වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - සිංහල චිත්‍රපට නාමාවලියේ එන 'සිංහලෙන් චිත්‍රපට තැනූ ඉන්දියානු සිනමාකරුවන්' කවුරන්දැයි කියා අපට තොරතුරු ටිකක් සපයා දෙන මෙන් ඉල්ලා සිටින්නෙමු.

තිලකරත්න විල්වල, මැනිකේ විල්වල, කෑගල්ල

අර්ජුන් - ජේ සිංහ, කේ. සුබ‍්‍රමනියම්, ටී. ආර්. සුන්දරම්, ඩී. එස්. බාබු, රාජා වහබ් කාශ්මීර්, ඒ. බාසිකර් රාජ්, ඒ. එස්. නාගරාජන්, ජී. ආර්. රාඕ, කේ. වෙම්බු, කේ. ශංකර්, ඒ. එස්. ඒ. සාමි, මිත්‍රදාස්, ක්‍රිෂ්ණා රාඕ, එස්. එස්. රාජන්, එම්. මස්තාන්, එස්. එම්. එස්. නායිදු, එල්. එස්. රාමචන්ද්‍රන්, එම්. ආර්. එස්. මානි, ටී. නිිලඛන්ටන්, එස්. කේ. ඕජා, ටීි. ජානකී රාම්, ටී. යෝගානන්දන්, ඒ. එස්. සේතු මාධවන්, සී. වී. රාජු සහ අවසාන වශයෙන් සරොව්.

ප්‍රශ්නය - හෝ ගානා පොකුණ චිත්‍රපටයේ රඟන අනසුයා මීට කලින් රංගනයෙහි නිරත වූ කෙනෙක්ද?

ඩඩ්ලි ගෝමස්, කටුබැද්ද, මොරටුව

අර්ජුන් - කලම්බු කලම්බු වේදිකා නාට්‍ය ඇතුළුව වේදිකා නාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වුණා.

ප්‍රශ්නය - එදා යුගයේ සිංහල චිත්‍රපට නිපද වූ දමිළ අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන් නොසිටියා නම් අද අපේ සිනමාවේ තත්ත්වය කෙබඳු වේවිද?

සරත් රණසිංහ

කපුගොඩ, මාලිඳ

අර්ජුන් - ඒ අවධියේ අපේ රටේ සිනමා කර්මාන්තයක් නැති නිසා ඔවුන් හරහා අපට ජනප්‍රිය සිනමාවක් ලැබුණා. ඒ වගේම අපේ සිනමාවට බෝ වුණ හැම වසංගතයකටම වග කියන්න ඕනත් ඒ අයම තමයි.

ප්‍රශ්නය - ලෝක සාහිත්‍යයේ සම්භාව්‍ය නවකතාවක් වන රබීන්ද්‍රනාත් තාගේර්තුමන්ගේ ගෝරා නවකථාව චිත්‍රපටයකට නඟා තිබේද?

පෝල් පෙරේරා, තෙන්නකෝන් මාවත, කුලියාපිටිය

අර්ජුන් - ගෝරා කෘතිය පාදක කරගෙන කිසිවෙකුත් චිත්‍රපට නිර්මාණය කර නැහැ.

ප්‍රශ්නය - සිංහල සිනමවේ ප්‍රථමවරට අතීත ආවර්ජන ජවනිකා පෙන්වීමේදී නෙගටිව් පටි භවිත කළ චිත්‍රපටය කුමක්ද? මගේ මතකය නම් එය 'සිහින හතක්' විය යුතුයි.

උපාලි අමරසිංහ, මදුරාගොඩ වත්ත

නාත්කුරුගම, මාවනැල්ල

අර්ජුන් - ඔබ නිවැරදියි.

ප්‍රශ්නය - බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් සටන් නළුවෙක්ද, නැතහොත් සිනමාවට ඒමට පෙර සටන් ශිල්පය හැදෑරූ දක්ෂ සටන් ක්‍රීඩකයෙක්ද? නැතිනම් සටන් ශිල්පය හා සම්බන්ධ කෙනෙක් නොවේද?

දිනූ ප්‍රසන්න, පානදුර

අර්ජුන් - ඔහු සටන් නළුවෙක් නොවේ. ඒ වගේම ඔහු සටන් ශිල්පය හැදෑවෙකුද නොවේ. ඔහු වෙනුවෙන් සටන් කරන්නේ ආදේශක නළුවන්ය.

ප්‍රශ්නය - සිංහල සිනමාවේ බොහෝ චිත්‍රපටවල හාස්‍ය මෙන්ම උපහාසය අපූරුවට මැවූ ඩී. ආර්. නානායක්කාර නම් විශිෂ්ට නළුවා ගැනෙන්නේ හාස්‍ය (විකට) නළුවන් අතරටද? නැතිනම් දක්ෂ චරිතාංග නළුවන්ගේ වර්ගීකරණයටද?

ජානක ඉලුක්කුඹුර, කඩවත

අර්ජුන් - ඔබම විශිෂ්ටයි කියූ පසු දක්ෂද, හාස්‍යද කියන්න අවශ්‍ය නැහැ. ඩී.ආර් හැම ආකාරයෙන්ම දක්ෂයි. ලෝකප්‍රසිද්ධ සිනමාකරු ස්පිල්බර්ග් ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපටයේ විසිපස්වෙනි සංවත්සරයට නිකුත් කළ ඩී.වී.ඩී තැටියට කියන්නෙත් ඩී.ආර් යනු විශිෂ්ටතම නළුවෙක් බවයි.

ප්‍රශ්නය - 2000 වර්ෂයෙන් පසු තිරගත වී ඇති චිත්‍රපට අතරින් වැඩිම ආදායම ලබා ඇති චිත්‍රපටයේ නම කුමක්ද? එහි අධ්‍යක්ෂවරයා කවුද?

මිල්ටන් ප්‍රනාන්දු, මිනෙරෝ, උතුරු මූදුකටුව

අර්ජුන් - 'සිරි පැරකුම්' චිත්‍රපටය. එය අධ්‍යක්ෂණය කළේ සෝමරත්න දිසානායක.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10