වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




සුළඟ ඇයි ඔබ මා රිදවන්නේ

සුළඟ ඇයි ඔබ මා රිදවන්නේ

ඉන්ද්‍රාණි පෙරේරාගෙන් හද සසල කරවන ගීතයක්

ඔවුන්ට කියන්න තියෙන්නේ සමාජය, ළමයි ගැන සිතලා නිර්මාණ කරන්න යන්නයි. ඒ ඉදිරියේදි ගීත රස විඳීන්නේ ඒ අයයි. ඔවුන් කරන නිර්මාණවලින් මිනිස්සුන්ගේ මනස විකාර නොවිය යුතුයි. ඒ නිසා අනුන්ගේ ගීත ගායනා කරනවාට වඩා, අනුන්ගේ ගීත විකාර කරලා කියනවාට වඩා තමන්ගේම නිර්මාණයකින් එළියට එන්නැයි මා ඔවුන්ට පවසනවා.

මීට පෙර මා ඇගේ නිවෙසට පිවිසියේ වසර කිහිපයකට ඉහත ය. එදා පිළිගත් අයුරින්ම අද ද ඇය මා පිළිගත්තා ය. ගෙමිදුල වසා තිබෙන නිල්පැහැවන් තණ පියස එදා මෙන් නිල්පැහැයෙන් දිලෙමින් තිබිණි. ගෙවත්ත සුන්දර කරන ඇක්ස්ලෝරා පඳුරු අප දෙස ම බලාගෙන සිටියේ ආඩම්බරයෙනි. ඒ මේ ගීත කෝකිලාවගේ අත්ගුණය කියා පාන්නට මෙනි. එහෙත් වෙනදා එහි පිවිසෙන විට ම ගත දැවටෙන මදනලේ පහස නම් එදා මට නොදැනිණි. ඒ ඒ වනවිටත් අපේ කතා නායිකාවගේ නිවෙස අවට ඉදි වෙමින් තිබුණු සුවිශාල ගොඩනැගිලි නිසා ය.

‘ඉන්ද්‍රාණි පෙරේරා’

ත්‍රී සිස්ටර්ස්ලා නමින් ජනතාවගේ ආදරය දිනාගත් ගායන ශිල්පිනියන් තිදෙනාගෙන් දෙවැන්නී වන ඉන්ද්‍රාණි සැප පහසු අසුනක් අපට පෑවේ අසුන් ගන්නට ය. ඒ විගසම අප ඉදිරිපස ඇති අසුනක අසුන් ගත් ඈ වාදනය වන්නට සැලැස් වූයේ ගීතයකි.

“සුළඟ ඇයි ඔබ මා රිදවන්නේ

මගෙ සුදුදුව නැති බව දන්නෑ වාගේ .........”

ඉන් ඇසුණේ ඇගේ සුපුරුදු ගී ස්වරයයි.

“මේ ඔබ ගැයුව අලුත් ම ගීතය ද?”

ගීතය ශ්‍රවණය කළ අවසානයේ මම ඇගෙන් විමසුවෙමි.

“ගීතය ලිව්වේ ඩිල්ෂාන් තිමෙල්. ඔහුගේ දුව මිය ගියේ ඩෙංගු රෝගය නිසයි. දුව නිවෙසේ නොමැති නිසා ඇතිවුණු පාළුව මකා ගන්නටයි ඔහු ගීත ලිව්වේ. ඔහු මේ ක්ෂෙත්‍රයට නවකයෙක්. ඒත් මීට ඉස්සරත් තමන්ගේ දුව වෙනුවෙන් ගීත ලියලා තිබුණා. ඒත් මේ ගීතය ලියන මොහොතේ සුළඟට කඩදාසි වැටෙන කොට දුව ඇවිදිනවා වගේ පොඩි පොඩි අදහස් කිහිපයකුත් ගීතයට ඇතුළත් කරන්න යැයි මා ඔහුට පැවසුවා. ඒ අතර ඔහුගෙත් අදහස් ගීතයට ඇතුළත් කළා. ඒ නිසා මේ ගීතය ලිව්වේ අපි දෙන්නාම එකතු වෙලා. සංගීතය නිර්මාණය කළේත් ඩිල්ෂාන්මයි. මුදල් ලබා ගැනීමේ අරමුණින් නොවෙයි මේ ගීතය නිර්මාණය කළේ. ඒත් කවදහරි දවසක මේ ගීතය විකුණුවොත් ඒ සඳහා ලැබෙන මුදල දුප්පත් ළමයින් වෙනුවෙන් වෙන් කරන්නත් අපි තීරණය කළා. මේ වනවිට ගීතය පටිගත කරලා අවසන්. රූපරචනයක් කිරීමේන් පස්සේ ගීතය එළි දක්වන්නත් අපි අදහස් කරගෙන සිටිනවා.”

නිවෙසේ එහාමෙහා දුව පැන ඇවිද්ද සුරතල් දියණියකගේ සමු ගැනීම පිළිබඳ කියැවෙන මේ ගීතය බොහෝදෙනෙකුගේ සිත සංවේදී කරනු නියත ය. ඇය මේ කාරණය ගැන කතා කරන්නේ ද සංවේදීව ය. ඩිල්ෂාන්ගේ දියණියට වූ විපත ඇගේ සිතේ ඇතිකළේ කම්පනයකි. ඒ කම්පනය ගීතයක් නිර්මාණය කිරීමට තරම් ඇගේ සිත සංවේදී කිරීමට සමත් විය.

“මේ සිදුවීම නිසා ඔබටත් නිවෙසේ සිටින විට දූ - දරුවන් මතකයට නැඟෙනවා ද?”

“එහෙම දෙයක් ඇත්තේ නැහැ. දුවත්, පුතත් එයාලගේ ජීවිත බොහොම සුන්දරව ගෙවනවා. අපි දෙන්නා බොහොම විවේකයෙන්, නිදහස්ව ජීවිතය ගෙවනවා. නිතරම වගේ පුතා ඇවිත් අපේ සුවදුක් සොයන්න අමතක කරන්නේ නැහැ. පසුගිය නත්තල් නිවාඩුවට දුව සිටියේ අපිත් සමඟයි.”

සිංගප්පූරුවේ වෙසෙන අංජලී චාරුකේශි දුව රැකියාව කරන්නේ බැංකුවක ය. කාලයකට පස්සේ අම්මාගේත්, තාත්තාගේත් සුවදුක් සොයන අදහසින් තමන්ගේ මවුරටට පැමිණි ඕ දින කිහිපයක්ම ගතකළේ මව්පිය සෙවණේ සෙනෙහස විඳීමිනි.

“කාලයකට පසුව ආව දුව නිසා ඔබ දෙපළගේ ජීවිතය තරමක් වෙනස් වුණා. එහෙම නේද?”

“දුව ආවට පස්සේ අපි හැමෝම පුතා බලන්න නුවර ගියා. දවස් කිහිපයක් එහේ ගත කළා. කොළඹ ඉන්න විට දුව නිතරම කළේ ඇවිදින එකමයි. එයා තාත්තාත් එක්ක බොහොම එකතුයි. වෙනදා වගේ එයා ආසම බොම්බේ ස්විට් කන්න ගියේ ඒ දෙන්නත් එක්කමයි. ඒ වගේම දූ හරියට පොත් කියවනවා. ලංකාවට ආවොත් එයා පොත් ගොඩක්ම අරගෙනයි නැවතත් යන්නේ. ඒ දවස් ටික ඉතිං නිවෙස පිරිලා ඉතිරිලා.”

පුතා නිමේන්ද්‍ර ධනංජයයි. කිතුණු පල්ලියේ ෆාස්ටර් කෙනෙකු ලෙස සිය ජීවිතය ගෙවන ඔහු සේවය කරන්නේ නුවර බෝල පල්ලියේ ය. විවාහකයකු වන නිමේන්ද්‍ර පූජකතුමා ආගම දහම වෙනුවෙන් සිය ජීවිතය කැපකර සිටින අයෙකි.

“දරුවන් දෙදෙනාම මේ වනවිට විවාහ වෙලා?”

“ඔව්. පුතා වගේම දුවත් විවාහ වෙලා. ඒ අයට අපි ස්වාධීනව කටයුතු කරන්න අවස්ථාව සලස්වලා තිබුණා. ඒ නිසා තමන්ගේ කැමැත්ත අනුව ඔවුන්ගේ සිත්ගත් අයත් සමඟ විවාහ වුණා. ඊට අපි කිසිම බලපෑමක් කළේ නැහැ. මොකද ඔවුන් නිවැරැදි තීරණ ගන්න බව අප නිතරම දන්නවා. ඒ තීරණ නිවැරැදි බව මේ වනවිට ඔප්පු වෙලා තියෙනවා.”

ඉන්ද්‍රාණි පෙරේරාගේ සිත සොම්නසින් වග කියාපාන්නේ ඇගේ වදන්ම ය. ළමයි දෙදෙනා කුඩා කාලයේ මෙන් නොව වඩාත් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත.

“එහෙම වුණත් සුපුරුදු විදියටම ද දවස ආරම්භ වන්නේ?”

“වෙනදා වගේ උදෙන්ම නැඟිටින්න උවමනා නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් දවස ආරම්භ කරන්නේ උදේ හයටයි. සමහර දවස්වල ඊට පෙරත් අවදි වන අවස්ථා තියෙනවා. මගේ අතින්ම හදන තේ එක මහත්තයාට දීලයි නිවෙසේ කටයුතු ආරම්භ කරන්නේ. සමහර දවස්වල දෙන්නත් එක්කම ව්‍යායාම සඳහාත් යනවා. නිවෙස අස්පස් කරන කටයුතු මටත් වඩා වැඩිපුරම කරන්නේ මහත්තයයි. ඒ වගේම එයාට කටට, රසට කන්න උවමනාවයි. සාමාන්‍ය විදියට සරල කෑම තමයි අපේ මුළුතැන්ගෙයි පිසෙන්නේ. නිවෙසට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙනෙන්න අපි දෙන්නත් එක්කමයි යන්නේ. මේ අතර මගේ අයිරාංගනී නංගිගේ නිවෙසටත් යන්න අමතක කරන්නේ නැහැ”

පවුලේ සාමාජිකාවන්ගේ සෙනෙහස තවමත් එලෙසම ය. මල්ලිකා අක්කාගේ දුව හිරණ්‍යා, ඈ සමඟ නිතරම මෙන් දුරකථනයෙන් කතාබහ කරන්නී ය. ඉන්ද්‍රාණිගේ මේ දින දසුන වෙනස් වන්නේ ගීතයක් ගයන්නට ප්‍රසංගයට ආරාධනාවක් ලැබීමෙනි.

“තවමත් ඔබගේ ගීතවලට රසිකයන් කැමැතියි?”

“ඇත්තටම ඒ ගැන සිතට දැනෙන්නේ සතුටක්. අනිවාර්යයෙන්ම මොකක් හෝ ප්‍රසංගයකට ගීයක් ගයන්න ආරාධනාවක් ලැබෙනවා. විශේෂයෙන් ගෘහස්ථ ප්‍රසංග මේ අතරින් විශේෂයි. එවැනි අවස්ථාවලදි මගේ ගීතවලට තවමත් ආදරය කරන රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන දැනෙන්නේ සතුටක්. මේ වගේම විදේශීය ප්‍රසංග සඳහාත් සහභාගි වන අවස්ථා තිබෙනවා.”

ඉන්ද්‍රාණි පෙරේරාගේ ගායන දිවියට හතළිස් හත් වසරකි. ඒ කාලය ඇතුළත එදා ඈ ලැබූ ජනප්‍රියත්වය අද ද පවතින්නේ එසේම ය.

“ඔබගෙන් පස්සේ ඒ තැන ගෙනි යන්න ඉන්නේ කවුරුන් විසින් ද?”

“මගේ පුතාට හොඳට ගීත ගයන්න පුළුවන්. ඒත් ඉදිරියේදී කොහොම වේවිද කියලා දන්නේ නැහැ. මල්ලිකා අක්කාගේ දුව මේ වනවිටත් බොහොම ලස්සනට ගීත ගයනවා. ඉස්සරහට අපි බලමු.”

“අලුත් පරපුරට කියන්න පණිවුඩයක් තිබෙනවද?”

“ඔවුන්ට කියන්න තියෙන්නේ සමාජය, ළමයි ගැන සිතලා නිර්මාණ කරන්න යන්නයි. ඒ ඉදිරියේදි ගීත රස විඳීන්නේ ඒ අයයි. ඔවුන් කරන නිර්මාණවලින් මිනිස්සුන්ගේ මනස විකාර නොවිය යුතුයි. ඒ නිසා අනුන්ගේ ගීත ගායනා කරනවාට වඩා, අනුන්ගේ ගීත විකාර කරලා කියනවාට වඩා තමන්ගේම නිර්මාණයකින් එළියට එන්නැයි මා ඔවුන්ට පවසනවා. ඒක වැදගත්. ”

සමුගන්නට මත්තෙන් ඇය දුන්නේ නව පරපුරට අපූරු උපදේශයකි.