වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




අපගේ ලෝකයට ඔබ දැල් වූ ආලෝකය නොනිවී පවතීවා

අපගේ ලෝකයට ඔබ දැල් වූ ආලෝකය නොනිවී පවතීවා

නෙලූ අධිකාරි අම්මා ගැන කියන කතාව

ගායන ශිල්පිනී නෙලූ අධිකාරිගේ හා ගායන ශිල්පී අතුල අධිකාරීගේ ආදරණීය මෑණියන් වූ ලලිතා අධිකාරී පසුගියදා අප අතරින් සමුගත්තා ය. ඈ ජීවත්ව සිටි කාලය පිළිබඳ සිහිපත් කරමින් නෙලූ අධිකාරී පවසන ලද තොරතුරු ඇසුරු කර ගනිමින් සකසන ලද ලිපියකි.

සෙමෙන් සෙමෙන් අවට පැතිර යන සැඳෑ අඳුර දෙස මම හිස් දෑසින් බලා සිටියෙමි. ඒ ඇති වී තිබෙන හිස්බව මදකට හෝ නොදැනෙනු පිණිස මම දෙනෙත් තදකර පියා ගතිමි. මොහොතකට හෝ යම් අස්වැසිල්ලක් සිතට පිවිසිය ද එය අහිමි වී යන්නේ සැනෙනි. ඒ හරියටම පෙණ බුබුළක් ඇති වී නැති වී යන ඇසිල්ලක් පරිද්දෙනි. මේ අස්වැසිල්ල අතරින් සිතට පිවිසෙන්නේ සක්මන් හඬකි. මේ හඬේ ඇත්තේ වෙනදා නොමැති කලබලකාරී බවක් යැයි මට හැඟෙයි. යළිත් මම දෙනෙත් හැරියෙමි. ඉදිරිපස කවුළුව අතරින් එහා මෙහා යන අප්පච්චිගේ රුව මගේ නෙත ගැටිණි. හෝරා කිහිපයක පටන් සක්මන් භාවනාවක යෙදී සිටින ඔහුගේ සිතේ ඇති නොසංසුන් බව මගේ සිත සසල කරයි. වේගවත් හුස්මක් ගෙන ළය සැහැල්ලු කර ගැනීමට සිතූ මම වේගවත්ව හුස්මක් ගතිමි. කොහෝ දෝ සිට සුළං රැල්ලක් පැමිණියේත්, මා වේගයෙන් හුස්මක් හෙළුවේත් එකවිටම ය. ඒ සුළඟේ වූයේ හුරුපුරුදු සුවඳකි. අම්මේ, ඒ ඔබේ සුවඳ ය.

අදට ඔබ අපගෙන් සමුගෙන ගොස් ගෙවී ඇත්තේ සති තුනකි. එහෙත් ඒ කාලය හරියට කල්පයක් මෙනි. ඔබ සිහිපත් වීම නිසා සිටි ගමන් මගේ සිතට පිවිසෙන්නේ කාංසියකි. පාළුවකි. එවිට එය මකා ගන්නට කුමක් කළ යුතුදැයි මම දහස්වර සිතමි. එක්වරම මගේ පා එසැවෙන්නේ ඔබ අසනීප ව වැතිර සිටි කාමරය දෙසට ය. ඔබ හොත් ඒ යහනේ මම ඉඳ ගතිමි. අවසන් සති කිහිපයේ ඔබ මෙහි වැතිර සිටි අයුරු මා සිත පාරවයි. දිනෙක් දින අමතකව යන මතකය කොහෝ සැඟව ඇත්දැයි විමසන්නට තරම් වරක මම ද කුඩා දැරිවියක් වෙමි. වෛද්‍යවරුන් සියලු උත්සාහයන් අත්හළ මොහොතේ ඇති වූ තිගැස්ම මට මේ දැනුදු දැනෙන්නා සේ ය. ඔබ යළිත් නිවෙසට පා තැබුවේ වත්තම් කරගනිමින් ය. ඒ පැමිණි මොහොතේ පටන් ඔබ සිටියේ නිදිදෙව් දුවගේ තුරුලේ සැතපෙමිනි. නින්දෙන් අවදිව නෙත් පියා ගන්නා කුඩා දැරියක මෙන් වරින්වර දෙනෙත හැර බලන ඔබගේ දසුන නරඹන්නට අපි ඇඳ වටා එක්රොක් වී සිටියෙමු. අතුල අයියාත්, මමත්, අප්පච්චිත්, කපිලත් රෑ නිදි වරමින් සිතුවේ ඔබට අත්විය යුතු සුවදායී සැනසීම පිළිබඳ ය. ඒ දිනදෙක අප සියල්ලන් කෙසේ ගෙවා දැමුවේ දැයි සිතන්නට ද අද ද මම මැළි වෙමි. දුරුතු මස 06 වැනිදා උදාවූයේ සුපුරුදු ලෙසම ය. අවට නිහඬ බව බිඳීමින් දවසේම හෝරා කටුවේ ටික් ටික් ශබ්දය හදවතේ වැදී දෝංකාර නංවයි.

‘රාත්‍රී 7.00’

මම හෝරා යන්ත්‍රය දෙසම බලා සිටියෙමි. එක්වරම මා දුටුවේ නැවතී ඇති ඔබගේ හෘද ස්පන්ධනයයි. කෙමෙන් කෙමෙන් මැකීයන සිරුරේ උණුසුම අපට පැවසුවේ ජීවිතයේ අස්ථිර බවේ පාඩමයි.

“ උදේ තියලා හවස ගන්න”

ජීවිතයේ අවසන් මොහොත පිළිබඳ ඔබගේ කියුම සපථ කිරීමට අපි සෑම උත්සාහයකම නිරත වූයෙමු. එය එසේ සිදුවිණ. අප පැමිණියේ බොරැල්ල කනත්තේ සොහොන් කොත් අතර ඔබ සඟවා තබමිනි. කාමරයේ කවුළුව අතරින් පැමිණි සුළඟේ ස්වරයෙන් මා හදවත යළිත් වරක් කම්පනය විය. අම්මේ, ඒ ඔබගේ සුවඳම ය.

හාත්පස ගිලගත් සැඳෑ අඳුර එන්න එන්නම දැඩි ය. කිසිදු ශබ්දයක් නොනගාම ඒ අඳුර මැදින් පැමිණි මම ශෝකී හදවතින්ම යළිත් හාන්සි පුටුවේ වැතිර ගතිමි. නිවෙසේ විදුලි බුබුළු එකින්එක දල්වා ඇත. එහි ආලෝකය ගෙමිදුලේ වූ තුරු මත පතිතව විවිධ සෙවණැලි මවයි. ඒ සෙවණැලි අතර ඔබගේ රුව සැඟව ඇතැයි මට සිතෙයි. මේ සැඟවුණු සෙවණැල්ල මෙන් කුඩාකල පටන්ම මගේ ජීවිතයේ සෙවණැල්ල වූයේ ඔබ ය. ගසට පොත්තක් මෙන් පැවතුණු අප දෙදෙනාගේ සුසංයෝගය මනා ලෙස ගැළපිණි. ඒ තරමටම ඔබ මගේ ජීවිතය වූවා ය. අප දෙදෙනාටම නොකිය හැකි රහසක් අප අතර තිබිණි යැයි කිව හැකි ද? විවාහ වූ පසුවද ඒ කාරණය එලෙසම වලංගු වූයේ පෙර පරිදිම ය. මට මෙන්ම කපිලටද ඔබ ආදරය දැක්වූයේ එකලෙස ය. සමහර විටෙක ඔබට අවශ්‍ය දෑ සැපයීම මටත් වඩා හොඳීන් කළේ කපිල වග මම දනිමි.

“කපිල පුතේ, නෙලූ බබාට ඔය දේ කියලා හරියන්නේ නැහැ. ඒ නිසා ඔයා තමයි ඕක කරන්න ඕනෑ.”

ඒ නිසා ඔබේ හදේ කපිල කෙරෙහි ඇති වූ විශ්වාසය මියයන තුරුම ඒ අයුරින් පැවැති වග අමුතුවෙන් කිවයුතු නොවේ.

ඔබව නොදැක එක් දිනක්වත් සිටින්නට මට අපහසු බව ඔබ දන්නෙහි ද? ඒ සිතුවිල්ල සිතට පිවිසෙන කළ දැනෙන්නේ සියුම් වේදනාවකි. ඒ වේදනාව දුරුවනතුරු මම ඇසිපිය නොසොල්වාම ඔබගේ සේයාරුව දෙසම බලාගෙන හිඳීමි. මව නොමැතිව හඬා වැටෙන කිරි දරුවකු මෙන් මගේ සිත සනසන්නට නොයෙක් වදන් මම එවිට පවසමි. එසේ දිනක් වත් ඔබගෙන් ඈත්ව විසූ කළ නිතරම මෙන් මට සිහිපත් වන්නේ ඔබම ය. වරක් විදේශ ගත වීමට අවස්ථාව ලද මොහොත සිහියට නැඟෙයි. ඒ සියලු දෑ පසුවට කල්තබන්නට හොඳම හේතුව ඔබ ය.

මගේ කල්පනාවට බාධා කරමින් සිහිනෙන් හඬන දියණියගේ කෑ ගැසුම අවට වූ දැඩි නිහඬ බව බිඳීයි. එවැනි මොහොතක ඔබ සිටියේ නම් මටත් පෙරම දියණිය අසලට දුවන අයුරු මට මැවි මැවී පෙනෙයි. මගේ දරුවන් දෙදෙනොම ඇතිදැඩි වූයේ ඔබගේ සෙනෙහසේ අරුමය විඳීමිනි. මා මෙන්ම ඒ සෙනෙහස විඳීන්නට දරුවන් දෙදෙනාම වාසනාවන්තයෝ වූහ.

මේ ආකාරයෙන් ඔබ සමුගෙන යනතුරුම අප අතර වූ ඒ අසාමාන්‍ය බැඳීමේ තරම නිරතුරුම මගේ මතකයට පිවිසෙයි.

ඔබගේ සිතේ මට හා සමානව දැක් වූ ආදරයම අතුල අයියාට ද වූ බව මම දනිමි. ඔබගේ සැපදුක් සෙවීමට ඔහු වසරකින්, දෙකකින් පැමිණිය ද දැක් වූ සෙනෙහස එකම විය.

“ඇයි පුතේ මේ තරම් දවසක් මාව බලන්න ආවේ නැත්තේ.”

යැයි පවසමින් අයියාව වෙහෙස කරන්නට ඔබ අකැමැති වූ වග මම දනිමි. ඒ ඔබටම පමණක් සතු වූ එක් උතුම් සිරිතකි. ඔබ සතුව එවැනි ගුණ දහම් බොහෝ වූ බව මම මතකයට නඟමි. නිරතුරුවම ඔබගේ මුවඟේ වූයේ සිනහවකි. ඒ සිනහව තවත් අර්ථවත් වූයේ ඔබටම ආභරණයක් බඳු වූ සරල බව නිසාම ය. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා සහගත ආදී දුර්ගුණ සිතුවිලිවලට ඔබගේ ජීවිතයේ ඉඩක් නොවිණි.

ඔබ ගුරුවරියක ලෙස ගෙවූ ජීවිතයටද සැපයූවේ මනා අර්ථයකි. පාසල් දරුවන් වූ ඔවුන්ව දුටුවේ ඔබගේම දරුවන් සේ ය. ඒ නිසා ඔවුන් පිළිබඳ සොයා බලමින්, උදව් කරමින් ලෝකය දකින්නට මග එළපෙහෙළි කළේ දිවා රෑ නිදි වරමිනි.

ඒ ගුරු භූමිකාවේ තරම දැක ගන්නට ලැබුණේ ඔබ මිය ගිය දින ය. ඔබ ආදරය කළ, ඔබට ආදරය කළ ඒ සිසුවෝ ඔබගේ දෙණ බදාගෙන වැලපුණු අයුරු පැමිණ සිටි සියල්ලන්ම පුදුම කරන්නට තරම් සමත් වූ කාරණයකි. ඔවුන් කියාපෑවේ ඔබගේ ගුණකඳයි. ඔබ ඒ තරමටම මේ දරුවන්ට පෑ මවු ගුණය ගැන අප දන්නේ එවිට ය.

හයේ පන්තියේ පටන්ම ඔබගේ හොඳම ගෝලයකු වූ කපිලව ඔබ පිළි ගත්තේ දැඩි ස්නේහයෙනි. අප දෙදෙනාගේ සිත්වල වර්ධනය වූ ප්‍රේමය පිළිබඳ කියා පෑ අවස්ථාව සිහියට නැඟෙයි. එවැන් බලාපොරොත්තු නොවූ අදහසක් ඉදිරිපත් වූ කළ ඔබ කටයුතු කළ ආකාරය මගේ ජීවිතයේ අමතක නොවන අයුරින් සනිටුහන් වී ඇත.

“අපි වගේ ඔයාව බොහොම ආදරයෙන්, අඩුපාඩුවක් නැතිව බලා ගනියි කියලා හිතනවා නම් ඔහුව තෝර ගන්න. ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ.”

එදා ඔබ පැවසූ වදන් මට අද මෙන් මතක ය. මේ තීරණයට ඔබට විරුද්ධ වන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි. එනමුදු අපේ තරුණ සිත් ඔබ නිවැරැදිව හැඳීන ගත්තා ය.

මා ඉපිද හැදී වැඩුණු මහවැව ග්‍රාමය මගේ සෞන්දර්යය ජීවිතයේ තෝතැන්නය. එක් පැත්තකින් ඇත්තේ නිලට දිලෙන වෙල්යායයි. අනෙක් පසෙන් දියරැළි නංවමින් ගලා බසින නිල්වන් වැවයි. මේ සොඳුරු පරිසරය හා බැඳුණු ඔබ මෙන්ම අප්පච්චීට ද වූ සංගීත දැනුමෙන් අපව පෝෂණය කෙරිණි. නිතර නිතර නිවෙසේ පැවැත්වෙන සාජ්ජවලට මම ද සහභාගි වීමි. මේ සාජ්ජ කරන ලද්දේ සංගීතයට ළැදිකමක් දැක් වූ අප්පච්චිගේ පවුලේ සියලුදෙනාගේම එකමුතුවෙනි. ගී ගයන ගායකයන් මෙන්ම වයන වාදකයන් ද අප්පච්චිගේ පවුලේ හිඟ නොවිණි. අම්මේ, ඔබ ද මේ සාජ්ජවලට අත්වැල් සැපයුවේ කිසිදු කන්කෙඳීරියක් නොනගාම ය. අප්පච්චී දස්කම් රැසකින් යුක්ත වූවෙකි. හවායි ගිටාරය වයන්නට ඔහුට ඇත්තේ අපූරු දස්කමකි. ඔබ ද අපූරු වයලින් වාදිකාවක බව මම අසා ඇත්තෙමි. අප්පච්චිගේ ලේ උරුමයක් වූ සංගීතය හා බැදෙන්නට අප පෙලඹ වීම ලැබුවේ මේ ලේ උරුමයයි.

අප ඇතුළේ වූ නිසඟ දස්කම් ඔබ හැඳීන සිටියා ය. එහෙත් මේ විදියට කළ යුතු යැයි පවසමින් ඔබ මෙන්ම අප්පච්චී ද ඒ සඳහා අපට බලපෑම් නොකළ බව සැබෑවකි. අප යා යුතු මග තෝරා ගත යුත්තේ අපම වග ඒ වනවිට අපට වැටහී තිබිණි. ඔබ කළේ අපට ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම පමණි. ඒ මග දිගේ පැමිණ නෙළූ පල අප අත් වින්දේ ඔබ ජීවත්ව සිටියදීම ය. ඒ ගැන අප්‍රමාණව සතුටු වන බව අප සමඟ නොපැවසූව ද ඔබගේ ක්‍රියාකලාපය ඊට දෙස්දෙයි.

මා මෙලොවට බිහි කළ දා පටන් සෙනෙහසේ පහන දල්වා මා අසලම සිටි ඔබ මගේ ජීවිතයේ ආලෝකය වූවා ය. මට මෙන්ම අතුල අයියාගේ ජීවිතයට ද ඔබ දැල්වූයේ එකම සෙනෙහසේ පහනයි. අද ඒ සෙනෙහසේ පහන නිවී ගොසිනි. එනමුත් ඒ සෙනෙහසේ පහනෙන් ලැබූ ආලෝකය මියෙනතුරුම අපගේ ජීවිතයට ආලෝකය ගෙනෙනු නියත ය.