වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




කයිරෝවෙන් ලැබුණු සම්මානය පුංචි බොරැල්ලේදී අතුරුදන් වෙයි

කයිරෝවෙන් ලැබුණු සම්මානය පුංචි බොරැල්ලේදී අතුරුදන් වෙයි

චිත්‍රපට ක්ෂේත්‍රයේ අපට චිත්‍රපට නිෂ්පාදකවරු රාශියක් හමු වී තිබේ. ඔවුන් අතුරින් මානව ගුණයෙන් යුතු මහත්මා නිෂ්පාදකවරුන් මුණ ගැසෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසකි. එවැනි පිරිසක් සෙවීමේ නිශ්ඵල උත්සාහයක මම යෙදුනෙමි. එයට නිමිත්ත වූයේ එවැනි උතුරා යන මානව දයාවකින් යුතු නිෂ්පාදකයෙකු වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතාගේ 37 වැනි ගුණානුස්මරණය ඊයේ යෙදී තිබුණ බැවිනි. මගේ 50 වසරක සිනමා පුවත්පත් කලා ජීවිතයේ හමු වූ හොඳම රසවතා ඔහුය. 1970 දසකයේදී සිනමාස් සමාගමේ ප්‍රකාශනයක් වූ 'කලා' සඟරාවේ' සංස්කාරක ආරියරත්න කහවිට මට අපූරු මිතුරෙකු හඳුන්වා දුන්නේය.

'මේ ධර්මසිරි. ඩබ්ලිව්. ඒ. ධර්මසිරි. අපේ සුමතිපාල මහත්තයාගේ මස්සිනා.'

ධර්මසිරි නම් ඒ කාල වර්ණ දේහයකින් යුතු උත්තුංග දේහධාරී පුද්ගලයාගේ දකුණු අතට මගේ අත හසු විය. එසේ අල්ලා ගත් අතට වසර 45 වසරක් සපිරී ඇත්තේ ඔහු එතරම් මගේ ජීවිතයට බද්ධවීම නිසාය. ධර්මසිරි හැටේ දසකයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ලෙස දස්කම් පෑ අයුරු මට යාන්තම් මතකය.

'සුමතිපාල මහත්තයා චිත්‍රපටයක් කරනවා. 'උන්නත් දාහයි මළත් දාහයි' කියලා. විජය, මාලිනී, ජෝ, ස්වර්ණා ප්‍රධාන චරිත රඟපාන්නේ'

මා ධර්මසිරිට හඳුන්වා දෙමින් කහවිට කිවේය.

'රංජිත්, අපේ මස්සිනා (සුමතිපාල මහතා) හම්බ වෙලා තියෙනවද' ධර්මසිරි මගෙන් ඇසීය.

'නෑ දැකලා තියෙනවා. හමුවෙලා කතා කරල නෑ'

මම මගේ මතකය අවදි කර ගත්තෙමි. 1964 වසෙර්දී (මට එවකට වයස 16 කි.) කොළඹ නාගරික මැතිවරණයකදී මා සුමතිපාල මහතා දැක තිබුණි. මා උපන් කොස්ගස් හන්දිය එවකට අයත්ව තිබුණේ නිව්බසාර් නාගරික කොට්ඨාසයටය. මේ මැතිවරණයේදී මේ අසුනට එක්සත් ජාතික පක්ෂයෙන් එම්. වින්සන්ට් පෙරේරාත්, කොමියුනිස්ට් පක්ෂයෙන් කමලසීලී මහත්මියත් ඉදිරිපත් වූහ. කමලසීලී මහත්මියට ශක්තියක් වූ ඇගේ වැඩිමල් සොහොයුරා සුමතිපාල මහතා එදා ඇගේ ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණ ගත්තේය. මැතිවරණයේදී වින්සන්ට් පෙරේරා නම් මගේ ඥාතියා වැඩි ඡන්දයෙන් ජය ගත්තේය. එහෙත් සුමතිපාල මහතා පක්ෂ භේදයකින් තොරව කොස්ගස් හන්දියේ මිතුරන් ඇසුරු කළේ බඩ බැඳගෙනය.

උග්‍ර සමසමාජ පාක්ෂිකයකු වූ සුමතිපාල සහෝදරයා යූ. ඇන්. පී. කාරයන්ගේ ද සහෝදරයාම විය. ඔහු ජාතිවාදය පිටු දැක්කේය. හොඳම නිදසුන කොස්ගස් හන්දියේ පදිංචිව සිටි බිලියඩ් ස්නූකර් ක්‍රීඩාවට දස්කම් පෑ එම්. ජේ. එම්. ලාෆීර්ට බොම්බායේ 1973 පැවති ලෝක ස්නූකර් තරගයට ඉදිරිපත් කිරීමට ආර්ථික ශක්තිය වූයේ සුමතිපාල මහතා බව නොරහසකි. ලාෆීර් ලෝක ශූරතාව දිනා පැමිණි පසු ද ඔහු පිටුපස සිටි බලවේගය සුමතිපාල මහත්මයාය.

සුමතිපාල මහතා මා හඳුනා ගත්තේ මස්සිනා වූ ධර්මසිරි නිසාය. එතැන් සිට 'උන්නත් දාහයි මළත් දාහයි' චිත්‍රපටය ගැන විශේෂාංග කිහිපයක් මම ද ලීවෙමි. එදා සුමතිපාල මහතාගේ නිවසට මා මෙන්ම පැමිණි මගේ සහෝදර පත්‍රකලාවේදීන් වූ ඩී. කිරගලආරච්චි, තිලක් රත්නායක, බන්දු එස්. කොඩිකාර, කුමාර් උක්වත්තගේ, ඩබ්ලිව්. ජී. කේ. නවරත්න, රොඩ්නි විදානපතිරණ මට මතක් වන නම් කිහිපයකි. අප සැම සම්බන්ධීකරණය කළේ ධර්මසිරිය. සුමතිපාල - මිලිනා යුවළ අපට කළ ආගන්තුක සත්කාර අනන්තය. අප්‍රමාණය. ඇතැම් විට සුමතිපාල මහතා අප සහෝදර පත්‍ර කලාවේදීන් ගෝල්ෆේස් හි ඇන්ග්ලස් ක්‍රීඩා සමාජයට කැඳවා සංග්‍රහ කොට ලෝක ශූර ලාෆීර්ගේ බිලියඩ් ප්‍රහාර ප්‍රදර්ශනාත්මකව ඉදිරිපත් කරන දුර්ලභ අවස්ථාව උදා කර දුන්නේය.

'මුදලාලි මහත්තයා 'උන්නත් දාහයි මළත් දාහයි' කියලා චිත්‍රපටයට නම දැම්මේ මොකද කියා මම වරක් ඔහුගෙන් ඇසුවෙමි.

'ඇතාගේ වටිනාකම අනුවයි මේ නම දැම්මේ. ඇතෙකුගේ දළ යුවළක් (1970) රුපියල් දාහක් පමණ වෙනවා. ඇතා ජීවතුන් අතර සිටියත් මිය ගියත් දළ යුවළ එකම මිලයි. රුපියල් දාහයි. මේ අරුත චිත්‍රපටයෙන් මතුවන නිසා ඒ නම තිබ්බා. ඔහු පිළිතුර දුන්නේය.

එකල සුමතිපාල නිවස කලාකරුවන්ගේ තොතැන්නක් විය. එහි මුල් තැන ලැබුණේ එඩී - රුක්මණී යුවළටයි. රුක්මණීගේ ගීතවලට දැඩි ලෙස ඇලුම් කළේ සුමතිපාල මහත්මියයි. ඇතැම් රාත්‍රියක රුක්මණී ගයන පැරණි චිත්‍රපට ගීත නිවස පුරා සිසාරා යයි. සංගීතයෙන් තොරව ඇය ගැයුවාය.

'නින්දේදී රාත්‍රී යානේ

පෙනේ රූප ඡායා'

'ඩේසි තවත් එකක් කියන්න' සුමතිපාල මහත්මියගේ ඉල්ලිම් රුක්මණී ඉටු කරන්නේ නිහතමානීව සිනාසෙමිනි.

මේ අවස්ථා දැක ගැනීමට උදාවීම මා සලකන්නේ භාග්‍යයක් ලෙසය. වරෙක විජය, මාලනී, ජෝ, රෙක්ස්, ටෝනි, ජෝතිපාල, මිල්ටන්, ලෙනින්, ශාන්ති කහවිට ආදීහු සුමතිපාල යුවළගේ ආරාධනයෙන් එහි පැමිණෙති. සුමතිපාල මහතාගේ ප්‍රියතම නළුවන් වූයේ විජය සහ ටෝනිය. ජෝතිපාල ගීතයක් ගයන විට මිල්ටන් පෙරේරා මේසයකට තට්ටු කරමින් තාලය ඇල්ලුවේය.

'අයිසේ, සේන අර තමුසෙගේ ජනප්‍රිය ගීතයෙන් සාජ්ජේ පටන් ගම්මු' සුමතිපාල මහතා තමා හිතවත් ගායන ශිල්පී කේ. සේනට කියයි.

'මවකගේ උණුසුම නොලබා

සැපට නිදන පුතේ'

සුමතිපාල මහතා 'උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටයේදී අධ්‍යක්ෂවරයාගෙන් (ලෙනින්) එක ඉල්ලීමක් කළේය. 'සේනට ගීතයක් දෙන්න'. සරත් දසනායකගේ මියුරු ගීතාවලියේ ('රන් දුනු හී දරා' -'නිල්මිණි සැංගී පාවේ, 'මා පෙර දිනක නොමැත ලියාල' අතර කේ. සේන ගැයූ 'උන්නත් දාහයි මළත් දාහයි ආවත් දාහයි ගියත් දාහයි' ගීතය තේමා ගීතය විය.

'උන්නත් දාහයි මළත් දාහයි' චිත්‍රපටය වාණිජ අතින් සාර්ථක වු පසු සුමතිපාල මහතා නිෂ්පාදනය කළේ 'අහසින් පොලවට' චිත්‍රපටයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1979 තුන්වන කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී තුන්වන ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස ඇක්නටන් (ඒම්ඩ්ව්ඒඊර්‍ණව්) සම්මානයෙන් පිදුම් ලැබ එම සම්මානය රැගෙන ටෝනි රණසිංහ හා ඩබ්ලිව්. ඒ. ධර්මසිරි සුමතිපාල නිවසට පැමිණි දින හවස මම එහි ගියෙමි. සුමතිපාල මහතා එදා තරම් සතුටින් සිටි දිනක් තම ජීවිතයේ නොවූ බව මිලිනා සුමතිපාල මහත්මිය අපට කීවාය. සතුට වැඩිව සිගරට් එකක් පිට එකක් දල්වාගෙන සුමතිපාල මහතා තමා ලැබූ සම්මානය අතැතිව 'සරසවියේ' ඡායාරූප ශිල්පී බන්දු කොඩිකාරගේ කැමරාවට මුහුණ දුන්නේය.

එදා සුමතිපාල මහතා සමඟ මා කළ සම්මුඛ සාකච්ඡාව 1978 ඔක්තොබර් 25 වෙනිදා 'සරසවිය' පුවත්පතේ මැද පිටුවේ පළ විය. මේ ලිපිය කිය වු එවකට සරසවිය කර්තෘ ධර්මදාස බොතේජු මහතා 'අහසින් පොළොවට, පොළොවෙන් අහසට' යනුවෙන් මාතෘකාවක් යෙදුවේය.

සුමතිපාල මහතා එදා ලොකු සතුටකින් උදේ‍යීගයකින් කඩියෙකු මෙන් එහා මෙහා යමින් අප සමඟ කතා කළ අයුරු මට අදත් සිහිපත් කර ගත හැකිය.

'අහසින් පොළොවට' චිත්‍රපටය එතෙර රටක දී සම්මානයක් ලැබුණු බව ලෙස්ටර් මහත්තයාගෙන් දැනගත්තාම මගේ දෑසට කඳුළු පිරුණා. මා මේ ජයග්‍රහණය සලකන්නේ මගේ චිත්‍රපටයේ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස නෙවෙයි. මේ රටේ ජනතාවගේ, සෑම කලාකරුකුම ලැබූ ජයග්‍රහණයක් කියලයි.

මම මේ චිත්‍රපටයේ දර්ශන රූගත වෙනවා දුටුවේත් එකම එක වතාවක් විතරයි. මාත්, බිරිඳත්, ලෙස්ටර් මහත්තයාගෙන් ඉල්ලුව් එකම ඉල්ලීමයි. චිත්‍රපටයේ රුක්මණී දේවියට රඟපෑමට අවස්ථාවක් දෙන්න. ඇයට ගීයක් ගයන්න ඉඩ දෙන්න. ලෙස්ටර් මහතා අප කළ කාරුණික ඉල්ලීම ඉස් මුදුනෙන් පිළිගත්තා. එදා මා ලියූ සරසවියේ විශේෂාංගයට කියා තිබුණි.

(පුදුමය නම් රුක්මණී දේවියට හොඳම ගායිකාව ලෙස ජනාධිපති සම්මානය ලබන විට සුමතිපාල මහතාත්, රුක්මණී දේවියත් ජිවතුන් අතර නොසිටියහ).

සුමතිපාල මහතා 'අහසින් පොළොවට' චිත්‍රපටයෙන් පසු 'ගඟ අද්දර' චිත්‍රපටය ඇරඹුවේ මුලින්ම සරසවියට ආරංචිය දෙමිනි. අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් 'ඔයාට හොඳ නිව්ස් එකක් තියෙනවා 'සරසවිය'ට ලියන්නයි' මට දුරකතනයෙන් කීවාය.

මම හනික බන්දු කොඩිකාරත් සමඟ සුමතිපාල මහතාගේ නිවසට ගියෙමි.

'අයිසේ රංජිත් අලුත් ආරංචියක් කියමින්' සුමතිපාල මහතා මා පිළිගෙන විසිත්ත කාමරයට කැටුව ගියේය. ගඟ අද්දර ලියූ ලෙටීෂියා බොතේජු, සුමිත්‍රා පීරිස්, මිලිනා සුමතිපාල යන කාන්තාවන් තිදෙනා කිසිවක් කතා කරමින් සිටියහ.

'මුල්වරට සිංහල සිනමාවේ කාන්තාවන් තිදෙනෙක් එක් වූ චිත්‍රපටයක්' ලෙස්ටර් මහතා සිනාසෙමින් කීවාය.

'මේ චිත්‍රපටයේ නිෂ්පාදක මම නෙවෙයි. මගේ ආදරණීය බිරිඳ' සුමතිපාල මහතා කීවේ සිනාසෙමිනි.

කතා රචිකාවිය, අධ්‍යක්ෂවරිය හා නිෂ්පාදිකාව කාන්තාවන් වීමේ ප්‍රවෘත්තිය ඡායාරූප සමඟ 'සරසවියෙන් මුළු රටටම දීමට (1979 මාර්තු 20 වෙනිදා සරසවියෙන්) මට හැකි විය. ගඟ අද්දර වාණිජ අතින් අති සාර්ථක විය.

1980 වසරේ 'ගඟ අද්දර' තිර ගත වන විට සුමතිපාල මහතා ජීවතුන් අතර නොසිටියේය. 1980 සරසවිය සම්මාන ඉතිහාසයේ (එතෙක්) වාර්තාවක් තබමින් 'ගඟ අද්දර' සම්මාන 10 කින් පුද ලැබීය.

'ගඟ අද්දර' චිත්‍රපටයෙන් ලැබුණ ශුද්ධ ලාභය පොදු ජනතාව උදසා ජාතික රෝහලේ ස්නායු ඒකකයට අංග සම්පූර්ණ වාට්ටුවක් සාදා පිරිනැමීමට නිෂ්පාදිකා මිලිනා සුමතිපාල මහත්මිය පරිත්‍යාගශීලී වූවාය. ඒ සිය සැමියා වෙනුවෙනි.

යූ. ඩබ්ලිව්. සුමතිපාල නම් කලාකාමී අර්ථපතියා 1978 ජූලි 13 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තේය. අපට වැඩිහිටි මිත්‍රයෙකු, හිතවතෙකු මෙන්ම මානව දයාවෙන් යුතු මිනිසෙකු වූ ඔහු ඇරඹු සුමති චිත්‍රපට සමාගමේ උන්නත් දාහයි මළත් දාහයි - අහසින් පොළොවට, ගඟ අද්දර, දුවට මවක මිස, උප්පලවණ්ණා චිත්‍රපට ජාත්‍යන්තර සම්මානයකින් දේශිය සම්මාන 50 කින් පිදුම් ලැබීම ද වාර්තාවකි. එිම සමාගමේ අලුත් නිෂ්පාදනය 'පත්තිනි' දැන් සාර්ථකව තිරගත වේ.

පුදුමය නම් ඇක්නටත් සම්මානය ලැබී එය සුමතිපාල මහතාගේ නිවසට ගෙනැවිත් මාසයකින් එය අස්ථාන ගතවීමය. අද වනතුරු එය ගැන ආරංචියකුදු නැත. මේ පිළිබඳව එදා මා සුමතිපාල මහතාගෙන් ඇසූ විට ඔහු සිනාවෙමින් පැවසුවේ 'ඔය ගෙදර එන කවුරු හරි මාව මතක් වෙන්න කියලා ගෙදර ගෙනියන්න ඇති' කියාය.