වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




එකල ඩග්ලස් රණසිංහ මගේ හොඳම මිතුරා විය

එකල ඩග්ලස් රණසිංහ මගේ හොඳම මිතුරා විය

'නිම්වළල්ල' චිත්‍රපටයේ වැඩ කරන අතරේ විරාමයකදී මාමා (ගුණරත්න රත්නායක) එවකට කලා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි දෙකකට සහාය වීමට මට ලැබුණි. මුදලිනායක සෝමරත්න අධ්‍යක්ෂණය කළ 'බිනරමලී' හා තිස්ස ලියනසුරිය අධ්‍යක්ෂණය කළ 'නාරිලතා' මේ චිත්‍රපටි දෙකයි'. 'බිනරමලී' චිත්‍රපටයේ බොහෝ දර්ශන දඹුල්ලේ රූගත වුවත්, එහි ඇතුළත දර්ශන (බිනරමලීගේ ගෙය ඇතුළත) සඳහා අලුතින් පැල්පත් ඉදි කෙරුණේ මුදලිනායකගේ රත්මලානේ ගුවන් තොටුපළ පාරේ පිහිටි ගෙර ඉදිරිපස තිබූ හිස් ඉඩමේය. මේ සඳහා මාමාගේ කලා අධ්‍යක්ෂණ කටයුතුවලට මම සහාය දුනිමි. චිත්‍රපටයේ කැමරා ශිල්පී ඩී. බී. නිහාල්සිංහ මම කලින් දැන සිටියෙමි. අපට නිම්වළල්ලට දුන් සහායත්, සහන මිලකට ඔහුගේම D. N. F. C ආයතන කැමරා උපකරණ ලබා දුන්නේ ඔහු ආදී ආනන්දීයකු නිසාය.

'නාරිලතා' චිත්‍රපටය නිෂ්පාදනය කළ එල්. ඒ. දාවිත් සිංඤෝ මහතා ඊට කලින් 'සීතල වතුර' චිත්‍රපටය නිපද විය. දාවිත් සිංඤෝ මහතාගේ පවුලේ අය තාත්තාගේත් මාමාගේත් හිතවතුන්ය. එයට ලොකුම සාධකය වූයේ කොස්ගස් හන්දියේ ඇලෙක්සැන්ඩර් මහකුමාර මුහන්දිරම් මහතාගේ වැඩිමහල් පුතු ජේ. ඩබ්. මහකුමාරගේ විවාහ වී සිටියේ දාවිත් සිංඤෝ මහතා හා කරලැයින් මහත්මියගේ ලොකු දුව චන්ද්‍රා පියවතී සමඟය. 1965 කොළඹ නාගරික මැතිවරණයට ග්‍රෑන්ඩ්පාස් උතුර කොට්ඨාසයට ස්වාධීනව තරඟ කළ මහකුමාරගේ ගේ මැතිවරණ සටන සම්පූර්ණයෙන්ම ආර්. ප්‍රේමදාස මහතා භාර දුන්නේ මගේ පියාටය. තාත්තා ප්‍රේමදාස මහතා සමඟ කතා කොට එහි කතා පැවැත්වීම හා සංවිධානය භාර කළේ මටය. ආනන්දයේ මා සමඟ ඉගෙන ගත් රත්නසිරි රාජපක්ෂ (හිටපු කොළඹ නගරාධිපති), විශාඛා විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි කොස්ගස් හන්දියේ යූ. ඇන්. පී. සංවිධායකවරයකු වූ විලියම් සිංඤෝගේ (විලියම් මාමා) දියණිය වූ කාන්තිත් සමඟ ග්‍රෑන්ඩ්පාස් 19 පටුමගේ විශාල රැස්වීමක් අපි සංවිධානය කළෙමු. ඡන්ද බලය පවා නැති අප ඉදිරියට දමා වැඩිහිටියන් ප්‍රේ්මදාස මහතා සමඟ සැඟ වී සිටියේ එම අසුනට යූ. එන්. පියෙන් තරඟ කළ පලීල් ඒ ගෆූර්, ඩඩ්ලි සේනානායක මහතා ඉදිරිපත් කර තිබූ නිසාය.

කොස්ගස් හන්දියේ මෙන්ම කොළඹ නාගරික මැතිවරණයේ උණසුම් තරඟය වූයේ ග්‍රෑන්ඩ්පාස් උතුර කොට්ඨාසයේ තරඟයයි. කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කළ අබේවර්ධනට පීටර් කෙනමන්, පණ්ඩිත, රත්නවීර, බ්‍රිටෝ ආදීන්ට ටී. එම්. සංඝදාස හා ස්වර්ණා මල්ලවආරච්චි ද සහාය දුන්හ. පලීල් ගෆූර්ට ඩඩ්ලි, ජේ. ආර්., සුගතදාස, වින්සන්ට් පෙරේරා, පවුසි, ජබීර් ඒ. කාදර් උදව් කළහ. මහකුමාරගේට වූයේ ඡන්ද බලය නැති, රත්නසිරි, කාන්ති මා හා මගේ කොස්ගස් හන්දියේ පුංචි යාළුවෝ ටික දෙනාය. එහෙත් ප්‍රේමදාස මහතා සමඟ, තාත්තාත්, විලියම් සිංඤෝ මාමාත්, ලුවිස් සිංඤෝ මාමා (විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරාගේ සීයා) ද සුමිත්‍රා ස්ටුඩියෝව හිමි සුමිත්‍රරත්න මහතා ද රහසේ උදව් කළහ.

මේ නාගරික අසුනට ප්‍රේමදාස මහතා ඩඩ්ලි සේනානායක මහතාට මහකුමාරගේ ඉදිරිපත් කරන ලෙස කළ ඉල්ලීම ඔහු නොසලකා හැරියේය. එහි ප්‍රතිඵලය වූ සිංහල අපේක්ෂකයන් දෙදෙනා අතර ඡන්ද බෙදී ගොස් ගෆූර්ට වැඩි ඡන්ද 228 කින් මහකුමාරගේ පරාජය වීමය. කොළඹ මාළු කඩේ සුප්‍රසිද්ධ මාළු ව්‍යාපාරයේ බල කණුවක් වූ දාවිත් සිංඤෝ මුදලාලි මහතා තම බෑණා වූ මහකුමාරගේ වෙනුවෙන් මා කළ කැපවීම අගය කළේය. මා 'නාරිලතා' චිත්‍රපටයේ වැඩ සඳහා මාමා සමඟ කොයි මොහොතේ ගියත් කැරලයින් මැතිනිය මගේ අතින් අල්ලාගෙන කෑම මේසය වෙත ගෙන යන්නීය. අම්මා නැති මට ඒ පවුල කළ ආගන්තුක සත්කාර මට අමතක නොවේ.

චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසුරිය ගැන මා අසා තිබුණේ 'රන්මුතු දූව' සමඟය. මා දස වාරයකට වඩා නැරඹූ එම චිත්‍රපටයේ නාමාවලියේ සහාය අධ්‍යක්ෂ, දෙබස් රචක ලෙස දුටු තිස්ස ලියනසූරිය යන නම හිමි සැබෑ පුද්ගලයා මුල්වරට දැක ගත්තේ දාවිත් සිංඤෝ මුදලාලි මහතාගේ කොටහේනේ ගුණානන්ද මාවතේ පිහිටි විශාල නිවසේදීය. එදා ඔහු 'නාරිලතා' චිත්‍රපටයේ ලතා ගයන ගීතයක් ටේප් රැකෝඩරයකින් කිප වරක් අසා සන්ධ්‍යා කුමාරි රඟන දර්ශනය සඳහා (Shot Brake Down)  සකසමින් සිටියේය. මා දුටු ඔහු යාන්තමින් සිනාසුණේය.

දිනක් තිස්ස මහතා සරසවිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ පර්සි ජයමාන්න සමඟ කොස්ගස් හන්දියේ අපේ නිවසට පැමිණියේ මාමා හමුවීමටය. මාමා ගෙදර නොසිටි අතර පර්සි මා සමඟ කතාවට වැටී අමුත්තා හඳුන්වා දුන්නේය.

මෙයා රංජිත්, ආනන්දේ ළමයි හදන නිම්වළල්ල ෆිල්ම් එකේ ආට් ඩිරෙක්ටර්, මිස්ටර් ලියනසූරිය මෙයා ෆිල්ම් ගැන ලොකු උනන්දුවක් තියෙන මගේ පුංචි මිත්‍රයෙක්'.

තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ 'ගැටවරයෝ' චිත්‍රපටය මම 15 වතාවක් බලා එහි තිර කතාව පාසල් මිතුරන් සමඟ තරඟයට අභ්‍යාස පොත් 3 ක ලියා මිතුරන් (ප්‍රේමකීර්ති ද අල්විස් ප්‍රමුඛ) පරදවා පළමුවැනියා වී ඔවුන්ගෙන් තේ සාදයක් ද ලබා ගත්තෙමි.

තිස්ස ලියනසූරිය මහතා එදින සිට මම වසර 48 ක් තිස්සේ වැඩිහිටි මිත්‍රයකු මෙන්ම උසස් මානුෂික ගති පැවතුම් ඇති 'හොඳ මහත්මයෙකු' ලෙස හඳුනන්නෙමි. එතුමාට මා තුළ ඇත්තේ ගෞරවය මුසු ආදරයකි. 'නාරිලතා' චිත්‍රපටයේ වැඩ කටයුතු නිම වන විට තිස්ස මහතා දාවිත් සිංඤෝ මුදලාලි මහතාගේ තවත් දියණියක් වූ ශීලා තිලකලතා සමඟ විවාහ විය.

තිස්ස ලියනසූරිය මහතා රජයේ චිත්‍රපට අංශයේ චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙස ජාත්‍යන්තර සම්මාන රැසක් දිනුවේය. ඔහු විශ්‍රාම යන විට සිටියේ එම අංශයේ ප්‍රධානියා ලෙසය. මා සරසවියට සම්බන්ධ වූ පසුව, සුමති ආයතනයට සම්බන්ධ වූ පසු ද සරසවිය හා සුමති සම්මාන උලෙළ දෙකේම ජූරියේ සභාපති හා සාමාජිකයකු ලෙස මගේ ආරාධනයෙන් ඔහු සහභාගී වූයේ කිසිම පැකිළීමකින් තොරව මගේ ආරාධනය පිළිගනිමිනි. අදත් මා වඩාත් ඇසුරු කරන චිත්‍රපට අධ්‍යක්ෂවරයා ඔහුය.

'විසිතුර'ට ලියන කාලේ මට අමරසේන මහතා මෙන්ම ලියූ ලිපිවල අඩුපාඩු කියා දුන් 'ලොකු අයියා' වූයේ නියෝජ්‍ය කර්තෘ කාරියවසම් ජී. දයානන්දය. ඒ කාලයේ නැඟී එන ප්‍රතිභාපූර්ණ වේදිකා නළුවකු වූ ඩග්ලස් රණසිංහ මගේ හොඳම මිතුරා විය. ඔහුගේ ඉතා කුඩා ප්‍රවෘත්තියක් වුව ද උලුප්පා 'විසිතුර' සිනමා ප්‍රවෘත්ති පිටුවේ පළ කිරීම සඳහා ලියා දුන්නේය. නොයෙක් වර ඩග්ලස් අප නිවසට ආව ගියේය. මා චිත්‍ර කලාවට හා සිනමා කලාවට ඇති ඇල්ම නිසාම ඔහු බොහෝ විට මට තෑගි දුන්නේ ඒ විෂයයට අයත් ඉංග්‍රීසි පොතපත හා සඟරාය. වරක් ඔහු 'Seven Art'' ග්‍රන්ථය මට උපන් දිනයකදී තෑගි කළේය. ඒ පොත තවමත් මගේ පුස්තකාලයේ නිරුපද්‍රිතව වැජඹෙයි. ඩග්ලස්ට ඒ කාලේ 'ට්‍රෑම්ප්' වර්ගයේ කුඩා මෝටර් රථයක් තිබුණේය. අප ඉඳහිට චිත්‍රපට, නාට්‍ය බැලීමට ගියේ ඒ රියෙනි.

ගුවන් විදුලියේ සුමනා අක්කා (සුමනා ජයතිලක) මෙහෙය වූ 'රේඩියෝ සඟරාව' වැඩසටහනට ප්‍රකට කලාකරුවන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා නිසා මට කලා ක්ෂේත්‍රයේ පුංචි නමක් ඇතිව තිබුණි. දිනක් වැඩ සටහන නිම වී සුමනා අක්කා ගුවන් විදුලියෙන් පිටතට පැමිණ මා සමග කතා කරමින් සිටි අතර ඇගේ සැමියා ප්‍රකට ලේඛක කේ.ජයතිලක මහතා සිය මෝටර් රථයෙන් පැමිණියේය.

'ජයේ . . . මේ රංජිත් කුමාර . . .' පොත් පිටකවර අඳින්න දක්ෂයෙක්' සුමනක්කා ජයතිලක මහතාට මා හඳුන්වා දුන්නාය.

'එහෙනං උදේ වේලාවක අලුත්කඩේ මගේ කන්තෝරුවට ඇවිත් යන්න. මගේ කවර වගයක් තියෙනවා අඳින්න'

මට රටක් රාජ්‍යයක් ලැබුණා වැනිය. කේ. ජයතිලක මහතාගේ පරාජිතයෝ, කටු සහ මල්, වජිර පබ්බත, අප්‍රසන්න කතාවක් කියවා තිබූ මා එතුමා ජීවමානව දුටුවේ එදාය. මහා ලේඛකයකු හඳුනා ගැනීමේ සතුට නැවත අමුතුවෙන් කිව යුතුද?

එදා අලුත්කඩේ උසාවියට යාබද ක්‍රවුන් හෝටලයට (මෙය නීතිඥයන් පමණක් එන අවන්හලකි) අල්ලපු 'ප්‍රදීප ප්‍රකාශකයෝ' නම් ජයතිලක මහතාගේ කාර්යාලයට මා ගියේ රජ ගෙදරට යන තරම් ආදරයකින් ගෞරවයකිනි.

'අපි යමු තේ එකක් බොන්න'

අපි ක්‍රවුන් හෝටලයට ගියෙමු.

උණුම උණු කට්ලස් හතරක් හා තේ කෝප්ප දෙකක් ජයතිලක මහතා ඇනවුම් කළේය.

'මගේ පොත් පිටකවර දිගටම ඇන්දේ මහගම සේකර. මම සේකරව කවර චිත්‍ර ශිල්පියෙක් හැටියට හඳුන්වලා දුන්නේ මා ලියපු මුල්ම පොත 'වියෝ දසුන' පොතින්. ඉන් පස්සේ කවර අඳින්නේ රංජිත්ය. මගේ 'චරිත තුනක්' නවකතාව දැන් නැවත මුද්‍රණයක් ගහනවා. ඒ පොත කියවලා තියෙනවාද?'

'මම ජයතිලක මහත්තයගේ ඔක්කෝම පොත් කියවලා එකතු කරනවා. කැමති පොත 'අප්‍රසන්න කතාවක්'.

ඔහු සිනාසුණේය.

'එහෙනං 'චරිත තුනක්' පොතට අලුත් කවරයක් ඇඳගෙන එන්න. ක්‍රවුන් සයිස්. පාට දෙකයි' ඔහු කීය.

සපුතන්ත්‍රීගෙන් ඇරඹී නිව්ටන් ගුණසේකරගෙන් පුනරුත්පත්ති ලැබූ මගේ පොත් කවර නිර්මාණ කලාවේ හැරවුම් ලක්ෂය වූ කේ. ජයතිලක මහතාගේ අනුප්‍රාණයෙනි. ප්‍රදීප ප්‍රකාශන ලෙස එළිදැක් වූ මෙරට ප්‍රවීණ ලේඛකයන් රැසකගේ පොත්වල කවර නිර්මාණය කිරීමට අවස්ථාව මට ලබා දීම ගැන කේ. ජයතිලක මහතාට මගේ ගෞරවය, කෘතගුණය හිමි විය යුතුය. එයට පදනම දැමූ සුමනක්කාට කෘතඥතාව හිමි විය යුතුය.

'පොත් කවරයක් ඇඳ ගැනීමට තිබේ. නාවල කිරි මණ්ඩල මාවතේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිවසට යන්න' මට දිනක් කේ. ජයතිලක මහතාගෙන් තැපැල්පතක් ලැබිණ.

ඩග්ලස් රණසිංහ එදා උදේ හමු වූ විට ඔහුට එම තැපැල්පත පෙන්වීමි.

'අදම යමු. මමත් ආසයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා හමු වෙන්න' ඩග්ලස් කීය.

ඩග්ලස්ගේ ට්‍රෑම්ප් රථයෙන් අපි නාවල වික්‍රමසිංහ මහතා හමුවීමට ගියෙමු.

'සම්ප්‍රදාය හා විචාරය' නම් කෘතියේ පිට කවරය මට අඳින්නට දී 'මම හිතුවේ තාම ඉස්කෝලේ යන ළමයෙක්' කියායි වික්‍රමසිංහ මහතා සිනාසුණේය.

'මේ පාර ඒ ලෙවල් කළා' මම කීවෙමි.

බටහිර සාහිත්‍ය හා නාට්‍යය ගැන උනන්දුවක් තිබූ ඩග්ලස් වික්‍රමසිංහ මහතා සමඟ බොහෝ දේ කතා කළේය. ඒ වන විට වික්‍රමසිංහ මහතා ඩග්ලස් රඟපෑ 'හුණුවටයේ කතාව' නාට්‍යය දැක තිබුණි. හෙන්රිගේ ඒ නාට්‍යය උසස් බව එතුමා පුන පුනා අගය කළේය.

වික්‍රමසිංහයන්ගෙන් අප සමු ගන්නා විට එතුමා ලියූ පොත් කිහිපයක් අපට තම අත්සන යොදා තෑගි කළේය. වික්‍රමසිංහයන්ගේ 'විරාගය' ඇසුරෙන් ඊට වසර 25 කට පසුව කළ චිත්‍රපටයේ ඩග්ලස් සිරිදාසගේ චරිතය විශිෂ්ට ලෙස රඟපා සම්මාන ලැබීමද දෛවයේ හාස්කමකි.

ඩග්ලස්, ජී. ඩී. එල්. පෙරේරාගේ 'රෝමියෝ ජුලියට් කතාවක්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරා ගත් දා මට සතුටු දිනක් විය.

'හෙටම නිව්ස් එක ලියලා අමරසේන මහත්තයාට අරන් යනවා' මම උද්දාමයෙන් කීවෙමි.

චිත්‍ර ශිල්පයෙකු ලෙස පුංචි නමක් ලැබ තිබූ මට චින්තන ජයසේන නම් අප වයසේ සිටි තරුණයකුගෙන් ආරාධනයක් ලැබිණ. මරදානේ කේ. ඩී. ඩේවිඩ් මාවතේ පිහිටි ග්ලෝබ් ප්‍රින්ටින් ආයතනය නිකුත් කරන 'විලාසිතා' නම් කාන්තා සඟරාවේ චිත්‍ර සංස්කාරකවරයා ලෙස කටයුතු කිරිමටය ඒ. චින්තන එහි කතුවරයා විය. 'විලාසිතා' ප්‍රධාන ශිර්ෂ පාඨයේ සිට සඟරාවේ සියලු චිත්‍ර අඳින ලද්දේ මා විසිනි. එම මුද්‍රණාලයේ අධිපතිනිය මල්ලිකා තිලකරත්න මහත්මිය කාරුණිකව අපට සැලකුවාය. අද ග්ලෝබ් අධිපති ඇගේ පුත් කෝසල තිලකරත්න එවක පාසල් වියේ පසු විය. මෙරට සිටි ප්‍රවීණ පත්‍ර කාලවේදියකු හා චිත්‍රපට විචාරකයෙකුව සිටි රාජා තිලකරත්න කෝසලගේ පියාය.

පියසිරි ගුණරත්න චෙක් රටේ සිනමාව හදාරා ලංකාවට පැමිණ 'මොකද වුණේ' නමින් චිත්‍රපටයක් කරමින් සිටියේය. එහි කැමරා ශිල්පියා වූයේ 'නිම්වළල්ලේ' කැමරා ශිල්පී ඩිල්මන් ජයරත්නය. ඩිල්මන් දිනක් පියසිරි හඳුන්වා දුන්නේය.

'රන්ජිත් ෆිල්ම් ක්‍රෙඩිට්ස් ටයිටල්ස් (නාමාවලිය) අඳින්න දක්ෂයි' 'මොකද වුණේ' අකුරු ටික රන්ජිත්ට දෙමු' ඩිල්මන් පියසිරිට මාව රෙකමාදු කළේය.

'හොඳයි අපි' රැලෙක්ස් හම්බ වෙලා කතා කරමු' පියසිරි කීවේය.

රැලෙක්ස් රණසිංහ යනු එවකට 'දවස' ආයතනයේ අසම්මත සම්ප්‍රදායේ ඡායාරූප ගනිමින් විප්ලවයක් කළ හිතුවක්කාර කැමරා ශිල්පියෙකි. 'මොකද වුණේ' චිත්‍රපටයේ ප්‍රචාරක නිර්මාණ භාරව සිටියේ ඔහුය. ඔහු සමඟ වැඩ කිරීම ලෙහෙසි පහසු නොවේ. දවස කාර්යාලයට කුමුදු කුසුම් කුමාර (අද කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි - ආචාර්ය කුමුදු කුසුම් කුමාර) සමඟ යන මට රැලෙක්ස් අයියා හැකි හැම උපකාරයක්ම කළේය. මගේ අකුරු ගැන සෑහීමකට පත් වූ රැලෙක්ස් අයියා 'මොකද වුණේ' චිත්‍රපටයේ නාමාවලිය ඇඳීමට හැම උපදෙසක්ම දුන්නේය.