඒවා චිත්‍රපට නමින් තිබෙන බහුබූත. ඒවා කවුුරුවත් මිලදී ගන්නේ නෑ. දැම්මත් බලන්නේ නෑ. ඒ වගේ චිත්‍රපට නිසා සිනමාව වැටෙනවා මිසක් සිනමාව කවදාවත් හැදෙන්නේ නෑ.

* එය නිර්මාණාත්මක පාර්ශවයෙන් පැන නඟින ගැලුවවක්. ඒවාට විසඳුම් සෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි?

ආකර්ෂණීය චිත්‍රපට තනන්න ඕනෑ. එහෙම නැතිනම් කලාත්මක චිත්‍රපටයක් වෙන්න ඕනෑ. මේ දෙකටම නැති මොනවා හරි හදලා නිකං පෝළිම් දිග් ගස්සන එක නිර්මාණකරුවන්ට කරන අසාධාරණයක්. නිෂ්පාදකයාත් අමාරුවේ දාන, සිනමා ශාලා හිමියත් අමාරුවේ දාන, ප්‍රේක්ෂකයාත් අමාරුවේ දාන එවැනි චිත්‍රපට හදන එක සිනමාවට අවාසිදායකයි.

* සියයට අනූවක්ම චිත්‍රපට නෙවෙයි කියලා බරපතල චෝදනාවක් ඔබ මේ එල්ල කරන්නේ?

සිනමාව ගැන හය හතර නොදැන, සිනමාව ගැන අධ්‍යයනයක් නැතිව, පළපුරුද්දක් නැතිව මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් පමණක් පදනමක් නැතුව, ගුණාත්මක අගයක් නැතිව හදන නිර්මාණ ගැළපෙන්නේ නෑ. ඒක කර්මාන්තයට හානියක් මිස වාසියක් නෙවේ. ප්‍රේක්ෂකයෝ නොබලන, සිනමා ශිල්පීන්ට, කාර්මික ශිල්පීන්ට මුදල් නොලැබෙන, සිනමා ශාලාවලින් දවසින් දෙකෙන් ගැළවෙන චිත්‍රපට හදන එකෙන් කාටද ඇති ඵලේ.

* එතකොට ඔබ නැවත සිනමාවට පිවිසෙන්නේ සිනමාව ගොඩ ගැනීමේ පරම අධ්‍යාශයෙන් යුතුව?

නෑ. සිනමාව ගොඩ ගන්නවට වඩා මිනිස්සු බලන චිත්‍රපටයි මම හදන්නේ. එතකොට සිනමාව ගොඩ යෑමත් වෙනවානේ. මගේ චිත්‍රපටයක් මිනිස්සු බලනවා නම් එය ඔවුන්ගේ අවශ්‍යතාවයක් ඉටුවීමක්නේ. ඒ වගේම සිනමා ශාලාවට එයින් ආදායමක් ලැබෙනවා නම් සිනමා ශාලා හිමියාට තමන්ගේ සිනමාහල දියුණු කරගන්න පුළුවන්. එය කර්මාන්තයට වාසියක්. ශිල්පීන්ට මුදල් ලැබෙනවා නම්, කර්මාන්තයට ළමයින් යොමු වෙනවා නම් ඒක නේද ආයෝජනය කියන්නේ. ඒක නේද සිනමා කර්මාන්තය වෙනුවෙන් කරන්න ඕනෑ. මේ දේවල් මගේ චිත්‍රපටවලින් වෙනවා කියන විශ්වාසය මට තියෙනවා.

* රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය දැරූ කාලයේ ඔබ සිනමාව දිහා හැරිලවත් බැලුවේ නෑ?

මම මාස දහයක කාලයක් එහි සභාපති ධූරය දැරුවා. එය මගේ කාලය නාස්ති කර දැමීමක් විදිහටයි මට දැන් හැඟෙන්නේ. ඒ නිසයි මම ඉල්ලා අස්වුණේ. මම කලාකරුවෙක්. මම නිර්මාණකරුවෙක්. මට තවදුරටත් ඒ කටයුතුවල නිරත වෙන්න ඕනෑ. ඒ නිසා තමයි එම ධූරය අත්හරින්න මම තීරණය කළේ.

* ඔබේ නාස්ති වූ කාලය තුළ රූපවාහිනියට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබට පුළුවන් වුණා කියලා හිතනවාද?

සාධාරණයක් ඉෂ්ට කරන්න මම උත්සාහ කළා. නමුත් මේ පවතින දේශපාලන හා ආර්ථික සංස්කෘතිය යටතේ ඒ වගේ තැනක මං වගේ කෙනෙකුට ඒ වැඩේ කරන්න බැහැ. එහෙම නම් රජයේ සේවකයෙක් බවට පත් වෙලා රජයේ ගැත්තෙක් බවට පත් වෙනවා. රාජ්‍ය නිලධාරින්ට ඔළුව පාත් කරමින්, ඔවුන්ට ආවඩමින් රජය ආරක්ෂා කර ගැනිමේ මුර බල්ලෙක් විදිහට මට කටයුතු කරන්න වෙනවා. මට එහෙම ඉන්න බෑ. වැරැද්ද දුටු තැන මට කතා කරන්න ඕනෑ. ඒක මගේ හැටි. රජයේ තනතුරක් දරනවා නම් මට එහෙම කරන්න බෑ. මම අද නිදහස්. රජය විවේචනය කරන තැනකත් මම අද ඉන්නවා.

* චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිතුමා පෙර තිබූ මන්ඩල පහ ඒකාබද්ධ කරලා ධාරා තුනකට බෙදුවා. මේ ධාරා තුන ඇතුළෙත් ගැටලු තියෙනවා. එතකොට චෝදනාවක් තියෙනවා ඇතැම් නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගෙන් මේ තමන්ට අයත් සිනමාහල් වෙනත් මණ්ඩල විසින් කොල්ල කනවා කියලා. එහෙම වෙන්නේ ඔය ඔබතුමා වගේ දැවැන්ත චිත්‍රපට මුදා හරින්න ගියාම?

චිත්‍රපට කර්මාන්තයේ අපට දැනට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ප්‍රදර්ශනය. ඉස්සර වෙලා ප්‍රදර්ශන අයිතිය මණ්ඩලවලට දීලා තිබුණානේ. ඒක මහ බොරුවක්. ඒක මහ අවුලක් සහ මහ අසාධාරණයක්. ඊට පස්සේ ධාරා තුනක් කියලා හැදුවනේ. ඒකත් අසාර්ථකයි. දැන් හිතන්නකෝ කාගේ හරි ආකර්ෂණිය චිත්‍රපටයක් තියෙනවා කියලා ආදායම් උපයන, ප්‍රේක්ෂකයෝ එන. එහෙම චිත්‍රපටයක් ගන්න කවුරුත් කැමැතියිනේ. දැන් ඔය එක්තරා මණ්ඩලයකට හරි ධාරාවකට හරි මේ චිත්‍රපටය දීපුවහම ඒ මණ්ඩලයේ හෝ ධාරවේ තමයි දුවන්නේ. එතකොට අනෙක් සිනමා ශාලාවලට ඒ චිත්‍රපටය කවදාවත් ලැබෙන්නේ නෑ. සමහර නගරවලට යන්නෙත් නෑ.

* දැන් මේ ‘ෆ්ලෝ ඩවුන්ස්’ සිස්ටම් එක නැති හින්දා?

ඔව්. ෆ්ලෝ ඩවුන්ස් නැති හින්දා. ඉතිං එහෙම වුණාම රටේ ජනතාවට මහ විශාල අසාධාරණයක් වෙනවා. මොකද මේ තෝරා ගත්ත සිනමා ශාලා කීපයක පමණයි මේ චිත්‍රපට පෙන්වන්නේ. මම කියන්නේ මේ ප්‍රශ්නය විසඳන්න නම් රජය සහ චිත්‍රපට සංස්ථාව මේ ඇඟිලි ගැසීම්වලින් ඉවත් වෙන්න ඕනෑ. ඒක නිෂ්පාදකයා හා සිනමා ශාලා අතරේ කෙරෙන කාර්යක් වෙන්න ඕනෑ. නිෂ්පාදකයාට අවසර දෙන්න ඕනෑ තමන්ට කැමැති සිනමා ශාලා තෝරාගෙන චිත්‍රපටය පෙන්වන්න. එතකොට සිනමා ශාලාවලට නිදහස දෙන්න ඕනෑ තමන් කැමැති චිත්‍රපට ගන්න. සිනමා ශාලා මිලට ගන්නේ හොඳ චිත්‍රපටව. එහෙම වුනාම සිනමාකරුවොත් හොඳ චිත්‍රපට හදන්න උනන්දු වෙනවා. තාක්ෂණයෙන් ඉහළ, සිනමාරූපී බවෙන් ඉහළ චිත්‍රපට හදන්න පෙළඹෙනවා.

* ඔබ ඔය කියන ගුණාත්මක, පොහොසත් සිනමාවකට යන්න පුළුවන් වපසරියක් අපේ සිනමා කර්මාන්තය ඇතුළේ තියෙනවාද? මොකද අපි බොහොම දුප්පත් සිනමා සංස්කෘතියක් තිබෙන රටක්?

සිනමාව කියන්නේ මුදල් ආයෝජනය කළ යුකු කර්මාන්තයක් සහ කලාවක්. ඉතින් ඒ කර්මාන්තයේ මුදල් ආයෝජනය කරන්න බැරි නම් ඒ කර්මාන්තයට එන්න හොඳ නෑ කට්ටිය. චිත්‍රපටයක් හදන්න ලක්ෂ දෙක, තුනකින් බැහැ. ඒ නිසා මේ සල්ලි නැති නිසා දුප්පත්කමට කරන්න පුළුවන් කර්මාන්තයක් නෙවෙයි සිනමාව කියන්නේ. සිනමා ශාලා හිමියෙක් කියනවා නම් ‘මගේ සිනමා ශාලාව නවීකරණය කරන්න මට සල්ලි නෑ. ඒ් නිසා අර පරණ ප්‍රොජෙක්ටර්වලින්, වේයො කාපු පුටුවලින්, දිරපු වහලෙකින්, කළු වෙච්ච තිරයකින් පෙන්නවා’ කියලා ඒක වැරදියි. එයා ඒක කරන්න ඕනෑ නෑ, වෙන කර්මාන්තයක් කරන්න ඕනෑ.

* හැබැයි අපේ බොහෝ සිනමාහල් තියෙන්නේ ඔබ ඔය කියපු තත්ත්වයේ තමයි?

සිනමාහල් නවීකරණය කළ යුතු නම් ඒක කරන්න ඕනෑ. වායු සමනය කරන්න ඕනෑ, ඩිජිටල්කරණයට එක් වෙන්න ඕනෑ, සැප පහසු ආසන තියෙන්න ඕනැ, වැසිකිළි පද්ධතියක් තියෙන්න ඕනෑ, තිරය පිරිසුදු වෙන්න ඕනෑ, හොඳ ශබ්ද පද්ධතියයක් තියෙන්න ඕනෑ. ඒවා අත්‍යාවශ්‍ය දේවල්. ඒක නිසා මේක මුදල් ආයෝජනය කර මුදල් ඉපයිය යුතු, ඉපයිය හැකි කර්මාන්තයක් සහ කලාවක්. යහපත් විදිහට මේ කර්මාන්තය කරනවා නම් තමන් අයෝජනය කළ මුදල් ලබා ගැනීමට කිසි ප්‍රශ්නයක් නෑ.

* ඒ ගැන සියයට සීයක සහතිකයක් දෙන්න පුළුවන්ද?

ඔව්. මට දෙන්න පුළුවන්. කවුරු හරි හොඳ චිත්‍රපටයක් හැදුවොත් ප්‍රශ්න මතු වන්නේ නෑ. ප්‍රේක්ෂකයෝ මගේ චිත්‍රපට නරඹන්න එහි සිනමාරූපී බව එක හේතුවක් වෙන්න පුළුවන්. අනෙක් එක තමයි මම ලෝකයේ තියෙන ඉහළම තාක්ෂණය පාවිච්චි කරනවා. ලෝකයේ තියෙන ඉහළම කැමරාව, ඉහළම ශබ්ද පද්ධතිය, ඉහළම සංස්කරණ ශිල්පය මම පාවිච්ච් කරනවා. ඉතිං ඒ අතින් මම ඒ කාර්යයට නොමසුරුව වියදම් කරනවා.

* සිනමාරූපී දෘෂ්ටියක් තිබෙන නිර්මාණශීලී පරපුරක් බිහිවෙමින් පවතිනවා. ඔවුන් බොහොම දුප්පත්. ඔවුන්ට මහා පරිමාණයෙන් මුදල් ආයෝජනය කරන්න අය නෑ. එතකොට මෙවන් සිනමාකරුවන්ගේ අනාගත ඉරණම ගැන ගැටලුවක් මතු වෙනවානේ ඔය අස්සේම?

හරි හොඳ ප්‍රශ්නයක් ඔබ ඇහුවේ. ඔන්න ඕක හොඳ පොයින්ට් එකක්. හරි හොඳයි අසංක ඒ ප්‍රශ්නෙට මම එන්න ඕනෑ. මෙන්න මෙතනදි තමයි රජය මැදිහත් වෙන්න ඕනෑ. සිනමාවේ තියෙනවා ප්‍රධාන වශයෙන් ආරක්ෂා කරගත යුතු අංග දෙකක්. එකක් කලාව. සිනමා කලාව ආරක්ෂා විය යුතුයි අනිවාර්යයෙන්ම. අනෙක කර්මාන්තය. මේක මුදල් ඉපයිය හැකි කර්මාන්තයක් බවටත් පත්වෙන්න ඕනෑ. සමහර නිර්මාණ තියෙනවා මුදල් උපයන්නේ නෑ. හිතන්නකී දැන් ඔබ කිව්වා වගේ අතමිට සරු නැති ඒත් නිර්මාණශිලී තරුණ ළමයෙක් ඉන්නවා, මේ ළමයා චිත්‍රපටයක් හදනවා. නමුත් එය ජනප්‍රිය ධාරාවට අයිති වෙන එකක් නෙවෙයි. හැබැයි මෙය හොඳ කලාත්මක නිර්මාණයක්. අන්න එතනදි ඒ දරුවාගේ හැකියාව, වටිනාකම හඳුනාගෙන ඒ චිත්‍රපටය වර්ගීකරණයකට ලක් කරලා, ගුණාත්මකභාවයෙන් ඉහළ නිර්මාණ තෝරා ගෙන රජය මැදිහත් වෙන්න ඕනෑ ඔවුන්ට සහනයක් සලසන්න.

* යෝජනාවක් තියෙනවාද?

ඔවුන්ට වෙනම සිනමා ශාලා පද්ධතියක්, ඔවුන්ට වෙනම ප්‍රචාරක ජාලයක්, රාජ්‍ය මාධ්‍යවලින් ලබා දීලා ඔවුන් දිරිමත් කරන්න ඕනෑ. එතකොට පහසු ණය සහන ක්‍රම මේවා දීලා ඔවුන් දිරිමත් කිරීමේ වැඩ පිළිවෙළකට රජය යන්න ඕනෑ. අර මා මුලින් කිව්වා චිත්‍රපට වර්ගීකරණයත් අවශ්‍යයි. මෙන්න මේ වර්ගීකරණය තියෙනවා නම් ඔබ කියන අලුත් පරම්පරාවේ හෝ පරණ පරම්පරාවේ හෝ හොඳ ගුණාත්මක, කලාත්මක චිත්‍රපටයක් හැදුවොත් ප්‍රේක්ෂක ආකර්ෂණයක් නැතත් රජය මැදිහත් වී ඊට ආධාර දිය යුතුයි. සම්භාව්‍ය පස් වැනි මණ්ඩලය කියා එකක් අපට තිබුණා. විශිෂ්ට චිත්‍රපට සඳහා ඉන් අනුග්‍රහය ලැබුණා. පසු පරම්පරාවේ සිනමාකරුවන් වන ප්‍රසන්න විතානගේලා, අශෝක හඳගමලා, එතකොට මා ඇතුළු සිනමාකරුවන් බිහි වන්නේ මෙන්න මේ වර්ගීකරණය තිබූ හින්දා.

* වත්මන් ලාංකේය සිනමාව තිබෙන්නේ දැඩි අර්බුදකාරී, අභියෝගාත්මක වටපිටාවක. විශේෂයෙන්ම සිනමාව ඩිජිටල්කරණය විය යුතුයි කියන තැනට අද අපි ඇවිත් තියෙනවා. ඒ සඳහා නොයෙකුත් විසඳුම්, යෝජනා ගෙන ආවත් එය තවම මුළුමනින්ම විසඳී නැති ගැටලුවක්?

මගේ චිත්‍රපටය පෙන්වන්නේ ඩිජිටල් තාක්ෂණය තියෙන සිනමා ශාලාවල පමණයි. ඒ කියන්නේ ච්.ඛ්.ර්‍ථ විතරයි මම ගහන්නේ. එතකොට මට ඕනේ නෑ 35 ර්.ර්. සිනමාවේ තවදුරටත් රැඳී ඉන්න. දැන් ඒක අභාවයට ගිය තාක්ෂණයක්. එතකොට මගේ චිත්‍රපටය ගන්න ඕනෑ කෙනෙක් ඉන්නවා නම් තාක්ෂණයට යන්න ඕනෑ.

* ඉතින් එහෙම සිනමා ශාලා කීයද ලංකාවේ තියෙන්නේ?

ඒවා හැදෙන්න ඕනෑ.

* හැදුණේ නැතිනම්?

හැදුණේ නැතිනම් මම තියෙන ඒවායේ පෙන්නනවා.

* අපි හිතමු සිනමා ශාලා දහයක්, නැතිනම් විස්සක් කියලා ඒ ප්‍රමාණය. ඒත් ඔබ හැමදාමත් කිව්ව් වැඩිපුර පිටපත් ප්‍රමාණයක් මුදා හැරිය යුතුයි කියන කාරණාව?

එසේ තිබෙන ශාලාවල ප්‍රදර්ශනය නොකර කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ. 35 ර්.ර් සිනමාව තව මාස කීපයක් යනකොට ලෝකේ කොහේවත් නැතිව යනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. සිනමා ශාලාවක් පවත්වාගෙන යන්න කාට හරි ඕනෑ නම් මේ ඩිජිටල්කරණයට අනිවාර්යයෙන් යා යුතුයි. මම නැවතත් අවධාරණය කර සිටිනවා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් සිනමාහල්වල විතරයි මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ. සෑම සිනමාකරුවෙක්ම තමන්ගේ චිත්‍රපටය රූගත කරන්නනේ ඩිජිටල් කැමරාවකින්. ඒවා කරලා අන්තිමට අපි පෙන්වන්නේ අර හතළිස් ගණන්වල, පණස් ගණන්වල පරණ තාක්ෂණයෙන් යුත් ප්‍රොජෙක්ට(ර්)ස්වලින්.

* ඒ බර කරත්ත යුගයෙන් දැන් එළියට එන්න ඕනෑ?

ඉතින් ඕක වෙන්න ඕනෑනේ.

* ඥ සිනමාවට මේ වන විට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය ලැබී තිබෙනවා. නමුත් එය එතරම් ඉහළ තාක්ෂණයක් නෙවෙයිනේ. අපේ නිර්දේශිත ප්‍රමිතිය 2ම් සිනමාව. එතැනත් ගැටලුවක් තියෙනවා නේද?

ඇත්තෙන්ම අපි පිළිගන්න ඕනෑ සිනමා ශාලාවක් ඩිජිටල් කරන්න ලක්ෂ 80 - 100 අතර මුදලක් වැය වෙනවා. සාමාන්‍ය සිනමා ශාලා හිමියෙකුට ඒක කරන්න වත්කමක් නෑ කියලත් අපි පිළිගන්නවා. ඒ නිසා තාවකාලික විසඳුමක් හැටියට ඥ සිනමාව තිබුණාට අපේ විරුද්ධත්වක් නෑ. ඥ සිනමාවේ සාමාන්‍යයෙන් චිත්‍රපටයක් පෙන්වන්න පුළුවන්. නමුත් 2ම් තරම්ම තාක්ෂණික ගුණාත්මකභාවයක් එතැන නෑ. නමුත් කෙනෙක් ලක්ෂ 10 ක් 15 ක් වියදම් කරලා තාවකාලිකව සිනමාවක් හදා ගත්තට අපි විරුද්ධ නෑ. නමුත් ඒකත් දිගටම දුවන්න බෑ. ඒ හදා ගත්ත අයත් දැනගන්න ඕනෑ කවදා හරි අරවා වෙනස් කරලා ඒ අයත් ච් සිනමාවට යන්න ඕනෑ කියන එක. ඒ නිසා මගේ උපදේශනය තමයි පුළුවන් තරම් ච් සිනමාවටම යන්න බලන්න. මොකද නැතිනම් අර ඥ සිනමාවට යොදන මුදල නිරර්ථක වියදමක් වෙනවා. එහෙම අයට මූල්‍ය ආයතනයකින් සහන ණය මුදලක් ලබාදීමටත් මා මැදිහත් වෙනවා. ඒ සඳහා මූල්‍ය ආයතනයක් කැමැත්ත පළකර තිබෙනවා. මේ දිනවල මා ඉන්නේ ඔවුන් සමඟ වැඩිදුර සාකච්ඡා කරමින්.

* සිනමාශාලා හිමියන්ට මේ පුවත සුබදායක ආරංචියක් වේවි?

ඔව්. අනිවාර්යයෙන්ම සියලුම සිනමාශාලා හිමියන්ට සාධාරණය ඉෂ්ට කරන්න මා කටයුතු යොදනවා.