වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය කතාව නඩුවෙන් බේරෙයි

ආදරණීය කතාව නඩුවෙන් බේරෙයි

නාරාහේන්පිට පොලීසිය විසින් දුම්වැටි හා මද්‍යසාර අධිකාරිය මඟින් කළ පැමිණිල්ලක් අනුව ආදරණීය කතාවක් චිත්‍රපටයට එරෙහිව ගොනු කරන ලද නඩුවක් නිෂ්ප්‍රභා කරමින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මඟින් තීන්දුවක් ලැබිණ. අසීමිත මහජන ප්‍රදර්ශනය සනාථ කරමින් කිසිදු වාරණයකින් තොරව චිත්‍රපටය තිරගත කිරීමට තීන්දුව දුන් බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සහ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සරසවියට ප්‍රකාශ කළේය.

ආදරණීය කතාවක් චිත්‍රපටයෙහි මත්පැන් හා දුම්වැටි භාවිත කරන දර්ශන ඕනෑවට වඩා වැඩි බවට චෝදනා කරමින් චිත්‍රපටයට විරුද්ධව එක්තරා කාන්තාවක විසින් එම පැමිණිල්ල ගොනුකොට තිබිණ. ආදරණීය කතාවක් චිත්‍රපටයෙහි හුවා දැක්වෙන්නේ මත්පැන් දුම්වැටි භාවිතයේ ආදීනව බවත් චිත්‍රපටය නැරැඹූ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළ බවත් නිෂ්පාදකවරු පවසති. එමෙන්ම ආදරණීය කතාවක් චිත්‍රපටය තිරගත කළේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදෙන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ නීත්‍යානුකූල පදනම මත බවත් මේ චෝදනාවලින් කිසියම් කෙනෙකු කිරීමට අවශ්‍ය වී ඇත්තේ ආදරණීය කතාවක් චිත්‍රපටයට ඇති අසීමිත ප්‍රේක්ෂක අවධානය වෙනස් කිරීමට බවත් ප්‍රියන්ත සහ ඩොනල්ඩ් වැඩිදුරටත් සඳහන් කළහ.


කැන්ගරු දේශයට මධුර චාරිකාවක්

උදයකාන්ත වර්ණසූරිය විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ මධුර චාරිකා චිත්‍රපටයේ විශේෂ දර්ශන දෙකක් මෙම මස 23 වැනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රවුස් හිල්හි රීඩිංග් සිනමා ශාලාවේදී සහ 31 වැනිදා මෙල්බර්න් නගරයේ ඩැන් ඩෙනොන් හි රීඩිංග් සිනමා ශාලාවේ තිරගත වේ. මේ සඳහා උදයකාන්ත වර්ණසූරිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මවන හේමසිරි ලියනගේ, කැමරා අධ්‍යක්ෂ අයේෂ්මන්ත හෙට්ටිආරච්චි ආරාධියන් ලෙස සහභාගි වේ.

හේමසිරි ලියනගේ, නලින් ප්‍රදීප් උඩවෙල, මාධනි මල්වත්තගේ, සුදම් කටුකිතුලේ, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. මධුර චාරිකා මෙම වසරේ ඇම්ස්ටර්ඩෑම් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ග්‍රෑන්ඩ් ජූරි සම්මානයෙන් පිදුම් ලබා ඇති අතර ටොරන්ටෝ ජාත්‍යන්තර සිනමා උලෙළ සඳහා නිර්දේශ නාම ලැබීය.

මධුර චාරිකා සිනමාපටයේ ඕස්ට්‍රේලියාවේ දර්ශන සංවිධානය තිමාර එන්ටර්ටේන්මන්ට් වෙතිනි.


 චන්දන, රත්නසිංහ, කැළුම් අලුත් පුටු තුනක

ස්වාධීන රූපවාහිනියේ අභිනව නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස චන්දන තිලකරත්න මහතා පත් විය. ජාතික ගුවන් විදුලි, චීන ගුවන් විදුලිය, ලක්හඬ ආයතනයන්හි විවිධ තනතුරු දැරූ හෙතෙම මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ ඇසූ පීරූ තැන් ඇති අයෙකි. එමෙන්ම එම නාළිකාවේ අලෙවි සහ වැඩසටහන් උපදේශක ලෙස පියදාස රත්නසිංහ මහතා පත් කෙරිණ. ජාතික රූපවාහිනියේ දිගු කලක් සේවය කළ ඔහු අපට සිටින ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙකි.

සියත නාළිකාවේ නව වැඩ සටහන් අධ්‍යක්ෂවරයා හැටියට කැලුම් පාලිත මහීරත්න මහතා පත් විය. ජාතික රූපවාහිනිය, ස්වර්ණවාහිනි ආයතනවල කලක් සේවය කළ ඔහු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස කැපී පෙනුණු අයෙකි.


සුමිත්‍රා පීරිස්ගේ මදාරා වෙන්න ඔබටත් අවස්ථාවක්

සිංහල සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කරනු ලබන සුනිල් විමලවීර නිෂ්පාදනය කිරීමට නියමිත මදාරා සිනමාපටය සඳහා නවක නිළියක් හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. වයස අවුරුදු 18 - 25 අතර රංගනයට කැමැති ආධුනිකයන් වෙතොත් - මදාරා රංගන වරම් , සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට මෑතකදී ගත් ඡායාරූපයක් සමඟ විස්තර එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරීක්ෂණයට සහභාගි විය හැකිය.


දීපිකාගේ දරු තරු වරුණ රූපවාහිනියේ

දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ සෞන්දර්ය ශාලිකාවේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ දරු තරු වරුණ විචිත්‍රවත් ප්‍රසංගය මෙම මස 15 වැනිදා රාත්‍රී 10.10 ට ජාතික රූපවාහිනියේ විකාශය වේ. එය පැවැත් වූයේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශාලාවේදීය.


ශාන්තිගේ ධරණි නිරෝෂන් අරගෙන

නිරෝෂන් ඉලේපෙරුමගේ නවතම ටෙලි සිතුවම ධරණි හි වැඩ කටයුතු අද දින පැවැත්වෙන මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ වේ. ශාන්ති දිසානායකගේ ධරණි නවකතාව ඇසුරෙන් නිර්මාණය වන එහි තිර රචනය සරත් ධර්මසිරිගෙනි.

රොෂාන් රවීන්ද්‍ර, දමිතා අබේරත්න, බුද්ධික ජයරත්න, උද්දික ප්‍රේමරත්න, උමයංගනා වික්‍රමසිංහ, ජයනි සේනානායක, තුෂාරි වේහැල්ල, ශාලිකා එදිරිසිංහ, මල්කුමාරි ගීතරාණි, කුමාර වඳුරැස්ස, මනීෂා ශ්‍යාමලී මෙහි චරිත මවති. කසුන් කල්හාර සංගීත අධ්‍යක්ෂවරයාය. රුක්මල් නිරෝෂන්ගේ සංස්කරණයකි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, සමන් අතපත්තු නිෂ්පාදන කළමනාකරණයෙන්ද, විශ්ව කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වේ. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. අමරසේන වඩුගේ විධායක නිෂ්පාදකවරයාය.

ධරණි වසන්ත විජේන්ද්‍රගේ නිෂ්පාදනයකි.


 උපාලි වෙනුවෙන් ඉල්ලීමක්

මේ වනවිට අතුරුදන්ව සිටින උපාලි කීර්තිසේන කලාකරුවාට කුමක් සිදුවී දැයි සොයා බැලීම සඳහා ඔහු වෙනුවෙන් ගොනු කළ පැමිණිලිවල පර්යේෂණ කටයුතු ඉක්මන් කරන ලෙස ලිඛිත ඉල්ලීමක් සියලු කලාකරුවන් එකමුතුවෙන් පොලිස්පතිතුමා වෙත භාරදීමට සූදානම් වෙයි. මෙම කටයුත්තේ පළමු අදියර ඉකුත්දා ප්‍රදර්ශි ආයතනයේ දී ආරම්භ විය. රංගන ශිල්පී අසංග පෙරේරාගේ මුලිකත්වයෙන් මෙම ලිඛිත ඉල්ලීම සම්පාදනය වන අතර තව නොබෝ දිනකින් එය පොලිස්පතිතුමාට බාරදෙන බව ඔහු සරසවියට සඳහන් කළේය.


හේලංකඩ වැඩ ඇරැඹෙයි

ධම්මික තිසේරා අධ්‍යක්ෂණය කරනු ලබන හේලංකඩ ටෙලි සිතුවමේ මුහුරත් උලෙළ පසුගියදා ගල්කිස්ස බීච් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

සිරිල් වික්‍රමගේ, අමිත්ත වීරසිංහ, ජගත් චමිල, පුබුදු චතුරංග, අනෝමා ජනාදරී, උමයංගනා වික්‍රමසිංහ, බර්ටි නිහාල් සුසිරිපාල, දයාසිරි හෙට්ටිආච්චි, සරත් කොතලාවල, දිලිනි ලක්මාලි, ජගත් මණුවර්ණ, ප්‍රියංකර රත්නායක, රිචඩ් වීරක්කොඩි, අංජන ප්‍රේමතිලක, හිමාෂි තාරුකා, පියුමි ඉමල්කා මෙහි රංගන දායකත්වය සපයති. සනිර දිනේෂ් අංග රචනයෙන් ද, ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂණයෙන් ද, සුනෙත් රසාංග සහාය අධ්‍යක්ෂණයෙන් ද සුසර සම්පත් කුරුවිට සහ කොට්ටාරමුල්ලේ චමිල නිෂ්පාදන කළමනාකරණයෙන් ද, සමිත ප්‍රනාන්දු සංස්කරණයෙන්ද, නවරත්න ගමගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද හේලංකඩ සඳහා දායක වෙති. නිශාන් හසිතගේ කැමරා අධ්‍යක්ෂණයකි.


සංස්ථාවේ ඩිප්ලෝමාව දිගු කරයි

ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් පවත්වනු ලබන සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලවේ අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කොට තිබේ. අපොස උසස් පෙළ සමත්වීම හෝ අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද මේ සඳහා සලකා බලනු ලබන අතර වැඩි විස්තර 0112585721 යන දුරකතන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිය.