වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




පිය පුතු රස කතා

පිය පුතු රස කතා
 

පුතාට නිළි සහකාරියක් නම් එපා

- සමන්

නැත්නම් ඔළුවට නිදහසක් නෑ

- චත්‍ර

කෙනෙකු කුලුඳුලේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමෙන් පසු කෙටි කලකින් ඔහුගේ පුතු ද කුලුඳුල් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම විරළ සිදුවීමකි. සිංහල සිනමා ඉතිහාසය තුළ මෙවන් වූ අවස්ථාවක් සෙවීම උගහටය. නමුත් වර්තමානයේදී මා පැවසූ කාරණය යථාර්තයකි. එම චිත්‍රපට අධ්‍යක්ෂවරු දෙදෙනා වනුයේ සමන් වීරමන් සහ චත්‍ර වීරමන් යන පිය පුතුය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සමන් නිර්මාණය කොට අහවර වෙද්දී චත්‍ර ද චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. ඔහු තැනූ චිත්‍රපටය වූයේ ආලෝකෝ උදපාදි වේ. සමන් පියවර තබනා මාවතෙහි ඔහුගේ ආශිර්වාදය මත ගමනක් ඇරැඹි චත්‍ර ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම ඔබ වෙත ගෙන ඒමට අපේක්ෂා කරයි. අද ඔබ හමුවන පිය පුතු යුවළ සමන් සහ චත්‍ර වේ.

කවුද මුලින්ම කතා කරන්නේ?

මා ඇසූ පැනයට දෙදෙනාම නිහඬ වුණි.

මං කැමැතියි චත්‍රව මං ක්ෂේත්‍රයට ගෙනාව ආකාරය කියන්න?

චත්‍ර මුකුත් කියන්නට සූදානමක් නැති වග සමන්ට වැටහිණ. එහෙයින් ඔහු හඬ අවදි කළේය.

මං ඉස්සර ටෙලි නාට්‍ය මාලාවක් අධ්‍යක්ෂණය කළා මන්ත්‍රී හටන කියලා. ඒක හුඟක් ජනප්‍රියත් වුණා. එහි ළමා චරිතයක් තිබුණා. මං හිතුවා වෙන කොහෙන්වත් ළමා නළුවකු හොයන්න ඕන නැහැ මං මේකට චත්‍රවම ගන්නවා කියලා. මං එහෙම හිතලා චත්‍රව එක්කගෙන ගියා මන්ත්‍රී හටන වලව්වට.

මට අද වගේ මතකයි ඒ දවස.

චත්‍ර නිහඬ බව මකමින් සමන්ගේ කතාවට එකතු වුණේ එහෙම.

තාත්තා එදා මාව රැගෙන ගිහින් තියෙන්නේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගෙන. මාව ළමා නළුවකු විදිහට නාට්‍යයට දැම්මා පමණක් නොවේ ඔහුට වුවමනාව තිබුණේ. මට එය වැටහුණේ පස්සේ. මානෙල් වානගුරු මහත්මියගේ පුතා හැටියටයි' මට හා හා පුරා කියලා රඟපාන්න තිබුණේ.

පුතා කිව්වා හරි. මට දැඩි වුවමනාවක් තිබුණා නිර්මාණයක පරිසරයට චත්‍රව හුරු කරන්න. ඒ වගේම කවදා හරි පුතා කලා ලොවේ ජය කෙහෙළි නංවාවි කියන බලාපොරොත්තුවකුත් තිබුණා. ඔක්කොටම කලින් ඔහු කලාවට ආසද කියලා බලන්න එපායැ. ඒ හින්දයි වැඩි වශයෙන්ම චත්‍රව මං ලොකේෂන් එකට රැගෙන ගිියේ.

මට ඒ ලොකේෂන් එක හිතට අල්ලලා ගියා. තාත්තා එතන ලොක්කා හින්දා පොඩි අභිමානයකින් හිටියේ. කොහොම හරි මං එදා හොඳට රඟපෑවා. ඊට පස්සේ තාත්තා මාව එයගේ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ කර ගත්තා ළමා නළුවකු හැටියට.

චත්‍රට නොයෙක් චිත්‍රපට ගෙනත් දෙනවලු නේද ඉස්සර?

තාත්තා මට හොඳ චිත්‍රපට රැසක්ම ගෙනත් දුන්නා. ඒ අතරින් මගේ සිත වඩාත් ඇදිලා ගියේ ජුරාසික් පාක් චිත්‍රපටයට. එම චිත්‍රපටය සමඟින් මා සිනමාවට ලොබ බඳින්නට පෙළඹුණා.

මට තේරුණා පුතා ත්‍රිමාණ සජීවිකරණය චිත්‍රපටවලට වඩාත් ප්‍රිය කරනවා කියලා. ඉතින් මං ඒවම මෙයාට ගෙනත් දුන්නා.

ඔය කාලයේ තාත්තා මාව විජය ග්‍රැෆික් ආයතනයේ කෝස් එකකට දැම්මා. පරිගණක සජීවිකරණය පිළිබඳ ඉගෙන ගන්න. ඒ මායා සොෆ්ට්වෙයාර් එක හඳුන්වා දුන් අලුත. ඒ කෝඩ් එකට ඇවිත් හිටියේ අවුරුදු විසි පහ පැනපු කට්ටිය. මං එතකොට පාසල් ශිෂ්‍යයෙක්.

දැන් වගේ නෙවෙයි මෙයා ඒ කාලේ පුංචියි. එම ආයතනයේ හිටපු රිසෙප්ෂන් ගර්ල් හිතාගෙන හිටියේ මම තමයි කෝස් එක කරන්න ආවෙ කියලා. ළමයකුත් අරගෙන ක්ලාස් එකට යන්න දෙන්න බෑ කියලා කිව්වා. පුතා තමයි ශිෂ්‍යයා කිව්ව වෙලාවේ ඇය අහනවා මේ පොඩි බට්ටට පුළුවන් ද ග්‍රැෆික් කරන්න කියලා.

ඒ කතාවට චත්‍රට හිනා පහළ වුණා.

මට ලැජ්ජත් හිතුණා. ඉතින් මං බිම බලාගෙන හිටියා. එදා මං ක්ලාස් එකට ගියාම කට්ටිය බැලුවේ පුදුමයෙන්. ඒත් ඒ කෝස් එකේ හොඳම කෙනා වුණේ මං.

අර රිසෙප්ෂන් ගර්ල් මට කිව්වා බට්ටා තමයි වැඩකාරයා කියලා. මං දන්නවා පුතාගේ හැටි. එදා මං චත්‍ර ගැන බෙහෙවින් සන්තෝෂ වුණා.

තාත්තා සැරයිද? මං ඇහැව්වේ චත්‍රගෙන්.

අම්මා තරම් නම් ගහන්නේ නැහැ නේද?

චත්‍ර සමන් දෙස බැලුවේ හරිම ආදරයෙන්.

අම්මාගෙන් තමයි මං වැඩිපුරම ගුටි කෑවේ. තාත්තා නම් මට උපදෙස් දෙනවා විතරයි මොනවා හරි දෙයක් ගැන. හොඳින් මට කියනවා.

මං චත්‍රට හැමදාම කියන දෙයක් තමයි 'අද කියන දවස ආයෙ එන්නෙ නැහැ. ඒක නිසා අද කළ යුතු දේ අදම කරන්න කියන එක' ඔහු හිස මුදුනින්ම එය පිළිගන්නවා.

තාත්තා ලොකු කැමැත්තකින් හිටියා මං චිත්‍රපට අධ්‍යක්ෂවරයකු කරන්න. අධ්‍යාපන කටයුතුවලින් අනතුරුව මට මැලේෂියාවේ ජොබ් එකක් ලැබුණා. ආ . . . ඊට කලින් කියන්න ඕනෑ තාත්තා මාව මැලේෂියා මල්ටි මීඩියා විශ්ව විද්‍යාලයට ඇතුළත් කළා. එහිදී මං පරිගණක සජීවිකරණය ගැන වැඩි දුර හැදෑරුවා. ඉන් අනතුරුවයි මට ඒ රටේම ජොබ් එකක් ලැබෙන්නේ. ඒත් තාත්තා කැමැති වුණේ නැහැ මගේ දැනුම මැලේෂියාවට කොටු වෙනවට.

චත්‍රව මං ලංකාවට ගෙන්වා ගත්තා. ඔහුගේ දැනුම ඕනෑ අපේ රටට, අපේ සිනමාවට. මැලේෂියාවේ ඊඳලා මක් කරන්නද, ලංකාවට තමයි සේවය කරන්න ඕනෑ මිය යන තෙක්.

චත්‍ර මෙහෙම හිටියට පුංචි කාලේ දඟ වැඩ කරලා තියෙනවා කියලා තාත්තා කිව්වා?

දඟකාරකම් තමයි. ඒත් වැඩිය නෑ. අපි වැලිගම ඉන්න කාලේ මං කෙනෙක් එක්ක පාපැදියක ගිහින් දඟලලා බයිසිකලයේ රෝද අස්සට කකුලක් යවාගෙන බයිසිකලය පෙරළුණා. අර මනුස්සයත් එක්කම මගේ කකුල හොඳටම තුවාලයි. ඕක තමයි මං කරපු ලොකුම දඟ වැඩේ.

චත්‍රගේ අනාගත සහකාරිය ගැන මොන වගේ අදහසකින් ද සමන් ඉන්නේ?

නිළියො නම් එපා. මම එච්චරයි මෙයාට කියන්නේ. ක්ෂේත්‍රයේ කෙනෙකු තෝර ගත්තොත් ඒක මෙයාටත් හරි වධයක් වේවි. දෙන්නට දෙන්නා නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කර ගන්න තියෙන්න ඕනෑ. මම මේ කිව්වේ චත්‍රගේ හොඳට.

තාත්තා කියන කතාව ඇත්ත.

නිර්මාණයක් කරද්දී ඔළුව නිදහසේ තියෙන්න ඕනෑ. නමුත් එකම ක්ෂේත්‍රයේ දෙන්නම හිටියම කාටවත් ඔළුව නිදහසේ වැඩක් කරගන්නට බැහැ.

සමන් වගේ පියකුගේ පුතකු වීම ගැන චත්‍රට මොනවද කියන්න තියෙන්නේ?

මං එයට උදාහරණයකුත් එක්ක පිළිතුරක් දෙන්නම්. මං තාත්තා ඉන්න ලොකේෂන්වල ඉඳලා තියෙනවා. තේ අල්ලන කෙනාගේ ඉඳලා ඉහළම ඉන්න කෙනා දක්වා කියන්නේ තාත්තාගේ ප්‍රඩක්ෂන්වල වැඩ කරන්න ආසයි කියලා. මොකද හැමෝටම ඔහු හරිම ආදරයෙන් සලකනවා. හරිම කරුණාබරයි. මට පුදුමාකාර සතුටක් තියන්නේ තාත්තා ගැන හොඳ කියද්දී. තාත්තා හරිම මානුෂික ගති ගුණ තියෙන කෙනෙක්. හරිම ආඩම්බරයි ඔහුගේ පුතා මං කියලා කියන්නටත්.

සමන්... ඔබේ වාරේ?

චත්‍ර කවදා හරි මටත් වඩා ඉදිරියට යන්න ඕනෑ. මං ඔහුගේ වයසේදී ක්ෂේත්‍රයට එන්න කවුරුවත් මට උදව් කළේ නැහැ. නමුත් මං කට්ට කාගෙන ඉදිරියට ආවා. චත්‍රට මං හැම පහසුකමක්ම දුන්නා මාව අබිබවා යන්න. පුතාගේ චිත්‍රපටය පෙන්වන දවස තමයි මං වඩාත් ඔහු ගැන සතුටින් ඉන්න දවස. ඒ දවස ළඟදීම උදාවේවි.