වර්ෂ 2016 ක්වූ ජනවාරී 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඇයි මෙච්චර ඉක්මනට ආවේ...

ඇයි මෙච්චර ඉක්මනට ආවේ...

මේ කියන්න හදන්නේ කලකට ඉහතදී සිදු වුණු සිදුවීමක්. හැබැයි ඒ වගේම දෙයක් ඊයේ පෙරේදාත් සිදු වුණා. මේ සිදුවීම් දෙකටම සම්බන්ධ වුණේ එකම කලාකරුවන් දෙදෙනෙක්. එක් කෙනෙක් තමයි ආචාර්ය අජන්තා රණසිංහ. අනෙක් තැනැත්තා විශාරද එඩ්වඩ් ජයකොඩි. මේ දෙදෙනා අතරින් මේ සිදුවීම නිසා වඩාත් අපහසුතාවයට පත් වූයේ අජන්තා මහත්තයා. ඔහු ඉතින් අති දක්ෂ ගී පද රචකයෙක්නෙ. ඒ නිසාමදෝ අදින් වසර කිහිපයකට පෙර එඩ්වඩ්, අජන්තලගේ ගෙදර ගිහින් හදිසි ඉල්ලීමක් කරන්නේ. එතකොට වෙලාව රෑ නවයට විතර ඇති. එඩ්වඩ් අජන්තාගෙන් සිංදුවක් ලියලා ඉල්ලුවා. අජන්තා එක හෙලාම කියා සිටියේ ලියන සිංදුවක් නිවී සැනසිල්ලේ ලියන්න ඕනෑ කියලා.

මේකයි අජන්ත මහත්තයෝ හෙට උදේ එකොළහට රෙකෝඩිං.

එඩ්වඩ් කිව්වා.

අයියෝ එහෙනම් ඇයි මෙච්චර ඉක්මනට ආවේ. හෙට උදෙන්ම ආව නම් ඉවරයිනෙ.

අජන්තා ගත් කටටම කිව්වේ නෝක්කාඩුවට වගේ. ඒ වුණත් එහෙම කිව්වට කොලේකුයි පෑනකුයි අරගෙන අජන්තා එවෙලෙම සිංදුවක් ලියලා දුන්නා. ඒක තමයි 'මුව මුක්තාලතා පිපි හංසංගනා' ගීතය අදටත් එය හරිම ජනප්‍රියයි. ඔය සිදුවීමම වුණා මේ ළඟදී දිනයකදි දෙවැනි වතාවටත්. ඒත් මොකද කරන්නේ අජන්තා එවලේම ගීතයක් ලිව්වා. ඒක 'පිනි මුතුලැල්ලේ'. එය ළඟදීම අසන්නට ලැබේවි.