වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




හදවත් රෝගී දරුවන්ට ආධාර පිණිස

හදවත් රෝගී දරුවන්ට ආධාර පිණිස

‘නර්තන සෙව්වන්දි’ ගී ප්‍රසංගය 16 ටවර් රඟහලේදී

මිනිස් සබඳතා ගොඩ නැඟෙන්නේ එකිනෙකාගේ හදවත්වල ඇති ආදරණීයත්වයත් සමඟයි. අපේම හදවතත් සමඟ වුණත් අපට තිබෙන්නේ ගැඹුරු බැඳීමක්. හදවතක් නොමැති සේ ජීවත්වන මිනිසුන් මේ ලෝකේ කොයි තරම් සිටියත්, හදවතට එකඟව සියලු මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කරන මිනිස්සුත් මේ ලෝකයේ කොතෙකුත් ඉන්නවා. මේ කතාවත් එවැනි මිනිසුන් කිහිප දෙනෙකුගේ උදාර කර්තව්‍යයක් වෙනුවෙන් සටහන් වන්නක්.

මෙරට සංගීත ක්ෂේත්‍රයේ දීර්ඝතම ඉතිහාසයක් ඇති පරපුරකින් පැවත එන ඈ සධානා රණතුංග. ඈ උපන්නේ සන්දනායක පරපුරේ ලේ උරුම කරගෙන. දයා හේමන්තා අබේසේකර ඇගේ ආදරණිය මව සේම වසන්තා සන්දනායක ඇගේ දයාබර මිත්තණිය. ලාංකේය සංගීතය තුළ විශිෂ්්ට ලකුණක් වන රණතුංග පවුලේ (දයාරත්න - අමරා) ලේලිය වන ඈ විශිෂ්ට පරපුර ද්විත්වයක් යා කළ සෙනෙහෙබර පාළමක්. ශාස්ත්‍රීය සංගීතය තුළ විශිෂ්ට මං සලකුණු සනිටුහන් කරමින් 'සංගීත් නිපුන්' තත්ත්වයට ඈ ළඟා වූයේ පුරා වසර ගණනාවක අධ්‍යයනයත්, අභ්‍යාසයත්, ඈ සතු සහජ දක්ෂතාවයත් නිසාවෙන්. සංගීත් නිපුන් සධානා රණතුංගට එක්තරා උත්සවයකදී හමුවන මිතුරියක් නිසාවෙන් අද අප මාතෘකා කරගන්නා මෙම කතාවේ මූලාරම්භය සිදු වී ඇත. මේ යෙහෙළිය වෘත්තියෙන් ළමා රෝග පිළිබඳ වෛද්‍යවරියකි. වෛද්‍ය වෘත්තිය පිහිටියා සේම, කලාවද ඇගේ දෛවය ඇයට තිළිණ කර දි තිබිණ. වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි වූ ඇය වෛද්‍ය වෘත්තිකයන් අතරින් නර්තන විශාරද උපාධියක් ලබාගත් පළමු තැනැත්තිය ද වූවාය. උදුම්බරා සහ සධානා සුසංයෝගයෙන් අවසානයේ නිර්මාණය වන්නේ 'නර්තන සෙව්වන්දි' සංගීත ප්‍රසංගයයි.

දිනය හරියටම ජූලි මස 16 වැනි සෙනසුරාදාය. සවස 6.00 ට කොළඹ මරදාන ටවර් රඟහලේදී 'නර්තන සෙව්වන්දි' සංගීත ප්‍රසංගය දොරට වඩී. සංගීත් නිපුන් සධානා සමඟ විශාරද ජගත් වික්‍රමසිංහ, උරේෂා රවිහාරි සහ දයාන් විතාරණ මෙහිදී ගී ගැයීමට නියමිතය.

'අපි මේ සංගීත ප්‍රසංගය කරන්නේ හදවත් රෝගී කුඩා දරුවන්ට ආධාර පිණිසයි. මේ ප්‍රසංගයෙන් ලැබෙන සියලු මුදල් ඔවුන් වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මෙවැනි ප්‍රසංගයක් කරන්න මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි නිසයි. අපි දෙන්නා ඉස් ඉස්සෙල්ලා දැන හඳුනා ගත්තේ චින්තා වික්‍රමසිංහ මහත්මිය සංවිධානය කළ භජන් ගීත වැඩ සටහනකදීයි. එතුමිය මට ආරාධනා කරලා තිබුණා ගීතයක් ගායනා කරන්න. එදා වෛද්‍ය උදුම්බරාත් එතැනට ඇවිත් හිටියා. මම ගීතය ගායනා කරල ආවට පස්සේ උදුම්බරා මගේ ළඟට ඇවිත් කතා කළා. ඊට පස්සේ අපි දෙන්නා යාළුවෝ වුණා. ටික දවසකින් එයා මට ඛ්චතත කරලා කිව්වා සරස්වතී ගීතයක් ලිව්වා. ඒක මගේ හඬින් කියනවා නම් කැමැතියි කියලා. මමත් ආසාවෙන් හිටියේ සරස්වතී ගීතයක් ගායනා කරන්න. ඒ අනුව ඇගේ වචනවලට මම තනුවක් නිර්මාණය කරලා ආචාර්ය රෝහණ වීරසිංහ ලවා සංගීතය නිර්මාණය කර ගත්තා. ඒ ගීතයෙන් තමයි මේ ප්‍රසංගය ආරම්භ වෙන්නේ.'

එක් සිත් ඇති අය එක් වුණාම ලොකු ලොකු දේවල් කරන්න පුළුවන්. ඒකට හොඳ උදාහරණයක් උදුම්බරා සහ සධානා. දෙන්නටම ඇති වුණේ තම හැකියාවෙන් සරණක් අවැසි අයවලුන්ට සරණක් වෙන්න. ඒ අනුව තමයි හදවත් රෝගී කුඩා දූ දරුවන් වෙනුවෙන් ඔවුන් මේ ප්‍රසංගය නිර්මාණය කළේ. ඒ සඳහා උරේෂා රවිහාරිත්, දයාන් විතාරණත්, ජගත් වික්‍රමසිංහත් එක සිතින්ම අත්වැල් බැඳගත්තා.

'මේ වගේ ප්‍රසංගයක් දිගින් දිගටම කරන්න අපේ ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. කොළඹ අවට විතරක් නෙවෙයි කොළඹින් පිට වුණත් මේ ප්‍රසංගය පවත්වන්න පුළුවන්. ඉදිරියේදී ලැබෙන ප්‍රතිචාර හා පහසුකම් අනුව ඒ ගැන හිතන්න හැකියි. අපි කලාකරුවන් වශයෙන් නිර්මාණ බිහි කරනවාට අමතරව මෙවැනි සමාජ සුබසාධන වැඩවලත් යෙදිය යුතුයි. මට හිතෙනවා මේ අවස්ථාව මගෙන් ඉටු විය යුතු යුතුකමක් ඉටු කරන්න ලැබෙන අවස්ථාවක් කියලා.'

සධානා මේ සමාජ සත්කාරය සඳහා එක්වන්නේ ඇගේ කාර්යබහුල ජීවිතය තුළයි. අධ්‍යාපන කටයුතු, සංගීත ප්‍රසංග කටයුතු, ඉගැන්වීමේ කටයුතු මෙන්ම පවුලේ වගකීම් ද ඈ අතින් මේ අතරම ඉටු වෙනවා. නර්තන සෙව්වන්දි ප්‍රසංගය සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අවසරය හා ආශිර්වාදය ඈට නොඅඩුවම හිමි වූ බව ද සඳහන් කළා. මෙම ප්‍රසංගයේදී සරස්වතී ගීතයට අමතරව ඇගේ පරම්පරාවේ ප්‍රවීණයන් ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක් ද ඈ විසින් ගායනා කරනවා.

'මේ ප්‍රසංගයේදී මා ගායනා කරන සරස්වතී ගීතයට අමතරව රසික රසිකාවන්ගේ ඉල්ලීම පරිදි මගේ පරම්පරාවේ ප්‍රවීණයන් ගැයූ ගීත කිහිපයක් ද ගායනා කරනවා. මගේ ස්ව නිර්මාණ මේ වෙනකොට සෑහෙන ප්‍රමාණයක් තිබුණාට විශේෂ ඉල්ලීම් එන්නේ පැරැණි ජනප්‍රිය ගීත සඳහායි. ඒ නිසා ඒ රසික ඉල්ලීම් අපට ඉවත දමන්නත් බෑ. ඉදිරියේදී ස්ව නිර්මාණ කිහිපයක් එළි දක්වන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා.

අතීතයේදී අපි රසවිඳි සධානාගේ මිත්තණිය, අම්මා ඇතුළු ඥාති පිරිස ගායනා කළ ගීත නව පරපුරට ඇහෙන්නේ සධානාලාගේ හඬින්. ඒවා නැවත නොගැයුණා නම් වර්තමාන පරපුරට එම ගීත කිසිදා රස විඳින්නට ඉඩක් නොමැති වන්නට තිබුණි. ඒ අතින් ඔවුන් කරනුයේ එක්තරා අන්දමක සේවයකි. සංගීත ක්ෂේත්‍රයට නව නිර්මාණ බිහි කරනවා සේම සමාජ සත්කාරයක් සඳහා නොපැකිළව සිය දායකත්වය දක්වන සොඳුුරු හදවත් ඇත්තන් සැබැවින්ම අගය කළ යුතුය.