වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ තරගයට සහභාගිවීමත් රටට ගෞරවයක්

මේ තරගයට සහභාගිවීමත් රටට ගෞරවයක්

සචිනි අයේන්ද්‍රා

පසුගියදා ඇමරිකාවට යාමට පෙර මම සචිනි අයේන්ද්‍රාව කතාවකට අල්ලා ගතිමි.

ඉතින් සචිනි කොහොමද?

හොඳින් ඉන්නවා. හැබැයි බිසී.

මොකද ඒ?

මං ඇමරිකාවේ යන්නනෙ හදන්නෙ.

ඒක දන්නවා. මොකද මේ හදිසියේම ගමරට දාලා යන්න හිතුණෙ?

අපොයි අපොයි මං ගමරට දාලා ඇමරිකාවේ පදිංචියට යනවා කියලද හිතුවෙ. එහෙම නෙවෙයි. මං පුංචි තරඟයකට ඇප්ලයි කළා. පුංචි කිව්වට පුංචිමත් නැහැ. මේක ජාත්‍යන්තර තරඟයක්. හරියට මිස් වර්ල්ඩ් වගේ.

ආහ්... ඒකටද මේ ඇමරිකාවේ යන්නේ?

ඔව්.

මොකක්ද තරඟයේ නම?

වර්ල්ඩ් චැම්පියන් ෂිප් ඔෆ් පර්ෆෝමිං ආර්ට්.

ඇමරිකාවේ කොහෙද ඔය තරඟය තියෙන්නේ?

ලොස් ඇන්ජලීස් නුවර.

කවුද සචිනිව මේ සඳහා යොමු කළේ?

මමමයි ඊට ඇප්ලයි කළේ. මං කලක සිට මේ සඳහා හොඳ අවධානයකින් හිටියා. මං එයට අයදුම්පත්‍රයක් යැව්වා. මං කළ නිර්මාණවල වීඩියෝ එහෙමත් ඔවුන් ඉල්ලලා තිබුණා. ඒවත් අයදුම් පත්‍රයත් එක්ක යොමු කළා.

මොන වගේ ප්‍රතිචාරයක් ද ඔවුන්ගෙන් ලැබුණේ?

මාව ඔවුන් තෝරාගෙන තිබුණා. සුදුසුකම් අතින් ඉතාම ඉහළයි. ඒ අය මට ආරාධනා පත්‍රය එව්වා.

රටවල් කීයකින් මෙම තරගයට අයදුම්කාරියන් සහභාගි වෙනවාද?

හැට පහකින් විතර.

ඔබට හොඳ තරඟයක් දෙන්න වේවි නේද?

ඔව්. මං ඒක දන්නවා. ලංකාවෙන් පළමු වතාවට තමයි මෙහෙම කෙනකු මේ තරඟයට සහභාගි වන්නේ. එක අතකින් පොඩි චකිතයකුත් තියෙනවා.

ඔබ මෙරට ජනප්‍රිය නිළියක්. එහෙව් තත්ත්වයක් මත මෙයට ඇප්ලයි කරන්න යම් දෙගිඩියාවක් තිබුණේ නැද්ද?

මේක ක්‍රීඩාවට ඔලිම්පික් වගේ තරඟාවලියක්. නිකම් හිතන්නකෝ ඔලිම්පික් කියන්නේ කොහොම තැනක් තියෙන තරඟාවලියක් ද කියලා. ඉතින් මං වගේ කෙනෙකු මෙයට සහභාගි වන්නට ලැබීම එක්තරා අතකින් රටටත් භාග්‍යයක්. ක්‍රීඩිකාවෝ ඔලිම්පික් යන්න බය වෙන්නේ නැහැනෙ. ඒක ඇයට ආඩම්බරයක්. මේකත් එහෙම තමයි.

මෙයින් ජයග්‍රහණය ලබන කෙනාව හඳුන්වන්නේ මොන නමින්ද?

මෙහෙමයි, තරගකාරී අංශ හතරක් තියෙනවා. ඒ රංගන අංශය, මෝස්තර නිරූපණ අංශය, නර්තන අංශය සහ සංගීත අංශය. මේවායින් දිනුම ලබන තැනැත්තා තරඟාවලියේ නාමයත් සමඟ ඒ කැටගරි එකේ නම ඇතුළත් කරලා හඳුන්වනවා.

ඔබ කලෙකින් රඟපෑවේ නැත්තේ ඇයි?

පවුල් ජීවිතයට මුල්තැන දුන්නා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. එයාලගේ වැඩ කටයුතු වෙනුවෙන් මගේ කාලය කැප කළා.

සචිනි තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කළ දා එය සැමරූ අවස්ථාව. උදාරි පෙරේරා, සංගීතා වීරරත්න සහ වීණා ජයකොඩි පසෙකින් වෙති.

ඔබට රංගනයට අනන්තවත් ආරධනා ලැබෙන්නට ඇති?

ඔව්.

ඒවා අත හැරියේ හිතකින් නෙවෙයි නේද?

ඒත් මොනවා කරන්නද. හැබැයි ඉදිරියේදී හොඳ චරිතයක් හරහා රඟපාන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ඔහොම නොපෙනී ඉන්න එක ඔබගේ ප්‍රේක්ෂකයන්ට කරන බලවත් අසාධාරණයක් නොවේද?

අසාධාරණයක් නම් තමයි. මං ඒක පිළිගන්නවා. නමුත් මං එක දෙයක් දන්නවා.

ඒ මොකක්ද?

මං නිර්මාණ සඳහා කොතරම් අඩු දායකත්වයක් ලබා දුන්නත් මගේ ජනප්‍රියත්වය බිඳක් හෝ අඩු නොවෙනවා කියන කාරණය. මගේ වටා ප්‍රේක්ෂකයෝ සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් මට හරි ආදරෙයි. තැනකට ගියත් මාව වට කර ගන්නවා රසික රසිකාවන්. ඉතින් මට ඒ ඇති.

සැබෑ ජීවිතයේ මවක් වුණාට ඔබ දැඩිව කැමැත්තෙන් ඉන්නේ පෙම්වතියගේ චරිතය රඟපාන්නලු?

ඇයි මට පෙම්වතිය වෙන්න බැරිද? මට පහුගිය කාලේ වැඩි පුරම ආරාධනා ලැබුණේ පෙම්වතියගේ චරිතයට තමයි. මවක් වුණත් පෙම්වතිය වන්නට මං පැකිළෙන්නේ නැහැ.

සචිනි ඉතාම කෙටි කලක් ඇතුළත කොණ්ඩා මෝස්තර වෙනස් කරනවා. ඒ වගේම ඇඳුම් පැළඳුම් පවා?

ඒ මගේ හැටි. මගේ ලොකුම ආශාව විලාසිතා කිරීම.

විමෝදාංශයද?

නැහැ, නැහැ ආසාව පමණයි. කොණ්ඩා මෝස්තර දානවා. ඇඳුම් විලාසිතා මාරු කරනවා. ඒකට මං කැමැතියි.

සචිනි හරිම ආම්බරකාරියක් වගේ බැලූ බැල්මට පේනවා.

ආඩම්බරකමට නෙවෙයි, හරිම අඩුවෙන් තමයි කෙනකු එක්ක කතා කරන්නේ. දැන් හොඳයි. ක්ෂේත්‍රයට ආව මුල්ම කාලේ කතා කළේම නැති තරම්. කාලය ගත වෙද්දී මට හිතුණා එහෙම ඉන්න එක හරි නෑ කියලා. දැන් බහුතරයක් එක්ක මං කතා කරනවා.

එහෙමනම් වර්ල්ඩ් චැම්පියන් ෂිප් ඔෆ් පර්ෆෝමිං ආර්ට් තරගාවලියේ ඉහළ ජයක් ලබන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා?

බොහොම ස්තූතියි. මා ඉන් කුමක් හෝ දිනුමක් ලැබුවත් මං සලකන්නේ එය අපේ රටට ලැබෙන ගෞරවයක් හැටියට.