වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




චරිතයට අවශ්‍ය නම් කොණ්ඩෙ කපන්න මං ලෑස්තියි

චරිතයට අවශ්‍ය නම් කොණ්ඩෙ කපන්න මං ලෑස්තියි

ළමා නිළියක ලෙසින් ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඇය දෙව්මිණි රණවීර.

දෙව්මිණි රංගනයට පිවිසි අන්දම මතක් කළොත්?

පොඩි කාලෙ ඉඳලා මං හරියට නාට්‍ය බලනවා. ඉතින් මටත් හැම තිස්සෙම හිතෙනවා ටී. වී. එකේ ඉන්නට ඇත්නම් කියලා. අම්මටත් ඉන්න දෙන්නේ නැහැ මට අවස්ථාවක් හොයලා දෙන්න කියලා. අම්මා දන්නේ නැහැනෙ ෆීල්ඩ් එකේ අයව.

කොහොමද ඔබට රංගනයට අවස්ථාව හිමිවන්නේ?

අපේ ගෙදරට සරසවිය පත්තරේ ගන්නවා. එහි පළ වෙලා තිබුණු දැන්වීමකට අනුව මං ගියා නළු නිළියන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණයට. සුනිල් කොස්තා මහත්මයාගේ සිරි සිරිමල් නාට්‍ය වෙනුවෙන් තමයි එය පැවැත්වුණේ. මාව ඉන් තේරුණා.

එතකොට සිරි සිරිමල් තමයි ඔබේ පළමු නාට්‍ය?

ඔව්.

ඔබට ලැබුණු චරිතය මොකක්ද?

නිර්මලා කියලා ගැමි ළමයකුගේ චරිතයක්.

හා හා පුරා කියලා කැමරාව ඉදිරියේ කළ රංගනය මතකද?

මොකක්ද කළේ කියලා නම් මතක නැහැ. හොඳටම බය වුණා කියලා නම් මතකයි.

සිරි සිරිමල් නාට්‍යයෙන් පසු ඔබ රඟපෑ නිර්මාණයන් මොනවද කියලා කියමු?

හැන්දෑව, ටිකිරි හපන්නු, සර්ෆ් එක්ස්ෆෝස්, දෙගම්මැදියාව, කළු සෙවනැල්ල.

ඒ අතරින් ඔබව වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිතය මොකක්ද?

සර්ෆ් එක්ස්ෆෝස් නාට්‍යයේ මධු. ඒ චරිතය තුළින් ගොඩ දෙනෙක් මාව හඳුනා ගත්තා.

දෙව්මිණි සිනමාවටත් පිවිසියා නේද?

ඔව්නෙ. රන් කෙවිට සහ මගෝඩිගෝඩයි තමයි මං රඟපෑ චිත්‍රපට දෙක.

හැන්දෑව නාට්‍යයේ රඟපාන්න ගිහින් නිල්මිණිගෙන් ඇත්තටම ගුටි කෑව අවස්ථාව ගැනයි මං ඊළඟට අහන්නේ?

චරිතයේ ඇති තාත්ත්වික බවට ද මන්දා නිල්මිණි ඇන්ටි මට බොරුවට ගහන්න තියෙන එක ඇත්තටම ගැහැව්වා. මාත් ඉතින් ඇත්තටම ඇඬුවා.

තව දවසක් කූඩැල්ලෝ මැද රංගනයේ යෙදුණා නේද?

ඒක වුණේ සර්ෆ් එක්ස්ෆෝස් නාට්‍යයේ රඟපාන්න ගිහිල්ලා. අවිස්සාවේල්ල පැත්තේ තමයි ලොකේෂන් තිබුණේ. අපි ඒ හරියට ගිිහිනුත් ටික වෙලාවකට පසුවයි දන්නේ එතැන කූඩැල්ලෝ ඉන්නවා කියලා. මක් කරන්නද එදා කූඩැල්ලෝ ගලව ගලව රඟපෑවා.

කාලයක් ඔබ ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා?

ඒ ලෙවල් කරන කාලේ තමයි ක්ෂේත්‍රයෙන් අයින් වුණේ. අධ්‍යාපනයට මුල් තැන දුන්නා.

කලා අංශයෙන් වෙන්න ඇති ඔබ උසස් පෙළ ලියන්නට ඇත්තේ?

නැහැ. වානිජ අංශයෙන් මං ලිව්වේ.

ඔබේ ඉලක්කය මොකක්ද? කලාවෙන් ඉදිරියට යනවද? නැතිනම් වානිජ අංශයෙන් රැකියාවක් කරන්නද?

මම දැනට ඩබල් ඒ ටී කරනවා. කලාව ඒ අතරතුරදී කරගෙන යනවා.

එතකොට ඔබ කලාවේ නියැලෙන්නේ විනෝදාංශයක් වශයෙන්ද?

විනෝදාංශයක්ම කියලා කියන්න බැහැ. හිතේ තියෙන ආසාවට රංගනයේ යෙදෙන්නේ. ඒ වගේම හිතට හරිම නිදහසක් කලා කටයුතුවලට සහභාගී වීම තුළින් මා ලබනවා.

රංගනය වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානම්ද?

ඔව්.

මොන වගේ කැප කිරීම් ද කරන්න සූදානම්?

රඟපාන්න ලැබෙන චරිතයක් උදෙසා කොණ්ඩෙ වුණත් කපන්න මං සූදානම්.

බොහෝ දෙනෙක් ඔහොම කියනවා. නමුත් කරන්නේ නැහැ.

මං එහෙම නැහැ. සිල් මෑණි කෙනෙකුගේ චරිතයක් ලැබුණොත් බලන්නකො මං කරන වැඩේ. අනිවාර්යයෙන්ම කොණ්ඩෙ කපනවා. ඒකෙ වචන දෙකක් නැහැ.

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

බොහොම සුන්දරයි.

අසුන්දර බවක් ඇත්තේම නැතිද?

කොහෙත්ම නැහැ. මට අසුන්දර මිනිසුන් හමුවෙලත් නැහැ.

සාමාන්‍යයෙන් දෙව්මිණිට දුකක් හිතුණම මොකද කරන්නේ?

කතා නොකර ඉන්නවා.

ඒ කියන්නේ කොයි වෙලාවක හරි ඔබ කතා නොකර ඉන්නවා නම් ඒ කියන්නේ ඔබට දුක හිතිලා?

ඔව්.

දෙව්මිණි සතු වෙනත් හැකියාවන් මොනවද?

මට හොඳට චිත්‍ර අදින්න පුළුවන්.

නිවේදනයට දක්ෂ නැද්ද?

දක්ෂයි. තවම නිවේදනයට ආරාධනා ලැබිලා නැහැ. එහෙම ආරාධනාවක් ලැබෙන තෙක් මං බලාගෙන ඉන්නවා.

දෙව්මිණිගේ ගෙවල් කොහේද?

වත්තල.

ඉගෙන ගත්තු පාසල?

නායක්කන්ද යහපත් එඩේරාගේ කන්‍යාරාමය.

උපන් දිනයත් කියමු?

1995. 08. 15

කාටද තුති පුදන්න තියෙන්නේ?

මට උදව් කරපු හැමෝටම.