වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




හිතුවක්කාරයා ‘ඇගේ ඇස අග’ සිටියි

හිතුවක්කාරයා ‘ඇගේ ඇස අග’ සිටියි

කල්පනා ලෝක ති‍්‍රත්වයත් සමඟ හඬන්න ඉඩ දී ඇහැරෙන්න යැයි අශෝක හඳගම 'ඇගේ ඇස අග' සිනමා කෘතියෙන් යමක් නොව වැඩි යමක් අවසානයේදී ඉතිරි කර තබා ඇත් ද යන මතය මතයක් බවටම හරවා තිබේ.

ත්‍රිකෝණ ප්‍රේම කතා අප සිනමාවෙන් විඳ තිබුණ ද මෙය ත්‍රිකෝණ කතාවකි. ප්‍රේමය ඇත්තටම ඇත්ද යන්න සැකයකි. ආශාව හා බුද්ධිය මෙහෙයවීම සංසාර චක්‍රය වැන්න. ආශාව ඉස්මතු වෙයි. වරෙක බුද්ධිය ඉස්මතු වෙයි. එකිනෙක පරයා එකක් ඉස්මතු වෙයි. ඉස්මතු වූ කළ සියල්ල නිරාවරණය වෙයි. අනාවරණයට කැමති මහාචාර්යවරයාගේ බිරිඳ, සරසවි සිසුවිය ගෙදරටම කැඳවාගෙන එන්නේ තමාම ඈ වෙත ගොසිනි.

ලෝකාන්තර සිතිවිලි පතන ලෞකික පරිසරයේ ජීවත් වන මහාචාර්යවරයාගේ බිරිඳ හා සරසවි සිසුවිය මුහුවීම තුළ ඇත්තේ අධ්‍යයනයකි. ඇය මරාගෙන මැරෙන තරමට මහාචාර්යවරයාට ප්‍රේම කරයි. ඇය නිවසට පැමිණීමත් සමඟම නව කියවීමක් සිදුවෙයි. මතුපිටින් ඉරිතලා යන කුටුම්බය තුළ ඉරිතැලීම් වසා දමන්නට මහාචාර්යවරයාගේ බිරිඳගේ අපේක්ෂාව විය හැකිය. එය ජීවිතය ක්‍රමිකව අත් හැර දැමීමක්ම නොවේ. අත්පත් කර ගැනීමකි.

සිතීමේ වේගය, සංකීර්ණ දිවි පැවැත්මක අවශ්‍යතා හා ප්‍රේමය අතර ගැටුම හෙම්බත්වීම තුළ ඇයගෙන් ගිලිහෙන යථාර්ථය මෙම කුටුම්බය තුළ අරගල මතු කරවයි. ඒ අතර ලෝක දෙකක සීමාන්තිකව සිටින දියණියගේ වපසරිය, පාසල හා ගෙදරදී රූපවාහිනී ලෝකය බව කියන්නට අධ්‍යක්ෂවරයා උත්සාහ කරයි.

සරසවි සිසුවිය තමා ගත කරන ආත්ම කථනයේදී තම සිරුර සංසන්දනය, පුරාජේරු කතා මතක මහාචාර්යවරයාගේ බිරිඳට පැවසීම, ඇගේ විරාගික ජීවිතයට අභියෝගයක් වෙයි. සරසවි සිසුවිය තම නග්න සිරුර මහාචාර්යවරයාගේ බිරිඳ අබියස නිරාවරණය කළ පසු පුපුරා යන සිතුවිලි සීමාව ඉක්මවා යන අවස්ථාවේදී සරුප වචනයක් ඇගේ මුවින් ගිලිහී යයි. ඒ එක්කම කියැවෙන 'වරෙන් යන්න කන්න' ප්‍රකාශය තුළ භාවාර්ථයක් ගැබ්වෙයි. ඌන පූර්ණයකින් හිතන්නට ඉඩක් තබයි.

මහාචාර්යවරයාගේ නිවසේ පස්්වරුවේ දෛනික කාල නිරූපණය ඒකාකාරී අලස රූපාවලියකි. නමුත් ඒ අලස ඇතුළාන්තයේ යම් යම් හැඟීම් නැතිවා නොවේ. දියණිය රූපවාහිනිය නරඹයි. පියා සහ දියණිය අතර වචනයක් පමණක් හුවමාරු වේ. පියාගෙන් රස කෑමක් ලැබේ. (සිද්ධි දාමයේ එක් උද්වේගකර තැනකදී රස කෑමක් හෝ වචනයක් හෝ දෙදෙනා අතර හුවමාරු නොවන බව ද අධ්‍යක්ෂවරයා ඒත්තු ගන්වයි) බිරිඳ බුදුන් වඳියි. මහාචාර්යවරයා කාමරය තුළ ඇඳුම් අහවර කරයි. සපත්තු ජෝඩුව, කමිසය තබන අවස්ථා තුළ සූක්ෂමතා තිබේ. අධ්‍යක්ෂවරයා සතු සියුම් භාවමය හැසිරවීම් විද්‍යාමාන වන්නේ රූපාවලියට යමක් එකතු වන හරවත් විලාසයෙනි.

මහාචාර්යවරයාගේ ප්‍රකාශ කල්පිතයක් ද කල්පිතය හා සත්‍යය හා බැඳුණු එකක් ද යන්න විමසීම වටී. තමාට පවුලක් සිටියි. සරසවි සිසුවියට අනාගතයක් තිබිය යුතුය. අවශ්‍යතාව පැහැර හැරීම මෙහි හුදෙක් ප්‍රේමය නොව සංතර්පණයයි. මුහුකුරා ගිය ගැහැනියගේ ඉවසීමේ අනන්තය හා ඒ සීමාවේ පරාසය කොතැනකටද යන මතය අධ්‍යක්ෂවරයා ප්‍රේක්ෂකයාට බාර කර තිබේ. මමෝභාව ස්පර්ශ කිරීම සුළඟ නැමති වචන හරහා දැවුණු සැඟවුණු ගිනිපුපුරු මතුවීමක් වැනිය. එසේම ජීව විද්‍යාත්මක පදනමට රැවටිය නොහැකි බව ද ඉස්මතු කරවයි. සිහින සිතුවිලි මහාචාර්යවරයාගේ කය වරෙක විකසිත වීම තුළින් විද්‍යාමාන වෙයි.

මහාචාර්යවරයාගේ නිවසට සරසවි සිසුවියගෙන් ලැබෙන දුරකථන සංවාද තුළ සිතුවිලි ප්‍රතිවිරුද්ධ වීම හා මහාචාර්යවරයා සරසවි සිසුවියගේ නවාතැනේ ඇඳෙහි නිදාහුන් අවස්ථාව සහිත පින්තූරය මහචාර්යවරයාගේ බිරිඳගේ සෙලියුලර් දුරකථනයට ලැබීම තුළ සියල්ල ලත් තැන ලොප් වෙයි. විශ්වාසය හා අවිශ්වාසය අතර තරම විග්‍රහ වීම හා ගැටුම කුටුම්බයක සියුම් එසේම උද්වේගකර රූපාවලියකි.

මහාචාර්යවරයාගේ ශික්ෂණය තුළ වෙනත් සංකීර්ණ යමක් මානුෂික සමබරතාවන් විවිධමාන නිරූපිතය. හිත ඇතුළේ සිතුවිලිවලට තහනමක් නැතිව සේ නිරාවරණය වූ විට තහනම අඩු වැඩි වේ.

ප්‍රේමය ද, ලිංගිකත්වය ද, කා සමඟ ද, වන්නේ කෙසේ ද සන්තුෂ්්ටියේ අවසානය සරසවි සිසුවියගේ මුවින් කියැවේ. ජීවිතයෙන් නොලද ආදරය පැතීම හුදෙකලා රැඩිකල් සරසවි සිසුවියගේ අධ්‍යාත්මය වැමෑරීමේ අසම්මත ආකල්ප තුළ ඇත්තේ සැඟවුණු රසයකි. 'මං නාලා එන කොට ගමේ ගෑනු මිනිස්සුන්ව විතරක් නෙමේ බල්ලන්වත් ගෙට ගන්නවා' වැනි ප්‍රකාශ තුළ ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය පටයක පණගැන්වෙන කුරිරු භාවමය ගති ගෙන එන අරුත්, සමාජයට සැඟවුණු යමක් කියන්නට දොරගුළු විවර කිරීමකි. අද්විතීය නිමවුමක ප්‍රතිභාව ඒ තුළ වේ. ඒ අතරේ සරසවි සිසුවිය මහාචාර්යවරයාගේ නිවසේ සිටිද්දී 'ගේ පිරිලා' යනුවෙන් මහාචාර්යවරයාගේම බිරිඳගේ මුවින් නැඟෙන ප්‍රකාශය මේ මානය තවත් අරුත් ගන්වන්නට සමත් වී තිබේ.

සරසවි සිසුවිය නිවසට පැමිණීම මහාචාර්යවරයා බලාපොරොත්තු නොවූ අවස්ථාවකි. එහිදී ඔහුගේ ව්‍යාකුලත්වය හැසිරීමෙන් පිළිබිඹු වේ. එසේම රාත්‍රී නිදියහන අවස්ථා රූපණ සියුම් හැසිරීම් වෙනස්කම් දැනෙන නොදැනෙන තරමටම වරින් වර චරිත තුළ ඉස්මතු වන චර්යා මත වෙනස්කම් දිස්වේ. විරසක භාවයන් රූපණය වීම තුළ ඉරියව් මහාචාර්යවරයා නොසැලෙන පුද්ගලයෙකි යන සංකල්පය මතුවේ.

හුදෙකලා වූ කළ බොළඳ භාව හැසිරීම් තම පුතුගේ කාමරයට යාම එහිදී සරසවි සිසුවියගේ විලවුන් බෝතලය හමුවීම, විලවුන් ස්පර්ශය විඳීම තුළ දැහැන් ගතවීම, සිහින නිද්‍රාව මමෝරංගනය සරසවි සිසුවිය හා යටි සිතේ සිතුවිලි තුළ ජීවත්වීම, ඔහු අත්විඳින සිහින සංකල්පය තුළ නිද්‍රාගතව සරසවි සිසුවියගේ භාවමය සිතුවිලි අත්විඳීම අපූරු මමෝ විද්‍යාත්මක සාධක හා ගැළපුමකි. එහි අවසන් ඵලය විලවුන් සුවඳ තම බිරිඳට ස්පර්ශවීමයි. මහාචාර්යවරයාගේ මුවින් එයා ආ බව කියයි. ආවේ සැබෑ රුව නොවේ. විලවුන් සුවඳය. තේරුම් ගැනීම, නොගැනීම අතර පරස්පරය මහාචාර්යවරයාගේ සිරුර, බිරිඳ විසින් සූරා දැමීම තරමටම කුරිරු වෙයි. එය කායික සන්තර්පණයක් කරා මෙහෙයවයි. එහෙත් එය ව්‍යර්ථ වෙයි. මහාචාර්යවරයාගේ ළැදියාව කවුරුන් හට ද යන ප්‍රශ්නය අධ්‍යක්ෂවරයා අප හමුවේ තබයි. අද සමාජයේ දැකගත නොහැකි වුව ද මේ බිරිඳ පාරමී පුරයි. වාත්තීය, පවුල, වගකීම යන දෑ ඇයට බද්ධවීම බව අධ්‍යක්ෂවරයා මින් අපට ගෙන එන පණිවිඩය විය හැකියි.

පියා සහ දියණිය අතර සබඳතාව ගෞරාන්විත ආදරණීය එකකි. එය පුපුරා දෙගොඩ තලා ගිය කළ දියණිය දක්වන ප්‍රතිචාරය උද්වේගකරය. ඇය සිතිවිලිවලින් හිස් වේ. ඇය අවකාශයක් අර්ථ විරහිතව සොයා යන්නට පෙලඹේ. සිනමා කෘතිය තුළ ඇය දුම්රිය කරා දිව යන අවස්ථාව අපූරු රූප එකතුවකි.

මුහුදු වෙරළ, සරසවි සිසුවියගේ නවාතැන ආදී තැන්හිදී තම සිතුවිලි මහාචාර්යවරයාගේ බිරිඳට ප්‍රකාශ කිරිම මේ වෙලාවේ ඔබේ ස්වාමි පුරුෂයා මා සතුය, මා ළඟය, යනුවෙන් දුරකථනයනේ දැනුවත් කිරීම තුළ සරසවි සිසුවියගේ පෞරුෂය කෙතරම්දැයි අධ්‍යයනය කිරීම වටී. හොරගල් ඇහිදීමක් හෝ හැංගි හැංගි වෙස් බැඳීමක් එහි නැත.

හඬයි, පහර දෙයි, හොඳින් කතා කරයි. නරකින් කතා කරයි. එකට වාසය කරයි. මහාචාර්යවරයාගේ බිරිඳ තුළ බැතිබර වියමනක් නැතිව ද ඇය ආගමානුකූල බව නොකියා කියයි. එය ඥානය විභාග කිරීමක් වැන්න. ආගම දහම විශ්වාස කිරීම තුළින් ජීවිතයේ නිස්සාරත්වය සොයන මහාචර්යවරයාගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ ආශාව ගිලිහී යාම තුළින් ප්‍රකාශ වන්නේ බිරිඳ සම්බන්ධයෙන් වූ පරිත්‍යාගශීලිත්වයකි. නිහඬවීම තුළ කුටුම්බය ඉරිතලා යා නොදී ආරක්ෂා කර ගැනීමට ඇය උත්සාහ කරයි.

රූප ශික්ෂණ භාවිතාව සමඟින් කැමරාව අධ්‍යක්ෂවරයා විසින් හසුරුවා ගැනීම හා සංස්කරණයේ උපරිම හා සීමාසහිත සීමාවන් ග්‍රහනය කර ගැනීම උසස්ය. විඩාබර ජීවිත සංකීර්ණතා සඳහා භාවිත සංගීත හඬ මුසු, නාද අවමය හා සමබරතාව හසුරුවා ගනිමින් එහි උච්චතම භාවය අවසානයේ තේමා ගීතයෙන් ඉස්මතු වන හඬ පෞරුෂය, සියල්ල රසාලිප්ත කරවයි. එහි ගෞරවය චන්න දේශප්‍රිය, රවීන්ද්‍ර ගුරුගේ, චිත්‍රාල් සෝමපාල හිමිකර ගෙන තිබේ.

සත්‍යජිත් රායි අධ්‍යක්ෂණය කළ 'ප්‍රති ද්වන්දි' හි වෛද්‍ය ශිෂ්‍යා අද වියපත්ව 'ඇගේ ඇස අග' තුළ මවන මහාචාර්වරයාගේ භූමිකාව භාවමය රංගන කාර්යයකි. දිගු නිහැඬියාවකින් පසු 'තණ්හා රතී රඟා' සිනමා කෘතියෙන් සංක්ෂිප්ත වූ රූපාවලියකින් දුටු ස්වර්ණා මල්ලවආරච්චි සිය රංගන භාවිතාව ජීවන චර්යා ඔප් නංවමින් සිනමා කෘතියේ සමස්තය කරා රැගෙන යයි. සරසවි සිසුවියගේ රංගන කාර්යය සිත්සේ හසුරුවා ගන්නා අශෝක හඳගම රිතිකා කොඩිතුවක්කු රංගන ශිල්පිනියගෙන් මනා සිනමා ආභාෂයක් ඉදිරිපත් කරවයි. එහි සංයමය අතිශයින් භාවාත්මකය. සිත් සේ පාලනය කර ගත්තකි.

එසේම වර්තමානයේ සාමාන්‍ය ද්‍රවිඩ හින්දි චිත්‍රපටවල දක්නට ලැබෙන අශ්ශීල නිරුවත සමබර කිරීම, අවභාවිතා නොකිරීම 'ඇගේ ඇස අග' සිනමා කෘතියේ කැපී පෙනෙයි.

දියණිය ලෙස සඳලි ඈෂ් රොබෝ වරියක වැන්න. එහෙත් දුම්රිය අනතුරින් මිදුණු පසු නිවසේ අභ්‍යන්තර රූපාවලිය තුළ සියල්ලන් සේම ඇය ද භාවාත්මකය. මුරණ්ඩු වූ කළ ඇගේ මුවින් නික්මෙන හඬෙහි ඇත්තේ දරා ගත නොහැකි පුපුරා පිටාර ගලන සිතුවිලි සමුදායකි.

බස සුක්ෂමය. පියවරක් ඉදිරියට පියවර දෙකක් ආපස්සට රික්තයක් සේ වරෙක දැනේ. අති පෞද්ගලික අත්දැකීමක් පොදු ආස්වාදයක් සේ එළිදැක්වීමේ අරමුණ සාක්ෂාත් වන්නේ ද යන්න ඉස්මතු වන ගැටලුවකි.

අවසාන නිමිත්ත කුමක්ද? වර්ෂාව කියන්නේ සියලු පව් සෝදා හැරෙන වගද? රූප ශික්ෂණය අගනේය. එහෙත් ප්‍රශ්නාවලියක් අප තුළ රඳවයි. පෞද්ගලික සංකීර්ණතා පොදු අත්දැකීමක් කළ හැකි තරමට ප්‍රබලතා, පන්සලේ සිදුවීම තුළ නිරාවරණය වන්නේ සීමාසහිතවය. එය හරයට බාධාවකි. නිමාවන ඇසිල්ලේ දේශපාලන අශූචි ඉසගෙන නිර්මාණයට අවම භාවිතාවක් එක් කළේ මන්දැයි කිව නොහේ. එසේම 'එකිනෙකා අතර ඉවසීම විවිධය' යන මතය තහවුරු වන්නේ ද යන සැකය මතුවේ. කෙසේ වෙතත් හිතුවක්කාර අධ්‍යක්ෂවරයාගේ සෙවණැල්ල සමස්තය පුරා වැසී පැතිරී පවතී.