වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




බච්චන්-දීපිකා සම්මාන ලබයි

බච්චන්-දීපිකා සම්මාන ලබයි

"Big Star Entertainment Awards" නම් සිනමා සම්මාන උළෙල පසුගිය දෙසැම්බර් 13 වනදා මුම්බායි හීදී උත්සවශී‍්‍රයෙන් පැවැත්වුනා. දීපිකා පදුකෝන් වසරේ වඩාත්ම විනෝදාස්වාදී නිළිය සහ වඩාත්ම විනෝදාස්වාදී නිළිය (නාට්‍ය) ලෙසටත්, අමිතාබ් බච්චන් වඩාත්ම විනෝදාස්වාදී නළුවා ලෙසටත් 'පිකු' චිත්‍රපටය සඳහා සම්මාන ලැබුවා.

බජ්රන්ගී භයිජාන් චිත්‍රපටය සඳහා සල්මන් ඛාන් ට වඩාත්ම විනෝදාස්වාදී නළුවා (සමාජමය) ලෙස සම්මාන ලැබූ අතර එම චිත්‍රපටයේම ළමා නළු හර්ශාලි මල්හෝත්‍රාව වඩාත්ම විනෝදාස්වාදී ළමා නිළිය ලෙසටත් සම්මාන ලැබුවා.

වරුන් ධවාන්, වඩාත්ම විනෝදාස්වාදී නළුවා (ත්‍රාසජනක) සම්මානයත්, වඩාත්ම විනෝදාස්වාදී නළුවා (කි‍්‍රයාදාම) සම්මානයත් ලබාගත්තා. වඩාත්ම විනෝදාස්වාදී සංගීතය සඳහා ප්‍රේම් රතන් ධන පයෝ චිත්‍රපටය සඳහා හිමේෂ් රෙෂම්මියා සම්මාන ලැබුවා.

සනීගෙන් සහතිකයක්

80, 90 දශකයන්හි හින්දි චිත්‍රපටවල නිතර දුටු තේජවන්ත නළුවෙක්, සනී ඩියොල්. ඔහු පැරණි ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර ගේ පුත්‍රයා. ළඟදි දිනක් මාධ්‍යවේදියෙක් ඔහුගෙන් පැනයක් විමසුවා. "ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර ගේ පුත්‍රයා වීම ඔබට මේ ක්ෂේත්‍රයේදී බලපෑවේ ධනාත්මක අයුරින්ද? ඍනාත්මක අයුරින්ද?". "මා කිසිදිනෙක එය ඒ ලෙසට සලකා නැහැ. ම එලෙස සිතුවා නම් මට මේ ක්ෂේත්‍රයේ වැඩක් කරන්න ලැබෙන්නෙත් නැහැ. නළු නිළියන්ගේ දූ පුතුන් පමණක් නොවෙයි මේ ක්ෂේත්‍රයේ සිටින්නේ. වෙනත් පසුබිම් සහිත අයත් මේ ක්ෂේත්‍රයේ සිටිනවා. මා එය වාසියක් හෝ අවාසියක් ලෙස දැක නැහැ" ඔහු කිවුවා.

කෙසේ වෙතත් ඔහු මෙසේත් කියා තිබෙනවා. "මගේ පුත්‍රයින් වන කරන් සහ රජ්වීර්ටත් ඕනේ මේ ක්ෂේත්‍රයට එකතු වෙන්නයි. ලබන වසරේ කරන්ට වයස 24ක්. ඔහු එවිට ක්ෂේත්‍රයට එකතු වේවි. මා ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වේවි. ඉන්පසු මා රජ්වීර් වෙත හැරෙනවා."

තමා තම පියා සේ කිසිදිනෙක දේශපාලනයට එකතු නොවන බවත් සනී මෙහිදී සහතික වී තිබුනා.

සෝනම් වීර චරිතයකට

සෝනම් කපූර් ඇගේ මීළඟ චිත්‍රපටය වන "නීර්ජා" හි ලාංඡනය නිකුත් කර තිබෙනවා. ඇය එහි රඟපාන්නේ 'පැන් ඇමෙරිකා' ගුවන් සේවිකා නීර්ජා භානොත් ගේ චරිතය.

1986 සැප්තැම්බර් මස 22 වනදා ඇය සිය ගුවන් යානයේ සිටි මගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගත් ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමට සිය දිවි කැපකළා. ඒ වන විට නීර්ජා ගේ වයස 22ක් පමණයි.

ආලියාට තුවාල

පසුගියදා මුම්බායි හි පැවති "Big Screen Awards" සම්මාන උළෙලේදී ආලියා භාත් ලොකු අකරතැබ්බයකට මුහුණ පාලා. එහි සිදුවූ රතිඤ්ඤා පිපිරීමකදී ආලියාගේ අතක් පිච්චී තිබෙනවා. ඇයට ප්‍රථමාධාර ලබාදී ළඟම තිබූ රෝහලට ගෙනගොස් තිබුනා.

මේ සිද්ධිය ගැන ආලියා වැඩි විස්තරයක් හෙළිකර නැහැ. කෙසේ නමුත් 'Times of India' පුවත්පත මීට පෙර දක්වා තිබුනේ, මෙම රතිඤ්ඤාව ආලියා ගේ මුහුණ දෙසට විසි වූ බවත්, ඇය මුහුණ අතින් ආවරණය කර ගැනීමට යාමේදී එයින් අත පිච්චී ඇති බවත්.

ඇය ඉතා වේදනාවෙන් සිටිබවත් උත්සවයේ පටිගත කිරීම්වලට ඇය එය නොසලකා හැර මුහුණ දුන් බවත් එය තව දුරටත් වාර්තා කර තිබුණා.

බොලිවුඩ් අනංගයාට මල්සර

මීට ටික කලකට පෙර, ඔබ විවාහ නොවන්නේ මන්ද? විවාහ ජීවිතයේ වගකීම භාර නොගන්නේ මන්දැයි සල්මන් ඛාන් ගෙන් ඇසූවෙකුට ලැබුණු පිළිතුරක් විය. ඒ, "මට තීරණාත්මක නඩුවක් තිබෙනවා. මා විවාහය ගැන සිතන්නේ එහි අවසන් තීන්දුව ලැබුනාට පසුවයි. යම් හෙයකින් මා වැරැදිකරු වුවහොත්, මා කසාද බඳීන්නේ සිර දඬුවම අවසන් වූ පසුවයි" යන්නයි. නමුත් අද වනවිට දශකයකට වැඩි කාලයක් තිස්සේ ඔහුට අස්වැසිල්ලක් නොදුන් නඩු විභාගය අවසන් වී ඇත. සල්මන් නිදහස් මිනිසෙක් වී ඇත. තත්ත්වය මෙසේ බැවින්, සල්මන් ඛාන්ගේ විවාහය ගැනත්, ඔහු හා විවාහ වීමට යන යුවතිය ගැනත්, ඔහුගේ විවාහය සිදුවන දිනය ගැනත් බොලිවුඩයේ ඉතා වේගයෙන් ප්‍රවෘත්ති පැතිර යමින් පවතී.

මෙම පුවත් වලට අනුව, සල්මන් විවාහ වීමට යන්නේ රොමේනියානු නිරූපණ ශිල්පිනියක් වන "ලුලියා වන්තුර්" සමඟයි. සල්මන් ඛාන් ලුලියා සමඟ සිටි අවස්ථා ගණනාවක්ම බොලිවුඩ් පැපරාසීන්ගේ කාචයන්ට හසුව තිබීම මෙවන් පුවතක් ප්‍රචාරය වීමට එක හේතුවකි. සල්මන්ව ළඟින් ඇසුරු කරන පුද්ගලයෙකු හෙළි කර ඇති කාරණයක් වන්නේ සල්මන් 2016 වසරේදී විවාහ විය හැකි බවයි. ඒ තවත් හේතුවකි.