වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘හඳයා’ට පසුව මා දුටු විශිෂ්ට ලාංකේය ළමා චිත්‍රපටය

‘හඳයා’ට පසුව මා දුටු විශිෂ්ට ලාංකේය ළමා චිත්‍රපටය

‘හෝ ගානා පොකුණ’

සෑම දෙමවුපියකුම දරුවනට පෙන්විය යුතු විශිෂ්ට නිර්මාණයක්

වචනයේ පරිසමාප්ත අරුතෙන්ම ළමා චිත්‍රපටයක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු කර්තව්‍යයක් නොවේ. ළමා නළු නිළියන් නොඑසේ නම් ළමා චරිත චිත්‍රපටයක බහුලව යොදා ගත් පමණින් ළමා චිත්‍රපට බිහිවේ යැයි සිතීම මුළාවකි. එහිලා නිර්මාණකරුවා වැඩිහිටි ඇසකින් ළමා පරපුර දෙස එබී බැලීමට වඩා යථායෝග්‍ය වනුයේ ළමයින්ගේ අධ්‍යාත්මයේ අභ්‍යන්තරයට කිඳා බැස ඔවුන්ගේ දෘෂ්ටිය, ඊප්සිතාර්ථ, රුචි අරුචිකම් නිසි ලෙස ග්‍රහණය කොට ගැනීමය. මගේ පරපුරේ අධ්‍යක්ෂවරයකු වන ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ 'හෝ ගානා පොකුණ' එබඳු වූ වචනයේ පරිසමාප්ත අරුතෙහිම ළමා චිත්‍රපටයකි. විශිෂ්ට ළමා චිත්‍රපට තැනීමේදී අධ්‍යක්ෂවරයා එක අතකින් ළමා මනෝ විද්‍යාඥයකු විය යුතු යැයි මම සිතමි. ඉන්දික වේදිකාවෙන් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ කලාකරුවෙකි. මේ ඔහුගේ කුලුඳුල් සිනමා සම්ප්‍රාප්තිය වේ. චිත්‍රපටයේ ප්‍රථම දර්ශනය වූ කලී ඔහු වේදිකාවෙන් සිනමාවට පිවිසි කලාකරුවෙකැයි හඬගා පවසන්නකි. එනම් එහිදී කැමරාව ත්‍රිපාදකය (TRIPOD) මත නිශ්චලව වාස්තවික ස්වරූපයෙන් තිබේ. එය පින්තූර රාමු වේදිකාවට සාමා්‍යය වේ. එහි රූප රාමුව ඇතුළත වෙරළ සමීිපයේ බටහිර පන්නයේ (ඩෙනිමකින්) ඇඳුමකින් සැරසී ස්වකීය පෙම්වතාට දුරකථනයෙන් අමතන උමා (අනසූයා සුබසිංහ) නමැති කථා නායිකාව දක්නා ලැබේ. ඇය දුරකථන සංවාදයෙහි යෙදෙන අතරතුරම අසල ගැවසෙන වෙරළ ළමයකුට ද (BEACH BOY) ප්‍රතිචාර දක්වන්නීය. මුලින් උමා කැමරාවට දුරින් සිට පසුව ඕ කැමරාව සමීපයට එනු දක්නා ලැබේ. නැවුම් බවක් පළට කරමින් චිත්‍රපටයේ නාමාවලිය ද පසුබිමෙන් දිස් වේ. මේ දර්ශනය ඉන්දිකගේ වේදිකා නාට්‍ය පරිචය පිළිබිඹු කරන්නකි. ඉක්බිතිව එකවරම ඡේදනය වන්නේ හද්දා පිටිසර ගම්මානයක දර්ශනයකටය. මේ ඡේදනය ඉන්දික වේදිකාවෙන් සිනමාවට ප්‍රවිෂ්ට වීම සංකේතවත් වන්නකැයි මට සිතේ. මන්ද ඉක්බිතිව මේ චිත්‍රපටයේ කිසිදු දර්ශනයක ඉන්දික නමැති සිනමාවේදියා මිස වේදිකා නාට්‍යවේදියා අපට හමු නොවන බැවිනි.

ළමයින් උදෙසා නිමැවුණු චිත්‍රපටයක සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික පසුබිම නිරාවරණය කිරීම අවැසි නොවුණත්, අධ්‍යක්ෂවරයා මෙහි යටි පෙළෙන් ඒ අරභයා ද ප්‍රේක්ෂක මනස අවදි කරවයි. චිත්‍රපටයේ ප්‍රථම දර්ශනයේදී උමා තම පෙම්වතා සමඟ දුරකථනයෙන් සිදු කරන සංවාදයේදී ඔහු සරසවි ශිෂ්‍ය දේශපාලන අරගලයක නිරතවන විද්‍යාර්ථියකු බැව් හෙළි වේ. එහිදී උමා පවසනුයේ 'ඔබගේ දේශපාලන අරගලයට සැබෑ ජනතා ප්‍රශ්න හසු නොවන බව'යි. මේ වූ කලී මෙරට දේශපාලන අරගල හා සැබෑ ජනතා ප්‍රශ්න අතර පවතින්නා වූ දුරස්ථභාවය පළට කරන කියුමකි. ජනතා ප්‍රශ්නවල සැබෑ ස්වරූපය වටහා ගැනීමට නම් දේශපාලන අරගලවල නියැළෙන්නන් තමන්ගේ පැවැත්ම සඳහා නොව අවංකව ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් ජනතාව සමීපයට යා යුතු බව මේ චිත්‍රපටයේ යටි පෙළෙන් විදාරණය කෙරේ. චිත්‍රපටය අවසානයේ පාසල් ළමයින් මුහුදු වෙරළේ රැල්ල පාගද්දී උමා තම පෙම්වතා සමඟ අසල බංකුවක අසුන් ගෙන සිදු කරන සංවාදයේදී මිනිස් සමාජයට සේවය කිරීමේ අරගලය නව දිශානතියකට යොමු විය යුතු බැව් අවධාරණය කරන්නීය. 'හෝ ගානා පොකුණ' ඔස්සේ මිනිස් සමාජය වෙත හෙළන යථාර්ථවාදී, සුබවාදී, සාධනීය දේශපාලන දෘෂ්ටිය සූක්ෂ්ම ලෙස අධ්‍යක්ෂවරයා මෙහි යටි පෙළෙන් කුළුගන්වයි. වැඩිහිටි චරිත ඔස්සේ මේ ආකාරයෙන් මිස ළමයින් ලවා තම දේශපාලන දෘෂ්ටිය කුළුගැන්වීමට ඉන්දික උත්සුක නොවීම පැසසුම් කටයුතුය.

උමාගේ පෙම්වතා පළමුව කටහඬෙන් පසුව ඇයගේ උරහිසට තබන අත්ලෙන් ඉක්බිතිව පසුපසින් අසුන්ගෙන සිටීිමෙන් දිස්වනු මිස මොහුගේ ස්වරූපය ප්‍රේක්ෂකයාට දක්නට නොලැබේ. ඔහු කෙබඳුදැයි පෙන්වීම අත්‍යවශ්‍ය නැත. ජගත් චමිලගේ මේ නොපෙනෙන ගරු රඟපෑම චිත්‍රපටයට අපූර්වත්වයක් ගෙන එයි. මීට ප්‍රස්තුත වන ගම්මානයේ මතුපිටින් පෙනෙන සුන්දරත්වය ජන ජීවිතවල අභ්‍යන්තරයේ නොමැති බව සියුම් යටි පෙළක් සේ පෙන්වීමට අධ්‍යක්ෂවරයා උත්සුක වේ. උදෑසන රැස්වීමේදී ආහාර නොගෙන පැමිණි දරුවකු ක්ලාන්ත වීම, එක් ළමයෙකුගේ කතාවකින් බන්ධනාගාරගත වූ පියකුගේ හා ජීවන අරගලයක නිරත ගර්භනී මවකගේ තතු අනාවරණය වීම ද මීට දෘෂ්ටාන්තය. උමා නගරයේ හැදී වැඩෙන දඟකාර, උගත්, ඕනෑම අභියෝගයක් ජයගත හැකි, රැඩිකල් ගති පැවැතුම් ඇති, සමාජයට සේවය කිරීමේ ආශාවෙන් මඩනා ලද යුවතියකි. බටහිර පන්නයේ ඇඳුම් ඇන්දාට ඇගේ අධ්‍යාත්මය දේශජබවෙන් ශික්ෂිත වූවකි. එහෙයින් උමා සතු වූයේ අද මෙරටට ඉතා අවැසි දේශීය අක් මුල් හොඳින් හඳුනන, ශික්ෂිත එහෙත් රැඩිකල් තාරුණ්‍යයකි. ගුරුවරියක ලෙස හද්දා පිටිසර ගමකට ගොස් එහි අහිංසක දරු දැරියන්ගේ සිහිනයක් සැබෑ කළ හැකි වන්නේ එවන් තාරුණ්‍යයකට බැව් ඉන්දික මින් හෙළි කිරීම නිර්මාණකරුවාගේ සමාජ මෙහෙවරකි. ආතක් පාතක් නැති, උපන් පොළොවෙන් ඉහළ නැඟී පාවෙන සුකිරි බටිල්ලකුට මෙවැන්නක් සිදු කළ නොහැකිය. ඉතාමත් ශූර අන්දමින් අධ්‍යක්ෂවරයා මෙහි ළමා නළු නිළියන් හසුරුවා ඇත.

ඔවුන්ගේ අවිහිංසක බව, සුරතල් බව, දඟකාර බව, අව්‍යාජ බව විනා ඇට්ටර ගැසුණු 'කොලු තාත්තලා' 'කෙලි අම්මලා' මේ කිසිදු චරිතයකින් ඉස්මතු නොවේ. ඔවුන්ගේ රංගනය රඟපෑමකට වඩා සැබෑ ජීවිතයේ හැසිරීමකට සාම්‍යය වේ. උමා නමැති ගුරුවරිය ගමට පැමිණෙන පළමු දිනයෙහිම ඇය බසය තල්ලු කරමින් ගැමියන්ගේ අවධානයට පාත්‍ර වේ. ඇය පැමිණීමට පූර්වයෙන් යුනෙස්කෝ ආධාරයෙන් දොඹගමුව ප්‍රාථමික පාසලට පියාමෝවක් තෑගි ලැබීම ළඟදීම පාසල තුළ සිදුවන්නට නියමිත ප්‍රබෝධය සංකේතාත්මකව කියාපානු වැන්න. උමා මුල්වරට පියානෝව වාදනය කරමින් තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මතු නොව ගමේ ජනතාවගේ ද අවධානය තමා කෙරෙහි නතු කොට ගනී. පාසලේ මුල් ගුරුතුමා (ලූෂන් බුලත්සිංහල) සම්ප්‍රදායත්, උමා නූතනයත් නියෝජනය කරතැයි මම හඟිිමි. උමා කිසි විටක මුල් ගුරුතුමාගේ සාම්ප්‍රදායික ආකල්ප ඉක්මවා නොයන අතර ඉතා සූක්ෂ්ම ලෙස ඔහුගේ ද සිත දිනාගෙන නූතනවාදී යුවතියක ලෙස තම සිසු ආකල්ප වෙනස් කිරීමට සමත් වන්නීය. මෙරට පහළ විය යුතු සැබෑ නූතනවාදී, විප්ලවවාදී තාරුණ්‍ය තම ඉලක්ක සපුරා ගත යුත්තේ එලෙසින් යැයි මම සිතමි. ළමයින්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ ගුරුතුමා හා උමා අතර ඇතිවන හේන් ගොවියා හා වෛද්‍යවරයා අතර සංවාදය මීට නිදසුන්ය. පෙර පරපුරට ගරු කරමින් ඔවුන්ගේ සාධනීය තැන් පමණක් උකහා ගෙන, ඔවුන්ගේ සිත් නොරිදවා, උපක්‍රමශීලීව ඔවුන් තමා කෙරෙහි නතු කොටගෙන පෙර පරපුර අතික්‍රමණය කරමින් අභියෝග ජයගන්නා තාරුණ්‍යය උමාගෙන් පිළිබිඹු වේ. අනසූයා සුබසිංහගේ රූපණය සිනමාවට එක් කරනුයේ නැවුම් බවකි.

ඇය චිත්‍රපටයේ ආත්මය බවට පත් වේ. දාම් ඇදීමෙන් ග්‍රාම සේවක (දයාදේව එදිරිසිංහ) පරාජය කිරීමෙන් ගැමි ජනතාවගේ මනස තුළ සියුම් ආකාරයේ නායකත්වයක්, වීරත්වයක් ජනිත කිරීමට ඇයට හැකියාව ලැබේ. හෝ ගානා පොකුණ නැරඹීමට යන ගමන සංවිධානයේදී ගැටලු මතු වෙද්දී ගුරුතුමා හා උමා පාපැදියක නැඟී ගමන් කරමින් ඊට පිළියම් යෙදීමෙන් අධ්‍යක්ෂවරයා හඟිනුයේ ජනතා ගැටලුවලට පිළියම් යෙදීමට සම්ප්‍රදාය හා නූතනය එක් විය යුතු බව නොවේද? එක් පසෙක ජනතා සේවය උදෙසා යැයි අර්ථකථනය කෙරෙන දේශපාලන අරගලය හා අනෙක් පස හද්දා පිටිසර ගමක මහ මුහුදවත් දැක නැති දරු දැරියන්ගේ සිහින අතර පවත්නා උත්ප්‍රාසය බුද්ධිමත් ප්‍රේක්ෂකයාට වැටහෙතැයි මම සිතමි. ආචාර්ය ජයලත් මනෝරත්න මෙහි ජස්ටින් නමැති බස් රියැදුරු ලෙස විශිෂ්ට රූපණයක නියැළේ. රියැදුරු බලපත්‍රය සඳහා ඡායාරූප ගන්නා දර්ශනයේදී ඔහු සාත්වික අභිනයෙන් (FACIAL EXPRESSION) ජනිත කරන හාස්‍යය රූපණය කළ හැක්කේ ශූර නළුවකුටම පමණි. මෙකල බහුලව බිහි වන කිතිකවා ගත්තත් ප්‍රේක්ෂකයාට හිනා නොයන අවර ගණයේ විකට චිත්‍රපට කුමට බිහි වේදැයි සිතෙනුයේ ඉඳහිට හෝ සැබෑ හාස්‍යය 'හෝ ගානා පොකුණ' වැනි චිත්‍රපටවලින් ඉස්මතු වෙද්දීය. ජස්ටින්ගේ ගෝලයා ලෙස රඟන වසන්ත මුහන්දිරම් නමැති නවක නළුවාට ද හොඳ අනාගතයක් තිබේ. උමාගේ ජවය ආත්මය කොට ගත් ක්ෂණික ඡේදනවලින් (QUICK CUTS)  සමලංකෘත සංස්කරණ රීතිය චිත්‍රපටයේ රිද්මයට ඖචිත්‍යපූර්වකය. තිස්ස සුරේන්ද්‍රගේ සකසු කාර්යය ඉන්දිකගේ අදියුරුවම හා මැනවින් බද්ධ වේ.

 චන්න දේශප්‍රියගේ කැමරාකරණයේ ශූරත්වය වඩාත් ඉස්මතු කළ මා සිත් ගත් දර්ශනය නම් හෝ ගානා පොකුණ බැලීමට යෑමට නියමිත දවසේ හිමිදිරි පාන්දර ගමේ කුඩා ගෙවල් ක්‍රමිකව ආලෝකවත් වන අවස්ථාවයි. මනි රත්නම්ගේ සිනමා ශෛලියෙන්, කේරල සිනමාවෙන් හා අමීර් ඛාන්ගේ'TAARE ZAMEEN PAR' චිත්‍රපටයෙන් ඉන්දික ලැබූ ආභාසය මෙහි අධ්‍යක්ෂණයෙන් පිළිබිඹු වේ යැයි මට සිතේ. කලකට පසු මතකයේ රැඳෙන සුමධුර ගීත කිහිපයක් (රෑට පේන කිරි හාවා, හෝගානා පොකුණේ) අසන්නට ලැබීමෙන් චිත්‍රපටයෙන් අප අත්විඳි චමත්කාරය වර්ධනය කෙරිණ. දිනේෂ් සුබසිංහ චිත්‍රපට සංගීතයේ තම ලකුණ ස්ථාපිත කරනුයේ ' හෝ ගානා පොකුණ' චිත්‍රපටයෙන් යැයි මම සිතමි. ඔහු තම ගුරු ඒ. ආර්. රෙහ්මාන් වෙතින් ලද ගුරුහරුකම් හා ආභාසය මෙහි ගීතවලින් මතු නොව වරින් වර ළමයින්ගේ අපේක්ෂා සහගත මනෝ භාවයන් තීව්‍ර කිරීමට පසුබිම් සංගීතය සමඟ භාවිත කෙරෙන ළමා හඬවලින් සුසැදි වාච්‍ය සංගීතයෙන් ද ස්ඵුට වේ. ළමා පරපුරේ පරිකල්පන හැකියාව උපුලී නමැති අන්ධ දැරියගේ චරිතයෙන් ඉස්මතු වෙද්දී උක්කුංගේ චරිතය අධ්‍යක්ෂ උපයුක්ත කොට ගනුයේ අවට සමාජය දෙස විචක්ෂණශීලීව බැලීම ඔස්සේ මානුෂීය සබඳතා සංවේදීතාවයෙන් පවත්වාගෙන යන ළමා පරපුර සංකේතවත් කිරීමටය. ළමයින්ගේ සිහිනය සැබෑ වන දිනයේ ජස්ටින් බේබදුකම හේතු කොට ගෙන රෝගාතුර වෙද්දී උමා බසය පදවාගෙන යෑමෙන් ඇගේ අරගලයේ කූටප්‍රාප්තිය සනිටුහන් වේ. ළමයින්ගේ සිහිනය සැබෑ වනු දැකීමේ ආශාවෙන් මඩනා ලද ප්‍රේක්ෂක සිත ද උමා මෙන්ම ඒ ඔස්සේ ගමන් ගනී.

ළමයින් මුහුදු වෙරළ පාගද්දී උමා බංකුවක් මත අසුන් ගෙන සතුටු කඳුළු වගුරුවන්නීය. සංවේදී පේ‍්‍රක්ෂක නෙතට ද කඳුළක් නැඟේ. ආර්ම්භ, යත්න, ප්‍රාප්ත්‍යාශා, නියතාප්ති, ඵලාගම යනුවෙන් සකු නාට්‍යයක (භරතමුනි හා ධනංජය පැවසූ පරිදි) කථා වස්තුව ගොඩනැඟෙන අවස්ථා ඉන්දිකගේ තිර රචනයට ආභාසය වී ඇත. 2009 වසරේ ටයිටස් තොටවත්තයන් අරභයා මවිසින් ලියන ලද 'සොඳුරු අදියුරු සකසුවාණෝ' ග්‍රන්ථය ජනගත වූදා මා පැවසුවේ 'ටයි මහත්තයාගේ 'හඳයා' චිත්‍රපටයෙන් පසුව විශිෂ්ට ළමා චිත්‍රපටයක් මගේ පරපුරේ අධ්‍යක්ෂවරයකුගෙන් බිහි විය යුතු බවය. සය වසරකට පසුව දැන් එය සැබෑ වී ඇත. 'හඳයා' චිත්‍රපටයට (1979) පසුව මා වඩාත් ආහ්ලාදයට පත් කළ විශිෂ්ට ලාංකේය ළමා චිත්‍රපටය 'හෝ ගානා පොකුණ' බැව් මම නොපැකිළව පවසමි. මෙය මෙරට සෑම දෙමවුපියකුම ළමයින් සමඟ නැරඹිය යුතු චිත්‍රපටයකි. රියැලිටි වැඩසටහන්වලට ළමයින් රැගෙන යමින් ඔවුන් ව්‍යාජ තරු ලෙස හඳුන්වා මුළාවට පත් කරමින් 'ත්‍රිල්' ගන්නා ඇතැම් දෙමවුපියන්ට මා ගෞරවයෙන් කියා සිටිනුයේ 'හෝ ගානා පොකුණ' වැනි ළමා මනස විකසිත කරන්නා වූ ඔවුන්ගේ ඥාන පරිමණ්ඩලය පෘථුල කරන්නා වූ චිත්‍රපටයක් නොපමාව පෙන්වීම ඊට වඩා ළමා පරපුරේ අනාගතයට ඵලදායක වන බවය. මේ ඔස්සේ තම ප්‍රථම චිත්‍රපටයෙන්ම සබුද්ධික ප්‍රේක්ෂකයන් හා සුධීමත් විචාරකයන් තුළ අපේක්ෂා දැල් වූ මෙරට සිනමාවේදීන් අල්පය අතරට ඉන්දික ද එක් වේ.