වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ පැතූ සිනමා සිහිනය මම සැබෑ කර දෙමි

ඔබ පැතූ සිනමා සිහිනය මම සැබෑ කර දෙමි

ධම්මික සිරිවර්ධනගේ වියෝව ගැන උදයකාන්ත වර්ණසූරිය කතා කරයි

කෙටි කලක් ඇතුළත අප චිත්‍රපට ක්ෂේත්‍රයෙහි සිටි මහඟු වටිනාකමක් ඇති මානව සම්පත් යුගළක් අපට අහිමි විය. ඒ ආචාර්ය සෝමා එදිරිසිංහ සහ ධම්මික සිරිවර්ධනයි. සෝමාගේ නික්ම යාමේ උණුසුම කෙමෙන් මැකී යද්දී යළිත් අප සිත් කම්පා කළේ එවැනිම වටිනාකමින් යුතු සහෘදයකු වන ධම්මික සිරිවර්ධනගේ වියෝවයි. චිත්‍රපට ක්ෂේත්‍රයට මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සොඳුරු නිර්මාණයන් රැසක් දායාද කළ හෙතෙම අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූයේය.

උදයකාන්ත වර්ණසූරිය යනු ධම්මිකගේ සමීපතමයෙකි. තම ආදරණීය මිත්‍රයාගේ සමුගැනීම හේතුවෙන් ඔහු සංවේගයට පත්ව සිටියි. උදයකාන්ත එදා දොම්නස අපත් සමඟ මෙසේ බෙදා ගත්තේය. ඒ අතරතුර ධම්මික ගැන අප්‍රකට තෙරතුරු රැසක් ද ඔහු විසින් හෙළි කරන ලදී.

ධම්මික සිරිවර්ධන නම් ඔහු මට හමු වූයේ අදින් වසර දහසයකට පමණ පෙරාතුවයි. එහෙත් ඒ බැඳීම අප වැලිකෙළියේදී හමු වූවක් මෙන් ශක්තිමක් එකක් විය. අති දක්ෂ කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධන මාර්ගයෙන් මට හමු වූ ධම්මික පිළිබඳ මං කලක් තිස්සේ අසා තිබුණේය. ඔහු කළ කී දෑ මා දැක තිබුණේය. නිෂ්පාදකවරයකු විදිහට ධම්මික මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වේද්දී අප ඔහු සිටියේ වෙනමම තැනකය. මා සිටියේ වෙනමම තැනකය. තවත් අයුරකින් කිවහොත් ඔහු ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්ය. මා සිටියේ සිනමා ක්ෂේත්‍රයේය. ඒ අනුව බලන කළ ධම්මික සිනමාවට හඳුන්වා දෙන ලද්දේ මා විසිනි.

ධම්මික හා මගේ මිත්‍ර සමාගම ඇරැඹෙන්නේ ආසයි මං පියාඹන්න චිත්‍රපටය සමඟිනි. මගේ අධ්‍යක්ෂණයක් වූ බහු භූතයෝ චිත්‍රපටය නරඹා උද්දාමයට පත්ව ධම්මික මාව හඳුනා ගැනීමට කිහිප වරක්ම උත්සාහ කොට තිබේ. ඒ සඳහා පාලමක් වුණේ ජයනාත්ය. ඔහුගේ මාර්ගයෙන් මා වෙත එන ධම්මික මට කීවේ තමන්ට සුන්දර සිනමාපටයක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය බවයි. මූල්‍යමය පැත්ත ගැන ප්‍රශ්නයකි කර ගන්න එපා යැයි ඔහු කීවේය. ආසයි මං පියාඹන්න සිනමාපටය ගැන අදහස ඔහුට කිවේය.

ඔහුගේ සිත සන්තෝෂයෙන් පිරී යනු මා දුටුවේය. ඔහු එදා නික්ම ගියේ නොබෝ දිනකින් එහි වැඩ කටයුතු පටන් ගනිමු යැයි බලාපොරොත්තුවක් ද ලබා දීමෙනි. ඔහු කිව්වා වගේ චිත්‍රපටය නිර්මාණය කිරීම ආරම්භ කළේය. මා ආසයි මං පියාඹන්න අධ්‍යක්ෂණය කරද්දී ඔහු තුළ සිටින සෞන්දර්යවේදියාව හොඳින් දුටුවේය. ටෙලි නාට්‍ය විසි දෙකක් පමණ නිෂ්පාදනය කර ඊළඟට අත ගැසූ චිත්‍රපටය ද සාර්ථක නිර්මාණයක් කර ගැනීමට ඔහුට හැකියාව ලැබිණ. එමඟින් මට දැනුණේ ධම්මික ඉතාමත් වාසනාවන්ත නිෂ්පාදකවරයකු බවය.

ආසයි මං පියාඹන්න චිත්‍රපටය ගැන කතා කිරීමේදී මට එක්තරා සිදුවීමක් මතකයට නැගෙන්නේය. එය වුණේ එම සිනමා පටයෙහි මංගල දර්ශනය දිනයේය. එදා ශාලාව පිරී ඉතිරී යන්නට ආරාධිතයෝ පැමිණි සිටියෝය. කිහිප දෙනෙකු නෑවිදින් සිටී යැයි අප අනුමාන කළත් ඒ මතය අප ඇස් ඉදිරිපිටම බොරු විය. ශාලාව තුළට පිරිස ගියෝය. ඇතැම් අයට ආසන ද නැත. ඔවුන් බිම වාඩි වී චිිත්‍රපට නැරැඹීමට ලක ලැහැස්ති වනු අපට පෙනිණ, පුදුමය නම් එය නොවේ.

නිෂ්පාදක ධම්මිකට ද ආසනක් නැත. වාඩි වී සිටි අයකු නැගිටු වන්නට ද ඔහු අකැමැති විය. බලවත් ලෙස පෙරැත්ත කළත් ධම්මික කාවවත් නැගිටුවා වාඩි නොවූයේය. අවසානයේ ඔහු ගෙදර යන්න තීරණය කළේය. චිත්‍රපට නිෂ්පාදක නිවසට වී සිටියදී අනෙක් සියලු දෙනා එදා ආසයි මං පියාඹන්න නැරැඹුවෝය. ඊයේ පෙරේදා දිනයක ඔහු ඔය සිදුවීම ගැන මතක් කොට සිනහ වූයේ සිංහල සිනමා ඉතිහාසය තුළදී නිෂ්පාදකවරයකුට එසේ සිදු වී නොමැති වන්නට ඇතැයි පවසමිනි.

ආලංකුලම නමින් ධම්මික ව්‍යාපාර රැසක්ම පවත්වාගෙන ගියේය. ඒ වගේම ඔහු ව්‍යාපාර පිළිබඳ හසල දැනුමක් ද ඇත්තේය. නමුත් කිසිදු දිනෙක ඔහු කලා නිර්මාණයක් කෙරෙහි ව්‍යාපාරිකයකු ලෙසින් බැලුවේ නැත. එලෙස බැලීමට ඔහු තුළ අවශ්‍යතාවයක් ද නොවීය. සල්ලි පසුපස ධම්මික හඹා ගියා නම් කෙදිනකවත් ඔහු අතින් චමත්කාරජනක නිර්මාණ නිෂ්පාදනය වන්නේ නැත. එනමුත් ඔහු වානිජ පැත්තෙන් අති සාර්ථක විය. එය ඔහුගේ වාසනාවක් ලෙස මම දකින්නෙමි.

පුද්ගලයකු මිය ගිය පසු නොයෙක් දෙනා ඔහුගේ හෝ ඇයගේ ගුණ වනනු අපට දැකගත හැකි වන්නේය. එනමුත් ධම්මික තමන්ගේ ගුණ අසා ගත්තේ ජීවත්ව සිටන කාලයේදීමය. ඔහු නළු නිළියන් හා ගනුදෙනු කරන අන්දමට ඔහුගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න වැඩි දෙනෙකු දෙවතාවක් සිතුවේ නැත. අපට අහිමි වූයේ එවන් වූ අයකු බව මතක් වෙද්දී දුක තවත් දෙගුණ තෙගුණ වන්නේය.

ආසයි මං පියාඹන්න ඇතුළු පායා එන්න හිරු සේ, රෝස කැලේ, කිං හන්තර් යනාදී චිත්‍රපට ඔහු විසින් නිෂ්පාදනය කළේය. කුස පබා චිත්‍රපටයට සම නිෂ්පාදනයෙන් ධමමික දායක විය.

ධම්මික සිරිවර්ධන අධ්‍යක්ෂණයට ද පිවිසෙන බව කලකට පසු මට ආරංචි වුණේය. ඔහු සිදංගනා නමින් ටෙලි නාට්‍යයක් ඒ වන විටත් අධ්‍යක්ෂණය කොට තිබිණ. සියලු දෙනාගේ ආශිර්වාදය මැද ඔහු සුවඳ දැනුණා ජීවතේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එය ද බෙහෙවින් සාර්ථකය. ක්ෂේත්‍රයට එමඟින් හොඳක් සිදු විය.

ඒ ප්‍රේක්ෂකයන් බහුතරයක් නැවතත් සිනමා ශාලාවලට පැමිණීමය. චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා ධම්මිකත් මමත් ඉන්දියාවේ ගියේය. විවේක ලැබුණු මොහොතවල්වලදී අප ඉන්දියාවේ නොයෙක් තැන්වල සංචාරය කෙරුවෝය. එහිදී ධම්මිකට වටිනා අදහසක් පහළ විය. ඒ ඉන්දියාව සමඟ එක් වී හවුලේ චිත්‍රපටයෙක් ආරම්භ කිරීමය. නමුත් කාලයත් එක්ක ඒ අදහස යටපත් විය.

සති දෙක තුනකට පෙර ධම්මික මට දුරකථන ඇමතුමක් දුන්නේය. එ අප්‍රේල් මාසයේදී අප දෙදෙනා එක්ව ඇරැඹීමට නියමිත නවතම චිත්‍රපටයේ තතු විත්ති විමිසීම සඳහාය. එහි පිටපත ඔහු විසින් නිම කොට තිබිණි. එහෙත් අවශ්‍ය නම් අවශ්‍ය තැන්වල මොනවා හෝ වෙනසක් කරනවා නම් කරන්නට යැයි හෙතෙම පවසා සිටියේය. එදින අප බොහෝ දේ කතා කළේය. චිත්‍රපට කර්මාන්තය ගැන, තවමත් සිනමා ශාලා ඩිජිටල්කරණ නොවීම පිළිබඳව ඔහු එදා පැවසීය. ඒ අප අතර වූ අවසන් ඇමතුම බව අප දෙදෙනා හීනෙකින්වත් සිතුවේ නැත. ඊට ටික කලකට පසු මට ධම්මිකගේ හිතවතකුගෙන් ඇමතුමක් ලැබෙන්නේය. ධම්මික මිය ගිය බව ඔහු මට දැනුම් දුන්නේය. පළමුව එය මා විශ්වාස කළේ නැත. ඒ කාරණය ඇත්ත බව පසුව මට නිට්ටාවටම දැනගන්නට ලැබිණ,

ධම්මිකගේ අවසන් හීනය මෑතකදී අප ඇරැඹීමට සිටි සිනමාපටය මෙරට ප්‍රේක්ෂකයන්ට ඉතා ඉක්මනින් දායාද කිරීමය. මා ඔහු වෙනුවෙන් එය නිර්මාණය කිරීමට තිරණය කර ඇත. සිටින තැනක සිට ඔහු ඒ ගැන දැන සැනසෙනු ඇත.

සුහද මිත්‍රයාණෙනි,

ඔබ ගැන පවසන්නට මට තවත් බොහෝ දේ ඇත. ඒවා ලියනවා නම් පිටු දහසකටත් වැඩිය. ඒතරම්ම ඔබ අපට අගනා පුද්ගලයෙක්ය. ඔබ යළිත් යළි යළිත් අප අතරෙම ඉපදේවා යැයි මා පතන්නේ එහෙයින්ය.