වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඔයා ආස නැද්ද දිගටම ඇක්ට් කරන්න
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්දගේ සිතුවමින්

ඔයා ආස නැද්ද දිගටම ඇක්ට් කරන්න

අව්වත් වැස්සත් ගමට හුරුය. ගමේ ජීවිතය එකවරම වෙනස් වුණේ කෙසේදැයි මානවී කල්පනා කළාය. සියල්ල සිදු වනුයේ යහපත් අන්දමටදැයි දැන සිටියේ නැත.

ටෙලි නාට්‍යයක රූප රාමු පෙළකට පෙනී සිටීම මහා කතාන්දරයක් දක්වා දික් ගැසෙනු ඇතැයි මානවී කිසිසේත් නොසිතුවාය. අත්තම්මාගේ දඬුවමේ සිට එකවරම හැමෝගෙම අවධානයට ඇය යෙමු වූ හැටියකි. මිත්තනියගේත්, මුත්තනුවන්ගේත් ආදරයට දයාවට ලක් වූ මානවී සුමිත්ගේ සාප්පුවට ගියේ කරන්නට දෙයක් නැතිකමටත් එක්කය. එහෙත් කැමරාවකට පෙනී සිටීම නිසා තවත් කතාවකට මුල පිරුවේය.

'අනේ, අනේ කෙල්ලේ උඹ හරි ලස්සනයිනේ'

පොල් අත්තක් ඇදගෙන එමින් සිටි දයාවතී නැන්දා පැවසුවේ බුලත් කහට පිරුණ දත් ටික ද එළියේ දමාගෙනය. මානවීට එය එකවිට වැටහුණේ නැත.

'උඹව අපි ඊයේ ටී. වී. එකේ දැක්කනේ'

ඒ කතාව ඇසී තවත් ගැහැනුන් කිහිප දෙනෙක්ම රොක් වූහ. ඔවුන් එකෙක්වත් ඇයට ආගන්තුකයන් නොවනා සියල්ලන්ම නෑයන්ය. මානවී ලැජ්ජාවේ ඇඹරුණාය.

'අනේ දන්නේ නෑ නැන්දේ. ඒ වෙලාවේ ඉන්න කිව්වා'

මානවී පැවසුවාය.

'උඹ ඉතින් ඉස්කෝලෙත් කොච්චර එව්වට හිටියැ. ඊට පස්සේ උඹම මුළුගැන් වුණානේ.'

එකියක පැවසුවේ සෙනහසිනි. මානවීගේ පිළිතුර වුණේ සිනහවකි. ගෙදර සිට සාප්පුවට එන මඟ දිගට මල් පොකුරුය. මල් පොකුරු යට ඇති කවර කතාවකටවත් මානවී කන් දුන්නේ නැත. උඩින් මල් පොකුරු යට ගල් පතුරු ඇති වග මානවී දන්නේ කුඩා කාලයේ ඉඳන්ය. එහෙත් රහසින් කෙරෙන කතාබහ කොතරම් වන්නේ ද දන්නේ කවුරුන්ද?

මානවී සාප්පුවට ගියාය. සුනීතා ඒ වන විටත් සාප්පුවේ දොර විවෘත කර ගනුදෙනු අරඹා තිබිණ.

'මානවී ඊයේ දැක්කේ නෑ නේද, අර මෙහෙදි ටී වී එකට ගත්තු කෑල්ල ගියානේ'

'ඔව්, අක්කේ මං දන්නේත් අද උදේ'

'ඇයි දැක්කේ නැද්ද?'

මානවී නැතැයි කියන්නට හිස සැලුවාය. තමාගේ රූපය කෙබඳු ආකාරයකින් දකින්නටද? ගෙදර ටෙලිවිෂනයක් නැත. ඇයට සුසුමක් වැටිණ. සාප්පුවේ පිටුපස කුඩා කැඩපතක් තිබිණ. මානවී හීන්සීරුවේ එයට මූණ පෑවාය. එයට සිනසුණාය. අනතුරුව රැව්වාය. අන්තිමට ඇයට සුසුමක් හෙළිණ.

අම්මා කතා කළේ හැන්දෑවේය. අම්මා ද ටෙලි නාට්‍ය දැක තිබුණාය.

අනේ ඔයා යන්තං හිටියේ, එත් හොඳට පෙනුණා'

අම්මා විස්සෝප වූවාය. ගත වූ රාති‍්‍රයේ සුජිත් ඇගේ අංකය සොයා ගත්තේ කෙසේදැයි කියන්නට මානවී නොදත්තාය. ටෙලි නාට්‍ය විකාශය වූදාට පසුදා ද සුජිත් කතා කළේය.

'නංගි ටෙලි නාට්‍ය දැක්කාද?'

ඔහු ඇසුවේය. ඇය නැතැයි පැවසුවාය.

'ඔයා ආස නැද්ද දිගටම ඇට් කරන්න. නංගිට ලොකු අනාගතයක් තියෙනවා'

සුජිත් පැවසුවේය.

අත්තම්මා දොරකඩින් බැලුවේ මානවී කතා කරන්නේ කා සමඟදැයි සොයන්නටය. මානවී අත්තම්මා දෙස නොබලා ගෙයින් එළියට බැස්සාය.

'මං එන්නද ඔයා බලන්න'

සුජිත් ඇසුවේය. මානවීගේ මුහුණ රතු වනු කිසිවකු හෝ නොදුටුවේය.

'මොකද කියන්නේ?'

ඇය දුරකතනය විසන්ධි නොකළ වග සනාථ කර ගත් සුජිත් විචාළේය.

'මොකටද?'

ඇය ඇසුවාය. මුහුණට මුහුණ නොබලා කතා කරන්නට වීම කෙතරම් අගනේද? මුහුණට මුහුණ හමු වූවා නම් මානවී ගොළු වන්නීය.

'ආසාවට බලන්න'

මානවී කිසිවක් පැවසුවේ නැත. අත්තම්මා ගෙයි දොරකඩට වී සිටගෙන ඉන්නීය. එබැවින් මානවී ආපසු හැරුණාය.

'ඇත්තටම මම එන්නද?'

හා කියන්නට යැයි මානවීගේ සිත කෑගැසුවාය. ගෙයි පහනේ එළිය බිම වැටී මිදුල පුරා ගලා ගියේය. සමන් පිච්ච වැල මල් පුබුදුවාලන්නීය.

'හා'

එය යාන්තම් කෙඳිරිල්ලක් විය. මානවී අත්තම්මාට ළං වූවාය.

'කවුද?'

'කොල්ලෙක්'

අත්තම්මා දෑස් මහත් කර මිනිබිරිය දෙස බැලුවාය.

'ඇයි මට කොල්ලෙක්ට කතා කරන්න බැරිද?'

මානවී විමසා සිටියේ දඟ හඬිනි. අත්තම්මා බැරෑරුම් මුහුණක් මවා ගත්තාය.

'මොකෝ බැරි? මොනවද ඇහැවේ?'

'ඇහුවේ ගෙදර එන්නද කියලා'

'ඉතින් උඹ මොකද කිව්වේ?'

'මං කිව්වා මං දවල්ට ගෙදර නෑ. ඕන නම් අත්තම්මා ඉන්නවා. ගෙදර ඇවිත් කතා කර කර ඉන්න කියලා. උන්දෑ පාළුවෙන් කියලා'

ඈ අත්තම්මාගේ උරහිසට බර දුන්නාය.

'මං උඹට කියන්නෙ නෑ'

අත්තම්මා පැවසුවේ මවාගත් කෝපයෙක් යුතුවය. දවසක් ගත වුණාදැයි නිනව් නැත. ගේ ඉදිරිපිට මෝටර් සයිකලයක් නතර විණ. මානවී සාප්පුවේ සිට ගෙදර ආවා පමණි. ඈ හැරී බැලුවාය. හිස් ආවරණය ගලවා බයිසිකලය මත තබන තරුණයා දුටු මානවීගේ දෙපා වෙව්ලන්න විය.

'සුජිත් අයියා'

ඔහු වෙනදා මෙන් නොවේ. කනේ කරාබුවක් ද දමාගෙනය.

'ඇයි මේ?'

මානවී ඇසුවේ බියපත් හඬකිනි.

'ඇයි, ඔයාමනේ මට එන්න කිව්වේ. ඔන්න මං ආවා'

මානවී වටපිට බැලුවේ කවුරුන් හෝ බලා සිටීදැයි සැක හැර ගන්නටය.

'එන්න අයියේ ගෙට'

මානවී දිරි ගත්තාය. ගෙයි ඉදිරිපිට තිබූ කබල් පුටු මත තිබූ කොට්ටය පැරණිය. සුජිත් එහි අසුන් ගත්තේ අනාරාධිතවය. අනතුරුව ඔහු වටපිට බැලුවේය.

'කවුද ගෙදර ඉන්නේ?'

'අත්තම්මා'

මානවී හෙමිහිට පැවසුවාය. අනතුරුව ගෙට එබී 'අත්තම්මේ' යැයි කෑගෑවාය.

'මොකද ළමයෝ?'

ඇය එළියට ආවේ එසේ අසාගෙනය. සුජිත් අත්තම්මා දුටු සැනින් නැගිට්ටාය.

'අත්තම්මා මං කිවවේ මේ අයියා තමා එනවා කිව්වේ'

මානවී ගෙට ගියේය. එවර නම් සුජිත් වටපිට බැලුවේ අසරණ නියායෙනි.