වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් පිළිතුරු

අර්ජුන්ගෙන් පිළිතුරු

ප්‍රශ්නය - එදා කලාකරුවා මනුස්සකමින් බොහෝම පොහොසත්. අද කලාකරුවා මුදල් අතින් පොහොසත් ඇයි අනේ මෙහෙම වෙන්නෙ?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් – ඇයි එකේ ඇති වැරැද්ද මොකක්ද ආනන්ද?

ප්‍රශ්නය – ඉතා විශිෂ්ට නාට්‍යයක් වූ ‘නරි බෑනා’ ඇතුළු නාට්‍ය ගණනාවක් නිර්මාණය කළ දයානන්ද ගුණවර්ධන සූරීන් රඟ පෑ චිත්‍රපට මොනවාද?

තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල, තටාකය පාර, කෑගල්ල

අර්ජුන් – ‘කුරුලු බැද්ද, රන්සළු’ ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑවා. ‘බක්මහ දීගේ’ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළා.

ප්‍රශ්නය – එදා බටහිර තිරයේ විකට නළුවන් දෙදෙනකු වන ටෙරන්ස් හිල් සහ බඩ් ස්පෙන්සර් අද කෝ?

ආනන්ද වික්‍රමආරච්චි, ඉහළ තල්දූව

අර්ජුන් – ඉතාලි සහ ජර්මානු සම්බවයකින් යුත් 76 වියැති ටෙරන්ස් හිල් ‘ඩොක් වෙස්ට්’ චිත්‍රපටයේ රඟපෑවත් මෑත භාගයේ නම් ආරංචි වුනේ ඉතාලි ටෙලි නාට්‍ය මාලාවක රඟපාන බවයි. බඩ්ස් පෙන්හර්ට දැන් අවුරුදු 86 ක් වයසයි. ඔහුත් ඉතාලි ජාතිකයෙක්. ඔහු 2010 වසරින් පසු රඟපා නැහැ.

ප්‍රශ්නය - මෙරට හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මැතිතුමන් විසින් ‘දේවතාපය’ නමින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද එඩ්වඩ් බුල්වර් ලීමන්ගේ (The last days of pompei) පොම්පේයි නුවර විනාශය යන ඓතිහාසික නව කතාව චිත්‍රපටයකට නඟ තිබේද?

එන්. ඩබ්ලිව්. පී. පෝල් පෙරේරා, කුලියාපිටිය

අර්ජුන් - මේ නව කතාව ඇසුරින් චිත්‍රපට තුනක් නිර්මාණය වුණා. ඉන් එකක් 1913 නිහඬ සිනමා යුගයේදී. දෙවැන්න 1935 දී. තුන්වැන්න 1959 දී. එය අධ්‍යක්‍ෂණය කළේ සුප්‍රකට සිනමාවේදී සර් ජියෝ ලියෝන්. මේ අතරින් විශිෂ්ට චිත්‍රපටය ලෙස සලකන්නේ 1935 දී තැනූ චිත්‍රපටයයි. මෙම වෘත්තාන්තය ඇසුරෙන් ටෙලි නාට්‍යයක්ද නිර්මාණය වූවා.

ප්‍රශ්නය – ගී ලොව කැලඹූ විට්නි හුස්ටන් පිළිබඳ විස්තරයක් කරන්න?

අතුල රම්්‍යසිරි, පානදුර

අර්ජුන් – ඉතාම හැඟීම්බර ගායිකාවක් මෙන්ම මිලියන 200 කට වඩා ගීත තැටි අලෙවි වීමෙන් හා වැඩිම සම්මාන ලාභී ගායිකාව ලෙස ගිනස් වාර්තාවකට උරුමකම් කියන විට්නි හුස්ටන් 1963 අගෝස්තු 09 වැනිදා ඉපිද 2012 පෙබරවාරි 11 වැනි දා මිය ගියා. චිත්‍රපට නිළියක, ගායිකාවක ලෙස ඇය අතිශය ජනපි‍්‍රය ශිලපිනියක්. එහෙත් බොහෝ කලාකරුවන්ට මෙන්ම ඇයට ඇයගේ වටිනාකම අවබෝධ කර ගන්න නොහැකි වෙන්න ඇති.

ඔබේ සිනමා පැන විසඳුම්

අර්ජුන්ගෙන් පිළිතුරු.

සරසවිය, ලේක්හවුස්, කොළඹ 10