වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කැලුම්ගෙන් අන්තර්ජාලයට මීදුම් වෑහෙන කඳුයායේ

කැලුම්ගෙන් අන්තර්ජාලයට මීදුම් වෑහෙන කඳුයායේ

වරකාපොලින් බිහි වුණ නව පරපුරේ යොවුන් ගායකයකු වන ලුම්බිණි කැලුම් බාලසූරිය රසිකයන් වෙනුවෙන් මීදුම් වෑහෙන කඳුයායේ ගීතය විරහ ගීතයක් වශයෙන් අන්තර් ජාලයට මුදා හැර ඇත. එය රසික රසිකාවියන්ට දැන් රස විඳීමේ අවස්ථාව උදා වී ඇත.

මෙම ගීතය කැලුම් බාලසූරිය විසින්ම පද රචනය කර ගායනා කරන අතර ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ප්‍රියන්ත නාවලගේ විසින් සංගීතවත් කොට ඇත. දක්ෂ ගායන ශිල්පියකු වන කැලුම් බාලසූරිය ඉදිරියටත් ඔබ වෙනුවෙන් නව නිර්මාණ ඉදිරිපත් කිරීමට බලාපාරොත්තුවෙන් සිටී. රසික රසිකාවියන්ගේ නව ගී රචනා තමන් වෙත යොමු කරන ලෙස කැලුම් ඉල්ලීමක් ද කෙරේ. ප්‍රේමයේ විරහව පිළිබඳව කියවෙන මෙම ගීතය සිය පෙම්වතා පෙම්වතිය දුරස් වී යාමෙන් තම හදවතේ ජනිත වූ ප්‍රේම විරහා දුක කියන මේ ගීතය ඔබටත් රස විඳින්නට Youtube තුළින් දැන් හැකියාව ලැබී ඇත.

මීදුම් වෑහෙන කඳුයායේ
තෙලි තුඩ රැඳිලා මගෙ සුරතේ
ඔය රූ ඡායා සිත්තම් වෙනවා
කඳුළින් නිම වුණු ප්‍රේම කතාවේ...

හදවත ඉකිබිඳ කඳුලැල් වැටිලා
සිත්තම් වන රුව බොඳ වී යනවා
තරු ඇස් ළඟ මා තනිවුණු මොහොතේ
පෙම් කළ හදවත ඉකි බින්දා...

ලස්සන මුහුණට තිලකේ තියන්නට
නොහැකි වුණා මට මේ භවයේ
ඉස්සර විලසින් කඳුළැල් සඟවා
බලන්න තිලකය තියෙන අගේ

මීදුම් වෑහෙන කඳුයායේ...

 


රැවුල වැවුවේ රංගනය වෙනුවෙන්මයි

ලලිත් විජේරත්න

ලලිත් විජේරත්න කලක සිට රංගනයේ යෙදෙන අයෙකි. පවන රළු විය සිනමාපටයෙන් ඇරැඹි ඔහුගේ රංගන ජීවිතයට මේ වන විට වසර විසි පහකි.

පවන රළු විය සඳහා මට කතා කළේ රංජිත් කුරුප්පු මහත්තයා. ඔහුගේ මඟ පෙන්වීම යටතේ රඟපාද්දී මට මනා අවබෝධයක් ගන්න පුළුවන් වුණා. ඒ කාලේ මං රැකියාව කලේ පොලීසියේ. කාලයත් සමඟ මං රැකියාවෙන් ඉවත් වුණා. මේ වන විට මං වෘත්තියෙන් ගොඩනැඟිලි සාදන වැඩ කටයුතු කරන්නේ. මට ඉඩ ප්‍රස්තාව හුඟක් තියෙනවා රංගන කටයුතුවලට. ඔන්න බබෝ, රන්ජා, ගින්දරී, මධුර චාරිකා, බන්ධනය, තානාපතිලගෙ ගෙදර මං රඟපෑ චිත්‍රපට කිහිපයක්. පසුගිය දිනවල මීදුමෙන් එහා, සෙල්ෆි, T 20 ආදී නාට්‍යවල රඟපෑවා. මං මේ මගේ රැවුල වවලා තියෙන්නේ රංගනය වෙනුවෙන්මයි. එතකොට මට චරිත ලැබෙනවා වැඩියි. හොඳ ඉල්ලුමක් තියෙනවා එතකොට චරිත සඳහා. මගේ ගම පන්නිපිටියේ මාකුඹුර. ගොඩනැඟිලිවල වැඩ කටයුතු නිසා රට වටා යනවා. එතකොට ලස්සන දර්ශන තල ලැබුණාම මං මගේ හිතවත් නිර්මාණකරුවන්ට කියනවා. මගේ අදහස දිගටම රඟපාන්න. ඒක මගේ හිතට හයියක් වගේම සැනසීමක්. උදයකාන්ත මහත්මයා මාව ඔහුගේ ඊළඟ චිත්‍රපටයට ගන්නවා කියලා කිව්වා. එහි රඟපාන්න මා ඉතාම කැමැත්තෙන් ඉන්නවා. මට උදවු කරපු අය අතරින් උදයාකාන්ත වර්ණසූරිය, මොහාන් හෙට්ටිආරච්චි, දිනේෂ් ප්‍රියසාද්, වේහැල්ලේ පියතිලක, ප්‍රියන්ත පතිරගේ, සිසිල් ගුණසේකර, විල්මන් සිරිමාන්න සහ සඳුන් කුමාර විශේෂයි.

මේ ලලිත්ගේ දුරකතන අංකයයි 0771894542