වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ මගේ නංගි, උඹ සෙල්ලමට ගන්නවා නෙමේ

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

ඒ මගේ නංගි, උඹ සෙල්ලමට ගන්නවා නෙමේ

'ඔය ළමයා දවස තිස්සෙම කාමරයට වෙලා ඉන්නේ, පාළුවක් නැද්ද?'

ගෙහිමි මහලු කාන්තාව මානවීගෙන් විමසුවාය. එක්තරා කාලයක සිරියාවට ඉන්නට ඇතැයි යන සලකුණු ඇයගේ විය. ගෙයි සාලයේ ඇති පැරැණි ගෘහ භාණ්ඩ බොහෝ සෙයින් දිරාපත් වී තිබිණ.

මහලු ගැහැනියට මානවීගෙන් ලැබුණේ සිනහවකි.

'ඔය ළමයත් අම්මාගේ ගාමන්ට් එකට යන්ඩද හිතන් ඉන්නේ'

'එහෙමම කියලා නෑ. ලැබුණොත් කරනවා'

'ඔය ළමයගේ තාත්තා නැති වුණේ මක් වෙලාද?'

මානවී තිගැස්සුණාය. ඇය කවර පිළිතුරක් දෙන්නේදැයි මහලු ගැහැනිය විමසමින් සිටියාය. මානවීගේ මුහුණේ හැඟීම් කියන්නට ගැහැනිය උත්සාහ දැරුවාය. මානවී ප්‍රශ්නයට උත්තර නොදී අහක බලා ගත්තාය.

'නිර්මලා හොඳ කෙල්ල, මෙතන ඉන්න අනිත් උඩිච්චියෝ වගේ නෙවේ. මං හිතන්නේ ඉගෙන ගෙනත් තියෙනවා'

මානවී යාන්තම් හිනාවෙන්නට උත්සාහ කළාය. කාමරයේ දුරකතනය නාද වනු ඇසිණ. මානවී දෙවියන්ට පින් දුන්නාය. මානවී කතාව නතර කොට එතැනට ගියාය.

'කොහෙද ගියේ, මං ගමටත් ගියා'

දුරකතනය ඔස්සේ ඇසුණු හඬ මානවී හඳුනා ගත්තාය.

'සුජිත් අයියා'

'මොකද ළමයෝ ඔයා උන් හිටි ගමන් ගියේ. කොහේද ඉන්නේ'

'අම්මා ළඟට ආවා'

'මමවත් දන්නේ නෑනේ'

'මං කාටවත් කිව්වේ නෑ'

මානවී වහා උත්තර දුන්නාය. එය තරමක් සැර වැඩි යැයි ඇයට වහා හැඟිණ.

'සුජිත් අයියා කොහේද ඉන්නේ'

'ඔයගොල්ලන්ගෙ ගෙදර'

'බොරු'

'බොරු නෙමේ, අත්තම්මත් ඉන්නේ'

සුජිත් ළඟට කතා කළේ අත්තම්මාය. මානවීගේ ඇස්වලට කඳුළු පිරුණි. අත්තා සනීපයෙන් ඉන්නවා යැයි ඈ පැවසුවාය. ආපසු ගෙදර යා යුතු යැයි මානවීට සිතිණ. දවස් දෙකක් ගත වන විට මානවීට සිතුණේ මේ පැමිණියේ මෝඩ ගමනක් හැටියටය.

'ආපු එකේ තවත් ඉන්නවා'

අන්තිමට හිත හදාගන්නට ඈ කල්පනා කළාය.

යාබද කාමරයේ ඉන්නා කෙල්ලන් සිව් දෙනා අම්මා එන්නට පෙර නිවසට එති. ඔවුන්ගේ සතුටු සාමීචිය මානවීට සැනසිල්ලකි. එහෙත් එය පැය කිහිපයකට පමණි. ඔවුන් නිදහසේ දිවි ගෙවති.

'අදත් අරූ මා පස්සේ ආවා'

කතා කළේ එදා තරුණයෙක් හා රණ්ඩු වූ යුවතියයි.

'මොකද උඹ කළේ'

එකියක ඇසුවාය.

'මං අර උඩ ගෙදර චමින්දයට කිව්වා'

'යකෝ, උඹ මාර ගැනියෙක්නේ. අන්තිමට උගෙන් බේරෙන්න බැරි වෙයි'

සෙසු කෙල්ලන් එකවරම සිනාසෙන්නට පටන් ගත්හ.

'මටත් බැරි ද ජොබ් එකක් හොයලා දෙන්න'

'මානවීට මොනවද පුළුවන්'

එකියක ඇසුවාය.

'මං ඉස්සර කඩේක නම් වැඩ කළා'

'ඒකෙ සර්ටිෆිකේට් තියෙනවද?'

මානවී නැහැයි කියන්නට හිස සැලුවාය.

'අපේ එකට ට්‍රේනිස්ලා වගයක් ගන්නවලු. මං අහලා බලන්නං'

තවත් එකියක් මානවීගේ සිතේ බලාපොරොත්තුවක් ඇති කළාය.

නිර්මලා ගෙදරට ආවේ ඒ වෙලාවේය. ඇය බෙහෙවින් විඩාපත්ව සිටියාය. පාවහන් යුගල ගලවා ඇඳ යටට තල්ලු කළ ඇය වාඩි වූවාය.

'මං අම්මට තේ එකක් හදන්නම්'

'ඕනෑ නෑ'

නිර්මාලා ඇඳ මත වැතිර ගත්තාය.

'ඔයාව මේ තට්ට තනියම මේ කාමරේ දාල යන්නේ මං හරි බයෙන්'

නිර්මලා පැවසුවාය.

'ඇයි'

'මේ පළාත්වල අපි ලාබෙට හිටියට'

ඇය කියන්නට ගිය දේ ගිල ගත්තාය.

'මොනවද අර කෙල්ලෝ කිව්වේ'

ඈ ඇසුවේ හඬ පාත් කරමිනි.

'ඔය දන් නැද්ද, ඒ අය අම්මගේ ෆැක්ටරියේ නෙවේනෙ'

'නැහැ'

'මං කිව්ව මටත් ජොබ් එකක් හොයලා දෙන්න කියලා'

නිර්මලා මානවී දෙස බැලුවේ විමතියෙනි.

'ඕන නැති වැඩ කරන්න එපා මානවී. ලබන සතියේ නිවාඩුවක් තියෙනවා. මං ඔයාව ගෙදර ඇරලවන්නං'

නිර්මලා දුවේ යැයි නොකියා මානවී යැයි පැවසුවේ කෝපයෙනි.

'මට එහෙ ඉන්න බෑ අම්මා. ඒ හින්දනේ ආවේ'

'මොකක්ද ඔයාට ප්‍රශ්නෙ. ඇයි අත්තම්මලා මුකුත් කිව්වද. ඔයා අර සුමිත්ලාගේ කඩෙන් අයින් වුණේ ඇයි?'

නිර්මලා එක දිගට ඇසුවාය.

'මට ඇති කියලා හිතුණා. අර අලියා ආපු දවසේ ඉඳන් මට එහේ ඉන්න හිතුන්නේ නෑ'

නිර්මලා යමක් සිතන්නට වෙර දැරුවාය. ඉස්සර වල් අලි ගම් නොවැදුණාහ. අලින්ට ඉන්න කැලයක් හා මිනිස්සුන්ට ඉන්න ගමකුත් තිබිණි. ගම කැලය අල්ලා ගත්තේය. නිර්මලා දන්නා විදියට තේරුම් ගන්නට උත්සාහ කළහ.

'කොහොම උනත් පුතේ රස්සාවක් හොයා ගන්න ලේසි වෙන්නේ නෑ. එතකම් මෙහෙ ඉන්නත් බෑ. ඔයාව දවල්ට තනියම දාල යන්නත් බෑ'

නිර්මලා ඇඳුම් මාරු කිරීම ඇරඹුවාය.

'අද මදුරු කොයිල් පත්තු කළේ නැද්ද?'

ඇය ඇසුවේ ඇඟේ වැසූ මදුරුවෙකු තලා දමමිනි.

'ඉවරයි'

'අයියෝ අද ඉඳලා හමාරයි' පැවසූ නිර්මලා හඬ නඟා අනිත් කාමරයෙන් මදුරු දඟර විමසුවාය.

'අනේ නෑ නිර්මලා, අපිත් මේ කෑල්ලක් එකතු කරලා පත්තු කළා'

නිර්මලා යළිත් ගවුම ඇඳ ගත්තාය.

'මෙහෙම ඉඳලා බෑ. මං කඩේට ගිහිං එන්නං'

'මාත් එනවා'

මානවී ද ලෑස්ති වූවාය. නිර්මලා කිසිත් නොකීවාය. කාමරයේ දොරගුළු ලෑ ඔවුහු පාරට වන්හ. පාරේ විදුලි පහන තිබුණේ කඩය අසලය. එහි ගුවන් විදුලියෙන් වේග රිද්ම ගීයක් වැයිණි. රෑ තිස්සේ කොත්තු රොටි තැනුයේ ද එහිය.

නිර්මලා කඩය ඇතුළට ගොස් මදුරු කොයිල් අර ගත්තාය. මානවී උන්නේ දොරකඩය.

'ෂා! දැන් දකින්ඩත් නෑනේ'

කඩය අසලට පැමිණි තරුණයකු නිර්මලාට පැවසුවේ මහ හඬිනි. කඩේ මුදලාලි මැදි වියේය. නිර්මලා ගනුදෙනුව කරගෙන එළියට පැමිණියාය.

'දැන් හැමදාම රෑ වෙනවා චමින්ද අයියේ'

නිර්මලා පැවසුවාය. තරුණයා මානවී දෙස බැලුවේය.

'කවුද මේ අලුත් එක්කෙනා'

නිර්මලා සිනාසී මානවී ඇදගෙන පාරට බැස්සාය. තරුණයා ද ඔවුන් පසුපසින් වැටිණ.

'මේ ඔහොම හිටපං'

නිර්මලා මානවී නතර කොට තරුණයා ළඟට ආවාය.

'මොකද?'

අම්මා කතා කරන්නේ කුමක්දැයි අසන්නට මානවී කන් යොමු කළාය.

'කව්ද බං ඒ?'

'මේ, ඒ මගේ නංගි කෙනෙක්. උඹ සෙල්ලමට ගන්නවා නෙවේ'

අම්මා පැවසුවේ හෙමින් වුව ද එය මානවීට ඇසිණ. ඈ අඩ අඳුරේ දිලෙන තරුණයාගේ මුහුණ දෙස බැලුවේය. අනතුරුව ඈ ආපසු හැරුණේ කාමරයට යන්නටය. නිර්මලා පසු පසින් දිව ඇවිත් මානවීට එකතු වූවාය.

දියණිය යැයි නොකියා නංගි කෙනෙක් යැයි අම්මා හඳුන්වා දුන්නේ ඇයිදැයි මානවී කල්පනා කළාය.

'ඉක්මනින් යං. ගෙනාපු කෑම ටිකත් කාමරේ'