වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




නිවසක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට තවම පිළිතුරක් ලැබී නැහැ

නිවසක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමට තවම පිළිතුරක් ලැබී නැහැ

- එච්. එම්. ජයවර්ධන

එච්. එම්. ජයවර්ධන නම් වූ සංගීතඥයා සියඹලාණ්ඩුවේ ඉපිද ඉතා දුෂ්කර වූ වන ලැහැබක් තරණය කරමින් අප ගී රස පවස සනහාලන්නට අමා පැන්ගෙන ආවෙකි. ඒ පැන් එදා මෙදාතුර අපේ සිත් සතන් පෝෂණය කරනු ලැබුවේ ඔහු විඳි දුක් පීඩාවන් නාමයෙනි. ගංගාවක් නෙත පිනවමින් ගලා ගියද එය නිර්මාණය වන්නේ රළු ගල්පර සේම හැල හැප්පීම් මතිනි. මතුපිට සිහිල් දිය දහරා මවන ගංදිය පතුලෙහි ඇත්තේ ඒ නිවුණු බවම නොවේ. දිය සුළි ආගාධ දෝනා ඔස්සේ විවිධ දුෂ්කර ක්‍රියා කරන ගංදිය අප වෙනුවෙන් මතුපිට මවාලන්නේ හැම විටම නෙතට මෙන්ම සිතට ද සැනසීමකි. එච්. එම්. ද එබඳු වූ ගංගාවකි. ඒ ගංගාවේ ඇත්තේ ශෝකී බවකි. එමෙන්ම සිසිලසකි. එච්. එම්. අප සමඟ පිළිසඳරට එක් වූයේ මෙලෙසිනි.

මේ දවස්වල ඔබේ නිර්මාණ කටයුතු එහෙම කොහොමද?

සකුරා ආයතනයේ අධිපති සඳරුවන් මහතාගේ ආරාධනයකට ඔහුගේම ගීත රචනා කිහිපයකට අලුත් තනු නිර්මාණය කළා. අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, කසුන් කල්හාර, ජානක වික්‍රමසිංහ, මේකලා ගමගේ, සන්ධ්‍යා බුලත්සිංහල වෙනුවෙන් තමයි මේ ගීත මම නිර්මාණය කළේ.

ඔබගේ අසනීප තත්ත්වය නිර්මාණ කාර්යයට අද බාධාවක් වෙලාද?

අසනීප තත්ත්වය කොයි විදිය වුණත් මම නිර්මාණ කටයුත්තට එය බාධාවක් කරගෙන නැහැ. එදා වගේම අදත් මම අලුත් නිර්මාණ වෙනුවෙන් උනන්දු වෙනවා.

අද ඔබ පෙළෙන රෝගී තත්ත්වය?

මගේ වකුගඩු දෙකම නරක් වෙලා. වෛද්‍ය වර්තාව අනුව ඒක භයානක තත්ත්වයක්. මම අද කරන්නේ මේ වකුගඩු තවදුරටත් නරක් වෙන එක වලක්වන්න ප්‍රතිකාර ගන්න එක.

වකුගඩු දෙක නරක් වෙලා තිබියදීත් ඔබ ඒ සඳහා සිංහල බෙහෙත් ගන්න පෙළඹුණේ?

ඉංග්‍රීසි බෙහෙත් ගන්න ගියහම ලේ මාරු කරන්නයි, වකුගඩු බද්ධ කරන්නයි, වකුගඩු හොයන්නයි සිද්ධ වෙනවා. මේවා හරි ප්‍රශ්න. කොහොම හරි මගේ අසනීප තත්ත්වය වැඩි වුණාට පස්සේ මට කීප දෙනෙක්ම කිව්වා දඹුල්ල පැත්තේ ඉන්න එච්. එම්. කිරි බණ්ඩා වෙද මහත්තයා ගැන. මම ඒ වෙද මහත්තයා ගැන විස්තර පළ වූ පුවත්පත් ලිපි කීපයක්ම කියෙව්වා. මේ ලෙඩේට ඒ මහත්තයා හොඳයි කියලා මම තීරණය කළා වෙද මහත්තයාගෙන් ප්‍රතිකාර ලබා ගන්න. දැන් අවුරුද්දක් විතර ඉඳලා මම ඒ වෙද මහත්තයාගෙන් දිගටම ප්‍රතිකාර ලබා ගන්නවා.

වෙද මහත්තයාගේ ප්‍රතිකාරවලින් දැන් සුවයක් දැනෙනවාද?

ලොකු වෙනසක් තියෙනවා. අද වෙන කොට වකුගඩුවලට රෝගී තත්ත්වයෙන් වෙන හානිය පාලනය වෙලා තියෙනවා. දැන් මාසෙට සැරයක් දඹුල්ලට ගිහින් ප්‍රතිකාර ලබාගන්නවා. කැඳ වර්ග, කෂාය, චූර්ණ වර්ග තමයි දෙන්නේ. දැන් නම් එහෙම අපහසුකමක් නම් දැනෙන්නේ නැහැ.

මේ වගේ අසනීපයක් ඇතිවෙන්න හේතුව මොකක් කියලද වෙද මහත්තයා කිව්වේ?

මම එක දිගට පෙෂර් එකට, ගැස්ට්‍රයිටිස්වලට අවුරුදු දහයක් විතර ඉංග්‍රීසි බෙහෙත් බිව්වා. ඒ බේත්වල සැරට තමයි වකුගඩු දෙක නරක් වෙලා තියෙන්නේ කියලා වෙද මහත්තයා කිව්වා.

මුලින්ම මේ අසනීප තත්ත්වය දැනගත්තේ?

මට හදිසියේම ක්ලාන්තය දාලා වැටෙන්න පටන් ගත්තා. මගේ කකුල් ඉදිමුණා. බඩ ඉදිමෙන්න පටන් ගත්තා. ස්කෑන් කරලා බලපුවහම වෛද්‍යවරු කිව්වා වකුගඩු නරක් වෙලා කියලා.

අද රටේම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ වකුගඩු රෝගී තත්ත්වය සුව කරන්න අද අපේ සිංහල වෙදකමට හැකි වෙලා කියන විශ්වාසය ඔබට කරන ප්‍රතිකාර තුළින් ප්‍රත්‍යක්ෂ වෙලා?

ඔව්. මම මේක අත්දැක්ක සත්‍යයක්. මම මේ රටේ වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට පණිවිඩයක් දෙන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.

දඹුල්ලේ එච්. එම්. කිරිබණ්ඩා වෙද මහත්තයා හරි දක්ෂ වෙද මහත්තයෙක්. එතුමාගෙන් ප්‍රතිකාර ගන්න එන රෝගීන් සංඛ්‍යාවෙන්ම එතුමා කොච්චර ජනප්‍රිය ද කියලා පේනවා. වකුගඩු රෝග පිළිබඳ එතුමා විශේෂඥ සිංහල වෙද මහත්තයෙක්. යූරීන් රිපෝට් එක, බ්ලඩ් රිපෝට් එක, ස්කෑන් වාර්තා අරන් ගියහම වෙද මහත්තයා සුව කරන්න පුළුවන් ද බැරි ද කියලා කෙළින්ම කියනවා. ලෙඩේ ගැන තක්කටම කියන්න පුළුවන් ඥාන බලයකුත් එතුමාට තියෙනවා. අවශ්‍ය අයෙක් දඹුල්ලෙන් කන්ඩලම පාරේ ටික දුරක් යන කොට එතුමා ප්‍රතිකාර කරන කණ්ඩලම වෙද මැදුර තියෙනවා.

වෙද මහත්තයා සම්බන්ධ කරගන්න අයකුට තොරතුරක් දැනගන්න ලිපිනය මතක් කළොත්?

කණ්ඩලම වෙද මැදුර, අතු පාර, යාය හංදිය, කණ්ඩලම පාර, දඹුල්ල. 066-22-85471 දුරකතන අංකයෙනුත් විස්තර ලබා ගන්න පුළුවන්. පෝය දිනවලත් බදාදා දිනවලත් ප්‍රතිකාර කරන්නේ නැහැ. අනෙක් සෑම දිනකම උදේ හයටත් නවයටත් පමණක් තුණ්ඩු නිකුත් කිරිම සිද්ධ කරනවා. ඒ වෙලාවට රටේ සතර දිග්භාගයෙන්ම රෝගී වෙච්ච අය ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් පැමිණ සිටිනවා.

එච්. එම්. ජයවර්ධන කියන සංගීතඥයා ගැන ඔබට මොකක්ද හිතෙන්නේ?

මම මේ රටේ සංගීත ක්ෂේත්‍රයට යමක් කළා කියන ආත්මීය සතුට මට තියෙනවා. පණ්ඩිත් අමරදේවයන්, නන්දා මාලිනී ඉඳලා මගේ පුතා කසුන් කල්හාරගේ පරම්පරාව දක්වාම මම සංගීත නිර්මාණය කරලා තියෙනවා.

දශක හතරකට වැඩි කාලයක පටන් ඔබේ ගී තනු කොපමණ ප්‍රමාණයක් නිර්මාණය වෙලා ඇත්ද?

ගී තනු දහසක් විතර.

ඒ ගී තනු අතර ඔබ සිත් ගත් ප්‍රසන්න ගී නිර්මාණ මොනවාද?

මම මගේ නිර්මාණ සියල්ලටම ආදරෙයි. ඒ අතරින් නන්දා මාලිනී ගයන ඔබයි රම්‍ය සඳ කිරණ . . . කඩමණ්ඩියේ, අමරසිරි පීරිස් ගයන ඇය යන්න ගියා මැකිලා . . . සඳ තරුණි හඬයි . . . මාලිනී බුලත්සිංහල ගායනා කරන සැන්දෑ අහස වගේ . . . මල පොතේ අකුරු . . . ගීතවලට විශේෂ කැමැත්තක් තියෙනවා.

ඔබේ පුත් කසුන් කල්හාර අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක්. කසුන් එච්. එම්. සුසංයෝගයේ නිර්මාණ කටයුත්තක් එළි දකින්නේ නැද්ද?

මම පුතාට ගීත පහක් විතර දැනට නිර්මාණය කරලා දීලා තියෙනවා. වීණාවී . . . කියන ගීතය එයින් එකක්. පුතා එයාගේම තනුවලට තමයි ගායනා කරන්නේ. කසුන් යන්නේ එයාගේම වෙනස් ආරක ගමනක්. මම යන්නේ මට ආවේණික වෙච්ච වෙනස්ම ආරක ගමනක්. හැබැයි ඉතිං ඉදිරියේදී මේ වෙනස් ආරක ගමන එකට එකතු වෙයි ද දන්නෙත් නැහැ. තවම නම් ඒ වගේ සුසංයෝගයක අත්දැකීමක් අපේ රසිකයන්ට අත් විඳින්න හැකි වුණේ නම් නැහැ.

මේ රටේ රසික රසිකාවන් ආදරය කළ ගායිකාවක වගේම ඔබේ ආදරණීය බිරිය මාලිනී බුලත්සිංහලයන් මිය ගොසින් මේ වන විට වසර ගණනාවක් ගත වෙලා. ඒ අතීත මතක අතර හුදකලා වී සිටින ඔබ ඈ ගැන මොන වගේ සිහිපත් කිරීමක් ද අද සිද්ධ කරන්නේ?

ඇයගේ හදිසි වියෝව මට වගේම මේ රටේ රසික රසිකාවියන්ටත් අත් කර වන්නේ විශාල වේදනාවක්. 2001 මාර්තු 28 වැනිදා තමයි එයා මිය ගියේ. එයා නැතිව මා ගෙවන මේ ජීවිතය ගැන දුකක් නැතිවා නෙවෙයි. මේ වසරේ මාර්තු 28 වැනිදාට මාලිනී මිය ගොස් අවුරුදු පහළොවක්. මම එයා වෙනුවෙන් මේ හැම වසරකම එයාගේ දෙසැම්බර් 12 වැනිදාට යෙදෙන උපන් දිනයටත්, එයා මිය ගිය මාර්තු 28 වැනිදාටත් එයාට පිං අනුමෝදන් කරලා දානමය පුණ්‍ය කටයුතු තමයි සිද්ධ කරන්නේ.

ඇය යන්න ගියා මැකිලා . . . කියන ගීතය ඔබ ලංකාවේදී පටිගත කරන කොට මාලිනි අමෙරිකාවේදී ජීවිතයෙන් සමුගන්නවා. මේකත් ඔබේ ජීවිතයේ දෛවෝපගත සිද්ධියක්?

සුනිල් සරත් පෙරේරා රචනා කරපු මේ ගීතය අමරසිරි පීරිස් තමයි ගායනා කරන්නේ. මගේ තනු නිර්මාණයෙන් බිහි වන මේ ගීතයේ පටිගත කිරීම් කර අවසන් වෙන කොටම මට පණිවිඩයක් ලැබුණා මාලිනී අමෙරිකාවේදී නැති වුණා කියලා. ඒ වෙන කොට එයා ඒ රටට ගිහින් හිටියා ප්‍රසංගයක් සඳහා. මාලිනී තමයි මාව ඉස්සෙල්ලා සංගීතඥයෙක් කළේ. ඇගේ රජ මැදුරක ඉපදී සිටියා නම් ගීතය තමයි මගේ මුල්ම සංගීත නිර්මාණය.

පරම්පරා කිහිපයක් වෙනුවෙන්ම ඔබ ගී තනු නිර්මාණය කළත් ඔබට තනු නිර්මාණයෙන් දායක වෙන්න බැරි වූ කිහිප පලක්ම ගැන ඔබ නිතර කතා කරනවා?

එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් මල්ලවාරච්චි, සුජාතා අත්තනායක මේ ශිල්පීන්ට තනු නිර්මාණය කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ.

එච්. එම්. ජයවර්ධන කියන්නේ නිදහසේ නිර්මාණකරණයේ නියැලෙන හරිම නිදහස් නිර්මාණකරුවෙක්. එවන් වූ ඔබ වගේ නිර්මාණකරුවෙක් ඇගැයීම පිළිබඳ ඔබේ අදහස?

දශක හතරකටත් වැඩි කාලයක පටන් මම මේ නිර්මාණ කාර්යයේ නියැලෙන පුද්ගලයෙක්. මගෙන් යම් දෙයක් මේ සංගීතයට වුණොත්නේ කෙනෙක් මා ගැන ඇගැයීමක් කරන්නේ. මම හිතනවා මා ගැන අන් අය පල කරන අදහස් අනුව මගෙන් දෙයක් සංගීතයට වෙලා ඇති කියලා. මම මම ගැන තක්සේරු කරන්නේ නැහැ. හැබැයි ඒ වගේ මා ගැන වෙනත් අය තක්සේරු කළ අවස්ථා කීපයක් මීට පෙර සිද්ධ වුණා. 'ඔබයි රම්‍ය සඳ' 'මියැසි ශීර්ෂ' ප්‍රසංග වගේම මෙ මාසේ 31 වනිදා ගම්පහදී පැවැත්වෙන වනස්පති සහෘද එකමුතුව සංවිධානය කරන එච්. එම්. ජයවර්ධන ප්‍රණාම මියැසි ප්‍රසංගය මා වෙනුවෙන් කරන උපහාරයක්. ඒ ගැන මා තුළ තියෙන්නේ මුදලට එහා ගිය අප්‍රමාණ සතුටක්.

ගී තනු නිර්මාණයේ බොහෝ විට නියැලුණන් ජනප්‍රිය තලයේ වැජඹුණත් ඔබ චිත්‍රපට පසුබිම් සංගීතයේ දුර ගමනක් ගියේ නැහැ කියලයි මට හිතෙන්නේ?

මගේ මුල්ම චිත්‍රපට පසුබිම සංගීතය නිර්මාණය වුණේ ආරාධනා චිත්‍රපටයට. ඊට පස්සේ මංගල තෑග්ග, කැලෑ මල් අවසානයේ මුහුදු ලිහිණි.

චිත්‍රපට පසුබිම් සංගීතය වෙනුවෙන් ඔබ සරසවිය, ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වෙන නිර්මාණකරුවෙක්?

ආරාධනා චිත්‍රපටය වෙනුවෙන් මටත් රෝහණ වීරසිංහයන්ටත් සරසවිය සම්මානය ලැබුණා. මුහුදු ලිහිණි චිත්‍රපටය සඳහා චිත්‍රපට පසුබිම් සංගීතයටත්, හොඳම ගී තනුව සඳහාත් මට ජනාධිපති සම්මාන දෙකක් හිමි වුණා.

මෙතරම් සම්මානනීය සංගීතඥයෙක් වෙලත් ඇයි චිත්‍රපට සඳහා දායක නොවුණේ?

මට ආරාධනා ලැබුණේ නැහැ. ඒකට හේතුවක් වෙන්න ඇති කියලා මම හිතනවා.

මම සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයට සම්මාන ලැබෙන කොට එය මා ප්‍රතික්ෂේප කොට ඒ අවස්ථාවේ තරග වැදුනු ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කරපු තුන්වෙනි යාමය චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට එය ලැබිය යුතුයි කියන ස්ථාවරයේ මම පසුවීම. මේ විදියට මට ලැබෙන සම්මාන ප්‍රතික්ෂේප කරන කොට චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකයෝ මාව එයාලගේ නිර්මාණවලට සම්බන්ධ කරගන්න මැලි වුණා.

ඇයි ඔබ ඒ වගේ සම්මාන ප්‍රතික්ෂේප කළේ?

මගේ හෘද සාක්ෂියට එකඟව මම කළ නිර්මාණයට වඩා කේමදාසයන්ගේ නිර්මාණය ඉහළ තැනක තිබූණා කියලා මට හැඟුණා. විනිශ්චය මණ්ඩලයේ තීරණය කුමක් වුවත් මගේ හිතට දැනෙන දේත් එක්ක හොඳ නිර්මාණ අගය කළ යුතුයි කියන පදනමේ මම හිටිය නිසා. ඒ සම්මාන මම ප්‍රතික්ෂේප කළා.

ඔබ ප්‍රතික්ෂේප කළත් සම්මානය ඔබේ කීමට කේමදාසයන්ට දුන්නද?

අපෝ නැහැ. මගේ මතය ගැන කේමදාසයන් මටත් දොස් කිව්වා. මම කළේ මට හැඟුණ දේ. අදටත් ඒ සම්මානය චිත්‍රපට සංස්ථාවේ ඇති. මම නම් භාර ගත්තේ නැහැ.

ඔබ අද කුලී ගෙයක අසරණව ජීවත් වෙනවා කියලා පුවත්පත් කීපයකම පළ වී තිබුණා. මේ කතාව ඇත්තක්ද?

ඔව්. මම දැන් කුලී ගෙයක තමයි ජීවත් වෙන්නේ. අද වෙන කොට මාසෙකට රුපියල් විසි පන්දහසක් විතර බේත්වලට වියදම් වෙනවා. මගේ අනෙක් කටයුතුත් එක්ක ගෙවල් කුලී ගෙවාගෙන ජීවත් වෙන්නට මාසයකට රුපියල් ලක්ෂයක් විතර වියදම් වෙනවා. මේ අසනීප තත්ත්වයත් එක්ක මට කියලා ගෙයක් ලැබුණොත් ගෙවල් කුලීවලට යන මුදලවත් ඉතුරු වෙනවා.

ඇයි අද ඔබ කුලී ගෙයක ජීවත් වෙන්නේ. ඔබටම කියලා ගෙයක් තිබුණානේ?

ඔව්. මමත්, මාලිනීත් තමයි ඒ ගේ හැදුවේ. ඒ ගේ හදන්න ලොකු මුදලක් මාලිනී බැංකුවෙන් අරගෙනත් තිබුණා. අපි ඒ ගෙයි තමයි පදිංචි වෙලා හිටියේ. මාලිනී නැති වුණාට පස්සේ මට ඒ ගෙයි විසීම එපා වුණා. ගේ තිබුණ පරිසරය ගැණත් මට තෘප්තියක් තිබුණේ නැහැ. මගේ දුව නිර්මාලිගේ මරණයත් මාලිනීගේ මරණයත් සමඟ මේ දේවල් මට එපා වුණා. ඒ හින්දම මම ඒ ගේ විකුණලා බැංකුවේ ණය බේරුවා.

තිබුණ ගේ විකුණලා අද ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලන එක හරිද, කලාකාරයෝ අද බොහෝ විට ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලන්නත් පුරුදු වෙලා. තිබුණ ගේ විකුණලා දාලා දැන් ආණ්ඩුවෙන් ගෙවල් ඉල්ලනවා කියලා කවුරු හරි ඔබට චෝදනා කළොත්?

මටම කියලා නිවසක අවශ්‍යතාවය මට දැන් තදින් දැනෙනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් දැන් මට නැහැ. මම වත්මන් රජයේ අගමැතිතුමාටත්, ජනාධිපතිතුමාටත් කිව්වා මට ගෙයක් ලබා දෙන්න කියලා. ඒත් අදටත් ඒක ඉෂ්ට වුණේ නැහැ.

හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මිය ඔබට එවක ගෙයක් දෙන්න උත්සාහ කළා නේද?

මම එතුමියට අවශ්‍ය වෙලා තිබුණ ගීතයක් නිර්මාණය කරලා දුන්නා. රඹුකන සිද්ධාර්ථ හිමියන් තමයි ඒ ගීතය රචනා කළේ. මේ ගීතයේ සියලු කටයුතු ඉවර වුණාම එතුමිය මගෙන් ඇහුවේ එච්. එම්. ඔයාට මේ වෙනුවෙන් සල්ලි ඕනෑද, ගෙයක් ඕනෑ ද, කඩයක් ඕනෑ ද කියලා. මට ඒ දවස්වල මේ මොනවත් ඕනෑ වුණේ නැහැ. මට එදා සල්ලිත් තිබුණා. මාලිනීත් හිටියා.

ඇයි ඔබ කසුන් කල්හාර ළඟට නොයන්නේ?

පුතාත් අද විවාහ වෙලා. එයාට මගේ බර දරන්න අමාරුයි. අදටත් මට බේත් ගන්න, මගේ අවශ්‍යතාවලට එයා මුදලින් උදවු කරනවා.

අසනීප තත්ත්වය නිසාම දැන් ඔබ මත් වතුරන් වගේම දුම් වැටියෙනුත් අයින් වෙලා ඇති නේද?

ඉස්සර වගේ දුම් වැටි පාවිච්චියත්, මත්පැන් බීමත් මම කරන්නේ නැහැ. මාසයකට සැරයක් විතර බියර් එකක් බොනවා. හැබැයි දැන් නම් දවසකට සිගරැට් දහයක් විතර තමයි බොන්නේ.

ඇයි ඔය තරම් දුම්වැටියට ලොල්?

ඒක බීමෙන් මම ලොකු තෘප්තියක් ලබනවා. මම දන්නවා අසනීපයට ඒක හොඳ නැහැ කියලා. ඒත් මොනවා කරන්නද? වෙද මහත්තයත් මට මේකෙ භයානකකම කියලා දීලා තමයි ප්‍රතිකාර කරන්නේ. මම උත්සාහ කරනවා මේ පුරුද්දෙන් ඉක්මනින්ම අත් මිදෙන්න. නැත්නම් මගේ ආයුෂත් ඉබේම කෙටි වෙයි.

මේ ක්ෂේත්‍රයේ බොහෝ අයගෙන් ඔබට උපකාරත් ලැබෙනවා ඇති?

වෙන්ඩෝල් අධිපති ගොඩකන්ද මහත්තයා, කතානායක කරු ජයසූරිය මහත්මයා, නන්දා මාලිනී මහත්මිය, සුනිල් එදිරිසිංහ, සෝමතිලක ජයමහ, ටී. එම්. ජයරත්න ඇතුළු කීප දෙනෙක්ම මට මුදලින් පවා උදවු කරවා අසනීපයට බේත් ගන්න.


එච්. එම්. ප්‍රණාම මියැසි ප්‍රසංගය වනස්පති 31 වැනිදා

හෙළ ගී කෙත පෝෂණය කිරීමේලා දායකත්වය දැක් වූ පිරිස් අති මහත්ය. එවන් නිර්මාණකරුන්ගෙන් එකිනෙකා තුළින් විහිදෙන්නේ එකිනෙකට වෙනස් වූ නිර්මාණයන්ය. එයින් එක් පිරිසක් සංගීතයට පුරෝගාමීහු වෙති. තවත් පිරිසක් ඒ පුරෝගාමීන්ගේ මඟට නව අරුත් සපයන්නෝ ද වෙති'. එච්. එම්. ජයවර්ධනයන් ද එවන් වූ නව අරුත් සංගීතයට එක් කළ පුද්ගලයෙකි.

ලාංකේය සංගීත ක්ෂේත්‍රයට හා රටට සිය නිර්මාණ කෞශල්‍ය තුළින් සිදු කරන ලද අනල්ප අප්‍රමාණ මෙහෙවර පිළිබඳ එච්. එම්. ජයවර්ධනයන් සුළු කොට තැකිය නොහැකිය. සිංහල ගීතය බිහි කිරීම සඳහා විවර කළ මඟ තව තවත් එකලු කළ නිර්මාන ශිල්පීන් අතර ප්‍රමුඛ තැනක් එච්. එම්. ට හිමි විය.

සියඹළාආණ්ඩුවේ සිට කොළඹ ගුවන් විදුලියට පැමිණෙන එච්. එම්. 70' දශකයේදී මතකයේ රැඳෙන සරල ගී රැසක ගී තනු නිර්මාපකයා වෙමින් 80' දශකයේදී සිනමා සංගීතයට එක් වූ අතර සංගීත අධ්‍යක්ෂණය උදෙසා සරසවිය, ජනාධිපති සම්මානයට පාත්‍ර වූ එච්. එම්. ගේ නිර්මාණ දිවිය අගයනු වස් සංවිධානය කෙරෙන එච්. එම්. ජයවර්ධන ප්‍රණාම මියැසි ප්‍රසංගය මෙම මස 31 වැනිදා සවස 7.00 ට ගම්පහ බණ්ඩාරනායක විදුහල් රංග ශාලාවේදී පැවැත්වේ. ජයවර්ධන මහතාගේ නිර්මාණ දිවිය පිළිබඳ ප්‍රවීණ සංගීතවේදීන් කිහිප දෙනෙකුගේ දෙසුම් සමඟින් සංගීත දිවියේ ආවර්ජනයක් ද සමඟින් රසවත් වන එච්. එම්. ජයවර්ධන ප්‍රනාම මියැසි ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ වනස්පති සහෘද එකමුතුවයි. විවිධ කලා ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් ඇගැයීමත් ඒවා වත්මන් පරපුර වෙත සමීප කරවීමේ අරණලු දැක්මත්, ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කිරීම සඳහා ප්‍රායෝගිකව මැදිහත්වීමත් සිදු කරන වනස්පති සහෘද එකමුතුවේ ප්‍රථම කර්තව්‍යය ද මෙය වේ.