වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




පොරොන්දු ඉටු කිරීමට දුන් කාලය දැන් ඉවරයි

පොරොන්දු ඉටු කිරීමට දුන් කාලය දැන් ඉවරයි

- කැලුම් පාලිත මහීරත්න

දේශීය ටෙලි නාට්‍යයට ආදරය කරන හැමෝම 28 (අද) සවස 2.00ට මහජන පුස්තකාලයට එන්න

සමස්ත ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පුරාවට අද දක්නට ලැබෙන්නේ ගැටලුකාරී මෙන්ම අර්බුදකාරී තත්ත්වයකි. ඊට හේතු සාධක වූ කරුණු කාරණා ද බොහෝය. කෙසේ වුව ද එහි සෘජු බලපෑම එල්ල වී ඇත්තේ තමන් වෙත බවට ටෙලි නිර්මාණවේදීන් චෝදනා නඟති.

ඒ අතර වර්තමානයේ නිර්මාණය වන බොහෝ ටෙලි නාට්‍ය හරසුන්, ඒකාකාරී, අවර ගණයේ ඒවා බවට ද දසතින් චෝදනා නැඟේ. ප්‍රේක්ෂක රසඥතාව මොට කරන එබඳු බාල ටෙලි නිර්මාණ නිසා මෙරට සංස්කෘතික සාරධර්මයන් දිනෙන් දින පිරිහෙමින් පවතින බව ද එකී චෝදනාවෙහිම තවත් දිගුවකි.

එහෙත් ඊට වගකිව යුත්තේ තමන් පමණක් නොවනා බව ද, රූපවාහිනී නාළිකාවන් හි ඇතැම් අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා තමන් වෘත්තීය ක්ෂේත්‍රය තුළ දැඩි අසරණභාවයකට හා අසීරුතාවකට පත්ව ඇති බව ද වෘත්තීය ටෙලි නිර්මාණවේදීන්ගේ අදහසයි. ඔවුන් සිය අනාගත අභියෝගයන්ට මුහුණදීමේ තිර අදිටනින් යුතුව ‘දේශීය ටෙලි නාට්‍ය ශිල්පීන්ගේ එකමුතුව’ට මුල පුරන්නේ මෙවන් පසුබිමක් ඔස්සේය.

එය බිහි කරලීමට පුරෝගාමීව ක්‍රියා කළ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ කැළුම් පාලිත මහීරත්න අප හා මෙසේ එක්වන්නේ සිය අරමුණු, යෝජනා හා මතවාද පිළිබඳ වඩාත් පුළුල් වූ සංවාදයකටය.

දේශීය ටෙලි නාට්‍ය කලාවක් හා කර්මාන්තයක් ලෙස බරපතල අර්බුදයකට මැදිහත් වී තිබෙන අවධියකයි ‘දේශීය ටෙලි එකමුතුව‘ බිහි වෙන්නේ?

මේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කලක පටන් විසඳෙන්නේ නැති ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ප්‍රශ්න ඇතුළේ අපි දැන් ඉතාම නරක තැනකට ඇවිත් ඉන්නේ. ටෙලි නාට්‍ය නිර්මාණකරුවන් හැටියට අපි ඉතාම අසරණ වී සිටින මොහොතක් මේ. එකක් ටෙලි නාට්‍ය මිල සම්බන්ධයෙන්.

රූපවාහිනී නාළිකා සියල්ලම පාහේ අද අඩු මුදලකටයි ටෙලි නාට්‍යය මිලදී ගන්නේ?

ඔව්. ඇත්තටම ජාතික රූපවාහිනිය අද රුපියල් එක් ලක්ෂ දස දහසක වගේ මුදලක් තමයි ටෙලි නාට්‍යයක එක කෙටසක් සඳහා ගෙවන්නේ. සමහර චැනල්වල මේ මුදල රුපියල් ලක්ෂයේ සිට අසූ දහස දක්වා පහලට ගිහින්. ඒ ඒක කරුණක්. ඒ වගේම ටෙලි නාට්‍යවල ප්‍රමිතිය පිළිබඳ අපට බරපතල ගැටලු තිබෙනවා. ඒ දෙවැනි කාරණය. තුන්වැනි කාරණය තමයි දේශීය ටෙලි නාට්‍යය වෙනුවෙන් තිබුණු ගුවන් කාලය දැන් විදේශීය ටෙලි නාට්‍යය විසින් ඩැහැ ගනිමින් යනවා. මෙන්න මේවාට උත්තර හොයන්න තමයි අපි මූලික වශයෙන් ‘දේශීය ටෙලි එකමුතුව‘ බිහි කරන්නේ.

මම දන්නා තරමින් තවම මේ සංසදයට නිලධාරි මඬුල්ලක් පවා පත්කරගෙන නෑ?

නෑ. අප කීප දෙනෙක් එකතු වෙලා දැනට මේක කරගෙන යනවා. අද අපි බලාපොරොත්තු වෙනවා සියලුම ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය ශිල්පීන් කොළඹ මහජන පුස්තකාලයට එක් රැස් කර ගන්න. එතනදි අපි කටයුතු කරනවා නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්න සහ අපේ මේ ප්‍රතිපත්ති මාලාව එළිදක්වන්න. මේක සංකේතවත් කරන්න අදට අපි සියලුම දර්ශන රූගත කිරීම් නවත්වනවා. ඒ කියන්නේ ච්චර ධටට එකක්. මේ සඳහා ශිල්පීන් සෑහෙන ප්‍රමාණයකගේ අනුමැතිය අපට ලැබී තියෙනවා. මොකද මේක මුළු කර්මාන්තයටම පොදු ප්‍රශ්නයක්. කර්මාන්තයට සෘජුව බලපාන ප්‍රශ්නයක්. දේශපාලන න්‍යාය පත්‍ර මේක ඇතුලේ නෑ. සියලුම පක්ෂවල අය, ප්‍රතිවිරුද්ධ දේශපාලන මත දරන අය මේ වෘත්තියේ නියැළෙනවා. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනෑ මේක දේශපාලනමය කාරණාවක් නෙවෙයි, වෘත්තීමය ප්‍රශ්නයක්.

ඔබ ප්‍රමුඛ ‘එක්සත් ලංකා කලාකරුවෝ’ වත්මන් රජයට මින් පෙර යෝජනා මාලාවක් ඉදිරිපත් කළා නේද මේ සම්බන්ධයෙන්?

ඒක දේශපාලනිකයිනේ. එය ඒ මොහොතේ පැවැති දේශපාලන අවශ්‍යතාවයක් සහ ඒ අවශ්‍යතාවය පෙරදැරි කරගෙන හෝ මේ ප්‍රශ්නයට උත්තර හොයන්න අපි ගත්ත උත්සාහයක්. එතකොට ඒක ඇතුළේ තිබුණා එක්තරා දේශපාලන රාමුවක් අවංකවම ගත්තොත්. ඒක අපි පිළිගන්න ඕනෑනේ. හැබැයි ඒ කරපු ඇතැම් යෝජනාවල ප්‍රතිඵල අපට දැන් ලැබී තියෙනවා. උදාහරණයක් විදිහට අපි යෝජනා කරපු විශ්‍රාම වැටුප් ක්‍රමයට මේ වෙනකොටත් මුදල් ප්‍රතිපාදන වෙන්කොට අවසන්. එතකොට ඔය අපි ඉල්ලපු ඇකඩමි එක සම්බන්ධව රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒක කළ යුතුය කියා. නමුත් ඒවා පමණක් ප්‍රමාණවත් මදි අපිට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න. ඒ සඳහා සියලුදෙනාම එක් විය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ.

වත්මන් රජය බලයට ගෙන ඒම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කළ කලාකරුවෙක් හැටියට විවිධ දේශපාලන මත දරන උදවිය එක ධජයක් යටතට ඒකරාශි කිරීමට ඔබට හැකි වේ යැයි කියා සිතනවාද?

මේක පක්ෂ දේශපාලනයක් නෙවෙයි. ඇත්තටම අපි 19 වැනිදා පැවැත්වූවා මාධ්‍ය සාකච්ඡාවක්. ඊට සහභාගි වූ අය අතර වසන්ති චතුරානි, අනුර මාධව ජයසේකර, අනුරුද්ධ ජයසිංහ, ආනන්ද අබේනායක, බෙනට් රත්නායක වගේ අය හිටියා. එතැනම තිබෙනවා මෙය දේ්ශපාලන කාරණාවක් නොවන බවට සාක්ෂියක්. අපි දේශපාලන සත්වයෝ. ඒක පැහැදිලියි. දේශපාලනික විය යුතු වෙලාවේ ඒ මතවාද අනුව ක්‍රියා කළාට කර්මාන්තයේ අර්බුදයක් පැන නැගුන වෙලාවට තමන්ගේ පෞද්ගලික දේශපාලන මතවාදය තුළ අපට හිර වෙන්න බැහැ. හැබැයි අපට මේ රජයත් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා.

ඔබ කියන්නේ කිසියම් රාජ්‍යය මැදිහත්වීමකුත් අවශ්‍යයි මේ ගැටලු විසඳා ගැනීම සඳහා?

පැහැදිලිවම. ජනාධිපතිවරයා, එතකොට මේ රජයේ අග්‍රාමාත්‍යවරයා හා ඒ බලපුළුවන්කාරකම තිබෙන අමාත්‍යවරයා එක්ක තමයි අපට මේ ගැන සාකච්ඡා කරන්න වෙන්නේ. හැබැයි ඒ කියන්නේ මේක දේශපාලනිකයි කියන එක නෙවෙයි. ඒ නිසා මේකට දේශපාලන පදනමක් නැහැ. මේකෙ ඇතුලේ ඉන්න කිසිම කෙනෙක් දේශපාලනය ගැන කතා වෙන්නේ නැහැ. අපි ගෝත්‍රිකයෝ නෙවෙයිනේ. එතකොට අපට පුළුවන්කම තියෙනවා මේක ඉතා පැහැදිලිව බෙදා වෙන් කරගන්න. මේක දේශපාලන අරමුණක් නෙවේ. මේ එකමුතුව හා සම්බන්ධ වෙන හැමෝගෙම හිතේ තියෙන්න ඕනෑ කර්මාන්තය අද මුහුණ පා තිබෙන මේ ඛේදවාචකයෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණය මිසක පටු දේ්ශපාලන අරමුණු නෙවෙයි. අන්න එතනටයි අපි පෙළ ගැහෙන්න ඕනෑ.

අද ටෙලි නාට්‍යයක් විකාශය කරවා ගැනීම බරපතල ගැටලුවක්. මේි හේතුවෙන් නිර්මාණකරුවාට විශාල අසාධාරණයක් සිදු වෙනවා. මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබේ මැදිහත්වීම?

ඇත්තෙන්ම මේ සඳහා අපි නිසි ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ. අපි කියන්නේ ටෙලි නාට්‍ය වර්ගීකරණය කිරීමට සෙන්ට්‍රල් බොඩි එකක් තියෙන්න ඕනෑ. දැන් ජාතික රූපවාහිනියේ බෝ(ර්)ඩ් එකක් ඉන්නවා. ස්වාධීන රූපවාහිනියේ බෝ(ර්)ඩ් එකක් ඉන්නවා. හිරු, දෙරණ, සිරස නාළිකාවලත් එහෙමයි. මම පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මගේ ටෙලි නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියට බාර දුන්නාට පස්සේ ඔවුන් මට ලිපියක් එවනවා ‘ඔබේ ටෙලි නාට්‍යය විකාශයට සුදුසු නැත’ කියලා.

ඔබ ඔය කියන්නේ ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යය ගැන නේද?

ඔව්. මම ඒ ටෙලි නාට්‍ය යවනවා ස්වාධීන රූපවාහිනියට. කොටසකට රුපියල් දහස ගානේ බැඳලා අපි මේක ඉදිරිපත් කරන්නේ. ඊට පසුව මට ලිපියක් එවනවා, ‘මෙහි අධ්‍යක්ෂණය ඉතා දුර්වලයි. මෙහි පිටපත ඉතා දුර්වලයි. මෙහි සංස්කරණය ඉතා දුර්වලයි, මෙහි අලුත් ආකෘතියක් හඳුන්වාදීමට උත්සාහ කර තිබුණ ද එය සාර්ථක වී නොමැත’ ආදී වශයෙන්. දැන් ඔබ හිතන්න මේ නිර්ණායකයන්ට අනුව ඒ ටෙලි නාට්‍යයේ ගත යුත්තක්ම නෑනේ එතකොට.

සියඹලා ගෙනල්ලාම නෑ?

නෑ. සියඹලා තිබිලාම නෑ. එතකොට මම අවුරුදු විස්සක් මේ කර්මාන්තයේ හිටපු කෙනෙක්. රූපවාහිනී නාළිකාවල වැඩ කරපු, ටෙලි නාට්‍ය නිර්මාණය කරපු, චිත්‍රපටයක් හදපු කෙනෙක් හැටියට මගේ අධ්‍යක්ෂණය දුර්වල නම් ඒ හඳුන්වා දෙන්න උත්සාහ කළ ආකෘතිය ඉතා දුර්වල නම් මම මේකෙන් අයින් වෙන්න එපායැ. වහාම තීරණයක් අරගෙන මම ඒ වෘත්තීයෙන් අයින් වෙලා මිනී පෙට්ටි සාප්පුවක් හරි, කෑම කඩයක් හරි දාගෙන මට මගේ ජීවිකාව කරන්න ඕනෑ. නෑ, මට ඒ වෙලාවේ හිතුණේ එහෙමයි.

එතනින් පස්සේ මොකද වෙන්නේ?

ස්වාධීන රූපවාහිනියේ ලයිබ්‍රරි එකේ ඉන්නවා සර්වබලධාරි පුද්ගලයෙක්. මේ ටෙලි නාට්‍යය භාර ගන්න පුද්ගලයා. එයා තමයි මේ ටෙලි නාට්‍ය අපෙන් අරගෙන අදාල තැන්වලට යොමු කරන අතරමැදියා. මම අහනවා ඔහුගෙන් කවුද මේ ටෙලි නාට්‍ය තෝරන බෝ(ර්)ඩ් එක කියලා. නමුත් ඔහු කියනවා ඒක හෙළි කරන්න බෑ, ඒක රහසිගතයි කියලා. මොනවද මගේ අධ්‍යක්ෂණයේ දුර්වලකම්, කොයි කොයි තැන්වලද දුර්වල. මොකක්ද හේතුව කියලා මම දැනගන්න එපායැ. එතකොට මම සල්ලි බැඳලා ඉදිරිපත් කරපු ටෙලි නාට්‍යයේ මගේ වැරදි ටික දැනගන්න ඉන්න බෝ(ර්)ඩ් එක රහසිගත වෙන්නේ කොහොමද? මම සල්ලි බැන්දා නම් ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය මට තියෙනවා. මම අහන්නේ ඇයි මේ බෝ(ර්)ඩ් එකට එලියට එන්න බැරි. ඔවුන්ගේ කොන්ද පණ නැද්ද එලියට ඇවිත් මේවාට උත්තර දෙන්න.

කෙසේ හෝ අවසානයේදී ‘විසුල අහස යට’ හිරු නාළිකාවේ විකාශය වෙනවා?

‘හිරු’ නාළිකාවේ ආරම්භක ටෙලි නාට්‍ය හැටියට ඔවුන් එය බාර අරගෙන කොටස් 180 ක් දක්වා විකාශය කරනවා. ඒ තරම් ඒක ජනප්‍රිය වුණා. එතකොට මොකක්ද තත්ත්වය. දැන් අද ‘හිරු’ ඊ ඍ කියන්නේ මේ රටේ ජනප්‍රියම නාළිකාවක්. එතකොට ඔවුන්ගේ තීරණයද හරි, එහෙම නැතිනම් ස්වාධීන රූපවාහිනියේ තිරණය ද හරි?

මුලින්ම ඔබ ‘විසුල අහස යට’ නිර්මාණය කරන්නේ දීර්ඝ ටෙලි නාට්‍යයක් හැටියට නෙවේ. නමුත් ස්වාධීන රූපවාහිනියේ තීරණය නිසා ඔබේ නිර්මාණකරණයේ දිශානතියත් වෙනස් වෙනවා?

දීර්ඝ ටෙලි නාට්‍යයක් විදිහට නෙවෙයි ඇත්තටම මම මෙය මුලින් නිර්මාණය කළේ. කොටස් හැටක, හැට පහක වෙනස් විදිහේ ආකෘතියක් සහිත එකක්. නමුත් අර කියපු තරම් ඒ ටෙලි නාට්‍යය අසාර්ථක නම් ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක කොටස් 180 ක් විකාශය වෙන්නේ කෙහොමද?

එය තෝරා ගත්තෙත් විනිශ්චය මණ්ඩලයක් මඟින්?

ඔව්. එතනත් විනිශ්චය මණ්ඩලයක් හිටියානේ.

විද්වත් මණ්ඩලයක් වෙන්නට ඇති?

කවුද කියලා මම දන්නේ නෑ. ඒත් ඔවුන් ගත්ත තීරණය නිවැරදියි. ඒ මගේ ටෙලි නාට්‍යය තේරා ගත්ත නිසා නෙවෙයි. කලාකරුවා කියන්නේ මේ රටේ දෙකෝටියකට අධික ජනගහනයකින් අතලොස්සයිනේ. ඒක අපිට ආඩම්බරයක්නේ. මේ සුවිශේෂී පිරිසක්. එතකොට ඒ කලාකරුවන් වර්ගීකරණය කරන්න සුදුසුකම් තියෙන අයද මේ බෝ(ර්)ඩ්වල ඉන්නේ. හරි අපි එකඟයි කියමුකෝ. ඒත් ඇයි ඔවුන්ට එළියට එන්න බැරි, ඇයි එයාලා හැංගෙන්නේ.

දැන් මේ සම්බන්ධයෙනුත් ‘ටෙලි එකමුතුව’ රජයට යම් යෝජනාවක් ඉදිරිපත් කරනවාද?

අපි කියන්නේ මේ ගැටලු විසඳන්න ජාතික ටෙලි නාට්‍ය ප්‍රමිතිකරණ මණ්ඩලයක් පත් කරන්න කියලයි. එහි ආකෘතිය ගැන පසුව කතා කරමු. ඒකේ ඉන්නේ කවුද කියන එක ගැන වෙනම කතා කරමු. එය වෙනම තර්කයක්. එහෙම සුදුසු පුද්ගලයෝ ඕනෑ තරම් ඉන්නවා. මම කියන්නේ එහෙම බෝ(ර්)ඩ් එකක් පත් කරන්න. ඒ බෝ(ර්)ඩ් එකට ඉදිරිපත් කරලා ඊට පස්සේ ඒවා ඕනෑ තැනකට අරගෙන යන්න. අපට පුළුවන් වෙන්න ඕනෑ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ බෝ(ර්)ඩ් එකෙන් ප්‍රශ්න කරන්න.

සුදුස්සෝ ඇති තරම් හිටියත් මේ වගේ තැන්වලට බොහෝ විට පත්වෙන්නේ නුසුදුසුස්සෝ්. මේ සඳහා ඔබලාගේ නාමයෝජනා එහෙමත් තිබෙනවාද?

මූලිකවම අපට අවශ්‍ය මේ මණ්ඩලය පත් කර ගැනීම. ඒ සඳහා නම් යෝජනා වෙද්දී අපේ නම් ලැයිස්තුවක් තියෙයි. හැබැයි මේක විවෘතයි. දැන් මේක ඔබට, මට වගේම හැමෝටම විවෘතයි. මේ අසවලා මේකට පත් කරමු කියා ඕනෑම කෙනෙකුට යෝජනා කරන්න පුළුවන්. හැබැයි 80% ක්වත් එකඟ වෙන්න ඕනෑ මේ පත් කර ගන්නා අයට. දැන් අපි දන්නේ නෑනේ මේ තීන්දු තීරණ ගන්න අදෘශ්‍යමාන හස්ත කවුද කියලා.

ටෙලි නාට්‍ය, කිසියම් වාරණයකට ලක් වේවිද මේ මණ්ඩලය නිසා කියන ගැටලුව කෙනෙකුට මතු වෙන්න පුළුවන්?

නැහැ, මේක වාරණ මණ්ඩලයක් නෙවෙයි. මම කියන්නේ කිසියම් ශ්‍රේණිගත කිරීමකුයි මේ හරහා සිදු විය යුත්තේ. ඉස්සර තිබුණා ඒ.ඕ.ඛ්.කියලා ශ්‍රේණිගත කිරීමක් ජාතික රූපවාහිනියේ. ඒ අනුව තමයි මුදල් ගෙවන්නේ සහ බෙල්ට් එක තීරණය කරන්නේ. කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි මේ සියලු දේවල් කඩා වැටෙනවා පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලේ. මේ සියලු දේවල් බිඳ වැටිලා, මේවායේ ප්‍රමිතීන් නැති වෙලා, ඉතාම බාල තැනකට මේ කර්මාන්තය පත්වෙනවානේ.

තවදුරටත් ඒ ගැන කතා කිරීමෙන් ඵලක් තියෙනවාද?

දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. දැන් තියෙන්නේ මෙතනින් එහාට ඒවා හදා ගැනීමයි. මේ සඳහා දේශපාලන රාමුවෙන් මිදිච්ච වෘත්තීය පිරිසක් එක්ක අපි එකතු වෙන්නේ ඒ නිසයි.

දේශීය ටෙලි නාට්‍යකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ‘ටෙලිනිස’ හරහා ඵලදායි මෙහෙවරක් සිදුව නැතැයි ඇතැමුන් පවසනවා. ඒ පිළිබඳ ඔබේ අදහස?

අපේ මාධ්‍ය සාකච්ඡාව දිනයේ එහි සභාපති අනුර මාධව ජයසේකර ඊට සහභාගි වුණා. ඉතින් අනුර කියන්නෙත් යම් යම් ක්‍රියාදාමයන්ගෙන් ඔවුන්ට ප්‍රතිඵල ලැබුණා කියලයි. ඒ වගේම නොලැබුණ ඒවාත් තිබුණා. ‘ටෙලිනිස’ට දැන් අවුරුදු විසි දෙකක්නේ.අවුරුදු විසි දෙකක් තිස්සේ මේ ප්‍රශ්න ගැන කතා කළා. මම හිතන්නේ දැන් ඒ කාලය ඉවරයි. දැන් තීන්දු, තීරණ ගන්න කාලය ඇවිල්ලා. බස් කොන්දොස්තරවරුන්ටත් ස්ට්‍රයික් කරලා ඉල්ලීම් දිනාගන්න පුළුවන් කාලෙක අපට කිසි දෙයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා කතා කර කර හිටපු කාලය අවසන් කියලයි මම විශ්වාස කරන්නේ.

ඒ කියන්නේ ගැමුණුගේ බස් සංගමය තරම්වත් ‘ටෙලිනිස’ ක්‍රියාකාරී නැහැ කියලද?

මට එහෙම කියන්න බෑ. මොකද මම එහි සාමාජිකයෙක් නොවන නිසා. ඒත් අපට පෙනෙනවානේ මේ අවුරුදු විසි දෙකක කාලය තුළ ඇඟට දැනෙන යමක් දිනා ගන්නට ඔවුන්ට නොහැකි වූ බව. මේ ප්‍රශ්න ඔඩු දුවලා, දුවලා දැන් මෙතෙන්ට තල්ලු වෙලානේ. නමුත් මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න කැමැති නැත්තේ එහෙම වුණොත් මේක වෙන අර්බුදයකට යන නිසා. දැන් අප හැමෝම එකතු වෙලා මේ අර්බුද, අභියෝග ජය ගනිමු. එයයි විය යුත්තේ.

මේ දීර්ඝ ටෙලි නාට්‍යය සංස්කෘතිය අපේ ටෙලි නාට්‍යය කලාව විනාශ මුඛයට ඇද දැමූ වසංගතයක් හැටියටයි ඇතැමුන් දකින්නේ. ඒක එහෙම නම් ඔබටත් ඒ චෝදනාවෙන් ගැලවෙන්න බෑ?

ප්‍රශ්නය වුණේ එතැන තමයි. දැන් මේ කර්මාන්තය අර්බුදයට ලක් වෙන්නේ එතැනනේ. සංගනනයන්ට අනුව කියනවා පන් දහසකට අධික පිරිසක් මේ කර්මාන්තයේ නියැළිලා ඉන්නවා කියලා. ඒ ගණන් හිලව් හරි ද මම දන්නේ නෑ. ඒ පන්දහසක් කියන්නේ පවුල් පන්දාහක් සහ ඒ වටා රැකෙන තවත් විශාල පිරිසක්. තේ හදන කෙනාගේ ඉඳලා මේ සියලු දෙනාම කර්මාන්තයේ අය. අපටත් සිද්ධ වුණා මෙගා ටෙලි නිර්මාණ කරන්න. මොකද අපිත් පවතින්න ඕනෑ. අපේ ආයතන තියෙනවා, සේවකයෝ ඉන්නවා. දැන් මේ වැඩ ටික නොකෙරුණොතින් මේක පවත්වාගෙන යන්න බෑ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නය අසංක, දීර්ඝ ටෙලි නාට්‍යය ද නැද්ද කියන එක නෙවෙයි.

එහෙනම්?

දැන් ‘දූ දරුවෝ’ ගත්තොත් දීර්ඝ ටෙලි නාට්‍යයක් නෙවෙයිද? ඒක කොටස් 250 කට වඩා ගියා. එතකොට ඒක දීර්ඝ ටෙලි නාට්‍යයක් තමයි. හැබැයි ඒකට නියමිත මිලක් ලැබුණා. වෘත්තීය මට්ටමෙන් ඒ දේවල් සිද්ධ වුණා. මේ මිල කියන එක ප්‍රශ්නයක් වෙනවා. රුපියල් ලක්ෂයකට ටෙලි නාට්‍යයක් හදන්න කිව්වාම නිෂ්පාදකවරයා රුපියල් 20,000 ක්, අධ්‍යක්ෂවරයා රු. 10,000 ක් විතර අරගෙන ඉතිරි ශිල්පීන්ට මුදල් ගෙව්වාම මොකක්ද ඇතිවන තත්ත්වය කියලා ඔයා හිතන්නකෝ. ඉන්දියාවේ ටෙලි නාට්‍යයක එක් කොටසක් හදන්න අවම වශයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂ පහළොවක් පමණ වියදම් කරනවා. එතකොට රුපියල් ලක්ෂයකට අපි ටෙලි නාට්‍යයක් හදලා ඉන්දියානු, කොරියානු, ජපන් ටෙලි නාට්‍යය එක්ක තරඟ කරන්න හදනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද? කරන්න බෑ.

ආර්ථික ගැටලු වගේම නිර්මාණශීලී ගැටලුත් ඔතැන තියෙනවා?

නිර්මාණශීලී කලාකරුවන් අපට හිටියේ නැතිද? අපි ‘කඩුල්ල’ හැදුවේ නැද්ද? ‘යශෝරාවය’, ‘දඬුබස්නාමානය’ හැදුවේ නැද්ද? අපි ‘දූ දරුවෝ’, ගඟ අද්දර’ හැදුවේ නැද්ද, අපි ‘මැණික් නදිය ගලා බසී’ හැදුවේ නැද්ද? ඒවා මේ ලංකවේ නිර්මාණකරුවෝ කරපු දේවල් නෙවෙයිද? එතකොට කොතැනටද අපි මේ තල්ලු වුණේ?

ඔබ කියන්නේ ඉහළ මිලක් ගෙවනවා නම් හොඳ නිර්මාණ බිහි කළ හැකියි කියන එක?

ඇත්තෙන්ම මේ අඩු මිලට ටෙලි නාට්‍යය හැදීම නිසා මේ කර්මාන්තය පල්ලෙහාට ගියා. අනෙක් කාරණය වෘත්තීය සුදුසුකම් නැති අය අතටත් මේ කර්මාන්තය ගියා. ඒකත් අපි පිළිගන්න ඕනෑ. මේකට ආවා වෙන වෙන ව්‍යාපාර කරලා බංකොළොත් වෙච්ච නිෂ්පාදකවරු. කැසට් ගහලා ඒ ව්‍යාපාරේ බංකොළොත් වුණාම මෙන්න ටෙලි නාට්‍යය කරන්න පටන් ගත්තා. ඔවුන් තමයි මේ කර්මාන්තය අගාධයට ඇද දාන්න මුල් වුණේ. ඔවුන් තමයි පගාව දෙන්න මුල් වුණේ. ඔවුන් තමයිි මේ ඉල්ලන ගාණට ටෙලි නාට්‍යය හදන්න පුරුදු කළේ. රූපවාහිනී නාළිකාවන් වගේම මේවාට අපිත් වගකියන්න ඕනෑ. හැබැයි මේ ටෙලි නාට්‍යය සඳහා ගෙවන මුදල අවම වීම තුළ අප නිර්මාණාත්මක අතින් පහළ අඩියට වැටුණා. ඒක ඉතා පැහැදිලියි.

ඔබේ නිගමනය අනුව ටෙලි නාට්‍ය කොටසක් සඳහා ගෙවිය යුතු අවම මිල කීයද?

අඩුම තරමින් එය ලක්ෂ දෙක හමාරක්වත් විය යුතුයි. පාන් ගෙඩියටත් පාලන මිලක් තියෙන රටේ අසංක, අපි දන්නේ නෑ අපි නිර්මාණය කරන ටෙලි නාට්‍යයට කොපමණ මුදලක් ගෙවයිද කියලා. එතකොට අපි පටන් ගන්නෙම මේක ලක්ෂයකට දෙන්න වෙයි කියලා. එතනම නිර්මාණය බාලයි. කිසිම නිෂ්පාදකයෙක් කැමැති වෙන්නේ නෑ ගෙවන මුදල හරි හැටි නොදැන ලොකුවට ටෙලි නාට්‍යයක් සඳහා මුදල් වියදම් කරන්න. හැංගිච්ච භූතයෝ ටිකක්නේ මේක තීරණය කරන්නේ.

අතොරක් නැතිව වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම නිසා ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ රසඥතාවයට සිදුවන හානියත් අති මහත්. නිර්මාණයටත් එමඟින් සිදුවන හානිය විශාලයි. මේ පිළිබඳ කිසියම් සාධනීය පියවරක් ගන්නට අවධානය යොමු කළාද?

නිර්මාණයකට බාධා වන අයුරින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරිම නවත්වන්න කියා අප යෝජනා කළා. මේ ගුවන් කාලය පිළිබඳ අපට තිබුණා අයිතිය නැතිව යනවානේ එක්තරා මොහොතක. ඒ ලයිසන් එකට අපි විසින් ගෙවිය යුතු මුදල අහෝසි කළ වෙලාවේ. අපි හිතුවේ ඒක අපිට හරි චූන් වැඩක් කියලා. ඉස්සර රුපියල් සීයක්ද, කීයක් ද දීලා අපි ගත්ත ඒ ලයිසන් එකේ තිබුණා මහා බල පුළුවන්කාරකමක්. අපට නඩුවක් දාන්න පුළුවන්. මොකද ඒ ගුවන් කාලයට අපිට අයිතියක් තිබුණා. උසාවියේ ගිහින් නඩු පවරන්න අපට පුළුවන්කම තිබුණා. දැන් ඒක නෑ. ඒක අයින් කරපු ගමන් මේ ප්‍රේක්ෂකාගාරයේ තිබුණ අයිතිය සම්පූර්ණයෙන් නැති වුණා. එතකොට මේ අයිතිය අද සතුව තිබෙන්නේ නාළිකාවල අයිතිකරුවන්ට. ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ ගැන’ කියලා කතාවක් තියෙනවානේ. ඒක තමයි මේ වෙන්නේ.

රාජ්‍ය නාළිකාවන් පවා එසේ ක්‍රියා කිරීම අභාග්‍යයක්?

ඔවුන් ඒ වැරැද්ද කරන කොට අනෙක් අයට අපි කොහොමද මේ ගැන කියන්නේ. මේකට ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕනෑ. මේ හැම එකක්ම රජයකට උගන්නන්න ඕනෑද? ඒකටනේ අපි ඡන්දයක් තියලා ආණ්ඩුවක් පත් කර ගත්තේ.

ඔබ විසින් පත් කර ගත් වත්මන් ආණ්ඩුවටත් ඒ ප්‍රකාශය අදාලයි?

ඔව්. පොරොන්දු ඉටු කරන්න දුන් කාලය දැන් ඉවරයි. ඒ නිසයි අපි ඊට එරෙහිව මේ නැඟී සිටින්නේ.

පොදු ප්‍රශ්න ගැන කතා කරන්න ඉදිරිපත් වුණ ඇතැම් කලාකරුවන් අන්තිමට නතර වුණේ රාජ්‍ය පාලකයන්ගේ ඔඩොක්කුවේ. තමන්ගේ අභිමතාර්ථ ඉෂ්ට කරගන්න පොදු ප්‍රතිපත්ති පාවා දුන් අයුරු අප දක්කා. දැන් අනාගතයේදි එවැනි දේවල් සිදු නොවේ යැයි අපට සිතන්නට පුළුවන්ද?

පෘතග්ජන මිනිස්සු හැටියට ඒවා කොහොම වෙයිද කියා හිතන්න බෑ. හැබැයි මට මං ගැන විශ්වාසයක් තියෙනවා. මම එතැනට යන්නේ නෑ කියලා.

ඔබේ මේ ව්‍යායාමය කලාවේ උන්නතිය සඳහාමයි?

මට ජීවත්වීමේ ප්‍රශ්නයක් නෑ. මට යම් ව්‍යාපාර තියෙනවා. නමුත් මේ කර්මාන්තය වෙනුවෙන් සටන් වැදිලා දිනා ගත යුතු දේවල් තියෙනවා. හැබැයි මේක ජීවත් වීම සඳහා කරන සටනක් නෙවෙයි. මේ අරගලය නිසා සමහර නාළිකා මා එක්ක අමනාප වෙන්නත් පුළුවන්. ඒත් මේක මේ පොදු අරගලයක් මිසක නාළිකා සමඟ කරන සටනක් නෙවේ. ඔවුන් ඒක තේරුම් ගනීවි කියා මා හිතනවා.