වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




මට පෙම්වතියක් ඉන්නවා කියලා දැනගත්තේ ගොසිප් වලින්

මට පෙම්වතියක් ඉන්නවා කියලා දැනගත්තේ ගොසිප් වලින්

- මාධව විජේසිංහ

මාධව විජේසිංහ හරියට රූපවාහිනියේ කුරුල්ලා වගේ. මොකද දන්නවද එහෙම කිව්වේ, කොයි වෙලාවේ ටෙලිවිෂනය දැම්මත් ඔහුව දැක බලාගන්න පුළුවන්. මාධව එච්චරටම දැන් ටී. වී. එකේ ඉන්නවා. නළුවකු විතරක් නෙවෙයි මාධව නිවේදකයකු විදිහටත් කටයුතු කරනවනේ. ඒ හින්දම ඔහු මේ දිනවල හරියට ජනප්‍රියයි. ඒ වගේම වර්ණ ටෙලි සිතුවමේ වෙනස්ම චරිතයකින් මාධව ඔබ හමුවට එනවා. මේ මේ කරුණු කාරණා හින්දා ඔහුව අප පුංචි කතාබහකට එකතු කර ගත්තා.

මාධව, වර්ණ ටෙලි සිතුවම නිසා ඔබේ රංගන ජීවිතය අමුතුම වර්ණයකින් හැඩ ගැන් වුණා කියලා බොහෝ දෙනෙකු කියනවා?

ඒ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. වර්ණහි මම පවන්. ඔහු මෙහි ප්‍රධාන චරිතය මවන ආශා එදිරිසිංහගේ මල්ලි. පවන්ට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ තමයි පරවියන් හා කතා කිරීම. පවන් කියන්නේ ටිකක් සංකීර්ණ චරිතයක්. ලොකේෂන් එහෙමත් තියෙන්නේ කොළඹින් පිට. ඉතාම දිගු කාලෙකට පසු මං නිවී සැනසිල්ලේ රඟපෑවා කියන්න පුළුවන්. ඇත්තටම පවන් මගේ රංගන ජීවිතය ආලෝකමත් කරපු චරිතයක්.

ඒ කියන්නේ ඔබ මේ වගේ චරිතයක් ලැබෙන තුරු බලාගෙන හිටියා?

ඒ පැනයට මට ඔව් කියලා පිළිතුරු දෙන්න පුළුවන්.

මාධව වැඩිපුරම අප දුටුවේ මෙගා ටෙලි නාට්‍යවල?

මං ඒ වායේ හිටියා කියනවාට වඩා මට ඇරැයුම් ලැබුණේ මෙගා නාට්‍යවලට කියනවට මං කැමැතියි.

ඒවා හින්දා නේද ඔබ වඩාත් ජනප්‍රිය වුණේ?

මෙගා ටෙලි නාට්‍යවල රඟපෑවත් තමන්ගේ නියම දක්ෂතාවය පෙන්නුවේ නැත්නම් ජනප්‍රිය වෙන්නේ නැහැ කවුරු වුණත්. උපරිමයෙන් නැති වුණත් මං මගේ දක්ෂතාවයන් හොඳට පෙන්නුවා මෙගා නාට්‍යවලදී.

ඇයි උපරිමයෙන් ඔබේ දක්ෂතාවය පෙන්නුවේ නැත්තේ?

බහුතරයක් ටෙලි නාට්‍ය යාන්තී‍්‍රකරණය වෙලා. ඉතින් අපටත් එහෙම්මම කටයුතු කරන්න වෙනවා. ඒ රටාව තුළ අපි කොහොමද උපරිම දක්ෂතාවය පෙන්වන්නේ.

ඔබ ඔබව ජනප්‍රිය කෙරුව නිර්මාණවලට මෙහෙම චෝදනා ගොනු කිරීම අසාධාරණයි නොවේද?

වැරදියට තේරුම් ගන්න එපා. මං කිව්වේ හැම නිර්මාණයක්ම එහෙම කියලා නෙවෙයි. පිළිවෙළකට කරපු නිර්මාණ ඕනෑ තරම් තියෙනවා.

කොහොම වුණත් පිළිවෙළකට නිර්මාණය කළත් මෙගා නාට්‍ය දැන් ප්‍රේක්ෂකයාට එපා වෙලා නේද තියෙන්නේ?

මෙගා නාට්‍යවලට හොඳ මෙන්ම නරක ප්‍රතිචාර එනවා. මොන දේ වුණත් මාත් හිතනවා මෙගා නාට්‍යවලට මිනිස්සුන්ගේ ඇති රුචිකත්වය මඳකට හෝ අඩු වෙලා කියලා. ඒවාහි නළු නිළියන් වෙච්ච අපට ද දැඩි හානියක් වෙනවා ඒ හින්දා.

ඉතින් ඔබට පුළුවන්නේ ඒවායින් ඉවත්වන්න?

එහෙම එක පාරටම නාට්‍යයකින් අපිට අයින් වෙන්න බැහැ. අපි එකඟ වෙච්ච කොන්දේසි ටිකක් තියෙනවානෙ. ඒවාට යටත්වයි අපි වැඩ කරන්නේ.

මාධව හිතන විදිහට මෙගා නාට්‍යයක් කොටස් කීයකට සීමා වෙන්න ඕනෑද?

කොටස් සීයක් හොඳටම ඇති.

කොහොමද ඔබේ නිවේදන කටයුතු?

දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහන සහ චැම්පියන් ස්ටාර් කියන වැඩසටහන් යුගල සඳහායි මං නිවේදනයෙන් එකතු වන්නේ. ලට්ල් ස්ටාර් අදියර හතක් මං නිවේදනය කළා. තවත් විදිහකින් කිව්වහොත් එහි ආරම්භයේ ඉඳලා මං ඉන්නවා. ඒ වගේම චැම්පියන් ස්ටාර් විනෝදාත්මක විදිහට මමයි පේෂලයි මෙහෙයවනවා.

වසර කිහිපයක් පොඩි ළමුන් එක්ක ගනුදෙනු කළා. මොකද හිතෙන්නේ?

ගොඩක් අය හිතනවා පුංචි ළමයි ඉන්න වැඩසටහනක් මෙහෙයවන්න හරි ලෙහෙසියි කියලා. ඒත් ඒක හරි අමාරුයි. අපි ළමයින්ට මොනවා හරි කියන්නට කලින් දෙවතාවක් හිතන්න ඕනෑ ඔවුන්ගේ මානසිකත්වයට ගිහින් තමයි නිවේදනය සිදු කළ යුතු වන්නේ. නැතිනම් ළමුන් මානසිකව වැටෙනවා. එහෙම නොවී අවුරුදු ගණනාවක්ම මේ වගේ එක ප්‍රෝගෑම් එකක මං රැඳිලා ඉන්නේ පුංචි ළමුන්ව නිතැතින්ම මං ග්‍රහණය කරගන්න හින්දා.

ඔබ රැකියාවක් කරන ගමන් තමයි කලා කටයුතුවල නියැළුණේ. තවමත් එහෙමද? මං එහෙම ඇහැව්වේ පෙරට වඩා ඔබ කාර්යබහුල නිසා?

කොච්චර කාර්යබහුල වුණත් මං කරගන්නට බැරි තරම් වැඩ බාර ගන්නේ නැහැ. ඒ වගේම නිකම් ගෙදර ඉන්නෙත් නැහැ. මේ වන විට මගේ වෘත්තීය කලාවම විතරක් වෙලා. කාලයත් එක්ක ඒක එහෙම්ම වුණා. මං අධ්‍යාපනය හැදෑරුවේ මාධ්‍ය හා තාක්ෂණය පැත්තෙන්. ඉතින් කවදා හරි මගේ බලාපොරොත්තුව රැකියාවක් කිරීම නෙවෙයි. මේ ක්ෂේත්‍රයෙහිම රැඳී ඉඳලා අධ්‍යක්ෂවරයකු බවට පත් වෙන්නයි හිතාගෙන ඉන්නේ.

මාධවගේ පෙම්වතිය ගැන විවිධාකාරයේ ගොසිප් පළ වුණා?

අපොයි ඔව්. මටත් පෙම්වතියක් ඉන්නවා කියලා දැනගත්තේ ඒ ගොසිප්වලින් තමයි.

ඔබට දැන් පෙම්වතියක් නැද්ද?

නැහැ.

ඒත් කලකට ඉහතදී ඔබට පෙම්වතියක් හිටියා නේද?

ජීවිතයේ හමුවීම් වෙනවා, වෙන්වීම් වෙනවා. ඒක සොභාවිකයි.

මට ඔබ නිශ්චිත පිළිතුරක් දුන්නේ නැහැ?

කොච්චර ඇහැව්වත් ඔච්චර තමයි. හමුවෙනවා වෙන් වෙනවා. ඒක තමයි ජීවිතේ කියන්නේ.

කලාවේ නියැලීම ආදරයට බාධාවක් වුණාද?

කොහෙත්ම නැහැ. මේකත් රැකියාවක්නෙ.

ආයෙත් පෙම්වතකු වන්නට කැමැත්තක් නැතිද?

මගේ ජීවිතයට මේ වන විට තනිකමක් නම් දැනෙන්නේ නැහැ. මේ සියල්ලටම කාලය විසඳුම් ලබා දේවි. එතෙක් මා ඉවසනවා.