වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




එදා බටහිර තිරය රසවත් කළ බඩ් ස්පෙන්සර් මිය යයි

එදා බටහිර තිරය රසවත් කළ බඩ් ස්පෙන්සර් මිය යයි

පසුගිය ජූනි මස 27 වැනිදා ඉතාලියේ රෝම නගරයේදී මෙලොවින් සමු ගත් බඩ් ස්පෙන්සර් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගත් ඉතාලි ජාතික නළුවෙක්, චිත්‍රපට නිර්මාණකරුවෙක් විය. නමුත් ඔහු කලා ක්ෂේත්‍රයට පමණක් සීමා නොවු චරිතයක් නොවීම විශේෂත්වයකි. වෘත්තීය පිහිනුම් සූරයකු වූ ඔහු නීතිඥවරයෙකු ද විය. 1929 වසරේ ඔක්තොබර් 31 වැනිදා ඉතාලියේ නේපල්ස් හිදී උපත ලද ඔහුගේ සැබෑ නම කාලෝ පෙදසොලි නම් විය. රෝමයේ සැපින්සා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු අධ්‍යාපනය ලැබූයේ රසායන විද්‍යා අංශයෙනි. 1947 වසරේදී පෙදසොලි සිය පවුලේ සාමාජිකයන් සමඟින් දකුණු අප්‍රිකාව බලා පිටත් විය.

ඔහු යළි ඉතාලියට පැමිණියේ 1949 වසරේදී එරට පැවැති ජල පෝලෝ තරගාවලියක් වෙනුවෙනි. එහිදී ඔහු නිදහස් ආර සහ සහය පිහිනුම් ඉසව්වලින් ජයග්‍රහණ අත් කරගැනීමට සමත් විය. පෙදසොලි තරුණ පිහිනුම් ක්‍රීඩකයෙක් ලෙසින් නිදහස් ආර ඉසව්ව මිනිත්තුවකට අඩු කාලයකින් නිම කළ ප්‍රථම ඉතාලි ජාතිකයා ද වේ. පිහිනුම් අංශය යටතේ ජාත්‍යන්තර මට්ටමෙන් පදක්කම් රැසක් දිනාගත් පෙදසොලි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පවා නියෝජනය කරමින් දක්ෂතා දක්වා ඇත. ඔහුගේ පිහිනුම් වෘත්තිය 1957 වසරේදී හදිසියේම අවසන් විය.

පෙදසොලි සිය රංගන ජීවිතය ඇරඹූයේ 1950 වසරේ තිරගත වූ හාස්‍යමය චිත්‍රපටයක් වන Quel Fantasama di mio marito  සමඟිනි. 1951 වසරේදී ඔහු Quo Vadis  හි රෝමානු අංගාරක්ෂකයෙකුගේ චරිතයට පණ පෙවීය. එය ඉතාලියේ රූගත කළ වීර කතාවක් රැගත් චිත්‍රපටයක් විය. 1950 දශකයේ සිට 60 දශකය දක්වා පෙදසොලිට හිමි වූයේ ඉතාලියානු චිත්‍රපටවල කුඩා චරිතයන්ය. මේ අතරට මාරියෝ මොනිසොලිගේ A Hero of Our Times චිත්‍රපටය සහ 1954 වසරේ තිරගත වූ යුදමය කතාපුවතක් ගෙන එන Human Topidos  චිත්‍රපටය ද ඇතුළත් වෙනවා.

1960 වසන්ත ඔලිම්පික් තරගාවලිය අවසානයේදී ඔහු මාරියා අමාතෝ සමඟින් විවාහ විය. ඇය ඉතාලි චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන ගුයිසෙපේ අමාතෝගේ දියණිය යි. පෙදසොලි මාරියා කැදැල්ලට දරුවන් තිදෙනෙක් එක් විය.

1967 වසරේදී තිරගත වූ God Forgives ... I Don’t  චිත්‍රපටය පෙදසොලිගේ ජීවිතයට ලොකු බලපෑමක් කළ චිත්‍රපටයක් බවට පත් විය. මෙහිදී ඔහුට තවත් තරුණ නළුවෙකු වන මාරියෝ ගිරොට් මුණ ගැසුණි. මෙම චිත්‍රපටය බටහිර චිත්‍රපටයක් බැවින් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඔවුන් දෙදෙනාගේ නම් වෙනස් කිරීමට අවශ්‍ය බව දන්වා සිටීමත් සමඟ පෙදසොලි බඩ් ස්පෙන්සර් ලෙසත් මාරියෝ ටෙරන්ස් හිල් නමත් තෝරා ගත්තා. බඩ් යන්න ‘බඩ් වීසර්’ බියර් වලිනුත් නළුවෙකු වූ ස්පෙන්සර් ට්‍රේගේ නමින් ස්පෙන්සර් යන්නත් එක්කොට බඩ් ස්පෙන්සර් යන නාමය තමා හැඳින්වීමට යොදා ගැනීම ඔහුගේ තීරණය විය.

ස්පෙන්සර්ට මීට පෙර ටෙරන්ස් හිල් මුණ ගැසි තිබුණේ 1959 වසරේ Hannibal චිත්‍රපටයේදීය. මේ දෙදෙනාගේ රංගන සුසංයෝගය අපූරුවට ගැලපී තිබුණි. එසේම මේ දෙදෙනා එක්ව රඟපෑ චිත්‍රපට ඉහළ ප්‍රසිද්ධියක්ද ළඟාකර ගන්නට සමත් විය. ඒ අතර Boot Hill, They Call Me Trinity, Blackie the Pirate, TwonMissionaries, Crime Busters, Go For It, Troublemakers වැනි චිත්‍රපට වේ. මෙරට ප්‍රේක්ෂකයන් පවා ඔවුන්ගේ චිත්‍රපට ඉතා ආසාවෙන් නැරඹීය. ඔවුන් දෙදෙනා එක්ව චිත්‍රපට විස්සකට අධික සංඛ්‍යාවකට රංගන දායකත්වය ලබා දී ඇත. වරෙක සම්මුඛ සාකච්ඡාවකදී ස්පෙන්සර්, ටෙරන්ස් හිල් ගැන පවසා සිටියේ මෙවැන්නක්. “ඔහු මට සහෝදරයෙක් වගේ. සහෝදරයන් සේම සෑම අවස්ථාවකදීම අපි එකඟ වෙන්නේ නැහැ. ඇතැම් විට ඔහු මහා කරදරයක්. මා සිතන අන්දමට අපේ බැඳීම චිත්‍රපටවලින් පවා දිස් වුණා. අපේ චිත්‍රපට ඉහළ ප්‍රසිද්ධියක් ලබන්නත් එය හේතු වෙන්න ඇති. ඇත්තටම අපි දෙදෙනා එකට වැඩ කිරීම පිළිබඳ සතුටුයි”. Man Army, The Fifth Day of Peace, They Call Him Bulldozer, Everythin Happens to Me,Bomber වැනි චිත්‍රපට බඩ් ස්පෙන්සර්ගේ රංගනයෙන් ඉහළ ප්‍රසිද්ධියක් ලද චිත්‍රපට වේ.

ඔහු තමන් දායක වූ ඇතැම් චිත්‍රපට තිර රචනයට පවා දායක වී තිබෙනවා. 1983 වසරෙන් පසුව ඔහුගේ සිනමා ජීවිතය මන්දගාමි ස්වරූපයක් ගත්ත ද රූපවාහිනි නාට්‍යයක් වූ Extralarge හි ඔහුගේ රංගනය දැකගත හැකි විය. 2011 වසරේදී ඔහුගේ චරිතාපදානය නිකුත් වූ අතර ඔහු විසින් තම ප්‍රියතම කෑම වර්ග ඇතුළත් සූපවේද කෘතියක්ද එළිදැක්වූවා.