වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

අමරදේව නමින් අසපුවකට මුල පිරෙයි

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ නමින් සංගීත අසපුවක් ඉදි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි. ඒ සඳහා හොරණ ඇලකන්ද වත්ත ප්‍රදේයේ අක්කර අටක ඉඩමක් මේ වන විට තෝරා ගෙන තිබේ. අමරදේව සංගීත අසපුව ඉන්දියාවේ ශාන්ති නිකේතනය වැනි පරිපූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදි කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය. ළඟදීම මෙහි වැඩ කටයුතු ආරම්භවීමට නියමිතය.

දේදුනු ආකාසේ වැඩ ඇරැඹේ ස්වර්ණවාහිනිය චිත්‍රපට නිෂ්පාදනයට එක්වෙයි

හේමාල් සමඟ සුරූපිනියන් දෙදෙනෙක්

පි‍්‍රයන්ත කොළඹගේගෙන් තවත් ආදර කතාවක්

මෙරට සිනමාවේ නව පරිච්ජේදයක් සනිටුහන් කරමින් ඊ. ඒ. පී. මාධ්‍ය ජාලයෙ හි අනුබද්ධ ආයතනයක් වන ස්වර්ණවාහිනි නාලිකාව මඟින් පළමු වරට නිෂ්පාදනය කරන සිනමා පටයක මුහුරත් උළෙල පසුගියදා කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ. පි‍්‍රයන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන එය නම් කොට ඇත්තේ දේදුනු ආකාසේ යනුවෙනි. සංවේදී ආදර කතාවක් ඔස්සේ නිර්මාණය වන මෙහි හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය මවනු ලබයි. ජයලත් මනෝරත්න, ශි‍්‍රමාල් වෙඩිසිංහ, මාධනි මල්වත්ත, සහේලි සදිත්මා මෙහි සෙසු චරිත මවති. දේදුනු ආකාසේ සමඟින් නවක රංගන ශිල්පීන් යුවළක් සිනමාවට හඳුන්වා දෙයි. ඒ ශනෙල් ප්‍රනාන්දු සහ චුලක්ෂි රණතුංගයි.

දේදුනු ආකාසෙහි කැමරා අධක්ෂණය රංග එස්. බණ්ඩාරගෙනි. මේඝ කාවින්ද කොළඹගේ සමඟ ඩිරාන් විජයසිංහ සංස්කරණ ශිල්පීන්ය. චිත්‍රාල් සෝමපාලගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. මංගල ප්‍රනාන්දුගේ කලා අධ්‍යක්ෂණයකි. නලීන් පේ‍්‍රමතිලක අංග රචනා ශිල්පියාය. අශෝක ආරියරත්නගේ නිෂ්පාදන කළමනාකරණයකි. උදෙනි අල්විස් නිශ්චල ඡායාරූපකරණයෙන් ද උපුල් ශාන්ත සන්නස්ගල, නන්දන වික්‍රමගේ, වජිර මහකනුමුල්ල සහ පි‍්‍රයන්ත කොළඹගේ ගීත රචනයෙන් ද, ජනක උල්ලදුපිටිය ඇඳුම් නිර්මාණයෙන් ද, පාලිත තෙන්නකෝන් සහ රුවින් මාලිංග රේඛිය නිෂ්පාදනයෙන් ද මෙයට දායක වේ.

රෝයි, සුමනාට චිත්‍රපට සංස්ථාවෙන් උපහාර

සිංහල සිනමාව වෙනුවෙන් කරන ලද අනුපමේය මෙහෙවර උදෙසා රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් උපහාර තිළිණ පුද කරයි. එමන්ම 1972 ජනවාරි 21 දින ජාතික චිත්‍රපට සංස්ථාව බිහි කිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කිරීම ද මේ සඳහා සලකා බැලිණ. එදා චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමට උරදුන් කලාකරුවන් අතර වර්තමානයේදී ජීවතුන් අතර සිටිනුයේ රෝයි සුමන යුවල පමණි. එහෙයින් ඔවුන් එදින සම්මානයෙන් අගයා රෝයි 'ශ්‍රී ජනරංජන ලංකා පුත්‍ර දේශබන්ධු' ගෞරව නාමයෙන් හා සුමනා 'දේශාභිමානි දේශ කීර්ති රූපලාවන්‍ය විශාරද' ගෞරව නාමයෙන් පිදුම් ලැබීය. ඔවුන් මෙම සම්මාන ලැබුවේ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 44 ක් සහ සිංහල සිනමාවට වසර 69 ක් සපිරීම වෙනුවෙන් චිත්‍රපට සංස්ථාවේදී පැවති උත්සවයේදීය.

ටෙලිනිස සන්දේශය ජනමාධ්‍ය ඇමතිතුමාට

දේශීය ටෙලි නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වර්තමානයේ එම ක්ෂේත්‍රයේ මතු වී ඇති ගැටලුකාරී තත්ත්වය පෙන්වා දෙමින් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ විධායක සභා නිලධාරීහු පසුගියදා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු වී කරුණු 16 කින් යුතු සන්දේශයක් බාර දුන්හ.

ප්‍රසිද්ධ රැිඟුම් පාලක මණ්ඩලයට ටෙලි නාට්‍ය විෂය ඇතුළත් කර එහිදී ටෙලි නාට්‍ය අනුමත කිරීම, ටෙලි නාට්‍ය විකාශනයේදී විනිවිදභාවයක් ඇති කිරිම, පෙර විකාශය වූ ටෙලි නාට්‍ය ප්‍රමුඛ කාලවලදී නැවත විකාශය කිරීමෙන් වැළකීම ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් සැදි කරුණු ඊට ඇතුළත්ය.

චීන චිත්‍රපට උළෙල හෙට ඇරැඹේ

සම්මානනීය චිත්‍රපට රැසක් මෙවරත්

චීන තානාපති කාර්යාලය සමඟ ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කරනු ලැබූ චීන සිනමා උළෙල මෙම මස 29 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වෙයි. උළෙලෙහි චිත්‍රපට තිරගත වන පිළිවල මෙසේය.

ජනවාරි 29 සවස 6.30 ට සෝ යන්ග් - අධ්‍යක්ෂණය - ෂාඕ වේයි - (2013)

ජනවාරි 30 සවස 2.30 ට ද ග්‍රෑන්ඩ්මාස්ටර් - අධ්‍යක්ෂණය - වොං කා වයි (2014)

සවස 6.30 ට ලොස්ට් ඔන් ජර්නි - අධ්‍යක්ෂණය - යේ වෙයිමිං - (2010)

ජනවාරි 31 සවස 2.30 ට වොරියස් ඔෆ් හෙවන් ඇන්ඩ් අර්ත්, අධ්‍යක්ෂණය - හී පිං - 2003 - සවස 6.30 ට අමරිකන් ඩ්‍රීම්ස් ඉන් චයිනා - අධ්‍යක්ෂණය - චෙන් කෙසින් - (2013)

පෙබරවාරි 01 වැනිදා සවස 6.30 ට බීජිං බිලුස් - අධ්‍යක්ෂණය - ගාඕ ක්වුන්චු - (2013)

පෙබරවාරි 02 වැනිදා සවස 6.30 ට ලව් ඩිපොසිට් - අධ්‍යක්ෂණය - කිව් ජියන්තෝ - (2013)

පෙබරවාරි 03 වැනිදා සවස 6.30 ට කොන්ෆියුසස් - අධ්‍යක්ෂණය - හු වේයි - 2010

අහසින් පොළොවට ලියූ අයිලින් සිරිවර්ධන මියයයි

ප්‍රවීණ ගත්කතුවරියක වන අයිලින් සිරිවර්ධන පසුගියදා මියගියාය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අහසින් පොළවට' චිත්‍රපටයට පාදක කරගනු ලැබුවේ ඇගේ ඒ නමින්ම වූ නවකතාවයි. 'වෙරළින් සයුරට' හා 'කතරින් එතෙරට' ඇගේ අනෙක් නවකතා කිහිපයකි. බම්බලපිටිය විශාඛා විද්‍යාලය සහ නුගේගොඩ සමුද්‍ර දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස සේවය කළ ඇය ක්‍රියාකාරී, දක්ෂ කාන්තාවකි.

පේ‍්‍රමය නම් 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළේ තරගකාරී අංශයට

කල්පන ආරියවංශ, වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුදුල් සිනමා නිර්මාණ පේ‍්‍රමය නම් (අද) 28දා සිට ඇරැඹෙන ඉන්දියාවේ 8 වන බැංගලුරු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියානු චිත්‍රපටය සඳහා වන තරගකාරී අංශයට තරග වැදීම සඳහා තෝරා ගෙන ඇත.

ඉන්දියාවේ ප්‍රධානතම උලෙළක් වන මෙහි මේ වසරේ තෝරා ගෙන ඇති එකම ශ්‍රී ලාංකික චිත්‍රපටය පේ‍්‍රමය නම් වීම සූවිශේෂත්වයකි.

පේ‍්‍රමය නම් මීට ප්‍රථම බිජිං අන්තර්ජාතික සිනමා උලෙළ, ෂැංහායි අන්තර්ජාතික සිනමා උලෙළ, ගෝවා හී ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උලෙළ සහ කේරල අන්තර්ජාතික සම්මාන උලෙළ ඇතුළුව සිනමා උලෙළ 7 කට ගිය වසරේ තෝරා ගැනිණ.

මකුලොලුව පිළිබඳ ‘ආයුබෝවන්’

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ඉරිදා ආයුබෝවන්’ වැඩසටහන මේ මස 31 වැනිදා පෙරවරු 8.00 සිට 10.00 දක්වා විකාශය වෙයි.

ඒ වැඩසටහනේ දී දේශීය ජන සංගීතය නඟා සිටුවීමේ ලා මනා සේවයක් කළ ප්‍රවීණ සංගීතඥ ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාට උපහාර පිණිස කෙරෙන සාකච්ඡාවක් විකාශය වීමට නියමිත ය.

රයිගම් ටෙලීස් අයදුම්පත් භාර ගැනේ

රයිගම් ටෙලීස් උළෙල 2016 එළඹෙන ජුනි මස 03 වැනිදා සවස නෙළුම් පොකුණ රංග ශාලාවේ දී පැවැත්වීමට නියමිතය. එහි දොළොස්වැනි අදියරයි. මේ වනවිට රයිගම් ටෙලීස් සඳහා අයදුම්පත් සහ නිර්මාණ භාර ගැනීම ආරම්භ වී ඇති අතර එය මෙම මස 28 වැනි දිනෙන් අවසන් වේ. මෙයට නිර්මාණ ඉදිරිපත් කිරීමට අපේක්ෂිත නිර්මාණකරුවන් හැකි ඉක්මනින් 0114880777 හෝ 0114886888 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

මෙවර රයිගම් ටෙලීස් හි සම්මානයන් පනහක් නිර්මාණකරුවන් වෙනුවෙන් ලබා දීමට නියමිතය.

නිර්මාණ සඳහා රංගන වරම්

නාට්‍ය ශිල්පිනී අයිරාංගනී කළුතන්ත්‍රි ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත වේදිකා, රූපවාහිනි, සිනමා නිර්මාණයක් සඳහා රංගනය, නර්තනය, ගායනය හා වාදනයට හැකියාවක් ඇති නවකයක්ට අවස්ථාවක් ලබාදීමට සූදානම් වෙයි. එමෙන්ම ප්‍රධාන චරිත සඳහා ආකර්ෂණීය, කඩවසම්, මනා පෞරුෂයක් ඇති තරුණ - තරුණියන් ද තෝරා ගැනීමට ද නියමිත ය. මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් මේ මස 31 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා අංක 584/4, සුබ සාධක මාවත, ඇරැව්වල, පන්නිපිටිය යන ස්ථානයේ පැවැත්වෙයි. මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් දක්වන්නෙකු වැඩි විස්තර සඳහා 077-9306146, 071-8445894,072- 2221393යන දුරකථන අංකවලට අමතන්න.

කොළඹ නාට්‍ය කතිකාව - 2 හෙට

ඉන්ට් ඇක්ට් ආර්ට් ආයතනය හා රංගන කලාකරුවන්ගේ ජාතික සංසදය විසින් සංවිධානය කරනු ලබන කොළඹ නාට්‍ය කතිකාව - 2 හෙට (29 වැනිදා) පස්වරු 4.00ට කොළඹ 07 ගෙග්‍රරි පාරේ, ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වෙයි. එදින මාතෘකාව වන්නේ නාට්‍ය අනුමණ්ඩලය, කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතනවල වර්තමාන තතත්වය පිළිබඳ සාකච්ඡා කිරිමයි. සංවාද සභාව සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල, නාට්‍ය අනුමණ්ඩලයේ සභාපතා කේ.බී. හේරත්, කලා මණ්ඩලයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර සහභාගි වීමට නියමිතය. ප්‍රවීණ නාට්‍යවේදී සෞම්‍ය ලියනගේ මෙහෙය වන මේ සභාවේ ඇරැඹුම සිදුකරන්නේ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලයි. මේ සාකච්ඡාව සඳහා නාට්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ටම පැමිණෙන්නැයි සංවිධායක කමිටුව ආරාධනා කරයි.

134 අංගොඩ එළිදැක්ම 30දා

බර්මන් කලාශාන්ත ආරච්චිගේ ලියූ ‘134 අංගොඩ’ කවිපොත මේ මස පස්වරු 3.00ට කොළඹ ජාතිකපුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී එළිදකියි. චූලානන්ද සමරනායක, යෝගී පියසිරි කුලරත්න, විදර්ශන කන්නන්ගර, බාසුරු ජයවර්ධන, දෙසුම් පවත්වති. මෙහෙය වීම සුරේඛා සමරසේන හා සාලිය ඉඳුරුවිතානගෙනි.