වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගිවිසුම ශත 87 යි...

මගේ ගිවිසුම ශත 87 යි...

සත් වසකට පසු ‘සිංග මචං චාලි’ සමඟ යළි සිනමාවට පිවිසෙන ලාල් වීරසිංහ

ලාල් වීරසිංහ, 90 දශකයේ මෙරට විනෝදාත්මක සිනමාව වර්ණවත් කළ ජනපි‍්‍රය නළුවන් අතරින් අයෙකි. ‘වැඩ බැරිනම් වැඩක් නෑ’ චිත්‍රපටයෙන් බොක්ස් ඔෆීස් නළුවකු බවට පත් වූ ඔහු වසරේ ජනපි‍්‍රයම නවක නළුවා සහ නැගී එන නළුවා යන ‘සරසවිය’ සම්මාන යුගලයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වීය.

තිර කතා රචකයකු ලෙසින්ද නමක් දිනා සිටි ලාල් වසර හතක නිහැඬියාවකින් පසු නැවත සිනමාවට එක්වන්නේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ද ලෙසිනි. ‘සිංග මචං චාලි’ ඔහුගේ කුලුඳුල් චිත්‍රපට අධ්‍යක්‍ෂණය වේ. එහි කතාව, දෙබස්, තිර රචනය මෙන්ම සටන් අධ්‍යක්‍ෂණය ද ඔහුගෙනි. ‘සිංග මචං චාලි’ මෙම 30 වැනිදා සිට M.P.I. සහ L.F.D. මණ්ඩලයේ ප්‍රදර්ශනය වීමට නියමිතය.

‘සිංග මචං චාලි’ පිළිබඳ මෙන්ම ඔහුගේ නිහැඬියාවට හේතු සාධක වූ කරුණු හා වත්මන් සිනමාවේ අර්බුදකාරී තත්ත්වය කෙරෙහිද අවධානය යොමු කරමින් ලාල් ‘සරසවිය’ සමඟ මෙසේ සංවාදයට එක්වේ.

 ‘සිංග මචං චාලි’ ඔබේ ප්‍රථම සිනමා නිර්මාණය?

ඔව්. ඒත් මම මීට කලින් තිර නාටක හයක් විතර ලියා තිබෙනවා. ‘විජේ සහ අජේ’, ‘ටැක්සි ඩ්‍රයිවර්’, ‘බොඩි ගාඩ්’ ඒ අතරින් කිහිපයක්. අධ්‍යක්‍ෂණය මට අලුත් දෙයක්. ඒත් සිනමාවේ මා ලැබූ අත්දැකීම් එක්ක ඒ අභියෝගය ජයගන්නට මට පුළුවන් වුණා කියලා හිතනවා. නමුත් මගෙ හිතේ හැටියට මේ චිත්‍රපටය කරගන්න ලැබුණේ නෑ.

 ඔබ යළි සිනමාවට එක්වන්නේ දිගු නිහැඬියාවකට පසුව?

ඇත්තෙන්ම මම සිනමාවෙන් ඈත්වෙලි ඉන්න කාරණා දෙකක් මුල් වුණා. එකක් මගෙ පෞද්ගලික ජීවිතය. අනෙක් එක මම සිනමාවේ නියැළුණු කාලයේ මාත් එක්ක ළඟින් ඇසුරු කරපු, මම උදවු කරපු අයගේ හැසිරීම් රටාව ගැන මට ඇති වුණ කලකිරීම. විශේෂයෙන් ගාමිණී ෆොන්සේකා මහත්මයා එතුමාගේ අන්තිම කාලේ මාත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කළා. අපේ සිනමා සක්විතිට මේ ක්ෂේත්‍රයේ ඇතැමුන් සලකපු විදිහ මම දැක්කා. ඒකත් මගේ කලකිරීමට ලොකු හේතුවක්.

චිත්‍රපටය ඔබේ හිතේ හැටියට කරගන්න පුළුවන් වුණේ නැහැයි කිව්වේ ඇයි?

මම හිතන්නේ සිනමාව කියන්නේ දැවැන්ත කර්මාන්තයක් වගේම රටක සංස්කෘතියේ කොටසක්. නැතුව මේ පොඩ්ඩක් ජනපි‍්‍රය වෙලා ‘මමයි පොර’ කියලා ඇඳගන්න කලාවක් නෙවෙයි. ඇත්තටම සිනමාව කියන්නේ මගේ ජීවිතය. අවසානයේ මම සිනමාවට යළි එන්න තීරණය කළෙත් ඒ නිසයි. ඒත් කියන්න කනගාටුයි මේ චිත්‍රපටය කරද්දී දෙතුන් දෙනෙක් හැර අනෙක් අය මට අවශ්‍ය සහයෝගය දුන්නේ නෑ. පුදුම විදිහට මට වධ දුන්නේ. විශේෂයෙන් මම මතක් කරනවා ටෙනිසන් කුරේ, අනූෂා දමයන්ති වගේ අය, ඔවුන් මට ලොකු සහයෝගයක් දැක්වුවා. ඒ වගේම චිත්‍රපටයේ කැමරාකරණය කළ සජීව සංකල්ප ඉතා ආදරයෙන් මතක් කරනවා. එතකොට මගේ සහාය අධ්‍යක්‍ෂවරයා කේයේසු, ඔහු මගෙන් මුදල් ගත්තෙ නෑ. මගෙ උදව්වට ඉන්දියාවේ ඉඳලා ආවේ. ඔවුන් මට සැබෑවටම උදව් කළා.

සාමාන්‍යයෙන් අප සිනමාව හඳුන්වන්නේ අධ්‍යක්‍ෂවරයාගේ මාධ්‍ය විදිහට. ඔහුගේ සිතැඟි පරිදියි සියල්ල සිදු විය යුත්තේ?

ඒත් අධ්‍යක්‍ෂවරයෙක්ට තනියම චිත්‍රපටයක් කරන්න බෑ. හරි. ඒකට සම්බන්ධ වෙන නළු, නිළියන්, නිෂ්පාදන කළමනාකරුවන් එතකොට කැමරාකරුවන්, වේශ නිරූපණ ශිල්පීන් මේ හැම කෙනෙකුගේම සහාය අවශ්‍යයි. මේක ටීම් වර්ක් එකක්. මම දැකපු දෙයක් තමයි අපේ රටේ සමහරු ෆිල්ම් එකක් ෂූට් කරන්න යන්නේ හරියට ට්‍රිප් එකක් යනවා වගේ. මේක ට්‍රිප් එකක් නෙවේ. ඒ රූගත කෙරෙන කාලය තුළ අපි ඒකට කැප වෙන්න ඕනෑ.

කලකිරීම නිසා සිනමාවෙන් ඈත්වෙලා හිටපු ඔබ දැන් ආයෙත් කලකිරීමෙන්?

නමුත් මම ආයේ සිනමාවට එක් වුණේ මේකෙන් අයින්වෙන්න හිතාගෙන නෙවෙයි. වැල යන අතට මැස්ස ගහන්න ඕනෑයි කියලා මම කල්පනා කළා. සමහරු මේ චිත්‍රපටය කෙරෙන්නෙ නෑ කිව්වා. මාව මානසිකව වට්ටන්න පුදුම උත්සාහයක් ගත්තා. හැබැයි කිසිම වෙලාවක මම වැටුණේ නෑ. මොකද මම දන්නවා මේ කර්මාන්තය ගැන. දැනගෙනයි මම මේක පටන් ගත්තේ.

ලොකු චෝදනාවක් ඔබ නඟන්නේ. සමහරු එහෙම කරන්න හේතුව හැටියට ඔබ දකින්නේ?

කිසිම හේතුවක් නෑ. ඔවුන් මානසික රෝගියෝ. මේක ඒ අයගේ දුෂ්ටකම, කෲරකම, ඊර්ෂ්‍යාව. චිත්‍රපටය හැදුවට පස්සෙත් ඒක ගැන බොහොම පහත් මට්ටමට හිතපු අයත් හිටියා. නමුත් මම ඒ කිසිම දේකින් සැළුනේ නෑ. අදත් මේ රටේ ප්‍රේක්‍ෂකයෝ මට කියන්නේ ‘වැඩ බැරි නම් වැඩක් නෑ ලාල් වීරසිංහ’ කියලා. ඔවුන් ගේ ආදරය තවම මට ලැබෙනවා. ඒත් තව චිත්‍රපට දෙකක, නැතිනම් තුනක විතර ඕනෑනම් මම රඟපාවි.

ඒ කියන්නේ රංගනයෙන් සමු ගන්නවා?

මැරෙන කල් රඟපාන්න ඕනෑ කියලා සිතිවිල්ලක් මට නෑ. නමුත් චිත්‍රපට අධ්‍යක්‍ෂණය දිගටම සිදුවේවි. ඒක තීරණය වෙන්නේ ‘සිංග මචං චාලි’ සාර්ථකත්වය මතයි. මොන ප්‍රශ්න තිබුණත් මම කියන්නේ මේ ක්ෂේත්‍රයේ අය මීට වඩා එකමුතු වෙන්න ඕනෑ. දැන් මේ මෑතකදී චිත්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන මහත්තයා මිය ගියා. කොච්චර සල්ලි තිබුණ කෙනෙක්ද? එතකොට මගේ චිත්‍රපටයෙත් රඟපෑව දමිතා සළුවඩන මිය ගියා. මේ ජීවිතේ හීනයක්. මේක මහ බොරුවක්. අපි කරන්නේ රඟපෑමක්. හැමෝම ඒක තේරුම් ගන්න ඕනෑ.

මෙය සියයට, සියයක්ම පවුලේ චිත්‍රපටයක් හැටියටයි ඔබ හඳුන්වා දෙන්නේ?

සීයට, සීයක්ම පවුලේ චිත්‍රපටයක්. දෙපැත්ත කැපෙන කුණුහරප නෑ. ඒත් විහිළු තියෙනවා. හැබැයි ඒවායේ ඩබල් මීනින් නෑ. මම මුල ඉඳන්ම ටෙනිසන් කුරේට සහ සැන්ඩෝ හැරිස්ට කියපු දේ තමයි අපි බොහොම හික්මීමකින් තමයි මේ හාස්‍ය ඉස්මතු කරන්න ඕනෑයි කියන එක. මොකද මම ඔවුන්ට කිව්වා මේක පවුලේ හැමෝටම එකට නරඹන්න පුළුවන් චිත්‍රපටයක් විය යුතුයි කියලා. අපේ මල්ල පුරෝගන්න, මඩිය තරකරගන්න අපි සමාජයට වැරදි දෙයක් දුන්නොත් අපට කවදාවත් තෘප්තිමත් වෙන්න බෑ.

හෘද සාක්‍ෂියට විරුද්ධයි?

හෘද සාක්‍ෂියට විරුද්ධයි. ඒක ඇත්ත. ඉතිං ඒ නිසා පවුල් පිටින් ඇවිත් අයිස්ක්‍රීම් එකක් කාලා, කඩල පැකට් එකක් කාලා ආපසු යන්න හදනකොට අන්තිමට මේකෙ තියෙනවා ‘හෝ බේබි හෝ බේබි’ කියලා සින්දුවක්. ඒක කිය කියා සතුටින් යන්න පුළුවන්. අපි පොඩි කාලෙ දැක්ක සිනමාව. ‘රජවරු නැති කලාත්මකත් නැති අපේ කාලයේ කුමර කුමරියන්ට ෆන් එකට බයිස්කෝප් එකක්’ කියන ස්ලෝගන් එක තමයි මම මේ චිත්‍රපටයට යොදා ගත්තේ.

මේක බයිස්කෝප් එකක්?

ඔව්. ඇත්තටම මේක බයිස්කෝප් එකක්. ඒ කාලෙ බයිස්කෝප් කියලනේ කිව්වේ විනෝදාත්මක සිනමාවට. මේක සීයට, සීයක්ම විනෝදාත්මක, පවුලේ සැමට එකට වාඩි වී නැරඹිය හැකි චිත්‍රපටයක්. එච්. ආර්. ජෝතිපාල, මොහිදීන් බෙග් හා සුජාතා අත්තනායක යන මගේ පි‍්‍රයතම කලාකරුවන්ට උපහාරයක් වශයෙන් මම ‘සිංග මචං චාලි’ කළේ. ඔවුන්ගේ නම් තමයි චිත්‍රපටයේ මුලට යන්නෙ.

එතකොට මේක tribute එකක්?

ඇත්තටම අසංක මේක ප්‍රණාමයක් තමයි. මොකද ඔවුන් පොඩි කාලෙ ඉඳන්ම මගේ පි‍්‍රයතම කලාකරුවෝ. මම සුජාතා අත්තනායකගේ සිංදුවක් ෆෝන් එකෙන් අහද්දී දකුණු ඉන්දියාවේ මගේ ඩ්‍රයිවර් මගෙන් අහනවා ‘සර් කවුද ඒ මට දෙන්නකෝ ඒ සින්දුව ෆෝන් එකට දාගන්න’ කියලා. භාෂාව තේරෙන්නෙ නැතිවුණාට ඒ කටහඬට ආදරය කරනවා ඉන්දියාවේ මගේ දෙමළ රියදුරා. ඒක ක්‍රිස්ටල්  voice එකක්. අපේ ආයුෂත් අරගෙන ප්‍රවීණ කලාකරුවෝ ජීවත් වෙන්න ඕනෑයි කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ.

කලක් අපේ සිනමාවේ ජනපි‍්‍රය නිළියක්ව සිටි ඩිලානි අබේවර්ධන ගේ දියණියත් ඔබ සිනමාවට කැන්දන් එනවා?

ඔව්. ඩිලානිගේ දියණිය කවීෂා කාවින්දි. මේ චිත්‍රපටයේ නිෂ්පාදන කෘත්‍යාධිකාරී රාජ් රණසිංහ තමයි මට යෝජනා කළේ මෙහෙම දෙයක් කරමු කියලා. මට ඕනෑ වුණේ සිනමැටික් මූණක්. සිනමානුරූපී මුහුණක් රයිට්. මගෙත් එක්ක රඟපාන නිළියට. මොකද කවුරු කොහොම කිව්වත් මම අනූෂා දමයන්තිලාගේ, උදයන්තිලාගේ මුහුණුවලට කැමැතියි. ඒ මුහුණුවල තියෙනවා යම් සිනමාරූපී බවක්. ඒ ග්ලැමර් එක අවශ්‍යයි සිනමාවට.

විනෝදාත්මක සිනමාවට විශේෂයි?

මගෙත් එක්ක ඔපොසිට් රඟපාන්න මෙහෙ මම බැලුවා, බැලුවා නිළියක් හම්බ වුණේ නෑ. ඉන්දියාවෙන් නිළියක් ගේන්න සූදානම් වෙද්දි තමයි අහම්බෙන් කවීෂා ගේ පින්තූර වගයක් facebook  එකේ දැක්කේ. එවෙලෙම රාජ් රණසිංහයි, මායි ඩිලානිට කතා කළා.

ඇය මොකද කිව්වේ?

මම ඉතිං ෆිල්ම් එක ගැන විස්තර කිව්වාම එයා කිව්වා ‘ලාල් අයියේ ඔයා මේ වැඩේ කරන නිසා මම එවන්නම්’ කියලා. ඒ වෙනකොටත් කවීෂාව ඉල්ලලා තිබුණලු රඟපාන්න. ඒත් ඩිලානි කැමැති වෙලා තිබුණේ නෑ. ඉතිං එයා එව්වා. අපි වැඩේ හරියට කළා. අපි ඒ වැදගත්කම තියලා නැවත කවීෂා අමෙරිකාවට ඇරියා.

ඇගේ දක්‍ෂතාවය, දායකත්වය ගැන ඔබ තෘප්තිමත්ද?

අපරාදෙ කියන්න බෑ අම්මගේ, තාත්තගේ කලා හැකියාව ඇයට ඇවිල්ලා තියෙනවා. මට මහන්සියක් වෙන්න වුනේ නෑ ඇයව හසුරුවන්න. මුල්ම දවසේ මම එයාට කිව්වා රඟපෑම කියන එක ඇඟට ආවේනික කරගන්න, චරිතයේ ජීවත් වෙන්න. බොඩි කෙමිස්ට්‍රි එක තියාගන්න කියලා. මම එහෙම කිව්වාම එයා ඒකෙ හිටියා. හරිම සාර්ථක විදිහට කවීෂා ඒ චරිතය රඟපෑවා. ඇගේ චරිතයේ ප්‍රේමාන්විත බව සහ කෙළිලොල් බව මට අවශ්‍ය විදිහට තිබුණා.

එතකොට ඇගේ පෙම්වතා ඔබ?

ඔව්. ඒ චරිතය රඟපාන්නේ මම.

ඔබ තාමත් කොල්ලගේ පාට් එක හොඳට කරනවා කියලා හිතෙනවා අපට?

ඔව්, මම හැමදාම කොල්ලා තමයි ඉතිං. දැන් ඉන්දියාවේ ප්‍රධාන නළුවෝ ඉන්නේ ෂාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන්, අක්ෂේ කුමාර් වගේ අය. අක්ෂේ කුමාර් අදත් ඇක්ෂන් කරනවා. මගේ මොඩ්ල් තමයි ඇත්තටම අක්ෂේ කුමාර්. මමත් ඇක්ෂන් කරනවා. අක්ෂේ කුමාරුත් ඇක්ෂන් කරනවා. අජේ දේව්ගන් ඇක්ෂන් කරනවා. අජේ දේව්ගනුයි, අක්ෂේ කුමාරුයි තමයි මගේ පි‍්‍රයතම මොඩ්ල් ඇක්ටර්ස්ලා. ඉතිං ඒ ගොල්ල ආලියා බාත්ලා වගේ මේ දහඅටේ, විස්සේ නිළියෝ එක්ක ඇක්ට් කරනවා නම් ඇයි ලාල් වීරසිංහට බැරි?

ඔබ ඔවුන් අනුකරණය කරනවාද ඒ කියන්නේ...?

නෑ. අනුකරණය නෙවෙයි. මට ඒ පිසිකල් ෆිට්නස් තියෙනවා. මම අදත් නටනවා. අදත් ගහගන්නවා. මම පර්සනල් ට්‍රේනර් කෙනෙක් තායි බොක්සින්, බ්‍රසීලියන් ජිඕ ජිට්සු සහ මික්ස් මාර්ෂල් ආට්ස් කියන සටන් කලාවල. ලංකාවේ ඒවා ප්‍රචලිත නෑ. නමුත් ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධයි. මේ සටන් කලා ප්‍රගුණ කරපු කෙනෙක් මම. තවමත් මම මාස හතරකට, පහකට වරක් තායිලන්තයේ ට්‍රේනින් කෑම්ප්ස් යනවා. සුමානෙකට දවස් පහක් විතර පිසිකල් ෆිට්නස් ට්‍රේන් කරනවා.

ඔය කියන්නේ තාම ලාල් වීරසිංහ ෆිට් බුවෙක් කියලානේ?

ඇත්තටම තවත් වසර ගාණක් මට කොල්ලගේ පාර්ට් එක කරන්න පුළුවන්. ඒත් මම හිතාගෙන ඉන්නෙ තව චිත්‍රපට දෙකක් විතර රඟපාලා වැඩේ නවත්තන්න. මොකද රඟපෑමත්, අධ්‍යක්ෂණයත් දෙක එකට කරන්න ගියාම හරි මහන්සියි. මානසිකවත් හරි අමාරුයි. ඒ නිසා ඉදිරියේදී රඟපෑමෙන් ඉවත්ව අධ්‍යක්ෂණය පැත්තට විතරක් යොමු වෙන්නයි මම හිතාගෙන ඉන්නේ. මම අදහන බුදුන්ට, දෙවියන්ට, සහ ආදරය කරන ප්‍රේක්ෂකයන්ටත් බාරයි මගේ අනාගතය.

ඒ කාලේ ඔබට ඇතැම් විචාරකයන්ගෙන් චෝදනා එල්ල වුණා සීනි බෝල නළුවා කියලා. සමහරු කිව්වා ලාල් වීරසිංහට රඟපාන්න බෑ කියලත්?

විචාරකයන් එදා කියපු දේවල්වලට මම දොස් නගන්නේ නෑ. අපි අහලා තිියෙනවා එදා විමෝදාත්මක සිනමාවට උචිත විදිහට තමන්ගේ පෙනුම වෙනස් කර ගන්න ඇම්. ජී. ආර්ලා, සිවාජි ගනේෂන්ලා මූණෙ උපන් ලප පවා තියා ගන්නවා කියලා. ක්‍රේල් කොණ්ඩේ, ගිනිකූරු කට් එක තමයි අපි පොඩි කාලේ නළුවන්ට තිබුණේ. මම සිනමාවට එන කාලේ අවශ්‍ය වුණේ සීනිබෝල පෙනුමක්. නමුත් අද සීනි බෝල ලුක් එක නෙවෙයි ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන්නේ.

එහෙනම්?

අර ගාමිණී ෆොන්සේකාගේ වගේ නියම පිරිමි ප්‍රතිරූපය. පිරිමි හීරෝ කෙනෙක්. අද මගේ ප්‍රතිරුපය වෙනස්.

ගාමිණීගේ ප්‍රතිරූපයට සමාන වෙන්න අද ඔබට පුළුවන් බව ද ඔය කියන්නේ?

ගාමිණී මහත්තයාගේ ප්‍රතිරූපයට සමාන වෙන්න නම් මට අවුරුදු ගාණකටවත් බෑ. එතුමාගේ දැනීමත් එහෙමයි. එතුමා ලෝකය ගැන හසල දැනුමක් තිබෙන පුදුමාකාර චරිතයක්. හැබැයි මම ආදරය කරන ඒ ප්‍රතිරූපයේ ඒ පිරිමිකම තියෙන්න ඕනෑ චිත්‍රපටයකට. මම හැම තිස්සේම මගේ චිත්‍රපටය තුළ ඒ පිරිමිකම තියාගන්න උත්සාහ කළා.

‘සිංග මචං’ චාලි කියන නමේම තියෙනවා කිසියම් වෙනසක්?

පුංචි කාලේ ක්‍රිකට් මැච් බලන්න ගියාම ‘සිංග මචං සේරු සේරු, සිංග මචං සේරු සේරු’ කියලා තමයි කොල්ලෝ ටික එකට එකතු වෙලා කෑගැහුවේ. මට හිතෙන්නේ මේක පෘතුගීසි වචනයක්. වෙලාව බලපුවාම මට ‘ස’ යන්නෙන් නමක් ගන්න කිව්වේ. නමක් හොයනවා, හොයනවා එන්නෙම නෑ. මට ‘මචං’ දාන්නත් ඕනෑ. මොකද මේ ටෙනිසන් කුරේ ගේ චරිතය ඇවිල්ලා ලෝක කපටියෙක්. ඔහොම ඉන්නකොට දවසක් හීනෙන් දැක්කා මම පොඩි කාලේ මැච් එකක චියර් කරනවා. ‘සිංග මචං සේරු සේරු’ කියලා හීනෙන්. උදේ මම තීරණය කළා ‘සිංග මචං චාලි‘ කියලා මේ චිත්‍රපටයට නම දාන්න.

මේ චාලි තමයි එතකොට ටෙනිසන් කුරේ?

ඔව්. ටෙනිසන් රඟපාන්නේ චාලි හැටියට. සුද්දියකුට යකෙක් වැහිලා. සුද්දි සිංහල දන්නේ නෑනේ. යකා එලවන්න මූ ‘සිංග මචං චාලි චාලි, සිංග මචං චාලි චාලි‘ කියලා නටනවා. හරිම ජොලි. හිරිකිතයක් නැතිව පවුලේ හැමෝටම එකට ඉඳන් නරඹන්නට පුළුවන් විහිළු තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ.

නමුත් ඔබේ චරිතය ඊට වඩා වෙනස්?

ඔව්. මම මේකෙ රඟපාන්නේ ටිකික් සීරියස් චරිතයක්. රමේෂ් කියලා ගරාජ් එකක අයිති කාරයෙක්. හැබැයි මිනිහා ටිකක් චණඩි පහේ කෙනෙක්. නාහෙට අහන්නේ නැති මිනිහෙක්. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. ඒත් බොහොම අවංක, වැරැද්දේදී තරහ යන සාධාරණය වෙනුවෙන් සටන් කරන චරිතයක්.

ඔබේ සැබෑ ජීවිතයෙත් ඔය ලක්ෂණ තියෙනවා?

බොහොම ස්තූතියි.

ඔබ අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ අපේ සිනමා කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් වූ අවස්ථාවක. ඇයි මෙවැනි අවදානමක් අරගෙන එබඳු කාර්යකට අත පෙව්වේ?

ඇත්තටම මගේ චිත්‍රපටයත් එක්ක මේ අවුරුද්දේ මම හිතන විදිහට චිත්‍රපට හයක් හෝ හතක් විතර තමයි හැදුණේ. මේක ඇත්තටම කනගාටුවට කරුණක් අසංක. මොකද අපට සිංහල කතා කරන වෙනත් රටක් නෑ. අපිට තියෙන්නේ මේ පුංචි දූපත විතරයි. ඕනෑම රටක සිනමාව කියන්නේ ඒ රටේ සංස්කෘතියේ කොටසක් බව මම මුලින්ම සඳහන් කළානේ. එතකොට අපේ රටේ ඒ සංස්කෘතිය කර්මාන්තයක්. මේ කර්මාන්තයට අපේ රටේ තරුණ තරුණියෝ ආසයි. ආදරෙයි. අනාගතයේදී මෙහෙම ගියොත් ඒ තරුණ තරුණියන්ට හෝ ඔබේ දරුවන්ට මේ රටේ සිංහල කතා කරන සිනමාවක් නැතිවීමේ ලකුණු දැන් දැන් පහල වීගෙන එනවා.

ඒ පිළිබඳ සිනමාවට ආදරය කරන සියලුම අයගේ අවධානය යොමු විය යුතු කාලයක් මේ?

මේ රටේ ප්‍රේක්ෂකයන්, රාජ්‍ය චිත්‍රපට සංස්ථාව, සිනමා ශාලා හිමියන්, කලාකරුවන්, නිෂ්පාදකයන් මේ හැමෝගේම යුතුකමක් හා වගකීමක් මේ කර්මාන්තය ආරක්ෂා කර ගැනිම. සිංහල අපේ පුරුද්දක් තියෙනවා විනාශයකින් මෙපිට පාඩමක් ඉගෙන නොගැනීම. එතකොට අපි ප්‍රමාද වැඩියි. දුර දකින්න. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, යසපාලිත නානායක්කාර වැනි මහත්වරුන් අදත් ජීවත් වුණා නම් කියලා මට හිතෙනවා. ඔවුන් නැති එක අපට ලොකු පාඩුවක්. මම සිනමාවට අවතීර්ණ වෙනකොට යසපාලිත නානායක්කාර මහත්තයා සංවිධානයක් පිහිටුවාගෙන සිනමාවේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කළා. කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මහත්තයාගේ අවසන් කාලේ ජාතික චිත්‍රපට ආරක්ෂක සංවිධානය එතුමා පිහිටුවා ගත්තෙත් මේ සිනමාව සුරක්ෂිත කර ගැනීමේ අරමුණින්. ඒකේ උප ලේකම් මම.

සිනමාව රැකගන්න එදා සියලු දෙනා එක්ව එකාවන්ව කටයුතු කළා?

විදෙස් චිත්‍රපට ගෙන්වීම සීමා කළා අපි. ඒක පහකට සීමා කළා. පහ, අටක් බවට පත් වුණා. ඒ නීතිය අදත් තියෙනවා. එතකොට අද විදේශීය චිත්‍රපට විස්ස, විසි පහ ඇතැම් විට තිස් පහ වගේ මුදා හරිනවා. අපේ ධාරා තුනයි තියෙන්නේ. මේ ධාරා තුනේ සිනමා ශාලා තියෙන්නේ එකසිය විසි හයක් පමණයි. මේ එකසිය විසි හයටත් දෙමළ, හින්දි, ඉංග්‍රීසි චිත්‍රපට ඇතුළත් කරනවා. එතකොට මේ අපේ ධාවන කාලය තමයි අපට නැති වෙන්නේ.

නමුත් සිනමා ශාලා හිමියන් පවසන්නේ සිංහල චිත්‍රපට ප්‍රදර්ශනයට වඩා එවැනි විදෙස් චිත්‍රපට ප්‍රදර්ශනයෙන් ඔවුන්ට වාසියක් ලැබෙන බවයි?

ඒකත් අපි බලන්න ඕනෑ. අපි ඔවුන්වත් ආරක්ෂා කරගන්න ඕනෑ. ඔවුන් සිනමා ශාලාවලට වියදම් කරලා එයින් ආදායමක් එන්නේ නැතිනම් ඒක ලොකු ගැටලුවක්නේ. එක්කෝ ඔවුන්ට අමතර ආදායමක් ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන්න ඕනෑ. ප්‍රවේශ පත්‍රයකින් රුපියල් විස්සක් හෝ තිහක්වත් අඩු ගණනේ ඔවුන්ට ලබාදීමේ වැඩ පිළිවෙලක්. ඉතින් මේ දෙපැත්තම ආරක්ෂා වෙන ක්‍රමයක් ශ්‍රී ලාංකික කලාකරුවන් එකතු වෙලා සකස් කළ යුතුයි. නැතිනම් ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට අපට මුහුණ පාන්නට වෙනවා.

මෑතකදීත් කිසියම් සංවිධානයක් පිහිටුවා ගත්තා නේද?

‘නිදහස් සිනමාකරුවන්ගේ සංවිධානය’ අපි පිහිටුවා ගත්තේ එවනි අදහසක් පෙරදැරිව. එහි සභාපතිවරයා සුනිල් ටී. ප්‍රනාන්දු. චන්න පෙරේරා සහ සුගත් සමරකෝන් උප සභාපතිවරු. මම භාන්ඩාගාරික තනතුර හොබවනවා. රන්ජන් රාමනායක මහත්මයා මෙහි අනුශාසකවරයෙක්. ඉතිං අපි ඉදිරියේදී වගකිව යුත්තන් දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. මේ ගැටලු ගැන. මේ සංවිධානය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ සිනමා ශාලා හිමියන්ටත් සාධාරණයක් ඉටු කරන්න. මම සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයා එක්කත් මේ ගැන කතා කළා.

සිනමාව ගොඩ ගන්න නම් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි...?

සත්තකින්ම. සිනමාව කලාවක් වගේම කර්මාන්තයක් හැටියටත් පිළිගන්න ඕනෑ. මේ රටේ දේශපාලනඥයන් හා පාලකයන්. හැමෝටම කලාකරුවෝ අවශ්‍ය කඩේ යන්න විතරද? ඔවුන් කලාකරුවන්ට බොරු ආදරයක් ද පෙන්වන්නේ. කලාකරුවන්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඔවුන්ට මේ රටේ මිනිස්සු ගොඩක් ආදරෙයි. ඒ නිසා පාලකයන් මැදිහත් වී ඉතා ඉක්මනින් මේ සිනමා අර්බුදයට විසඳුමක් ගෙන ආ යුතුයි. එහෙම නැති වුණොත් අපේ සිනමාවේ අවසානය අත ළඟමයි.

මා දන්නා තරමින් අඩුම මුදලකට ගිවිසුම් අත්සන් කළ ශ්‍රී ලාංකික රංගන ශිල්පියා තමයි ලාල් වීරසිංහ?

දිනේෂ් ප්‍රියසාද් සහ මම එදා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාව සිටි ජයන්ත ධර්මදාස මහත්මයාට යෝජනා කළා ගාමිණී ෆොන්සේකා මහත්මයා යොදාගෙන ‘චණ්ඩියා - 03’ චිත්‍රපටය නිර්මාණය කරමු කියලා. ඒ ‘යකඩ යකා’ චිත්‍රපටය. අපි ඒ චිත්‍රපටය වෙනුවෙන් ගාමිණී ෆොන්සේකා මහත්මයාට අත්තිකාරම් මුදලකුත් දුන්නා. අවුරුදු ගාණකට පස්සේ එතුමා චිත්‍රපට සංස්ථාවට ආවේ ඒ චිත්‍රපටයේ මුහුරත් උළෙලට. අවාසනාවකට වගේ ඒ මාසෙම මහ මැතිවරණයක් පැවැත්වුණා. ආණ්ඩු මාරුවත් සමඟ අපේ සමහර කලාකාරයෝ ඇහුවා ගාමිණී ෆොන්සේකා ලක්ෂ පහළොවක් වටිනවාද කියලා. ඔවුන් අවසානයේ කුමන්ත්‍රණය කරලා මේ චිත්‍රපටය නැවැත්තුවා.

එතුමා ඒ පිළිබඳ දැඩි කලකිරිමෙන් තමයි අවසන් කාලයේ හිටියේ?

ඔව්. ලොකු හිතේ අමාරුවකින්, සමහරදාට එතුමා මහ රෑට මට කතා කරනවා ෆෝන් එකෙන්. හරි. අයිසේ මේක කරනවකෝ. මොකද මේක කරන්නේ නැත්තේ කියලා මගෙන් අහනවා. අවාසනාවකට ඒ චිත්‍රපටය කරන්න බැරි වුණා. මම එතුමාට කරන ගෞරවයක් හැටියට ශත 87 කට තමයි ගිවිසුම් අත්සන් කළේ. අදත් ඒ ඇග්‍රිමන්ට් එක චිත්‍රපට සංස්ථාවේ තියෙනවා. ඒක ගාමිණී ෆොන්සේකා කියන ප්‍රතාපවත් මගේ සිනමා වීරයාට කළ ගෞරවයක්. අනෙක් හැමෝම ඒ චිත්‍රපටයට ලොකු මුදලක් අය කළා. හැබැයි මගේ ගාන වුණේ ඒකයි.