වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




තවම ගොඩ දෙනෙක් මාව හඳුනන්නේ නෑ

තවම ගොඩ දෙනෙක් මාව හඳුනන්නේ නෑ

තනි නමේ යොවුන් රුවැත්තිය නයනතරා සිය සිතැඟි සරසවියට හෙළි කරයි

නයනතරා මේ දිනවලදී ඔබට හමුවන්නේ ‘හංස පිහාටු’ ටෙලි සිතුවම සමඟින්. ඇය එහි දසුනිට පණ පොවන්නියයි. හංස පිහාටු නයනතරාගේ දෙවැනි ටෙලි සිතුවමයි. ඇය කෂේත්‍රයට අවතීර්ණ වුයේ ‘මීදුමෙන් එහා’ හා එක්වෙමිනි. නයනතරා පාවිච්චි කරනුයේ ඒ නම පමණි. වාසගම සමඟ නම සඳහන් නොකොට දිගටම නයනතරා යනුවෙන් භාවිත කිරීම ඇයගේ අපේක්ෂාවයි.

නයනතරා ඇයි ඔබ මේ නම විතරක් පාවිච්චි කරන්නේ?

ඒ නම හෙඳයි. ගොඩක් දෙනෙකුට මතක හිටිනවා. අනික තනි නමකින් ඉන්න නිළියො අඩුයිනේ. ඒ හින්දා මං වෙනසකටත් එක්ක ඒ නම භාවිත කරනවා.

කොහොමද දසුනිට ලැබෙන ප්‍රතිචාර?

හොඳ මට්ටමක තියෙනවා. මං මේ ගමන පටන් ගත්තා විතරයිනෙ. තවම මාව ගොඩක් දෙනෙක් හඳුනන්නේ නැහැ. නමුත් පාසලේ නම් මං හුඟක් ජනප්‍රියයි.

නයනතරා තවම පාසල් ශිෂ්‍යාවක්ද?

ඔව්. මං මේ වසරේ උසස් පෙළ ලියන්නයි ඉන්නේ.

මොන අංශයෙන්ද?

කලා.

නයනතරාගේ පාසලත් මතක් කළොත්?

වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය.

කෙහොමද ඔබ රංගනයට අවතීර්ණ වන්නේ?

මගේ මුල්ම රංගනය එළිදක්වන්න හැකි වුණේ ‘මීදුමෙන් එහා’ නාට්‍යයෙන්. මං එහි සඳුනි. ඒක එච්චර ලොකු චරිතයක් නෙවෙයි. මට ටිකක් කැපී පෙනෙන චරිතයක් ලැබෙන්නේ හංස පිහාටු නාට්‍යයේ. මට ඒ අවස්ථාව ලබා දුන්නේ චාමර සමරවික්‍රම මහත්මයා.

කැමරාවට මුහුණ දුන් පළමු දිනය මතකද?

ඔව්. හොඳට මතකයි. මට එදා ප්‍රවීණ අය ගොඩක් උදව් කළා. බය හිතුණෙ නම් නැහැ.

මේ නාට්‍ය දෙකෙහිම ඔබ රඟපෑවේ ළමා චරිත. පුංචි තිරයේ පෙම්වතිය වීමට අවස්ථාවක් ලැබුණේ නැතිද?

ආරාධනාවන් නම් ඒ සඳහා ලැබුණා. නමුත් මං තවම ඉගෙන ගන්නවනෙ. පාසලෙන් අයින් වුණාට පසුව තමයි ඒ චරිත බාර ගත්තොත් බාර ගන්නේ.

නයනතරාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

වෘත්තීය නිළියක් වීම. ඒ අතරේ කැම්පස් යන්නත් හිතාගෙන ඉන්නවා.

කැම්පස් ගිහින් ඩිග්රිය එහෙම ගත්තට පස්සේ වෙන රස්සාවකට යන්න කියලා හිත කියයි ද දන්නේ නැහැ?

කවදාවත්ම නැහැ. මං උපාධිය ගත්තත් කවදා හරි මගේ වෘත්තීය කර ගන්නේ රංගනය.

ගෙදරින් කැමැති ද ඔබ වෘත්තීය රංගන ශිල්පිනියක් වනවාට?

ඔව්. මගේ අම්මා, තාත්තා මට ඒ සඳහා උපරිමයෙන් සහාය දෙනවා. ඒ අයගේ ආශිර්වාදය මැද තමයි මං යන්න පටන් ගත්තේ.

නයනතරා රංගනය හදාරනවාද?

ඉස්සර හැදෑරුවා. නමුත් වර්තමානයේදී නම් ඒක නවත්තලා තියෙන්නේ. අයෙත් පටන් ගන්න ඕනෑ. නමුත් මං චිත්‍රපට නරඹලා ඒවායින් ඉගෙන ගන්නවා.

මොන වගේ චිත්‍රපට ද ඔබ බලන්නේ?

ගෙඩක් පරණ චිත්‍රපට තමයි.

නම් වශයෙන් කිව්වොත්?

නිධානය මං බැලුවා. එයට අමතරව විජය - මාලිනී යුගයේ චිත්‍රපට ගොඩක් මං ගාව තියෙනවා. ළඟදී ආව සිංහල චිත්‍රපට නම් නැරැඹුවේ නැහැ.

ඇයි ඔච්චරටම පැරැණි චිත්‍රපටවලට කැමැති?

ඒවාහි තිබෙන ගුණාත්මකභාවය අද චිත්‍රපටවල නැහැ. ඒ වගේම ඒවා හරිම රසවත්. බලන්න බලන්න ආසයි.

ඒ කාලේ හිටියා නම් හොඳයි කියලා හිතෙන්නේ නැතිද?

ඇත්තටම එහෙම හිතෙනවා.

තව මොනවද හිතෙන්නේ?

විජය කුමාරතුංග මහත්මයත් එක්ක රඟපාන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම මාලිනී ෆොන්සේකා මහත්මියත් එකක් චිත්‍රපටවල ඉන්න තිබුණා නම් කියලත් හිතෙනවා. ඇයත් එකක් කාවදා හෝ මොනයම් හෝ නිර්මාණයකට දායකවීමට ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා.

නයනතරා හිතනවද ඔබ මේ තෝරාගෙන ඉන්නේ ඔබට සුදුසුම ක්ෂේත්‍රය කියලා?

ඔව්.

මට හේතු සාධක සහිතව පිළිතුරු දෙන්න?

මේ ක්ෂේත්‍රය හරිම නිදහස්. මං කවදා හරි හිතාගෙන හිටියේ එහෙම ක්ෂේත්‍රයකට එකතු වෙන්න. කොපමණ නිදහස තිබුණාත් ස්වයං වාරණයකින් යුතුවයි මං වැඩ කරගෙන යන්නේ. ඒ වගේමයි මේ ක්ෂේත්‍රය හරිම සුන්දරයි. එබැවින් කවදාවත් ඉන් ඉවත් වෙන්නට හිතෙන්නේ නැහැ. අනික කලාවට එන්න හැමෝටම බැහැනෙ. ඒකට වාසනාවකුත් තියෙන්න ඕනෑ. මේ හේතු මත මම හිතනවා මේ මං තේරාගෙන ඉන්නේ නිවැරැදිම ක්ෂේත්‍රය කියලා.

ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා නව පරපුරේ නිළියන්ට කිසිම දැනීමක් නැහැ කියලා. ඇත්තද ඒක?

වෙන්න ඇති. නමුත් මං කැමැති නැහැ මගෙ පරපුරේ සහෝදර නිළියන්ට බනින්න. ඒක හොඳ නැහැ. මං කියන්නේ අලුත් අය මේ ක්ෂේත‍්‍රය ගැන ස්ටඩි කරමින් මෙහි රැඳී හිටියොත් හොඳයි කියලා.

නයනතරාට ක්ෂේත්‍රයේ ඉන්න යාළුවො කවුද?

ගොඩක් නැහැ. තාරුකා වන්නිආරච්චි අක්කව තමයි වඩාත් ළඟින්ම ආශ්‍රය කරන්නේ.

මේ ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් අය ගැන කිසිම විශ්වාසයක් නෑ කියලා කියනවා?

ඔය වගේ කතා මමත් අහලා තියෙනවා. මං තවම ක්ෂේත්‍රයට අලුත්නේ. තව කාලයක් ඉඳලා ඔය ප්‍රශ්නයට මං නිසි පිළිතුරක් දෙන්නම්.

නයනතරාට චරිතයකට කතා කළොත් මුලින්ම කරන්නේ මොකක්ද?

කතා කරපු කෙනාට බෙහෙවින් තුති පුදනවා. ඊට පසුව චරිතයේ ස්වභාවය ගැන බලලා එය ස්ටඩි කරලා රඟපානවා.

ඔබ රංගනයට එන්නේ මෙගා නාට්‍ය යුගයේ. ස්ටඩි කර කර රඟපාන්න පුළුවන්ද එවන් නාට්‍ය තුළ?

පුළුවන්. මං කොහොම හරි අධ්‍යයනයකින් පසුවයි රඟපාන්නේ. ඒ මං හදාගත්තු ක්‍රමය.

නයනතරාට උදව් කළ අයව මතක් කරන්න වෙලාව?

සද්ධා මංගල සූරිය බණ්ඩාර, ගාමිණී සෝමරත්න, සමන් කුමාර ලියනගේ, ධර්මජිත් පුනර්ජීව ඇතුළු මට උදව් කළ හැමෝමව මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි.