වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

පසුගිය දශක 4 තුළ ලොව සිනමාව රස විඳින පිරිමින් (බටහිර ලෝකය මින් ප්‍රධානයි) මූලිකව බෙදා වෙන් කළ හැකි ආකාරය ඉතාමත්ම සරලයි. එනම්, ඔවුන්ගෙන් කොටසක් ස්ටාර් වෝර්ස් රසිකයන්ය. අනෙක් කොටම ස්ටාර් ට්‍රේක් රසිකයෝය. ඕනෑම වැඩිහිටි, මැදිවියේ, තරුණ හෝ ළාබාල පිරිමින් ඕනෑම කෙනෙක් මේ කුලක 2 ට ලඝු කළ හැකියි. එයට හේතුව මේ චිත්‍රපට මාලා ද්විත්වයම ලොව ජනප්‍රිය සංස්කෘතියට ඇති කළ අසීමිත බලපෑමයි. එයිනුත් ස්ටාර් වෝර්ස්, ස්ටාර් ට්‍රේක්ට වඩා කීප ගුණයකින් ජනප්‍රිය සංස්කෘතිය තුළ තම මුද්‍රාව ස්ථාපිත කරන්නට සමත් වී තිබෙනවා.

අද අප මේ මාතෘකාවට අවධානය යොමු කළේ ඇයි? ලොව සුවහසක් ස්ටාර් වෝර්ස් රසිකයන්ට මේ ගෙවුණු දෙසැම්බර් 18 වනිදා අතිශය වැදගත් දවසකි. එය සමරන්නට ඔවුන් පෙළ ගැසුනේ නත්තල් හෝ අලුත් අවුරුදු දිනයටත් වඩා වැඩි ඕනෑකමකිනි. එයට හේතුව ඔවුන්ට නැවුම් රසාස්වාදයක් විඳීමට අවස්ථාවක් සලසා දෙමින් ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලවේ 7 වන චිත්‍රපටය තිරගත වෙන අති උත්කර්ෂවත් දිනය දෙසැම්බර් 18 වූ බැවිනි. එහෙනම් ස්ටාර් ට්‍රේක් ගැන විමසුම පසුවට තබා මේ උත්සව සමයේ මුළු ලොවේම අවධානය සොරා ගන්නට සමත් වූ ස්ටාර් වෝර්ස් චිත්‍රපට මාලාව ගැන සවිස්තරාත්මක විස්තරයක් සරසවිය පාඨක ඔබ හමුවේ තබන්නට මා සිතා ගත්තා.

සිනමා ලෝලී සරසවිය පාඨක ඔබ අතර ස්ටාර් වෝර්ස් සංස්කෘතිය හොඳින් හුරුපුරුදු අය මෙන්ම එයට ආගන්තුක පිරිසක් ද සිටිය හැකි බැවින්, පොදුවේ ඔබ සියළු දෙනාගේම රසාස්වාදය උදෙසා, හුරුපුරුදු අයට නීරස නොවන පරිදිත්, ආගන්තුකයන් රසයක් වැඩෙන පරිදිත් සමබරව මේ චිත්‍රපට මාලාවේ තොරතුරු ඔබ හමුවට ගෙන ඒමට මා දරන උත්සාහයේ ප්‍රතිඵලක් ලෙස ඉදිරි සති කීපය තුළ ස්ටාර් වෝර්ස් ලිපි මාලාවක් සරසවිය තුළින් ඔබට කියවීමට අවස්ථාව ලැබේවි.

1977 තිරගත වුණු පළවෙනි ස්ටාර් වෝර්ස් චිත්‍රපටයෙන් ආරම්භ කර 2, 3, 4, 5, 6 ආදී වශයෙන් වර්තමානයේ තිරගත වන 7 වන චිත්‍රපටය දක්වාම පිළිවෙළට එහි විවරණයක් කිරීමට මා අදහස් කළේ පාඨක ඔබගේ පහසුව පිණිසයි.

එසේ නම් ස්ටාර් වොර්ස් වීරාඛ්‍යානය (SAGA) සමඟ එක් වෙන ලෙස ඔබට ආරාධනා කරමින් සහස්‍ර යුග්මයක විශ්වයේ දැවැන්තම ජනප්‍රිය සංස්කෘතික සංසිද්ධියේ මූලාරම්භයට අපි දැන් යමු.

ස්ටාර් වෝර්ස් හි පියා නැතිනම් නිර්මාතෘ වෙන්නේ ඇමෙරිකා ජාතික සිනමාකරුවෙකු - ව්‍යවසායකයෙකු වන ජොර්ජ් ලූකස්. ඔහු විශ්ව කර්මයෙක්. නිකම්ම සිනමාකරුවෙකු නොව අති විශිෂ්ඨ නවෝත්පාදකයෙක්. ලූකස්ගේ නිර්මාණාත්මක හැකියාව පමණක් නොව ඔහුගේ නවෝත්පාදන තාක්ෂණික හැකියාව සිනමා මාධ්‍යය සදහටම වෙනස් කිරීමට සමත් වුණා. සිනමාවේ නිම්වළලු පුළුල් කිරීමට ජෝර්ජ් ලූකස් වැන්නන්ගේ තිබුණු පිපාසය, අප්‍රතිහත ධෛර්ය හේතුවෙන් වර්තමානයේ ඉතාමත් වින්දනීය සිනමා අත්දැකීමක් විඳ ගැනීමට ලොව පුරා සිනමා රසික අප වාසනාවන්ත වුණා.

ලූකස්ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන්නේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වූ THX  1131 සිනමා තාක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන පාඨකයින්ට එම නාමය හුරු බවක් හැඟුණා නම් එයට හේතුව THX  යනු ලොව පුරා සිනමා ශාලා, හෝම් තියටර්, පරිගණක ස්පීකර්, වීඩියෝ ක්‍රීඩා ඇතුළු නොයෙකුත් විනෝදාත්මක ශ්‍රව්‍ය / දෘශ්‍ය මාධ්‍යවල, ශබ්ද ගුණය සම්බන්ධයෙන් ලොව පුරා පිළිගත් ප්‍රමිතියක් බැවිනි. THX  සහතිකය ලැබූ මේ මාධ්‍ය ශබ්ද ගුණය රසික සවනට ලබා දෙන ශ්‍රව්‍යමය අත්දැකීම අසමසමයි. ඒ විතරක් නෙවෙයි සිනමාවේ දක්ෂ ප්‍රයෝගකරණයේ ප්‍රමුඛයා ලෙස වැජඹෙන අයි. එල්. එම්. (INDNSTRIAL LIGHT & MAGIC)  ආරම්භ කළේද ලූකස්ය. ඔබ නැරැඹූ ටර්මිනේටර් 2 (1991) ටයිටැනික් (1997) වැනි අති දැවැන්ත සිනමා නිර්මාණවලට තාත්වික බවක් ලබා දුන් දෘශ්‍ය ප්‍රයෝග සියල්ලටම අයි. එල්. එම්. ආයතනයේ හපන්කම් දෘශ්‍ය ප්‍රයෝගවලින් සන්නද්ධ වුණ පසුගිය දශක 3 ඕනෑම චිත්‍රපටයක් අයි. එල්. එම්. තුළින් තම සේවාව ලබා ගත් බව සොයා බැලුවොත් ඔබට දැනගන්නට ලැබේවි. අයි. එල්. එම්. හි මූලික අවධියේ භාවිතා කරනු ලැබු මෙවලම් අතරින් ජනප්‍රියම SOFTWARE එකක් තමයි පසුව ෆොටෝ ෂොප් වී පාරිභෝගික ඔබට නැතුවම බැරි ඡායාරූප සංස්කරණ මෘදුකාංගයක් බවට පසුකාලීනව පත් වුණේ.

ස්ටාර් වෝර්ස් ඔරිජිනල් කතා වස්තුවම පළවෙනි චිත්‍රපටයට පෙර ගොඩ නඟාගෙන තිබුණා. මම ඔරිජිනල් කියා අදහස් කළේ ලූකස් කතාව ගොඩ නැඟුවේ චිත්‍රපට 6 ක් සඳහා පමණයි.

ඉන් පසුව ලූකස් ෆිල්ම් සමාගම 2012 වර්ෂයේදී ඇ. ඩො. මි. 4.2 කට මිලට ගත් වොල්ට් ඩිස්නි චිත්‍රාගාරය එම වියදම පියවා ගැනීමට මුදල් ඉපැයීමේ චේතනාවෙන් තවත් චිත්‍රපට 3 ක් ස්ටාර් වෝර්ස් කතා මාලාවට එකතු කිරීමට ලූකස් පොලඹවා ගත් බැවින්, 7, 8, 9 ලෙස 2015, 2018 සහ 2021 යන වසරවල තිරගතවීමට තව චිත්‍රපට 3 ක් මුල් කතාවට එකතු කිරීමට ඔවුන් සාමුහිකව (ලූකස් සහ ඩිස්නි) තීරණය කළා.

1977 තිරගත වුණු ස්ටාර් වෝර්ස් - අ නිව් හෝප් චිත්‍රපටයේ ටයිටල් එක බැලූ ඔබ EPISODEIV (4) යනුවෙන් සඳහන් වී තිබීම ගැන මඳක් විිපිලිසර වන්නට ඇති. චිත්‍රපට මාලාවක් නම් 4 න් ආරම්භ කරන්නේ කෙසේද කියා? එයට හේතුව ලූකස් සිතුවා චිත්‍රපට 6 න් 4 වන චිත්‍රපටය මාලාවේ ආරම්භයට වඩාත් සුදුසුයි කියා. එසේ සිතුවේ එය බොක්ස් ඔෆිස් වී වඩාත් සාර්ථක වෙයි යන සිතුවිල්ල නිසා. එතකොට ස්ටාර් වෝර්ස් 4 වෙනි චිත්‍රපටයත් ආරම්භ කිරීම අලෙවි සැලැස්මක්.

ස්ටාර් වෝර්ස් කතා මාලාවට ආවේණික වූ වචන ගණනාවක් ඔබට චිත්‍රපට මාලා තුළ අත්විඳින්න පුළුවන්. චරිත නාම, ස්ථාන, මෙවලම්වලට ඔබ මෙතෙක් නොඇසූ අමුතු නම් භාවිතා හේතුවෙන් ඒවා මතක තබා ගැනිමට යම් උත්සාහයක් මුලදී දරන්නට සිදු වුණත්, නියම ස්ටාර් වෝර්ස් රසිකයෙක් බවට පත් වූ විට මේ ස්ටාර් වෝර්ස් උප සංස්කෘතිය ඇතැඹුලක් සේ ප්‍රගුණ කරන්නට හැකියාව නිරායාසායෙන්ම ලැබේවි.

ස්ටාර් වෝර්ස් ඔරිජිනල් කතා මාලාව ගොඩ නැඟෙන්නේ ඇනාකින් ස්කයිවෝකර් නැමැති චරිතයේ නැඟීම සහ බැසීම ආශ්‍රිතවයි. සෑම ස්ටාර් වෝර්ස් චිත්‍රපටයක්ම ආරම්භ වන්නේ LONGTIME AGO IN A GALAXY FAR FAR AWAY  කියලා. ඉන් පසුව කතාවට පිවිසීමක් ලෙස ඉතිහාසය පිළිබඳ යම් විස්තරයක් තිරය මත දිග හැරී වර්තමානය දක්වා (එනම් ඒ චිත්‍රපටයේ ආරම්භය දක්වා) සිදු වූ සිද්ධිදාමය පෙළ ගස්වනවා.

ස්ටාර් වෝර්ස් කතා මාලවේ ප්‍රධාන පාර්ශව 2 යි. එනම් විශ්වයේ සාමය රකින ජෙඩි සහ ඔවුන් ගේ ප්‍රතිවිරුද්ධ අඳුරු පාර්ශවය වන සිත්. මේ දෙගොල්ලෝ අතර ගැටුම්, එනම් හොඳ සහ නරක අතර ගැටුම තමයි හැම චිත්‍රපටයක් තුළින්ම පිළිබිඹු කරන්නේ. එසේ බැලුවාම නම් මානව ඉතිහාසයේ සෑම කතාන්දරයක් වගේම ස්ටාර් වෝර්ස් කතාවත් අවසානයේ හොඳ සහ නරක අතර ගැටුමක් බවට ලඝු කළ හැකිය.

ස්ටාර් වෝර්ස් අ නිව් හෝප් (1977) 4 වන කොටස නැතහොත් පළමු චිත්‍රපටයට ලූකස්ට අදහස ආවේ ජපන් ජාතික මහා සිනමාකරු අකිර කුරොසාවාගේ ද හිඩන් ෆොට්‍රෙස් නැමැති චිත්‍රපටය නැරඹීමෙන් පසුවයි. කුරසෝවාගේ හිඩ්න් ෆොට්‍රෙස් හී වෙස් වලාගත් කුමරියක් ආන්තරා අඩවියෙන් ඉවතට ගෙන යාමට හිතෛෂී සෙබළකු දරන උත්සාහයක් වටා ගෙතුණු කතාවක්. ඒ විතරක් නෙවෙයි ස්ටාර් වෝර්ස් හී ඇඳුම් සහ ආයුධ නිර්මාණය කිරීමේදීත් කුරොසාවාගේ සමුරායි චිත්‍රපටවල ආභාසය ලූකස් බොහෝ දුරට ලබා ඇති බව පැහැදිලිවම පෙනී යනවා. ආලෝක කඩුව හොඳම උදාරහණයයි. ස්ටාර් වෝර්ස් මාලවේ ප්‍රධානම අවිය ආලෝක කඩුවයි. එය කෙළින්ම සමුරායි අසිපතින් ප්‍රතිනිර්මාණය වුණ දෙයක්. ආලෝක කඩුව යනු සිනමා ඉතිහාසයේ ජනප්‍රිය සංස්කෘතීන්ට වැඩිම බලපෑමක් කළ මෙවලමයි. ස්ටාර් වෝර්ස් රසිකයින්ගේ ප්‍රියතම ස්ටාර් වෝර්ස් අංගය විමසුවොත් පිළිතුර නිසැකවම ආලෝක කඩුව වීම පුදුමයක් නොවේ. එතරම් ආකර්ෂණීය මේ කඩුව තමා ජේඩි සහ සිත් යන පාර්ශව 2 කේම ප්‍රධාන අවිය.

ස්ටාර් වෝර්ස් මාලාවට ආගන්තුක ඔබට මා කියා දෙන්නම් ජේඩි සහ සිත් වෙනස් කර හඳුනා ගත හැකි සරලම සාධකය. එය නම් ආලෝක කඩුව LASER BEAM එක් වර්ණයකි. සිත් පාර්ශවයේ ආලෝක කඩුව රතු වර්ණය(සැමවිටම) දරන අතර ජේඩි ආලෝක කඩුව නිල්, කොල, දම් ආදී වශයෙන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වේ.

ස්ටාර් වෝර්ස් නිව් හෝප් හී කතාව ආරම්භයේදී විශ්වයේ බලය තහවුරු කරගෙන සිටින්නේ සිත් පාර්ශවයයි. ඔවුන් සියලුම JEP තරු සමූල ඝාතනයකට ලක් කොට විශ්වය පුරා තම අණසක පතුරුවා ගෙන සිටිනවා. මා මුලදී සඳහන් කළ ඇනකින් ස්කයිවෝක් තමා එම කාර්යයට නායකත්වය දුන්නේ. මුලින් නයිට් වරයෙකු වූ ඇනකින් පසුව අඳුර පාර්ශවයට හැරී සිත් නායකත්වයට පක්ෂපාති ඩාත් වේඩර් නමින් ඔබ හමුවට එනවා.

ලෝක සිනමාවේ ‘දුෂ්ටයන් අතර අංක ලෙස සැලකෙන්නේ මේ ඩාත් වේඩර් නැමැති චරිතයයි. එතරම් භයානක ඔහුට සම කළ හකි තවත් සිනමා දුෂ්ටයෙකු වන්නේ සයිලන්ස් ඔෆ් ද ලෑම්බ්ස් හී මිනී මස් බුදින හැනිබල් ලෙක්පාර් පමණි. ඩාන් වේඩර් අපි මින් පසු ඇනකින් ස්කයිවෝකර් ඩාන් වේඩර් ලෙස හඳුන්වමු. ඔහු සියලුම සේඩි නයිට්වරුන් ඝාතනය කළා යැයි සිතා සිටියත් ඔහුගේ සේඩි ගුරුවරයකු වූ ඔබී වැන් කනෝබි (ප්‍රකට බ්‍රිතාන්‍ය නළු ශ්‍රීමත් ඇලක් ගිනස්) සිත් පාර්ශවයෙන් සැඟ වී තම දිවි බේරාගෙන සිටිනවා.

ඩාත් වේඩර් අඳුරු පාර්ශවයට යන්නට කලින් ඔහුට නිවුන් දරුවන් 2 ක් ලැබෙනවා. දියණියක සහ පුතෙක්. නමුත් ඔහුගේ බිරිඳ දරු උපතේදී මිය යන බැවින් දරුවන් දෙදෙනාගේ ආරක්ෂාවට ඔවුන් සිත් පාර්ශවයෙන් සඟවා ඇති දැඩි වෙන්නට මාර්ගය සකස් කර තිබුණේ ඔබි වැන් කනේබි. ඔබි වැන් කනෝබිට වැඩිවිය පැමිණි ඩාත්ගේ පුත්‍රයා වන තරුණ ලූක් හමුවෙනවා. ඔහුව ජේඩ් නයිට් කෙනෙකු බවට පුහුණු කිරීම ඔබි වැන් කනේබි භාර ගන්නවා. මියගිය ජේඩ් පරපුර නැවත ඉපදෙන්නේ ඔහුගෙන්. එම නිසයි එයට ස්ටාර් වොර්ස් අ නිව් හෝප් යන නම තැබුවේ.

මෙසේ ජේඩ් වරයෙකු වන ලූක්, සිත් පාර්ශවයට එරෙහිව සටන දියත් කිරීමට රහසේ සන්නද්ධ වෙනවා.

ඔහුට සහායට එන්නේ අභ්‍යවකාශයේ හොර බඩු ප්‍රවාහනය කරන කපිතාන් හෑන් සෝලෝ. හෑන් සෝලෝ චරතයට 1977 එක් වූ නවක නළුවා පසු කලෙක ලොව සුපිරිම නළුවෙක් ලෙස බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබන්නට සමත් වූ හැරිසන් ෆෝඩ්ය.

ජේඩිවරුන්ගේ ප්‍රධාන ගුරුවරයා වාගේම ස්ටාර් වෝර්ස් රසිකයන්ගේ ප්‍රියතම චරිතයක් වන මාස්ටර් යෝඩා අප්‍රකටව දිවි ගෙවමින් සිටින අතර ලූක්ගේ මුණ ගැසීමෙන් පසු නැවත විශ්වයේ සාමය ස්ථාපිත කිරීමේ බලාපොරොත්තුවක් දැල් වුණු බව සපථ වීමෙන් ඔහු ලූක්ට නුවණ ලබා දෙනවා.

ස්ටාර් වෝර්ස් මාලාවේ ප්‍රධාන චරිත වන YODA, LUKE, DARTH VADER, OBI WAN KANOBI මෙන්ම ලෙයියා කුමරිය ද මේ චිත්‍රපටය තුළින් හඳුනවා දෙනවා. ලෙයියා කුමරිය ලූක්ගේ නිවුන් සොහොයුරිය වූ නමුත් දෙදෙනාම එය තවම දන්නෙ නැහැ. ඇයගේ චරිතය මේ චිත්‍රපටයේ විකාශය කිරීමේදී තමයි ලූකස්, කුරොසාවාගේ THE HIDDEN FORTRESS  චිත්‍රපටයේ ආභාසය ලැබුවේ.

කපිතාන් හෑන් සේලෝගේ සහයෝගයෙන් ලූක්, සිත් මධ්‍යස්ථානයක් වන DEATH STAR විනාශ කර දමනවා. එයින් තමයි මුල් චිත්‍රපටය නිම වෙන්නේ. ඩාත් වේඩර් ඇතුළු සිත් ප්‍රධානීන් තමන්ට තර්ජනයක් ගොඩ නැඟී ඇති බැවින් එයට ප්‍රතිප්‍රහාර දී මැඬලන මාර්ග සොයන්නට පෙලඹෙනවා.

ඩාත් වේඩර් ඇතුළු සිත් පාර්ශවය ලූක්ගේ නායකත්වයෙන් යුතු කැරලිකාරීන් මර්ධනයේදී කෙතරම් දුරට සාර්ථක වේදැයි ස්ටාර් වෝර්ස් 2 වන චිත්‍රපටය වන EPISODE V (S) EMPIRE STRIKES BACK  හී කතාව කියවා දැනගන්නට පාඨක ඔබට පුළුවන් වේවි ලබන සතියේ ලිපියෙන්.