වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අමරදේව මහත්තයට ගීතයක් හදන්න ආසයි

අමරදේව මහත්තයට ගීතයක් හදන්න ආසයි

- කේෂාන් පෙරේරා

බොක්ස් ඔෆීස් වාර්තා බිඳ දැමූ, මෙරට වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ සුනිල් සෝම පීරිස්ගේ මුනුපුරා තමයි මේ ඉන්නේ. නමින් ඔහු කේෂාන් පෙරේරා. කේෂාන් ද කලාවට සම්බන්ධයි. වෘත්තියෙන් ඔහු සංගීත අධ්‍යක්ෂවරයෙක්. චිත්‍රපට ගණනාවකටම සංගීතය සපයන්නට කේෂාන්ට හැකියාව ලැබුණා. ඒ සුනිල් සෝම පීරිස්ගේ මඟ පෙන්වීම යටතේ. ඒ විතරක් නෙවෙයි, මේ දිනවල වඩාත් සිත්ගත් ගීත කිහිපයක්ම නිර්මාණය කොට ඇත්තේ මේ කේෂාන්. නමුත් ඒ නිර්මාණ මිසක ඔහු නම් වැඩිය කලඑළියට ආවේ නෑ. බලාගෙන ගියාම ඔහු මෙච්චර කල් නිහඬව වැඩ කළ අයෙක්. ඒ හින්දම තමයි කේෂාන්ව සරසවියට කැඳ වූයේ.

* කේෂාන්, කොහොමද මේ දිනවල වැඩ කටයුතු?

මගේ මාමා වන සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමාපටය වූ හැටහතර මායම් හි සංගීත නිර්මාණයන් සිදු කරමින් සිටිනවා. එයට අමතරව ගීත කිහිපයක් නිර්මාණය කළා. මේ ඊයේ පෙරේදා රිලීස් වූ රුවන් හෙට්ටිආරච්චිගේ නවතම ගීතය වන වෙන් වී ගියත් මම තමයි නිර්මාණය කළේ.

* ඔබගේ සීයා වෙන්න ඇති ඔබට මුලින්ම චිත්‍රපටයක සංගීත නිර්මාණයට අවස්ථාව ලබා දෙන්නේ?

ඔව්. ඒ සීයගේ වැඩ බැරි ටාසන් දෙක චිත්‍රපටයේ. ඊට පසුව කෙටි කලක් ඇතුළත සිනමා නිර්මාණ කිහිපයකටම සංගීතය සපයන්නට අවස්ථාව ලැබුණා.

* ඔබ නිර්මාණය කළ ජනප්‍රිය ගීත කිහිපයක් සඳහන් කළොත්?

නිහඬ ගමනේ (බඹර නාදේ) රැවටුණ තරම්, දුක තද කරන් මහ මෙර තරම්, මඟ බලා හඬන දෙනෙතේ, ඔබගෙන් තරම්.

* සියල්ලම වගේ විරහ ගීත නේද?

ඒකනෙ.

* විරහ ගීත රැල්ල ගැන මා පසුවට ඔබගෙන් අහන්නම්. ඊට ප්‍රථම කියන්න සාමාන්‍යයෙන් චිත්‍රපටයක් ලැබුණම සංගීත නිර්මාණයට පෙර මොනවද ඔබ සලකලා බලන්නේ?

චිත්‍රපටයේ ස්වභාවය බලනවා. මට චිත්‍රපටය කලාත්මකද නැත්නම් හුදු විනෝදාස්වාදය සඳහා පමණක් ද නිර්මාණය වූවක් ද කියන එක මට ගැටලුවක් නැහැ. සම්පූර්ණයෙන්ම චිත්‍රපටය නරඹලා මං ඊට සංගීතය යොදනවා.

* හා හා පුරා කියාල චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණයට කතා කරද්දී ඔබ ඊට දැක් වූයේ මොන වගේ ප්‍රතිචාරයක්ද?

ඇත්තම කිව්වොත් චිත්‍රපට සංගීතය කියන්නේ මොකක්ද කියලාවත් මං දැනගෙන හිටියේ නැහැ. නමුත් එම අවස්ථාව මං ප්‍රතික්ෂේප කළේ නැහැ. වැඩේට අත ගැහැව්වා. මොකද සංගීතය ඇඟේ තියෙනවානේ. සීයගෙන් තමයි මා චිත්‍රපට පිළිබඳ දැනුම ලැබුවේ.

* හැට හතර මායම් සඳහා ඔබ මොන වගේ වෙනසක්ද කළේ?

මට හිතුණා ඒ සඳහා බයිලා ගීතයක් ඇතුළත් කළොත් හොඳයි කියලා. ඒ හින්දා මං අපූරු ගීිතයක් නිම කළා. ඒ වගේම එහි විචිත්‍රවත් ගීතයක් තිබෙනවා.

* ඔබ නිර්මාණය කළ චිත්‍රපට පෙළ සලකා බලන කළ බහුතරයක් ඔබට ලැබිලා තියෙන්නේ කලාත්මක නොවන සිනමාපටයි'?

ඔව්. කමර්ෂල් ෆිල්ම් ඒවා සේරම. මං පෙර එවැනි චිත්‍රපට සඳහා නිර්මාණය කළ සංගීත රටා බොහෝ දෙනෙකුට දැනෙන්න ඇති. ඒකනෙ මට එවැනි චිත්‍රපට ලැබෙන්නේ.

* නමුත් ඔබ එකම රාමුවක කොටුවෙලා නොවෙද?

මෙහෙමයි. එකම රාමුවකම කියලා කියන්න බැහැ. නමුත් එම සිනමාපටයන්හි කතාව වෙනස්. ඒක නිසා මට එක එක විධියේ සංගීත ක්‍රම මේ සඳහා භාවිත කරන්නට සිදු වුණා.

* ඔබට ඇයි මෙතුවක් කල් කලාත්මක සිනමාපට නොලැබුණේ?

ඒකට හේතුවක් ගැන මට කියන්න බැහැ නිශ්චිතවම. ගොඩක් වෙලාවට මං සංගීතය සැපයුවේ සීයගේ සහ මාමාගේ චිත්‍රපටවල. ඔවුන්ගේ ශෛලිය වෙනමම එකක්නේ. අනික මම කියන පුද්ගලයාව ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැති තරම්. ඒකත් මට වැඩිපුර චිත්‍රපට නොලැබී යන්නට කාරණයක්.

* ඇයි ඔබ මාර්කට් වෙන්නේ නැත්තේ? ඔබේ පරපුරේ ඇතැම් සංගීත අධ්‍යක්ෂවරුන්ගේ ඇඟපුරාම තියෙන්නේ මාර්කටින්නේ?

මං කලඑළියට නොඒම මගේ තිබෙන දුර්වලතාවයක්. ඒක මං පිළිගන්නවා. මා හිත මිත්‍ර චිලී එහෙම මට අනන්තවත් බනිනවා පත්තරේක ආර්ටිකල් එකක්වත් දාගන්න යන්නේ නැහැ කියලා. අපේ සීයලා තමන්ගේ නිර්මාණ හොඳට මාර්කට් කර ගත්තා. මට ජනප්‍රිය වෙන්නට වැඩි උනන්දුවක් තිබුණේ නැහැ. මට වුවමනාව තිබුණේ නිර්මාණාත්මක පැත්තෙන් යමක් කරන්න පමණයි.

* ඔබේ ඔය සිතුවිල්ල ඔබටම අවාසිදායක වුණා කියලා හිතෙන්නේ නැතිද?

හිතෙනවා. ඒත් මං පරක්කු වැඩි නෑ. ඒකයි මෙහෙමවත් කලඑළියට එන්න හිතුවේ.

* මේ දිනවල පවතින විරහ ගීත රැල්ල ගැන මොනවද කියන්නට ඇත්තේ?

කාලෙන් කාලෙට එක එක රැලි එනවා. ඒක ස්වාභාවිකයි. මේකත් එවන් වූ රැල්ලක්.

* නමුත් මේ රැල්ල පැවතුණු කාලය වැඩි නැද්ද?

වැඩියි තමයි. වෙලාවකට එපා වෙනවා විරහ ගීත හදලම. ඉල්ලන්නෙම එවැනි ගීත. වෘත්තීමය සංගීත ශිල්පීන් විදිහට අපට සිදුවනවා ඉල්ලන දේ දෙන්න.

* ඔබත් මේ රැල්ලට වගකිව යුතුයි?

මං එහෙම කියන්නෙ නැහැ. මේ රැල්ල එන්නටත් කලිනුයි මං බඹර නාදේ ගීතය හැදුවේ. නමුත් රැල්ල නිසා ගීතය ජනප්‍රිය වුණා. ගීතය නිසා නිර්මාණකරුවන් අතර මා ප්‍රසිද්ධ වුණා.

* වෙනසක් කරන්නට කාලය හොඳයි නේද?

මං ඒ කතාවට එකඟයි. නමුත් හැමෝම වෙනසක් කරන්න ඕන ඕන කිය කිය කියනවා පමණයි. ඇති වෙනසක් නැහැ. කෙසේ වෙතත් මම නම් හිතනවා මේ රැල්ල දැන් ඇති කියලා.

* අද බොහෝ විට භාවිත වන්නේ කම්පියුටර් මියුසික්?

නැහැ. ඒක වැරැදියි. කම්පියුටරය එක මෙවලමක් පමණයි. එය භාවිත කරමින් වුවද නිර්මාණකරණයේ යෙදෙන්නේ නිර්මාණකරුවෝ. ඒක නිසා කම්පියුටර් මියුසික් කියලා දෙයක් නැහැ.

* ජාත්‍යන්තරය වෙනුවෙන් නිර්මාණයක් කරන්න අදහසක් නැතිද?

එහෙම අදහසක් තියෙනවා. මෙහිදී තව දෙයක් කියන්න ඕනෑ ජාත්‍යන්තරය මතක් කළ නිසාම. අපේ ඇතැම් නිර්මාණකරුවෝ ජාත්‍යන්තරයට කියලා නිර්මාණ කරනවා. හැබැයි ඒවා ලංකාවට සුදුසු නිර්මාණ නෙවෙයි. සියල්ලටම පෙර ලංකාවේ ප්‍රේක්ෂකයන්වනේ පිනවිය යුත්තේ.

* ඔබ සිතන විදිහට ඔබේ හැකියාවෙන් නිසියාකාරව ප්‍රයෝජන ගෙන තියෙනවාද?

නැහැ. මට නොයෙක් පරාසයන් යටතේ නිර්මාණ කරන්නට පුළුවන්. නමුත් එයට ඉඩ ප්‍රස්ථාව ලැබුණේ නැහැ. කලාත්මත චිත්‍රපටයක් එනතුරු මං බලාගෙන ඉන්නවා. අන්න ඒ මාධ්‍ය තුළ මට මීට වඩා වැඩි දෙයක් කරන්නට හැකි වේවි.

* ඔබ ගීතයක් නිර්මාණය කිිරීමට ආසවෙන් සිටින ගායකයකු හෝ ගායිකාවක සිටියිද?

ඔව්. අමරදේව මහත්මයට ගීතයක් නිර්මාණය කිරීමට අදහසක් තියෙනවා. තවම ඒ ගැන කතා කරලා නැහැ මං.