වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

තවම මිනිහව හිතෙන් අස් කළේ නෑ එහෙනම්

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

'මානවී ටෙලියක් ප්‍රඩියුෂ් කරන හින්දා මං සල්ලි දෙන්නං'

නිරන්ජන් පැවසුවේ වීරප්පෙරුම දෙස හැරී බලමිනි.

'මේ ප්‍රොඩියුෂර්ලා කියන වැඩි දෙනෙක්ගේ සල්ලි අනුන්ගේ'

වීරප්පෙරුම මානවීට පැවසුවේ සිනාසෙමිනි.

දිගු කලක් මුළුල්ලේ අතින් අත ගිය කටයුත්ත දැන් කර මුලටම පැමිණ ඇත.

'ඔයාට ටෙලිය විකුණගන්න ප්‍රශ්නයක් නෑ. ඒවා ඒ විධියට කෙරෙනවා' නිරන්ජන් පැවසුවේය.

'ඊට පස්සේ මං වියදම් කරපු ගාණ දුන්නාම ඇති'

ඔහුගේ මුහුණේ සිනහවක් නැඟිණ.

මානවී, වීරප්පෙරුමගේ මුහුණ දෙස බැලුවාය.

ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරන්නට යැයි පැවසූ විරප්පෙරුම ඒ සඳහා මානවීට නවකතා කිහිපයක්ම තෝරා දුන්නේය. ඒ අතරින් එකක් වූයේ රවිනාත් ධර්මවර්ධනගේ නවකතාවකි.

'රවිනාත්ගේ මේ නවකතාවේ මානවීට හොඳ කැරැක්ටර් ඒකක් තියෙනවා'

වීරප්පෙරුම පැවසුවේය.

'මං රවිනාත් සර්ව අඳුනනවා'

මානවී පැවසුවාය. වීරප්පෙරුම ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් මෙන් මුහුණ දෙස බැලුවේය.

'මං සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවා අපේ ගමේදී. සර් ඉස්සර අපේ ස්කෝලේ ඉගැන්වූවා'

විරප්පෙරුම මානවී කියන්නක් අසා සිටියාය.

'මට ළඟදී සර්ව අහම්බෙන් හම්බ උණා වෙඩින් එකකදී.

වීරප්්පෙරුම ඒ මඟුල් ගෙය කාගේදැයි අසන්නට ගියේ නැත. මානවීිගේ නිදහස ඇයට දිය යුතුය.

මානවී රවිනාත් සර්ට කැමැති වූයේ ඔහු පාසලේදී දරුවනට නිදහසේ ඉගැන් වූ බැවිනි. ඔහු ගුරුවරයෙකු ලෙස පාසලට එන විට ඇය හයේ පන්තියට සමත් වූවා පමණි. විශ්ව විද්‍යාලයෙන් පිටත්ව රවිනාත් සර් ආවේ මානවීගේ පාසලටය. ඔහු දයාබර ගුරුවරයකු විය. අලුතින් ළමයින්ට සිතන්නට ඉගැන් වූ ගුරුවරයකු විය. පාසලේ හැම බාහිර වැඩකටම ඔහු පෙරමුණ ගත්තේය. මානවී මුලින්ම වේදිකා නාට්‍යයක රඟපෑවේද රවිනාත් සර්ගේ මෙහෙයවීමෙනි. මඟුල් ගෙදරකදී මානවීට රවිනාත් මුණ ගැසුණේ අහම්බෙනි. ඒ වන විට ඔහු මැදි වියට ගොදුරුවෙමින් සිටියේය.

මානවී රවිනාත් සොයා ගියේ චාමර සමඟය. චාමර සුජිත්ගේ සහායකයා විය. ඒ වන විට රවිනාත් ගුරුවරයකු වශයෙන් පමණක් නොව ලේඛකයකු ලෙස ද නමක් දිනා උන්නේය.

'සර්ගේ අලුත් වලව්ව නවල් එක ටෙලි නාට්‍යයකට ගන්න කියන එකයි මගේ ආසාව'

මානවී රවිනාත්ගේ අසල වාඩි වුණේ හරිබරි ගැසෙමිනි. තමාට වඩා බාල දැරියක නිවසින් ඇතුළත එබිකම් කර ගෙට දිව ගියාය. ටික වේලාවකින් ගෙයින් එළියට ආවේ රවිනාත් සර්ගේ බිරින්දෑ ද කැටුවය.

'මේ ළමයනේ, එදා සර්ට අඳුනගන්න බැරි වුණා. මමනෙ අඳුන්නලා දුන්නේ'

ඇය පැවසුවේ උදාරම් ලීලාවෙනි. රවිනාත් බිරින්දෑ කියන දේ අසන සැමියකු යැයි මානවී වහා වටහා ගත්තාය.

'මං සර්ගේ ගෝලයෙක්'

'ඔව් එදා වෙඩිං එකේදී හම්බ උණාම සර් කිව්වා. හැබැයි සර් එදා ඔයා ටෙලි නාට්‍යවල රඟපානවා දැකලා තිබුණේ නෑ'

රවිනාත් සර්ගේ දියණිය ඔහුගේ කපාපු පළුවක් වැනිය. ඇගේ මුහුණේ නැඟුණ සිනහව දිගටම පවතියි. ඇත්තටම ඈ විශ්මයට පත්ව ඇත්තීය. මානවී ඈ දෙස බලා සිනාසුණාය.

'සර්ගේ අලුත් වලව්ව නවල් එක තමා අපි ගන්න යන්නේ. ඒක තෝරලා දුන්නේ විරප්පෙරුම ඇමැතිතුමා'

රවිනාත් සිය බිරින්දෑගේ මුහුණ දෙස බැලුවේය. වීරප්පෙරුම නිකම්ම නිකම් දේශපාලකයකු නොවේ. උගතකු ලෙස ඔහුට ඇත්තේ වටිනාකමකි. දියණිය කොළඹ ලොකු විදුහලකට රිංගවා ගැනීමට නොහැකි වීම ගැන බිරින්දෑ කිහිප වතාවක්ම නෝක්කාඩු කී වග රවිනාත්ට සිහියට ආවේය.

'ඇමැතිතුමා මගේ පොත් කියවලා තියෙනවාද?'

රවිනාත් ඇසුවේය.

'ඔව්. සර් ගාව ගොඩක් පොත් තියෙනවා'

'මානවී හොඳට ඇමැතිතුමා අඳුනනවාද?'

'ඔව්. සර් මට හරියට උදව් කළා'

තාත්තා කෙනෙක් වගේ යැයි කියන්නට ආ වදන මානවී ගිල ගත්තාය.

'අපි මේ ගැන හරියට කතා කරමු. මාත් කැමැති මගේ පොතක් මෙහෙම ගන්නවාට'

කිහිප වතාවක්ම තම නවකතාවක් චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක් බවට තෝරා ගත්තද ඒ එකක්වත් කතාබහෙන් එහාට ගියේ නැත. ඒ ගැන නොකියා සිටින්නට රවිනාත් ප්‍රවේශම් විය.

'සර් මේකේ ස්ක්‍රිප්ට් එක'

'මං කැමැතියි ලියන්න'

එකවරම රවිනාත් පැවසුවේය.

'සර් කලින් ස්ක්‍රිප්ට් ලියලා තියෙනවාද'

චාමර අසල සිට වැට පැන්නේය.

'කවුද අධ්‍යක්ෂණය කරන්නේ'

එය ඇසුවේ රවිනාත්ගේ බිරින්දෑය. මානවී චාමර දෙස බැලුවේය.

'සුජිත් කියලා'

'එයා කලින් කරලා තියෙනවාද?'

රවිනාත් ඇසුවේය.

'නැහැ. දිගටම ඇසිස්්ට් කළා. මේ දවස්වල එක්සිඩන්ට් එකක් වෙලා. මං කැමති වුණේ එයාට දෙන්න'

ඔවුහු නිහඬ වූහ.

'සර් ස්ක්‍රිපට් එක'

'මම කැමැතියි ලියන්න'

'සර්ගෙ ගණං හිලව්. මේ මගෙ පළවෙනි ප්‍රඩක්ෂන් එක'

රවිනාත් බිරින්දෑගේ මුහුණ දෙස බැලුවේ මෙබඳු තැන්වලදී ඇයගේ නුවණ වැඩි නිසා විය යුතුය.

'සර්ගේ පොත් හොයාගෙන කී දෙනෙක් ආවාද? අපි වචනයක් දුන්නේ නැත්තේ සර්ගේ පොත්වලට ඒකෙන් හොඳක් වේය කියලා විශ්වාසයක් නැති නිසා. දන්නවනේ සර්ගේ පොත්වලට සම්මානත් හම්බ උණානේ. සල්ලි විතරක් මදි. හරියට වැඩේ කෙරෙන්ඩත් ඕනෑ'

රවිනාත්ගේ භාර්යාව පැවසුවාය.

'හොඳයි අපි දෙවැනුව ගණං හිලව් කතා කරමු. මානවී මගේ ළමයෙක් හින්දා අපි ඒක කරමු'

රවිනාත් කතාබහ කෙළවර කළේය.

මානවී චාමර සමඟ නිවසින් පිට වූයේ තවත් ටික වේලාවක් කතාබස් කළ පසුවය.

'සුජිත් අයියා ඩිරෙක්ට් කරනවා කියලා මම දන්නේ නෑනේ'

චාමර පැවසුවේ රථයට ගොඩ වුණ පසුවය.

'මෙන්න මෙහෙ කෑ නොගහ හිටපං. මං තාම ඩිරෙක්ටර් කවුද කියලා තීරණය කරලා නෑ'

මානවී පැවසුවාය.

'සුජිත් අයියා ඩිරෙක්ට් කරන්න ආසාවෙන් තමා හිටියේ'

'කොහොමද දැන් සුජිත් අයියාට'

මානවී ඇසුවේ පසුගිය දින කිහිපයේම ඔහු වෙනුවෙන් චාමර මහන්සි වූ බව දත් හෙයිනි.

'පව් අක්කේ? සල්ලි ප්‍රශ්නත් තියෙනවා'

'උඹ දැන්ම කියන්ඩ එපා. මං වෙලාවට එයාට කියන්නම්'

මානවී පැවසුවේ රථය වංගුවක් ගන්නා අතරතුරය. බස් රථයක් හඹා යන්නට මානවිට වුවමනා විය.

'හෙමින්. හෙමින්'

චමර කෑගෑවේය.

'බය වෙන්ඩ එපා බං'

මානවී සිනහා වූවාය. ඇය චාමර නවාතැනට ගෙන ගොස් බස්සවා වීරප්පෙරුමට ඇමතුමක් දුන්නාය.

'අර පොත ගැන කතා කළා. වැඩේ සාර්ථකයි'

'මේ පැත්තේ එනවා නම් . . .'

වීරප්පෙරුම ආරාධනා කළේය. මානවීගේ රථය ඒ බසට අවනත වූවාය.

'මගෙන් ඇහැව්ව කාටද අධ්‍යක්ෂණය දෙන්නේ කියලා'

වීරප්පෙරුමට තේ කෝප්පයක් තනා දුන් මානවී ඔහු අසලින් හරි බරි ගැහී වාඩි වූවාය.

'තාම කවුරුවත් සිලෙක්ට් කළේ නෑ?'

'මං සුජිත්ගේ නම කිව්වා'

වීරප්පෙරුමගේ මුහුණ වෙනස් වන අයුරු මානවීට පෙනිණ.

'තවම මිනිහව හිතෙන් අස් කළේ නෑ එහෙනම්'

අස් කරලා නම් ගොඩක් කල්. හැබැයි දැන් ඉන්න තත්ත්වේ හින්දා මට හිතුණා මිනිහාගේ එකම බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න'

'මොකද එකපාරට අනුකකම්පාවක්'

වීරප්පෙරුම ඇසුවේය.

'අනුකම්පාවක් නම් මගේ හිතේ නෑ. ඒත් එක දවසක් හරි උදව්වක් කළානේ මං මේ ඉන්න තැනට එන්න'

මානවී ඉන් එහා කිසිත් නොකියා සිටියාය.

'කළගුණ දැක්වීම නම් හොඳයි. හැබැයි ඒකට වෙන ක්‍රමයක් තිබුණේ නැද්ද'

'තිබුණා. ඒ ක්‍රමේටත් මං වන්දි ගෙව්වා'

මානවී උන් තැනින් නැඟිට බැල්කනිය දෙසට ගියාය. රතු පාට දැල්වෙමින් වීදි දිගේ තදබදයට හසුවන රථවාහන එතැනට පෙනෙයි. වීරප්්පෙරුම ඈ පසුපසින් ආවේය.

'ඒත් මට වුවමනායි. මං ඌ තරම් තිරිසනෙක් නෙවෙයි කියලා පෙන්නන්න'

'ඒ කියන්නේ මානවී සුජිත් ළඟට ආපහු යනවා'

'යනවා සර්. හැබැයි මේ රාජකාරිය ඉවර කරගන්න'