වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

‘ස්වර’ සමාජ සද්කාරය වෙනුවෙන් නීටාට සම්මාන

ලෝක ඒඩ්ස් දිනය නිමිති කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය HIV/AIDS  පිළිබඳ දැනුම්වත් කරන ලද වාර්ෂික සමුළුවේදී HIV/AIDS  වෙනුවෙන් කළ සමාජ සත්කාරය උදෙසා නීටා ප්‍රනාන්දු සම්මානයෙන් පිදුම් ලබයි. ඇය විසින් නිෂ්පාදනය කරන ලද 'ස්වර' චිත්‍රපටය මඟින් සමාජයට ලබා දෙන පණිවුඩය අගයමින් ඇයට මෙම සම්මානය හිමි විය. ළඟදීම තිරගතවීමට නියමිත ස්වර සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණයකි.

නීටා ප්‍රනාන්දු ප්‍රධාන භූමිකාව මවන මෙහි ජීවන් කුමාරණතුංග, ඩබ්ලිව්. ජයසිරි ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති. 'ස්වර' ළඟදීම තිරගතවීමට නියමිතය.

ඩිලානි කලකට පසු මවු රටට...

ඩිලානි අබේවර්ධන දිගු කලකට පසු මෙරටට පැමිණීමට නියමිතය. ඒ ලාල් වීරසිංහගේ සිංග මචං චාලි සිනමාපටයේ මංගල දර්ශනය සඳහාය. එය මෙම මස 30 වැනිදා සිට එල් එෆ් ඩී සහ එම් පී අයි යන මණ්ඩලයන්හි සිනමා ශාලාවල ප්‍රදර්ශනය ඇරැඹේ. වසර හතක විරාමයකින් අනතුරුව සිනමාවට පිවිසි ලාල්ගේ පළමු අධ්‍යක්ෂණය වන්නේ සිංග මචං චාලි වේ. ඩිලානි අබේවර්ධනගේ දියණිය කවීෂා කාවින්දි ප්‍රේමබන්ධු සිනමාවට හඳුන්වා දෙනුයේ මෙම චිත්‍රපටයෙනි. ඩිලානි මවුරටට පැමිණෙන්නේ තම දියණියගේ සිනමා ආගමනය වෙනුවෙනි.

ලාල් විරසිංහ, ටෙනිසන් කුරේ, අනූෂා දමයන්ති, සුරාජ් මාපා, සැන්ඩෝ හැරිස්, උදයන්ති කුලතුංග, මාක් සැම්සන්, විශාඛා සිරිවර්ධන ඇතුළු පිරිස සිංග මචං චාලි රංගන දායකත්වය සපයති. බිතු සිතුවම් සිනමා පටය වෙනුවෙන් හොඳම නිළිය ලෙස සරසවිය සම්මානයෙන් පිදුම් ලැබූ සෙයිලම ඇතුළු චිත්‍රපට රැසක විවිධ චරිත රඟපෑවාය. ඩිලානි අවසන් වරට රඟපෑවේ බොරදිය පොකුණ චිත්‍රපටයේය.

රූපා ජ’පුර රෝහලේ

ප්‍රවීණ ගායිකා රූපා ඉන්දුමතී හදිසියේම රෝගාතුර වී ජයවර්ධන පුර රෝහලේ හතර වැනි වාට්ටුවෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන වග සරසවියට වාර්තා විය. අපි ඇයට ඉක්මන් සුවය පතමු.

ප්‍රියංකර විතානාච්චි දෙවැන්නට සැරසෙයි

සැමීගේ කතාව අධ්‍යක්ෂණය කළ ප්‍රියංකර විතානාච්චි සිය දෙවැනි සිනමාපටය නිර්මාණය කිරීමට මේ දිනවල සුදානම් වෙයි. මෙවර ද ඔහු තම සිනමාපටයට පාදක කරගනුයේ මෙරට ඉංග්‍රීසි සාහිත්‍ය කෘති වෙනුවෙන් ලබා දෙන ඉහළම සම්මානය වන ග්‍රේෂන් සම්මානය දිනූ නවකතාවකි. එය ප්ලේයින්ග් පිලෝ පොලිටික්ස් ඇට් එම්. ජී. කේ. වේ. ලාල් මැදවත්තේගෙදර විසින් රචනා කරන ලද එම ග්‍රන්ථය ග්‍රේෂන් සම්මානයෙන් පිදුම් ලැබුවේ 2012 වසරේදීය. තවමත් නමක් තබා නොමැති මෙම චිත්‍රපටය ළඟදීම රූගත කෙරෙන බව ප්‍රියංකර පවසයි. ඔහුගේ පළමු සිනමාපටය වන සැමීගේ කතාවට පාදක වූයේ ද ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූ කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සෑම්ස් ස්ටෝරි වේ.

උලත් එකයි පිලත් එකයි අන්තර්ජාලයට

උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා අන්තර්ජාලයට එක් කෙරිණ. ulath ekay pilath ekay film trailer යනුවෙන් සටහන් කොට youtube  හරහා එය නැරැඹීමට හැකිය. උලත් එකයි පිලත් එකයි හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයක් වන අතර දිනිත් චමින්ද රණසිංහ සහ කේ. ජේ. ඒ. නිශාන්තගේ නිෂ්පාදනයකි.

‘ඔබ නැතිව ඔබ එක්ක’ තිර රචනය එළිදැක්වේ

ප්‍රසන්න විතානගේ ගේ ඔබ නැතිව ඔබ එක්ක සිනමාපටයේ තිර රචනය ග්‍රන්ථයක් වශයෙන් පසුගියදා එළිදැක්විණ. ෆියදෝර් දෙස්තයෙ විකිගේ ද මීක් වන් කෙටි නවකතාව පදනම් කර ගනිමින් ප්‍රසන්න විසින් තිර රචනා කරන ලද මෙම චිත්‍රපටය ලොව ජාත්‍යන්තර සිනමා උළෙල තිස් පහකට අධික සංඛ්‍යාවක ප්‍රදර්ශනය විය. සම්මාන රැසක් සමඟ විදෙස් විචාරක ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් ඔබ නැතිව ඔබ එක්ක 2012 වසරේදී ලෝකයේ බිහි වු හොඳම චිත්‍රපට ශ්‍රේණිගත කිරීම් සඳහා ඇතුළත් විය. ඉන්දියාවේ සිනමා ශාලා දහතුනක ප්‍රදර්ශනය වූ ඔබ නැතිව ඔබ එක්ක වාණිජ පදනමින් ඉන්දියාවේ තිරගත වූ ප්‍රථම ලාංකේය චිත්‍රපටය වේ.

අංජලි පාටිල්, ශ්‍යාම් ප්‍රනාන්දු, වසන්ත මොරගොඩ මෙහි චරිත මවන ලදී. මෙහි තිර රචනය ග්‍රන්ථයක් ලෙසත් එළි දැක් වූණේ සරසවි ප්‍රකාශනයක් ලෙසිනි.

චූඩා මාණික්‍යය ෂූඩා වෙයි

කලකට ඉහතදී තිරගත වූ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ චූඩා මාණික්‍ය සිනමාපටය ඇසුරෙන් ටෙලි සිතුවමක් නිර්මාණය කෙරෙයි. එය නම් කොට ඇත්තේ චූඩා නමිනි. ෂූඩා මාණික්‍ය සිනමාපටය තිර රචනය කළ කුමාරසිරි අබයකෝන් ෂූඩා අධ්‍යක්ෂණය කිරීම විශේෂත්වයකි. ආචාර්ය ජගත් විජේනායක නිෂ්පාදනය කරන මෙහි ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ධනංජය සිරිවර්ධන, සේමිණි ඉද්දමල්ගොඩ, නදීශා හේමමාලි, උමයංගනා වික්‍රමසිංහ, සරත් දික්කුඹුර, නිමල් පල්ලෙවත්ත, බන්දුල විජේවීර, රොහානි වීරසිංහ, ශිරෝමිකා, ආනන්ද, විශාකා සිරිවර්ධන, ඩී. බී. ගංගොඩතැන්න,කපිල සිගේරා, ප්‍රේමා පතිරාජ, චූලා මෙන්ඩිස්, ලසන්ත ගමගේ ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.

නවරත්න ගමගේ සහ ප්‍රියන්ත රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි. ප්‍රියන්ත ප්‍රදීප් කැමරාව මෙහෙයවයි. ගීත රචනය කැලුම් ශ්‍රීමාල්ගෙනි. චරිත් දික්කුඹුර, කමනි ලසන්තිකා සහ නිරෝෂා ඉපලවත්ත මෙහි ගීත ගායනා කොට ඇත. නුගේගොඩ සංහිඳ හෝටලයේ පැවති චූඩා මුහුරත් උලෙළදා එහි පිරිවර සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරුයි මේ.

කොටස් දෙකකින් යුත් චිත්‍රපටයක්

අවුරුද්දේ මුලට සින්ඩ්‍රෙල්ලා

සුළං කිරිල්ලී සිනමාපටයෙන් පසු ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද අධ්‍යක්ෂණය කළ සින්ඩ්‍රෙල්ලා සිනමාපටය ජනවාරි මාසයේදී තිරගතවීමට නියමිතය. අකලංක ගනේගම සහ උපේක්ෂා ස්වර්ණමාලි සුපෙම්වතුන් වන මෙය වෙනස්ම ආදර කතාවක් ඇතුළත් සිනමාපටයක් වේ. ඔවුන් දෙපොළ සමඟ බන්දුල විතානගේ, පුබුදු චතුරංග, ජයනි සේනානායක, ඉන්ද්‍රචාප ලියනගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, කුමා අත්තනායක, සමන් හේමරත්න, ක්‍රිස් හැරිස්, රිචඩ් මුන්ඩි, ඈන් මුන්ඩි, ලුඩ්මලා කිරිල්ලෝවා, :කීත් ඇන්ඩෲ ඇතුළු පිරිස සින්ඩ්‍රෙල්ලා රංගනයෙන් හැඩ කරයි.

විධායක නිෂ්පාදනයෙන් ශංකි දන්දෙණිය, සංස්කරණයෙන් අජිත් රාමනායක, පසුබිම් සංගීතයෙන් නදීක ගුරුගේ මේ සඳහා එක් වී තිබේ.

සමන්ත වික්‍රමරත්න නිෂ්පාදන විධායකවරයාය. ප්‍රභාත් රෝෂන්, ජේ. රුවන්, ශානක බෝදියබදුගේ සහ චන්දන ජයසිංහ කැමරා අධ්‍යක්ෂවරුන්ය. අරුණ ප්‍රියන්ත කළුආරච්චිගේ ශබ්ද සංයෝජනයකි. ප්‍රියන්ත වන්නිනායක අංග රචනා ශිල්පියාය.

සින්ඩ්‍රෙල්ලා ඉනෝකා සත්‍යාංගනීගේ නිෂ්පාදනයකි. සින්ඩ්‍රෙල්ලා කොටස් දෙකකට නිර්මාණය වූ සිනමාපටයකි. එයින් මෙලෙස තිරගත වනුයේ එහි පළමුවැනි කොටසයි. දෙවැන්න පළමුවැනි කොටස තිරගත කොට අවසන් වුණු පසුව එම මණ්ඩලයේම තිරගත වේ.

මහාචාර්ය සෙනරත් පරණවිතාන අනුස්මරණ ගීතාවලී වැඩසටහන ස්වදේශීය සේවයෙන්

මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ 119 වැනි ජන්ම දිනය වෙනුවෙන් 'පරණවිතාන අනුස්මරණ ගීතාවලී' නමින් සංගීතමය වැඩසටහනක් මේ මස 26 වැනිදා රාත්‍රී 7.00 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වෙයි. මෙහි ගීත රචනා කර ඇත්තේ සිරිසමන් විජේතුංග විසිනි. ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, සංගීත විශාරද එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ ගායනා කරන මේ වැඩසටහන අධ්‍යක්ෂණය කරනුයේ ආචාර්ය දයාරත්න රණතුංගයි.

පොඩිත්තන්ට ජාතික රූපවාහිනියෙන් අලුත්ම කාටුන් එකක්

ලාංකික ළමා පරපුරට ආදර්ශවත් ජන කතා කාටුන් මාධ්‍යයෙන් සජීවීකරණ කර දැකබලා ගැනීමට සැලැස් වූ ජාතික රූපවාහිනියෙන් නව වසරේ 02 වැනිදා සිට සෑස සෙනසුරාදාවකම පස්වරු 6.00ට පොඩිත්තන්ට ‘ගමරාළ දිව්‍ය ලෝකයේ යයි’ කාටුන් කතාව රැගෙන පැමිණීමට නියමිත ය. මෙහි ගී පද, තිරපිටපත් රචනය හා නිපැයුම හඬ කැවීම් අදියුරු අතුල රන්සිරිලාල්ගෙනි. නිපැයුම් මෙහෙයුම් සහය අනුර ධර්මසේන සිදු කරන අතර හඬ සටහන අසංක කුමාර පේළිගෙනි.

ගී තනු හා සංගීතය අනුර විජේසිංහයි. ගායනයෙන් ප්‍රදීප් සම්පත් සහය වන අතර හඬ රංගනයෙන් චිත්‍රා වාකිෂ්ඨ, මොහාන් ලියනගේ, ඩබ්ලිව්.ඒ නිමල්, චන්දන ඉරුගල් බණ්ඩාර, වික්‍රම සෙනෙවිරත්න, උදය කුමාරි රණසිංහ, වසන්ති රන්වල, අජිත් සිල්වා යන ශිල්පීහු හා ශිල්පිනියෝ සහභාගි වෙති. සජීවකරණයෙන් අනිල් සුසාන්, සංජය ගුණරත්න, චරිත රණසිංහ, අයේෂ් රුශාන්ත, රුවන් පෙරේරා, ඉසුරු තරංගගෙනි.

කලාකරුවන්ගේ තොරතුරු ග්‍රන්ථයකට

සියලු කලාකරුවන් සහ කලා සංවිධානවල තොරතුරු ඇතුළත් ග්‍රන්ථයක් නිකුත් කිරීමට සංස්කෘතික හා සුභසාධන පදනම කටයුතු යොදා ඇත. පළාත් මට්ටමින් නිකුත් කරන මෙම ග්‍රන්ථය සඳහා සබරගමුව, මධ්‍යම, බස්නහිර, වයඹ, උතුර, නැගෙනහිර, ඌව, දකුණ සහ උතුරු මැද යන බල ප්‍රදේශයන් තුළ විසිරී සිටින විවිධ කුසලතා ඇති කලාකරුවනට මේ සඳහා තොරතුරු ඇතුළත් කළ හැකිය.

ලබන වසරේ ජනවාරි මස 15 දිනට පෙර එවන ලද කලාකරුවන්ගේ සහ කලා සංවිධානයන්හි තොරතුරු මෙයට ඇතුළත් කෙරෙන බව සංස්කෘතික හා සුභසාධන පදනමහි ලේකම් ඒ. ආර්. විමලරත්න මහතා පවසයි. මේ පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම් පත්‍රය රු: 15 ක මුද්දර ගැසූ ලිපිනය සහිත දිගු කවරයක් ලේකම්, සංස්කෘතික හා සුබසාධක පදනම, අංක 156/1, කෙලින් වීදිය, මාවනැල්ල යන ලිපිනයට එවීමෙන් ලබාගත හැකිය.

නත්තලට ‘මිසිස් මිරකල්’

'මිසිස් මිරකල්' චිත්‍රපටය සිංහල උප සිරැසි ගන්වා නත්තල් දින එනම් දෙසැම්බර් 25 වැනිදා පස්වරු 1.00 ට ජාතික රූපවාහිනියෙන් විකාශය කෙරෙයි. මිසිස් මිරකල් චිත්‍රපටයට පාදක වන්නේ පුතුන් දෙදෙනකු සමඟ තනිවුණු පියකුගේ කතාවකි. දඟකාර පුතුන් සමඟ හුදෙකලා වූ පියාගේ ජීවිතය වෙනස් වන්නේ නත්තල් දිනට දින කිහිපයකට පෙර, දේව දූතයකු මෙන් හිිටිහැටියේ පැමිණි මිරකල් මහත්මිය නිසාය. ජනප්‍රිය නළු නිළියන් වන ඩොරිස් රොබට්ස්, ජේම්ස් වැන් ඩර් බර්ක්, එරින් කාර්ප්ලුක් ප්‍රධාන චරිත නිරූපණය කරති. මෙය මයිකල් ස්කොට්ගේ අධ්‍යක්ෂණයකි.
 

කටහඬ දින දර්ශන, දිනපොත් නොමිලේ

නිවේදක ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙය වන්නා වූ කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ලබන්නා වූ 2016 වසරට ආසිරි පැතුම් ගෙන එමින් දිනපොත් සහ දින දර්ශන නොමිලේ පිරිනැමීමට කටයුතු යොදා ඇත. අධ්‍යක්ෂ, කටහඬ හා මාධ්‍ය කේන්ද්‍රය, 55, බුවනෙකබා මාවත, මිරිහාන, නුගේගොඩ (මිරිහාන පොලිසිය අසල) යන ලිපිනයෙන් හෝ 0773749767 යන දුරකථනයට අමතා මේ දිනපොත් හා දින දර්ශන ලබාගත හැකිය.

සුදර්ශන බණ්ඩාරගේ පියා මියයයි

රිදී තිරය, පුංචි තිරය, වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයේම රඟපාමින් සිය දක්ෂතා දැක් වූ රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාරගේ පියා ධනපාල බණ්ඩාර මියගියේය.

මියයන විට හැත්තෑහයවැනි වියේ පසු වූ ධනපාල බණ්ඩාර සී.ඩී.අයි නම් පෞද්ගලික ආයතනයේ සේවය කළ අයෙකි. ඔහුගේ අවසන් කටයුතු වැයිහේන ආදාහනාගාරයේදී සිදු කෙරිණි. -

පිළිසඳර එළිදකියි

රජයේ මුද්‍රණාලයීය නිර්මාණ සංග්‍රහය ලෙස එළි දකින ලද ‘පිළිසඳර ’ - 76 වැනි සාහිත්‍ය කලාපය මේ වනවිට ඔබට අතට පත්ව ඇත.

කේ.ජයතිලකගේ කවරයේ කතාව සමඟින් පැමිණි මෙවර පිළිසඳර සාහිත්‍ය කලාපයේ ගජමන් නෝනා, ලෙව්කේ මැතිඳු ආදී සාහිත්‍ය ලිපි මෙන්ම සොබාදහමට පිටුපා ලෙඩ ඇඟට ගන්නා මිනිස්සු ආදී වෛද්‍ය ලිපි කිහිපයක් ද, කලාවට හිතැත්තන් පිළිබඳ ඇතුළු විවිධ ආකාරයේ ලිපි රැසක් අන්තර්ගත ය.