වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

ඇලන් රික්මන් සමුගනී

මහාචාර්ය සෙවරස් ස්නෙප් හැරී පෝටර් කතා මාලාවේ විශාල පෙරළියක් කළ චරිතයක්. හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් මායාකාර මහාචාර්ය ස්නෙප්ගේ චරිතයට පණ පෙව්වේ සම්මානනීය නළු ඇලන් රික්මන්. ඔහු පසුගියදා හැරී පෝටර් චිත්‍රපට මාලාවෙන් පමණක් නොව සිය ජීවිතයෙන්ද සමු ගත්තා.

‘ඩයි හාඩ්’, ‘රොබින් හුඩ් : පින්ස් ඔෆ් තීව්ස්’, රස්පුටින්: ඩ්‍රඩ් සර්වන්ට් ඔෆ් ඩෙස්ටිනි’, ‘පර්ෆියුම්’, ‘ද ස්ටෝරි ඔෆ් අ මර්ඩර්’, ‘ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්’ වැනි චිත්‍රපට රැසකට ඇලන් රංගන දායකත්වය ලබා දුන්නා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 69ක් විය. ඔහුගේ ජීවන ගමනට තිත තැබූයේ පිළිකා මාරයා විසිනි. 1965 වසරේදී ඔහු වයස අවුරුදු 19 පසුකරන විට හමු වූ 18 හැවිරිදි රීමා හෝර්ටන් සමඟ 1977 වසරේ සිට එකට දිවි ගෙවීම ඇරඹුවත් විවාහ දිවියට පත් වූයේ 2012 වසරේදීය. මියයන තෙක්ම ඔවුහු ආදරයෙන් දිවි ගෙවූහ. ඇලන් අවසන් වරට දායක වූ සිනමා නිර්මාණය lice Through The Looking Glass චිත්‍රපටය යි. එය මේ වසර තුළ තිරගතවීමට නියමිතය.

බියොන්සේට දරු සුරතල්

සරාගී පොප් ගායිකා බියොන්සේ නැවතත් දරු සුරතල් බලන්න සූදානම් කියලා ආරංචියි. ඇයගේ දියණිය බ්ලු අයිස් කාටර්ට දැන් වයස අවුරුදු හතරක්. පසුගිය ජනවාරි 07 වැනිදාට යෙදුනු බ්ලූ අයිස්ගේ උපන්දිනයේදී බියොන්සේ තම උදරය සඟවාගෙන සිටින්න උත්සාහ කළාය යන ආරංචියත් වේගයෙන් පැතිර ගියා.

බියොන්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගත් Destiny’s Child  සංගීත කණ්ඩායම හරහාය. 2013 වසරේදී ලොව බලවත්ම කාන්තාව බවටද පත් වූ ඇය පත් වූ අතර ඇය හා සැමියා ජේ ඉසෙඩ් ලොව ඉහළම ආදායම් ඉපැයූ යුවළ බවටද පත් විය.

දේශපාලන කටයුතුවලටද බියොන්සේ වැඩි නැඹුරුවක් දැක්වූයේ, අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා බියොන්සේ සහ ජේ ඉසෙඩ් ළඟම හිතවතෙක් වීම නිසාය නමුත් පසුගිය කාලයේ ඔබාමා සහ බියොන්සේ අතර රහස් සබඳතාවයක් පවතින බවටද කටකතා පැතිර ගියා.

ඇත්තටම වීරයෙක්

රිදී තිරයේ වීරයන් වන අයට සැබෑ ජිවිතයේදීත් වීරයෙක් වෙන්න ලැබෙන්නේ කලාතුරකින්. හොලිවුඩ් නළු ජෙමී ෆොක්ස් රිදී තිරයේ වීර චරිත කිහිපයක් පමණක් රඟපෑවත් පසුගිය දවසක ඔහුට සැබෑ ජීවිතයේ වීරයෙක් වුණේ තවත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීම හේතුවෙන්.

ඔස්කාර් සම්මානලාභි ජෙමී විසින් බේරා ගත්තේ ඔහුගේ නිවෙස ඉදිරිපිටදී අනතුරකට පත් වූ මෝටර් රථයක සිටි රියදුරාගේ ජීවිතය යි. 32 හැවිරිදි බ්‍රෙට් කයිල් නම් ඔහුගේ මෝටර් රථය මාර්ගයේ ලිස්සාගොස් පෙරළී ගිනි ගනිමින් තිබියදී මේ සුපිරි නළුවා වහාම එම ස්ථානයට ගොස් බ්‍රෙට්ගේ ජීවිතය බේරා ගත්තා. “ගිලන් රථයකට කතා කළත් ඔවුන් පැමිණීමට ගතවන කාලය අතරතුර මොහු බේරා ගන්න මට උවමනා වුණා. මට ඕනි වුණේ ඔහු ජීවත් කරවන්නයි” ජෙමී පවසනවා.

දශකයක ජනප්‍රියත්වය

2000 දශකයේදී ලොවපුරා යෞවන යෞවනියන් වසඟයට ගත් චිත්‍රපටයක් ලෙසින් High School Musical චිත්‍රපටය විශේෂ වෙනවා. High School Musical චිත්‍රපටයේ 10 වැනි සමරුව යෙදී තිබුණේ පසුගිය 20 වැනිදාටයි. දස වසරක් පුරා ලොවක් දිනූ High School Musical කණ්ඩායම යළිත් හමු වූයේ Good Morning America  වැඩසටහනේදීයි.

වැනේෂා හඩ්න්ස්, ඈෂ්ලි ටිස්ඩේල්, කෝබියන් බ්ලූ, මොනික් කොලෙමන් මෙම සොඳුරු හමුවට එක් වූ අතර සැක් එෆෝන් හට මෙම අවස්ථාව මඟහැරුණා.

කෙනී ඔටෙගා අධ්‍යක්ෂණය කළ High School Musical චිත්‍රපටය ඩිස්නි නාලිකාවේ වැඩිම සංඛ්‍යාවක් නැරඹු චිත්‍රපටය බවටද පත් වුණා. ලොවපුරා මිලියන 225ට අධික සංඛ්‍යාවක් නැරඹූ ටෙලි චිත්‍රපටය වුණෙත් High School Musical චිත්‍රපටය යි. මෙහි ගීත ලොවපුරා සුප්‍රසිද්ධ ගීත දර්ශකවල ඉහළින් රැඳී සිටි අතර අමෙරිකන් මියුසික් අවෝඩ් හා බිල්බෝඩ් මියුසික් අවෝඩ් ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියන්නත් සමත් වුණා.

ෆියුරියස් 8ත් එයි

Fast and Furious චිත්‍රපට මාලාවේ 8 වැන්න වෙනුවෙන් නිර්මාණය කෙරුණු පෝස්ටරයක් එළිදක්වා තිබෙනවා. Fast and Furious චිත්‍රපට මාලාව ලෝක සිනමාවේ දැඩි අවධානයක් ලක් වූ චිත්‍රපටයක්.

2015 වසරේ එහි 7 වැන්න තිරගත වූ අතර එහි බ්‍රයන් ප්‍රධාන චරිතයකට පණ දුන් පෝල් වොකර් හදිසි අනතුරකින් ජීවිතයෙන් සමු ගැනීම චිත්‍රපට මාලාවේ ඉදිරිය කෙරෙහි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වුණි. පෝල් වෝකර්ගේ ජනප්‍රියත්වය ඉහළ ගියේද බ්‍රයන්ගේ චරිතය සමඟිනි. Fast and Furious 7 වැනි චිත්‍රපටය අවසන් කිරීමට පෙර වෝකර්ගේ අභාවය සිදුවීම නිසා ඉතිරි වූ කොටස්වලට පණ දුන්නේ ඔහුගේ බාල සහෝදරයා විසිනි. එයට ලොව ඉහළම ආදායම ලද චිත්‍රපට අතරේ 6 වැනි ස්ථානය හිමි විය.

Fast and Furious චිත්‍රපට මාලාව හොඳ ක්‍රියාදාම චිත්‍රපට මාලාවක් ලෙස විචාරක අවධානයට ලක් විය. හොලිවුඩ් නළු වින් ඩීසල් Fast and Furious 8 වැන්න පිළිබඳ නිවේදනයක් සමඟින් එහි පෝස්ටරය අන්තර්ජාලයට නිකුත් කළා. එය Fast 8 ලෙසින් නම්කර ඇති අතර 2017 අප්‍රේල් මාසයේදී තිරගත කිරීමට සූදානම්. Fast 8 චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ වින් ඩීසල්.