වර්ෂ 2016 ක්වූ ජූලි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අබ්බාස් කියරොස්තාමි සහ මම

අබ්බාස් කියරොස්තාමි සහ මම

-විමුක්ති ජයසුන්දර

ලෝක සිනමාවේ බිහි වූ විශිෂ්ටතම සිනමාවේදියකු වන අබ්බාස් කියරොස්තාමි (1940 ජූනි 22 - 2016 ජූලි 4) පසුගියදා මෙලොව හැර ගියේය. ඉරානයේ ටෙහෙරාන් නගරයේ උපත ලද කියරොස්තාමි මිය ගියේ ප්‍රංශයේදීය. ශ්‍රී ලාංකික සිනමාවේ විශිෂ්්ටයකු වන විමුක්ති ජයසුන්දර, කියරොස්තාමි හා තිබුණේ සමීප සබඳතාවයකි. එමෙන්ම ලෝක සිනමාවට විමුක්තිගේ සිනමාව හඳුන්වාදීමට කියරොස්තාමි කළ මෙහෙය ඉමහත්ය.

එබැවින් කියරොස්තාමි පිළිබඳ මෙම ලිපිය විමුක්ති ජයසුන්දර විසින් සරසවියට ලියන ලද්දකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම තිර නාටක රචකයෙකු, සංස්කරණ ශිල්පියයකු, කලා අධ්‍යක්ෂවරයකු, ඡායාරූප ශිල්පියකු, කවියකු, චිත්‍ර ශිල්පියකු ලෙස විවිධ දස්කම් පෑ කියරොස්තාමි නිර්මාණය කරන ලද චිත්‍රපට අතර වෙයා ඊස් මයි ෆ්‍රෙන්ඩ්ස් හෝම්, ක්ලෝස් අප්, ටේස්ට් ඔෆ් චෙරි, ද වින්ඩ් විල් කැරී අස්, තෲද ඔලිව් ට්‍රීස් කැපී පෙනෙයි.

අබ්බාස් කියරොස්තාමි කියන ඒ ශ්‍රේෂ්ට සිනමාකරුවා හඳුනාගන්නට ප්‍රථමයෙන් මම ඔහුගේ සිනමාවට ඉතාමත් සමීප වී සිටි කෙනෙක් බව මෙහිදී මතක් කරන්නේ ඉතාමත් ගෞරවයෙනි. එය මගේ ජීවිතයට ඉතා සමීප වූ සිනමා ව්‍යාකරණයක් වීම එයට හේතුවයි. මා එකල කොළඹ නගරයේ රුසියානු සංස්කෘතික ආයතනය, ජර්මානු සංස්කෘතික ආයතනය වැනි ස්ථානවලට ගොස් සිනමාපට නැරඹූ අයෙක්. ඒක මගේ ජීවිතයේ එක් අංගයක්ව පැවතුන බව මා කියන්න අවශ්‍යයයි.

කියරොස්තාමිගේ සිනමා කෘති මා මුල්වරට දැක්කේ ආසියානු සිනමා කේන්ද්‍රය තුළින් හා ඒ වගේම ප්‍රසන්න විතානගේ හරහායි. එම කාලවකවානුවේ ඈෂ්ලි රත්නවිභූෂණ මහතා යටතේ තිබුණු ආසියානු සිනමා කේන්ද්‍රය හරහා තමයි මම හිතන්නේ අපිට ඉරාන සිනමා කෘති බොහෝමයක් බලාගන්නට අවකාශය විවර වුණේ. එයිනුත් අබ්බාස් කියරොස්තාමි තමයි මගේ ප්‍රධාන සිනමාකරුවා බවට පත් වුණේ. ඔහුගේ සිනමා කෘති නරඹන එක මුලින්ම ඉතා අපහසු කාර්යයක් වුණා.

එහෙත් ඒ චිත්‍රපටවල තියෙන වැදගත්කම, තාක්ෂණික ක්‍රියා, මනුෂ්‍යය ජීවිතය පිළිබඳව තිබෙන අතිශය ගැඹුරු සංකල්පනා හා එම සිනමාපට බොහෝමයක් ලෝකයේ විවිධ සම්මානයන්ට පාත්‍ර වී තිබීම මා ආශක්ත කළ කාරණයක්. මා සිනමාව යනුවෙන් හිතා හිටපු හොලිවුඩ් චිත්‍රපටවලට විශාල පරස්පරතාවයක් සහිත අදහසක් ඉන් මතු වුණා.

කියරොස්තාමි කියන මේ අපූරු සිනමාකරුවා ඉතා සරල උපකරණ කිහිපයකින් විශාල තාක්ෂණික හරඹයන්ගෙන් තොරව ජීවිතය පිළිබඳව වූ විශාල ගැඹුරු අදහස් පද්ධතියක් තම සිනමාව හරහා ප්‍රකාශ කරන ආකාරය එකල මම දැඩි ආශාවෙන් යුක්තව බලා සිටියා මට මතකයි. මම සිනමාවට ළඟා වුණේ ඒ ආශ්‍රයෙන්.

“සුළඟ එනු පිණිස” සම්මාන දිනූ දා විමුක්ති ජූරි සභාපති කියරොස්තාමි සමඟ

සිනමාව කියන දැවැන්ත කලාව වෙත ඇතුළත්වීමට මා හට අභිප්‍රේරණයක් වුණේ කියරොස්තාමි කියලා කියන එක වැරදි නැහැ. මම සිනමාකරුවෙක් වෙනවා කියලා හිතන්නෙවත් නැති මොහොතක ඒ කෙරෙහි මා අනුරාගයෙන් බන්ධනය කරනු ලැබුවේ අබ්බාස් කියරොස්තාමි විසින්.

යම් විදිහකට එකල අපි බටහිර චිත්‍රපටිවලට නැඹුරු වෙලා සිටියා. රුසියානු සිනමාව, ප්‍රංශ සිනමාව ආදිය අපි ඒ වෙනකොටත් නරඹමින් හිටියා. ඒ එකවරම අපට ලැබෙනවා ඉරාන සිනමාව. ඉරාන සිනමාව හරහා සුවිශේෂී සිනමා ව්‍යාකරණයක් දකින්නට ලැබෙනවා. අපේ ජීවිතයට සමීප, අපේ ආසියානු දැක්මට සමීප වූ සිනමාවක් එහි අප දකිනවා.

මේ යුගයේදී තේ පානය කරමින් විවිධ තැන්වල සිනමාපට නරඹමින් සිටි තරුණයකු ලෙස මම ජීවත් වුණා. ඒ යුගයේදී මගේ ජීවිතයට අර්ථය සැපයූ පුද්ගලයා ලෙස අබ්බාස් කියරොස්තාමි පත් වෙලා සිටියා.

තවත් සත්‍යජිත් රායි කෙනෙක්, තවත් කුරසෝවා කෙනෙක් දැනට අපි අතර ජීවත් වෙලා ඉන්නවා නම් ඒ අබ්බාස් කියරොස්තාමි බව එකල මම නිතර සිතපු දෙයක්. එවැනි කෙනෙක් ලෝකයේ ඉන්නවා. ඔහු කලු පාට කණ්ණාඩි පලඳිනවා. ඔහුගේ ඇස් දෙක අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ විදිහට අපි ඔහුගේ රූපය පත්තර, සඟරා, සිනමාපටවලින් දුටුවා. ඒ ඔස්සේ අපි ඔහුව සොයා ගියා.

මම හිතුවේ නැහැ පුද්ගලිකවම ඔහු වගේ කෙනෙක් මගේ ජිවිතේට හමුවෙයි කියලා. මගේ ඉතා හොඳ මිතුරක් වෙයි කියලා. අඩුම තරමේ ඔහුව දකින්නටවත් අවස්ථාවක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. ඉතිං මේ සිහිනය ඉතා විශාල නිසා මම මේ හීනය අඩුම තරමින් සිහිනයක් ලෙස හෝ දුටුවේ මේ කාරණාවලින්. අනතුරුව මා හට ප්‍රංශයේ සිනමාව ඉගෙන ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. එහිදී කියරොස්තාමි කියන නම මම වැඩිපුර කියන්නට ගත්තා.

ප්‍රංශ සිනමා රසිකයා හා යා වෙන්න පුළුවන් පාලමක් තමයි අබ්බාස් කියරොස්තාමි කියලා කියන්නේ. මම ප්‍රංශයේ සිනමා පාසලේ ඉගෙන ගන්න කාලය තුළ මට මගේ දේ කියාගන්න පුළුවන් සිනමාවක් ලෙසට පෙන්වන්න පුළුවන් වුණේ කියරොස්තාමිගේ සිනමාව. ලංකාව වගේ රටකින් ගිහිල්ලා ඉගෙන ගන්න මුල් කාලයේදී මට මෙම සිනමාකරුවා වැදගත් වෙනවා. ඒ ආකාරයෙන් සිනමාව පිළිබඳව ඔහුගේම වූ නිර්වචන, ව්‍යාකරණයන් ඔහුට තිබුණා.

සිනමාව සම්බන්ධව ඔහුටම අනන්‍ය වූ අදහසක් ගොඩ නඟාගෙන තිබුණා. ඔහු නිශ්චිතවම කියනවා මෙන්න මේ දෙය තමයි සිනමාව කියලා. ඒ වගේම මට මගේ සිනමාව මෙන්න මේ ආකාරයේ යැයි කියලා කියන්න කියරොස්තාමි හොඳ ප්‍රස්තුතයක් වුණා. ඒ ආකාරයෙන් බලනකොට මගේ ප්‍රථම සිනමාපටය සුළඟ එනු පිණිස චිත්‍රපටයට කියරොස්තාමි බලපාන එක ගැන නැවත ප්‍රශ්න කරන්න දෙයක් නැහැ.

එම චිත්‍රපටය ප්‍රංශයේ ප්‍රධාන සිනමා උලෙළ වන කාන් සිනමා උලෙළේ ප්‍රධාන සම්මානයක් වන කැමරා දේ සම්මානය සඳහා තේරී පත් වනවිට එහි ජූරියේ සභාපති අබ්බාස් කියරොස්තාමි වෙයි කියලා මම හිතුවේ නැහැ. එය දෛවෝපගත දෙයක්. මට මතකයි 2005 වසරේ එම චිත්‍රපටය ප්‍රංශයේ තිරගත වන විට එහි සිටි ජූරි සාමාජිකයන්. අබ්බාස් කිියරොස්තාමිව මා ඒ අතරින් ඉක්මනින් හඳුනා ගත්තා.

ඔහු මම ඊට කලින් පත්තරවලින්, සඟරාවලින් දැකලා තිබෙනවා. නමුත් මම පුදුම වුණා ඔහු එදින මගේ සිනමාපටය විනිශ්චය කරන්නට වාඩි වෙලා ඉන්නකොට. ඒ වෙන කොටත් මම ඔහුව පෞද්ගලිකව දැකලා තිබුණේ නැහැ. ඒ තමයි මා ඔහුව සජීවීව දැක්ක ප්‍රථම වතාව.

ඒ මොහොතේ මා සමඟ ආචාර්ය ධර්මසේන පතිරාජයන් සිටියා. ඔහු මට කිව්වා ඔහු කියරොස්තාමිව පෞද්ගලිකව මුණ ගැසී තිබෙන බව. කොහොම වුණත් අවසාන සම්මාන උලෙළේ රාත්‍රියේදී ඔහු වේදිකාවට පැමිණ මගේ නම සඳහන් කළා. මම හිතන්නේ එක්තරා විදිහක එය මට හොඳින්ම දන්නා පුද්ගලයකු නැවත ජීවිතේ කඩඉමකදී මුණ ගැසුණා වගෙයි. ඉතිං මම වේදිකාවට ගියාම ඔහුට මා විශේෂයෙන් ස්තූති කළා. ඒ තමයි ඔහු මේ සිනමාපටයට දක්වපු ආශාව වෙනුවෙන් හා මට ඔහුව බලපාපු නිසා.

එහි යම් කිසි විශේෂ දෙයක් සිදු වුණා. ඔබ දන්නවා. එම කාන් සම්මාන උලෙළේ දි කැමරා දෝ සම්මාන දෙකක් පිරිනැමුවා. ඒක ඉතාමත් කලාතුරකින් වෙන දෙයක්. එවැනි විශේෂ ඉල්ලීමක් කරන්න පුළුවන් වෙන්නේ ජූරියේ විශේෂ සාමාජිකයකුට පමණයි. ඒ නිසා උලෙළේ සංවිධායකයින්ට සිදු වුණා සම්මාන ද්විත්වයක් පිරිනමන්න.

අබ්බාස් කියරොස්තාමි ශ්‍රේෂ්ඨ සිනමාකරුවෙක් වන නිසා ඔහුට හැකි වෙලා තියෙනවා එකම සම්මානය චිත්‍රපට දෙකටම ලබා දෙන්නට. සාමාන්‍යයෙන් පවතින්නේ කැමරා දෝ කියලා එක සම්මානයකුත් විශේෂ ජූරි සම්මානයකුත් පිරිනැමීම. එම වසරේදී කැමරා දෝ සම්මාන දෙකක් දෙන ආකාරයට සකස් වුණේ විශේෂයන්ම මේ අබ්බාස් කියරොස්තාමි කියන සිනමාකරුවා නිසා.

ඒකේදී ඇත්තටම ජූරිය බෙදෙනවා. ඒක මම පස්සේ දැනගත්ත දෙයක්. ඒ තමයි Me and You and Everyone We Know  කියන ඇමරිකානු සිනමාපටය සඳහා සහ මගේ සුළඟ එනු පිණිස චිත්‍රපටයට. විශේෂයෙන්ම එම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ළමයින්. දැන් අපි දන්නවා ළමයින් රඟන සිනමාපටවලට කියරොස්තාමි විශාල කැමැත්තක් දක්වනවා.

නමුත් ඔහු මේ අවස්්ථාවේදී ආශා කළේ මගේ සිනමාපටයට. ඔහු ඇතුළු ජූරියේ සාමාජිකයින් කිහිප දෙනෙක් මගේ සිනමාපටයට කැමැත්ත පළ කරලා තිබුණා. ඒ නිසා ජූරියේ සභාපති වෙලා හිටපු අබ්බාස් කියරොස්තාමි තීරණය කරලා තිබුණා එම සිනමාපට දෙකටම සම්මාන ප්‍රදානය කරන්න.

සාමාන්‍යයෙන් මෙම රන් සම්මානය හදන ප්‍රංශයේ CHOPARD නම් ස්වර්ණාභරණ සහ ඔරලෝසු නිපදවන ස්විස් ජාතික ආයතනය නිපදවන්නේ එක වසරකට එක් සම්මානයයි. නමුත් ඔවුන්ට හදිස්්සියේම සිදු වුණා සම්මාන ද්්විත්වයක් නිපදවන්නට.

කොහොම හරි අපිට පිටින් පෙනුණට මෙම සිදුවීම ඇතුළේ තව ගොඩාක් කතා සැඟවිලා තිබෙනවා. මට මතකයි එදා සම්මාන උලෙළ අවසානයේ ඡායාරූප ලබා ගැනීමට අප දෙදෙනා ඇවිද යන විට, ඔහු නැවත මගේ සම්මානය අතට අරන් බලල කිව්වා මෙම සම්මානය ඔහුට හමු නොවුණ බව.

“මගේ පළවෙනි චිත්‍රපටයට මේ සම්මානය ලැබුණේ නැහැ. ඒ නිසා මට කවදාවත් මෙම සම්මානය දිනා ගන්න විදිහක් නෑ” කියලා ඔහු කිව්වා. ඒක ඔහු කියන්න ඇත්තේ මා දිරි ගන්වන්න සහ සිනමාවේ වටිනාකම පැහැදිලි කරන්න වෙන්න ඕනේ. මම හිතන්නේ මගේ ශිල්පීන් මහේන්ද්‍ර පෙරේරා සහ කෞශල්‍යා එතන හිටියා.

විශේෂයෙන්ම මහේන්ද්‍ර පෙරේරාගේ අත් දෙක අල්ලල ඔහු කිව්වා, ඔබේ මෙම අත් දෙක මත නේද අර මකුළුවා එහෙ මෙහෙ ගමන් කරන්නේ? කියා (ඔබට මතක් කරගන්න පුළුවන් සුළඟ එනු පිණිස චිත්‍රපටයේ තියෙනවා මහේන්ද්‍ර පෙරේරා මුර කුටියේ ඉන්නා විට ඔහුගේ අතේ මකුළුවෙක් යන දර්ශනයක්) අබ්බාස් කියරොස්තාමි ඇසුවා. අන්න ඒක තමයි සිනමාව කියලා ඔහු පැවසූ ආකාරය මට අද වගේ මතකයි. ඉන් පස්සේ ඔහු මට විශේෂ දයාවක්, ලැදියාවක් දැක්වූවා.

ඔහු ලංකාව පිළිබඳවත් ඒ වගේම ගෞරවයක් දක්වපු කෙනෙක්. ඔහු මට කිව්වා විමුක්ති ලංකාවේම නැවතී චිත්‍රපට කරන්න. එය ඉතා වටිනවා කියලා. සුළඟ එනු පිණිස චිත්‍රපටය ප්‍රංශයේ සිනමා ශාලා 30 ක පමණ ප්‍රදර්ශනය වුණා. ඒ සඳහා ප්‍රංශයේ ප්‍රධාන සමාගමක් වෙන ර්ම්2 කියන ආයතනය සම්බන්ධ කරලා දීලා ඔහු මට ඉතා විශාල උදව්වක් කළා.

කියරොස්තාමිට අවශ්‍ය වුණා ඔහුගේ සිනමා ප්‍රේක්ෂකයින්ට මගේ සිනමා කෘතිය බලන්නට සලස්වන්න. ඔහු දැවැන්ත සිනමාකරුවෙක් නිසා ඔහුට ප්‍රංශයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒක ඉතාමත් වැදගත් කාර්යයක්. මම වගේ තරුණ, නවක සිනමාකරුවෙක්ට සිනමාපට ප්‍රදර්ශනය කරනවා කියන එක පහසු දෙයක් නොවෙයි.

නමුත් ඔහු සුළඟ එනු පිණිස චිත්‍රපටය ප්‍රේක්ෂකයන් වෙත යොමු කළා. ඔහු එහිදී විශේෂ සටහනක් කළා. ඒ තමයි සම්මාන උලෙළේදී ඔහුට ලැබුණු තෑග්ග සුළඟ එනු පිණිස චිත්‍රපටයයි කියලා. ඒ චිත්‍රපටය තුළ තිබෙනවා යම් කිසි විදිහක ස්වතන්ත්‍ර දැක්මක් සහ විශේෂ නැවුම් සිනමාවක ලක්ෂණ කියලා ඔහු සඳහන් කළා.

ඒ වගේම ඔහු කිව්වා යම් ලෙසකට මෙම චිත්‍රපටය පිරිසිදු සිනමා කෘතියක් කියලා. ඒ වාක්‍ය මට ප්‍රංශයේ සිනමා කෘතිය ප්‍රදර්ශනය කරන්නට විශාල සහයෝගයක් වුණා. මට මතකයි අපි ප්‍රංශයේ සිනමාපටය ප්‍රදර්ශනය කළ සියලුම ස්ථානවලත් පූර්ව ප්‍රචාරක පටවලත් එම අබ්බාස් කියරොස්තාමිගේ සටහන ප්‍රදර්ශනය කළා. ඒ වගේම අදටත් මම හිතන්නේ ඩීවීඩී පටවල පවා එම කියරොස්තාමිගේ සටහන අපිට දකින්නට පුළුවන්.

එක්තරා විදිහකට ලෝක ප්‍රමාණයකින් ගත්තහම ප්‍රංශයේ කාන් සිනමා උලෙළ කියන්නේ ලෝකයේ විශිෂ්ටතම සිනමා උලෙළක්. ඉතින් ඒ වගේ අවස්ථාවක මාව ලෝක සිනමාවට හඳුන්වාදීම පිළිබඳව මට අදටත් අවංක ගෞරවාදරයක් පවතිනවා අබ්බාස් කියරොස්තාමි ගැන. ඉතින් මේ දිග කතන්දරයට යටින් යන ඉතා මානුෂික කතාවක් දිව යනවා. කියරොස්තාමි නැමැති පරිපූර්ණ සිනමාකරුවා එහෙම නැත්නම් ලෝක පූජිත මිනිසකු පිළිබඳව තේරුම් ගන්නට එය වැදගත් වෙයි කියලා මම හිතනවා.

ඒ නිසා මා එම කාරණා මේ මොහොතේ හෙළිදරව් කිරීම අසාධාරණ නොවේ යැයි සිතනවා. කියරොස්තාමිට මුහුණදීමට සිදු වූ ඉතාමත් මානුෂික ප්‍රශ්නයක් තමයි ප්‍රංශයේ එම කාන් සම්මාන උලෙළේදී නිකි කරමි කියන සිනමාකාරිය ඇයගේ ප්‍රථම සිනමා කෘතිය නිර්මාණය කරලා මෙම සිනමා උලෙළට ඉදිරිපත් කරලා තිබ්බ එක.

where is my friend’s home

ඇය සිනමා තාරකාවක්, ඉතා දක්ෂ නිළියක්. ඇය ඉතා ජනප්‍රියයි. ඔහුගේ සිනමාපටවල ඇය රඟපාලා තියෙනවා. මෙතන විශේෂම දෙය තමයි ඇය තමයි ඒ යුගයේ අබ්බාස් කියරොස්තාමිගේ පෙම්වතිය වෙලා හිටියේ. අබ්බාස් කියරොස්තාමිගේ පෙම්වතියගේ සිනමාපටයත් එම උලෙළේම මගේ චිත්‍රපටයත් ඇතුළත් වෙලා තිබුණා කැමරා දෝ සම්මානය සඳහා තරඟ වැදුණා. නාමයෝජනා වෙලා තිබුණා. දැන් ඔබට තේරෙනවාද ඔහු ඉතාමත් බරපතල ගැටලුවකට මුහුණ දෙනවා. ඔහුට සිදු වෙනවා, මොන විදිහේ අර්බුදයකට, මානුෂික බැඳීමකට, ආදරයක් තිබුණත් වෙනත් අදහසක් වෙත යන්නට. ඇයගේ එම සිනමාපටය උලෙළට ඇතුළත් වන්නේ ඔහු නිසා නොවෙයි. ඇය දක්ෂ සිනමාකාරිනියක් නිසා.

නමුත් ඔහුගේ තීරණය නිසා එම සම්මානය ඔහුගේ පෙම්වතියට නොලැබී සුළඟ එනු පිණිස චිත්‍රපටය වෙනුවෙන් මට හිමි වෙනවා. මේක ලංකාවේ නම් අනිත් පැත්ත සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අබ්බාස් කියරොස්තාමිට සිදු වෙනවා එම අවස්ථාවේ මානුෂික අරගලයේදී තම ආදරය වෙනුවෙන් පෙනී නොසිට සිනමාව වෙනුවෙන් පෙනී සිටින්නට.

මේක ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. මොකද ඉන් අපට පෙනී යනවා අබ්බාස් කියරොස්තාමි කියන සිනමාකරුවාගේ පවතින ඉතාම ස්වාධීන බවත්, කිසිම පෞද්ගලික මතවාදාත්මක තත්ත්වයක් මත හෝ ඇලීමක්, බැඳීමක් නිසා ඔහුගේ සිනමාව වෙනුවෙන් පෙනී සිටීම වෙනස් නොවන බවත්.

අබ්බාස් කියරොස්තාමි චිත්‍රපටයක් ලියන්න කාලය ගත කරන්නට උනන්දු කෙනෙක් නොවෙයි. ඔහු ඊටත් වඩා ආශා කරන්නේ සිනමාපටයක් ගැන සිතා එය රූගත කරන්නට. සිනමාපටයක් ලිවීම සම්බන්ධ ශාස්ත්‍රීය කාරණාවලට ඔහු දක්වන්නේ පසුගාමී තත්ත්වයක්. ඔහු ඒ තරම්ම තමන්ගේ අදහස් වචනයට දමනවාට වඩා රූපයට නඟන්නට ආශා කරන සිනමාකරුවෙක්.

ඒ වගේම ඔහු ඉතා ක්‍රියාශීලී කියලා අපිට මෙමඟින් හොඳින් පෙනී යනවා. ඊමේල් පණිවුඩ හරහා මම නිකි කරිනි හා සම්බන්ධ වූ වරෙක ඇය පැවසුවා කියරොස්තාමි සිනමාපටයක් කරන්නට යන මොහොතේදී ඒ ගැන පිටු දෙක තුනක් ලියනවා, නැවත ගේ තුළ ඇවිදිනවා කියලා. ඒ තරම්ම ඔහු රූගත කිරීම සඳහා නොඉවසිලිමත්.

2006 වසරේදී බූසාන් සිනමා උලෙළේදී කියරොස්තාමිව මට නැවත හමු වෙනවා. එහිදී ඉන්දීය පුවත්පත් කලාවේදිනියක් වන මීනක්ෂි ෂෙට්ටි මා හමුවන්නට පැමිණි අතර එම නිසාම ඇයට මා සමඟ අබ්බාස් කියරොස්තාමි හමුවන්නට අවකාශය ලැබිණි. මීනක්ෂි අප සමඟ කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ සම්පාදිකාවක් ලෙස වැඩ කටයුතු කරන කෙනෙක්.

එම හමුවීම ඇගේ ජීවිතයේදී ලැබූ විශාල ආශ්වාදනීය අවස්ථාවක් බව පසුව ඇය පැවසුවා මට මතකයි. මේ සොඳුරු මිනිසාට මිනිසුන් දක්වන ආශාවට හේතුව ඔහු විසින් ලොවට දායාද කළ සිනමා සෞන්දර්යයි. ඒ තමයි කියරොස්තාමිගේ සිනමාව.

අබ්බාස් කියරොස්තාමිව නැවත මා හට හමු වූයේ 2013 වසරේදී චෙක් ජන රජයේදීයි. කියරොස්තාමිගේ සියලුම චිත්‍රපට ඇතුළත් කරලා ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවතුණා මේ චෙක් ජන රජයේදී. ඒ වගේම මගේත් ප්‍රථම වතාවට ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක් පැවතුණා මේ චෙක් ජනරජය තුළ.

ඔහු මහා සිනමාකරුවෙක් විදිහටත් මම නවක සිනමාකරුවෙක් විදිහටත් මෙම සිනමා උලෙළේ අංශ ද්විත්වයක් නියෝජනය කිරිම එක් අතකින් ආශ්චර්යමත් සිදුවීමක් විදිහට මට මගේ මතකයේ පවතිනවා. එතකොට මම චෙක් ජනරජයට ගිිහින් ඒ සිනමා උලෙළ පැවැත්වෙන හෝටලය දෙසට ඇවිදගෙන යද්දී මම දුටුවා මේ අවුරුදු 70 කටත් වැඩි මේ පුද්ගලයා හුදකලාව කැමරාවත් අරගෙන ඡායාරූප සටහන් කරගන්නවා.

එහිදී අපි හමු වුණා. රාත්‍රිය පුරාවට අපි වයින් බෝතල් දෙකක් පමණ පානය කරනු ලැබුවා. ඔහුගේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්න අපි එහිදී සාකච්ඡා කරා, ඔහු එහිදී කියපු දෙයක් තමයි නිකි කරිනි ඔහුගෙන් සමුගත්ත කියන කාරණය. මොකද ඇයට දරාගන්න අපහසු වෙනවා තමන්ගේ පෙම්වතා ජූරි සභාවක ඉද්දී ඇයට සම්මානය නොලැබී යාම, සමාජයක් මේ පිළිබඳව කතාවන දෙය අපි දන්නවා. ඒ හරහා ඇය ඔහු එක්ක සම්බන්ධය නතර කරනවා.

නමුත් ඇය ඔහු එක්ක කතාවත් නොකරනවා කියන තැනට පත්වෙන්නේ නැහැ. ඔහුට මේ පිළිබඳව සිත් වේදනාවක් තියෙනවා. නමුත් ඔහු කියනවා ඔහු ඒ ජූරි සභාවේදී ගත්ත තීරණය පිළිබඳව කිසිම පසුතැවීමක් නැහැ කියලා. ඔහු මට කිව්වා ‘විමුක්ති ඉතිහාසය විසින් ඒක නිවැරදියි කියලා ඔප්පු කරයි’ කියලා. ඉතාමත් හැඟුම්බරව ඔහු ඒ කියූ දේ මට තවමත් මතක් වෙන බව මෙහි මතක් කළ යුතුයි.

පසුව ඊට අමතරව ඔහු කිව්වා ඔබේ අද දුටු චිත්‍රපටවලට අමතරව තිබෙන චිත්‍රපට මම දැකලා නැහැ. මට ඒවා වහාම දකින්න සලස්වන්න කියලා. මම ඒ මොහොතේම චිත්‍රපට උලෙළ සංවිධායකයින්ට කිව්වා ඒ චිත්‍රපට සංයුක්ත තැටි අනුපිටපත් විදිහට සකස් කරලා කියරොස්තාමිට ලැබෙන්න සලස්වන්න කියලා.

ඔහු හැඟීම්බරව හිටිය හින්දම මම කියරොස්තාමිගෙන් ඇහුවා ඒ වනවිට ඉරාන සිනමාකරුවන්ට ලෝකයේ ඇති වී තිබෙන ගැටලු සහගත තත්ත්වය පිළිබඳව. එතකොට ඔහු ප්‍රකාශ කළේ ඒක දඩමීමා කරගෙන තමා ඉරානයේ විශාල සිනමාකරුවා බවට පෙන්නන එක හරිම අශෝභනයි කියන කාරණය.

ඉරානයේ නව සිනමාකරුවන්ට තියෙන දුෂ්කරතාවය, මර්දනකාරී ස්වභාවය අනවශ්‍ය විදිහට ලෝකයට එළිදරව් කිරිමට යෑමෙන්, චිත්‍රපට උලෙළවල් හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට යෑමෙන් සිදු වෙන්නේ සිනමාවට මහා කණගාටුදායක තත්ත්වයක්. ඒ වගේම නිර්මාණකරුවෙක් විදිහට ලැබිය යුතු ප්‍රශස්තය නෙමෙයි හුදෙක් නිර්මාණයේ තිබෙන ගුණාත්මකභාවය සඳහා ලැබෙන ප්‍රශස්තය පමණයි තිබිය යුත්තේ කියන මතයේ ඔහු එල්බ සිටියා.

මටත් ඔහු කිව්වේ මේ පිළිබඳව පුළුවන් නම් මතයක් හදන්න. මොකද තමන්ගේ රට තුළ මර්දනය වීමක්, තහනම් වීමක් තියෙනවා කියන කෙටි ක්‍රම චිත්‍රපට උලෙළවල්වල ආකර්ෂණය ලබාගැනීම සඳහා භාවිතා කරනවා කියන එක තමයි ඔහුගේ අදහස වුණේ. ඔහුට දැඩි අප්‍රසාදයක් තිබුණා දැවැන්ත ගණයේ සිනමා උලෙළවල් හරහා මේවා ප්‍රවර්ධනය කිරිම පිළිබඳව.

මේ තුළින් අපට තේරුම් ගන්න පුළුවන් කියරොස්තාමි කොයිතරම් අවංක සිනමාකරුවෙක් ද, ඔහුට සිනමාව කියන මාධ්‍ය එක්ක තිබුණු බැඳීම, ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටීම කියන කාරණා පිළිබඳව බැලීමේදී. ඒ ඇති වූ සංවාදයෙන් පසුව මම කිහිප විටක් ඔහුට ලිපි ලිව්වා. ඊමේල් කළා, මට විශේෂ අවශ්‍යතාවයක් තිබුණා ඔහුව ලංකාවට ගෙන්න ගන්න.

කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළට ඔහුට මම ආරධනා කළා ප්‍රධාන අමුත්තා විදිහට ගෙන්න ගන්න. නමුත් ඒ මොහොතේ ඔහු අසනීප වුණා. ඔහු කළින් මුණ ගැසුනාම මම ඔහුට ආරාධනා කළා ලංකාවට එන්න කියලා. එතකොටත් ඔහු කිව්වේ මම ලංකාව ගැන කියවලා තියෙනවා. මම ආසයි ලංකාවට එන්න කියලා.

ඒ වගේම ඔහු හැම වෙලේම ඔහු උත්සාහ කරනවා තව කෙනෙකුට හඳුන්වලා දෙන්න. ප්‍රංශයේ හිටපු සුප්‍රසිද්ධ බෙදා හරින්නෙක් වන හරින් කර්මෙට් කියන ඔහුගේ නිෂ්පාදකවරයා වෙත මගේ චිත්‍රපටවල සංයුක්ත තැටි බෙදා හැරිම පිළිබඳව ඉල්ලීම ඔහු කළා. ඊට පසුව අපි කිහිප වතාවක් චිත්‍රපට උලෙළවල්වලදී හමු වුණා.

ඒවා ඉතා දීර්ඝ හමුවීම් නෙවෙයි. ඒ හමුවුණු වෙලාවක ඔහු කියපු දෙයක් තමයි ඔහු අදහසකින් පසු වුණා කියන එක රෝමයේ ජීවත්වන 80 වියැති එක්තරා මවක් පිළිබඳව සිනමාපටයක් හදන එකට. ඔහු සිනමාපටයක් රචනා කරගෙන තිබුණ සහ ඔහු ඒ පිළිබඳව ඉතා උනන්දුවෙන් කතා කළා. අවාසනාවකට ඒ චිත්‍රපටය අපට දකින්න හම්බ වුණේ නැහැ. ඒ නිසා අපි ඔහුගේ අවසාන චිත්‍රපටය විදිහට ගන්නේ Like Someone in Love කියන චිත්‍රපටය.

තවත් කොටසක් ලබන සතියට...