වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් රෝයි ද සිල්වාට අවුරුදු 51 යි

දැන් රෝයි ද සිල්වාට අවුරුදු 51 යි

දිනේෂ් ප්‍රියසාද් විසිනි

මොරටුවේ සිට කොළඹට පැමිණ චිත්‍රපටයක් නැරඹීම සඳහා මා හට රුපියල් පහක් හෝ අටක් වැනි මූල්‍යමය පහසුකම් සලසා දෙන්නේ - විදුහල්පතිවරයෙකු සහ බාලදක්ෂ කොමසාරිස්වරයකු වන මාගේ පියාණන් ජෝර්ජ් ඇල්ෆ්‍රඩ් පීරිස් බව අද ද සෙනෙහසින් මා සිහිපත් කරමි.

එදත් - අදත් මා පිච්චර් පිස්සෙකි.

භාෂා භේදයකින් තොරව චිත්‍රපට නැරැඹීම මාගේ ප්‍රතිපත්තිය විය. අතපසු වූ චිත්‍රපට සොයාගෙන ගොස් නැරැඹුව ද, මාගේ චිත්‍රපට උමතුව සුව නොවීය.

ඒ 1973 වසරයි.

මොරටුවේ රාවතාවත්තේ මහ පල්ලියේ ශාලාවක ආධාර දර්ශනයක් සඳහා ‘සුමුදු භාර්යා’ චිත්‍රපටය තිරගත වෙයි. අතපසු වූ දෑ සපුරා ගැනීමේ අටියෙන් මම ද එතැන විය.

ආර්ය ශ්‍රී ඨකුරාර්ථ දේවාදිත්‍ය ගර්දියවසම් ලිඳමුලගේ රෝයි ඇලෝශියස් ෆීලික්ස් ද සිල්වා හෙවත් රෝයි ද සිල්වා නැමැති ජනප්‍රිය සිනමාවේ ජනප්‍රිය නළු තරුව, අලුත්ම අලුත් ෆෝක්ස්වාගන් මෝටර් රථයකින් එතැනට වැඩම කළේ තවත් ජනප්‍රිය තාරකාවක් වන සුමනා අමරසිංහ ද කැටුව අනපේක්ෂිත මොහොතකය.

ඔවුන් දෙපළ වට කර ගත් රසික පිරිස අතර මම ද ‘හාල්මැස්සෙකු’ සේ තැලෙමින් - තෙරපෙමින් අහුලාගත් ‘ත්‍රීරෝසස්’ සිගරට්ි පැකට් එකක මේ මහා ජනප්‍රිය නළුවාගේ අත්සන ලබා ගතිමි. එහි අනෙක් පස තාරුණ්‍යයේ සැරසරන සුන්දර සුමනා අමරසිංහගේ අත්සන ද ලබා ගැනීමට මම අමතක නොකළෙමි. අත්සන් දෙකම මෑතක් වනතුරු මා ළඟ තිබූ බව ද මතකය.

මේ ජනප්‍රිය නළුවා පණපිටින්, සියැසින් දැක බලා ගැනීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද?

චක්‍රවතී තිරුමගල් - නල්ලවාන් වල්ලවාන් - කාවල් කාරන් - මාට්ටුක්කාර වේලන් - කුමරි කෝට්ටම් - නීරුම් නෙරුප්පුම් - රාමන් තේඩිය සීදෙයි සහ නීතික්කු තලෙයි වනගු වැනි අතිශය ජනප්‍රියත්වයට පත් වූ දකුණු ඉන්දීය සිනමාවේ මහා නළු එම්. ජී. ආර් රඟපෑ චිත්‍රපට 17 අධ්‍යක්ෂණය කළ පී. නීලකන්ටන් (පලනියාන්දි නීලකන්ටන්) නම් දකුණු ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයා 1964 දී දෙවෙනි MGR  කෙනෙකු ශ්‍රී ලංකාව තුළින්ම බිහි කරලීමට සමත් විය.

ඒ අප දේශීය සිනමා ක්ෂේත්‍රය තුළ ප්‍රේක්ෂක ගෞරවාදරය දිනා ගනිමින්, ජනපි‍්‍රයත්වයේ ප්‍රතිමූර්තිය බවට පත් වූ, රෝයි ද සිල්වා නම් රංගධරයායි.

ඔහු දෙවෙනි MGR  වශයෙන් මා සඳහන් කරන්නේ, පළමු MGR  හෙවත් දකුණු ඉන්දීය මදුරාසි තිරයේ ආන්දෝලනාත්මක ජනප්‍රියත්වයකට හිමිකම් පෑ ආචාර්ය එම්. ජී. රාමචන්ද්‍රන් ද ශ්‍රී ලාංකිකයෙකු වන බැවිනි.

MGR  ඇඹූ නීලකන්ටන් දෑතින් රෝයි ද සිල්වා ඇඹීමට පෙළඹීම, රෝයි ලැබූ දේව වරමක් යැයි මට සිතෙයි’. එහෙත් රෝයිට MGR වත්, MGR ට රෝයිවත් කිසි කලෙක සන්සන්දනය කළ නොහැකි වන්නේ, රෝයි ද සිල්වා සතු වූ දේශීය ඌරුව සහ ආංගික මෙන්ම භාව ප්‍රකාශනය ඔහු අත් නොහලමින් ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගේ ඕනෑ එපාකම් ද නළුවකු වශයෙන් සපුරාලමින්, රෝයි සතු ශූර විඤ්ඤාණය දක්ෂ ලෙස භාවිතා කළ බැවිනිි. එබැවින්, රෝයි සතු දුර දක්නා නුවණක්කාරකම් වර්තමානය අබිබවා, අනාගත සිනමාව ද ස්පර්ශ කොට ඇති බව අතිශයෝක්තියකින් තොරව ප්‍රකාශ කළ යුතුව ඇත.

MGR  නම් රංගන වීරයා තම රංගන පරාසය තුළ භාව ප්‍රකාශනයට වැඩි ඉඩක් ලබා නොදෙමින් - මධ්‍යම රූපවල සහ මධ්‍යම දුර රූපවල පමණක් තම රංගන පෞරුෂය තීව්ර කළ අතර - රෝයි ද සිල්වා නම් රංගවේදියා අතිශය සමීප රූපවලත් - මධ්‍යම සමීප රූපවලත් භාව ප්‍රකාශනයට මෙන්ම - විරුද්ධ චරිතය වෙත ප්‍රතික්‍රියා දැක්වීමට මැනවින් ඉඩ ලබාගෙන ඇති බැව් පෙනී යන්නේ, ඔහු තුළ පවතින්නා වූ නිසඟ හැකියාව සිනමාපටයෙන් - සිනමාපටයට ඔපමට්ටම් වන බැව් ප්‍රක්ෂේපණය වීමෙනි.

එසේ ප්‍රක්ෂේපණය වීමේදී - විද්වත් විචාරක කැළ ඇස් වහගෙන සිටියේ රෝයි ද සිල්වා පිළිබඳ ධනාත්මක මෙන්ම, ගුණාත්මක යමක් සටහන් කිරීමට සිදුවන බැවින්, එය මඟ හැරීමට යැයි මට හැඟේ.

අදට, රෝයි ද සිල්වා නම් රගවේදියාණන්ට හරියටම අවුරුදු 51 ති. ඒ ඔහු මෙලොව එළිය දුටු දා පටන් නොව, ඔහු සිනමා ලොව එළිය දුටුදා පටන්ය. එය - එසේ සිදු වන්නේ පී නීලකන්ටන් අධ්‍යක්ෂණය කළ, ජබීර් ඒ. කාදර් නිෂ්පාදනය කළ ‘සුජාගේ රහස’ චිත්‍රපටය - 1964 අද වැනි දිනක (දෙසැම්බර් 24 දා) ලොව සාමයේ බිලිඳානන්ගේ ශුද්ධ වූ උපත සමඟ තිරගත වීමෙන්, රෝයි ද සිල්වා නම් ‘බිලිඳා’ සිනමා ලොව එළිය දකිමින්ය.

පළමු චිත්‍රපටයන්ම ‘බිලිඳු’ බව අබිබවා යමින් සිනමාව තුළ ජයකෙහෙලි නැංවීමට සුජාගේ රහසින් ජනතා වරම් ලත් රෝයි ද සිල්වා නම් නළුවා, කිසිදු දුශ්චරිතයකින් තොර වූද, මනස්කාන්ත සළු පිළියෙන් සැරසුනා වූ, දුටුවන් වශී කරන සුලු, රූප සම්පත්තියෙන් අග තැන්පත් වූද, සිහිනයෙන් හෝ පාපායක් නොකරන්නා වූ, බෝධි සත්ත්ව ගුණයෙන් යුක්ත වූ ද, ප්‍රේමන්තයා නමින් ද, වීරයා නමින් ද, කොල්ලා නමින් ද හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකා සිනමාවේ කථානායක ධුරය නොකඩවා අවුරුදු විසි පහකට ආසන්න කාලයක් එක දිගට හෙබවීම නම් සුළු පටු කාර්යයක් නොවන බව රෝයි ද සිල්වා නැමැති රංග ශූරයා විසින්ම පෙන්වා දී, ඔප්පු කර ඇත්තේ ලාංකේය චිත්‍රපට 100 කට ආසන්න සංඛ්‍යාවකට තම රංගන දායකත්වය, කැපවීමෙන් ලබාදීමෙනි. එවන් වාසනාවකට හිමිකම පවරාගත් නළුවන් අප රටේ සිටින්නේත්, සිටියේත් අතළොස්සකි.

දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් - දකුණු ඉන්දීය සිනමා කථා පුවත් - සිංහල රිදී තිරයට අනුවර්තනය කිරිම අරබයා ‘මේ නළුවාට’ භාග්‍යවන්තව බලපෑ සුදුසුකම් තුනක උපරිමය නම්, ඉන්දීය හැඩතල සහිත මනස්කාන්ත මුව මඬලක් සහ ඊට ගැළපෙන රූ සපුවත් උපතින්ම උරුම වීමය. තවද දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන් එවකට සිංහල චිත්‍රපට තැනීම - රෝයි ලද තවත් අමතර වාසනාවකි. තුන්වෙනි භාග්‍ය වන්නේ රෝයි සතු දෙමළ භාෂාව හැසිරවීමේ චතුර, උපක්‍රමශීලී ඥණයයි.

මා මුලින් කීවාක් මෙන් දකුණු ඉන්දීය එම්. ජී. ආර්, සිවාජි ගනේෂන් හෝ ජෙයශංකර්් රඟපෑ විවිධ චරිත ඒ අයුරින්ම එවැනිම ඇඳුම් කට්ටල ද පොරවාගෙන රෝයි ද සිල්වාට රඟ දැක්වීමට සිදු වූයේ අප අධ්‍යක්ෂවරුන්ගේ අභිමතාර්ථය සපුරාලීමටය.

සමහර විට එම අනුවර්තන චරිත, රෝයි ද සිල්වා මහතා අකමැත්තෙන් රඟපාන්නට ඇතැයි වරෙක මට සිතෙයි. ඒ කෙසේ වෙතත්, අකමැත්තෙන් හෝ වෘත්තීය මට්ටමින් ඔහු එය අකුරටම ඉටු කොට ඇත.

එබැවින්, රෝයි ගේ රංගනය ඉන්දියානු රංගනයට වඩා ප්‍රබල විය. සංවේදී විය. එනුදු ඉන්දියානු කථාන්තරවල ඇති සරුවපිත්තල හැඩතල, අභව්‍ය රූපරාමු අබිබවා එම ගොරහැඩි කථා පුවත්වලම ඇති මිනිසත් බවත්, සංවේදී ජනක රසයත් රෝයි ද සිල්වා නම් රංගවේදියා විසින් මතු කරලීම ශ්‍රී ලංකේය ජනප්‍රිය සිනමාවේ හිනිපෙත්තටම ඔහු ඔසවා තැබීමට තරම් ප්‍රබල පීඩනයක් වූවා යැයි කීම, වඩා නිවැරැදි යැයි මට සිතේ. ශ්‍රී ලංකා රිදී තිරයේ බබලන මෙම තාරකාව, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - ආචාර්ය ගාමිණී ෆොන්සේකා හෝ ටයිටස් තොටවත්ත සූරීන් වැනි අදියුරුවරයකුගේ විධානයට යටත් නොවීම - රෝයි ද සිල්වා ලද අභාග්‍යයක් වන අතර, එබවින් ඔහුට හිමි ‘හොඳම නළුවා’ සම්මානය වෙනකෙකු අත පත් වූවා වැනිය. එයද අප සිනමාවෙ තවත් ඛේදයකි.

රංගනය - අධ්‍යක්ෂණය - තිර රචනය - නිෂ්පාදනය වැනි සිනමා ක්ෂේත්‍රයේ විවිධ පැතිකඩ නියෝජනය කළ ඔහු චිත්‍රපට පසුබිම් ගීත ගායනය කිරීමට ද අමතක නොකළේය. ‘ටොම් පචයා’ චිත්‍රපටයේ ‘අහසට බයේද - පොළවට බයේ ද’ සහ ‘මිනිසුන් අතර මිනිහෙක්’ චිත්‍රපටයේ ‘ලෝකෙම ඇත්තේ අපට තමා - විනීද නොවුණොත් - නොමැත සමා’ යන ගීත ෆ්‍රෙඩී සිල්වා සමඟ ගායනා කරන්නේ තමා විසින් - තමන් වෙනුවෙන්මය.

60 80 දශකවල මේ කාර්යබහුල නළුවාණන් සිනමාවේ චලක කැමරාව මෙන් සිනමාවට අත්‍යවශ්‍යය භාණ්ඩයක් බවට පත් වූ අතර, ඔහුගෙන් දින ලබා ගැනීමට අපොහොසත් වූ නිෂ්පාදක, අධක්ෂවරුන් තවත් ප්‍රධාන නළුවන් සිනමාවට හඳුන්වා දීමට ස්වයංක්‍රීයව පෙලඹිණ.

රෝයි රඟපෑ අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ, කාන්තාව මුල් කොට ගත් ‘සුජීවා’ චිත්‍රපටය තිරගතවීමත් සමඟම ඊට සතියකට පෙර සිට තිරගත වෙමින් තිිබූ පුරුෂාධිපත්‍යයේ චිත්‍රපටයක් වන ‘එදත් සූරයා අදත් සූරයා’ දෙවෙනි සහ තුන්වෙනි සති අන්තයන්වල ආදායම දෙදරා ගිය බව නොපැකිළිව කිව යුතු වන්නේ එය සාවද්‍ය කරුණක් නොවන නිසාය. එයින් විද්‍යාමාන වන්නේ, කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට ‘එදත් මෙන්ම - අදත්’ නිතතින්ම ජය ගන්නා බවත් - රෝයි රඟපෑ චිත්‍රපට බහුතරයක්ම කාන්තා රාමුවේ (FEMALE FORMAT)  චිත්‍රපට වීම ඔහුගේ ජනප්‍රියත්වයට බලපෑ ප්‍රධානතම සාධකයක් බවත්ය.

රෝයිගේ උපරිම පල නෙළාගත් ජෝ දේව් ආනන්ද් මෙන්ම මරියදාසන්, එම්. එස්. ආනන්දන්, ජෝ සුගන්ධා, කේ. වෙන්කට්, රොබින් තම්පෝ, ලෙනින් මොරායස් මෙන්ම කිංස්ලි රාජපක්ෂ, තිමති වීිරරත්න සහ සිරිල් පී. අබේරත්න වැනි ජනප්‍රිය අධ්‍යක්ෂවරුන් වෙතින් රෝයි ලද අසිරි අනුහස මිල කළ නොහැකිය.

1976 - 79 වසරවල ඔහු රඟපෑ චිත්‍රපටවල දර්ශන රූ ගැන්වීම් ගණනාවක් ලංකා චිත්‍රාගාරයේදී මම ද පසෙකට වී බලා සිටියෙමි. දීර්ඝ දර්ශනවලදී පවා කැමරාවේ අනුපාතයටම දෙබස් පටිගත කරන අතර, එමඟින් ඉස්මතු වන ඔහුගේ දක්ෂතාවය සුළුපටු නොවන වග ලියා තැබිය යුතුය.

පතරංග ජාතකය වැනි දෙබස් කට පාඩම් කොට මතකයෙන් එක හුස්මට මුදාහරිමින්, භාව ප්‍රකාශනයන් විකාශ කිිරීම ද ඔහු අති දක්ෂයකු වූයේ අප සිනමාවේ තාක්ෂණික අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. එම්. ජී. ආර් ට හෝ සිවාජි ට එවන් දර්ශනවලදී කැමරා 03 ක් කෝණ තුනකින් ක්‍රියාත්මක වන අතර - රංගන සීමාව ද, සීමා නොවන තරමට විවෘත කොට ඇත.

මොහොතකට . . . සමාවන්න . . .

එවන් වූ, ඕනැම දීර්ඝ දෙබස් පිටු ගණන් සමඟ රංගනයේ යෙදිය හැකි තවත් නළුවකු අප සිනමාවේ සිටින බැව් අමතක නොකර - ආඩම්බරයෙන් සඳහන් කළ යුතුය. ඒ රෝයිගේ කුලුපඟ මිතුරකු වන ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය රංගධරයාය. ඔහු ද දීර්ඝ දෙබස් සහිත රංගනයට අති ශූරයෙකි. රන්දෙණිය මහතා රංගන කාර්යයට පෙර, පෙර පුහුණුවීම් පිළිබඳ තදින් විශ්වාස කරමින් අභ්‍යාසයේ යෙදෙන අතර, එම ව්‍යයාමය නව නළු පරපුරට හොඳම ආදර්ශමත් පාඩමක් වන්නේය.

එයින් මා අදහස් කරන්නේ - දීර්ඝ දෙබස් මතකයේ රඳවා ගැනීමට අපහසු නළු - නිළියන් රංගනයට සුදුසු නෑ කියා නොවේය. එසේ නම්, ප්‍රතිභාපූර්ණ විශිෂ්ට ගණයේ නළුවකු වීමට මාලන් බ්‍රැන්ඩෝට කිසි දින නොහැකි වනු ඇත. බ්‍රැන්ඩෝ වෙනුවෙන් දෙබස් ලියූ ‘බෝඩ්-ලෑලි‘ දර්ශන තලයේ - බ්‍රැන්ඩෝ හැරෙන, හැරෙන පැත්තට එල්ලා තැබීමට සහාය අධ්‍යක්ෂවරුන් උත්සුක වන්නේ රංගනය වෙනුවෙන් බ්‍රැන්ඩෝගේ පහසුව සඳහා වුව ද විදුලි ආලෝක ශිල්පීන්ගේ රැවුම් ගෙරවුම් ද මධ්‍යයේය.

නැවතත් අප කථානායක රෝයි දෙසට හැරෙමින් . . .

රූ ගන්වන දර්ශන කොටස අවසානයේ අධ්‍යක්ෂවරයාගේ SUOT OK  නැතිනම් CUT  විධානය ද සමඟම රෝයි චරිතයෙන් මිදී එක්වරම හාස්‍යෝත්පාදක වචන මාලාවක් දිගහරින්නේ බලා සිටින සහ කාර්යබහුල සියලු ශිල්පීන් සිනහ සයුරේ ගිල්වමිනි. කැමරා අධ්‍යක්ෂවරයා ද, කැමරාව නවතා දමන්නේ, රෝයිගේ ඉලකැඩෙන දෙබස්වලින් පසුවය. ශබ්ද පරිපාලක නිමල් වීරක්කොඩි මහතා ද ඒ සියලු දේ පටිගත කර ගැනීමෙන් පෙනී යන්නේ, සිනමා ක්ෂේත්‍රයේ සියලු ශිල්පින්ගේ ඒකාග්‍රතාවයත්, සිනමාව මොන තරම් අහිංසක, යහපත් විනෝදාත්මක තෝතැන්නක් ද යන්නය.

ප්‍රශස්ත තලයේ වේවා, හාස්‍ය තලයේ වේවා රෝයි විවිධ තේමාවන් යටතේ චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂවරයෙකු බව පෙන්වා දී හමාරය. ජනප්‍රිය නළුවකු වශයෙන් ඔහු ලැබූ ජනතා ප්‍රසාදයට වඩා, චිත්‍රපට නිර්මාණකරුවෙකු වශයෙන් ඔහු ද ලබන කීර්තියත්, ප්‍රේක්ෂක ප්‍රතිචාරයත් විශේෂයෙන් ඔහු ලබන තෘප්තියත් අති විශාලය.

ඔහු පවුල් සංස්ථාවේ චිත්‍රපට සඳහා වැදගතෙකි. එඩී - රුක්මණී - ගාමිණී - ජෝ - විජය - රවි - ජෝති - සුමනා - බන්දු - ටෙනී මෙන්ම නව පරපුරේ නළු නිළියන් ද සංගීතා වැනි රූපණවේදීනියන් - වේදින් නිර්මාණය කරමින්, ලාංකේය සිනමා අඹරට හඳුන්වා දුන් තරු ගොන්නක් ද ඇතුළුව විසල් රංගධරයින් බහුතරයක් - තම සිනමා කැමරාව ඉදිරියේ තමන්ගේ අණසකට යටත් කරගත් රෝයි ද සිල්වා තරම් තවත් අධ්‍යක්ෂවරයකු ලංකා භූමියෙන් සොයා ගැනීමට නොහැකි වන අතර, ඔහු රංගන දායකත්වය ලබා දුන් පෙළක් චිත්‍රපට සඳහා ද එහි නිල නොවන අධ්‍යක්ෂවරයා බවට පත්වීමට සිදුවීම, මා විසින් ප්‍රකාශ කිරීම යම් සදාචාරාත්මක නොවනු ඇත.

පෙර සැලසුමෙන්, අඩු දින ගණනකින් භාෂා ත්‍රිත්වයෙන්ම චිත්‍රපට නිම කිරීමේ දක්ෂතාවය ඔහු සතුව ඇති බව චිත්‍රපට ක්ෂේත්‍රයට නොරහසකි. ඔහුගේ චිත්‍රපට වාත්තුව මම ද අධ්‍යයනය කළෙමි. එහෙත් මාහට කැටයම් කර ගැනීමට නොහැකි වූ හැඩතල බොහෝය.

වැරැදි අවම කර ගනිමින් - අඩු දළ සෙයා පට ප්‍රමාණයකින් රූප ගත කළ හැකි අධ්‍යක්ෂවරයකු සිටිනවා නම්, ඒ ලංකාවේ රෝයි ද සිල්වා පමණි. හොලිවුඩ් පුරවරයේ ‘ජෝන් වේන්’ රඟපෑ චිත්‍රපට ගණනාවක් මෙහෙය වූ ජෝන් ෆෝඩ් ද ‘ද ට්‍රේන්’ අධ්‍යක්ෂණ කළ ජෝන් ෆ්‍රැන්කර්නයිමර් ද එවන් වූ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි.

ටොම් පචයා - තණ ගිරවි - සුදු පිරුවට - හිත හොඳ පුතෙක් - හිත හොඳ කොල්ලෙක් - කඩවුණු පොරොන්දුව - ගෙදර බුදුන් අම්මා - තාත්ති මං ආදරෙයි - ජීවන් මල්ලී - පෙම් කැකුල - චෙරියෝ ඩොක්ටර් - චෙරියෝ කැප්ටන් - චෙරියෝ ඩාලිං - අනේ මාස්ටර් - සුමිතුරෝ - රඹා සහ මධු - ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් - ඉට්ස් අ මැටර් ඔෆ් ලව් - ක්ලීන් අවුට් - සැපට දුකට සනී - සූරයන් අතර වීරයා - සිනහ ගඟුල - රැජින මමයි - විජේ සහ අජේ - සදා ආදර ජෝති - ජොන්සන් ඇන්ඩ් ගොන්සන් - ඔක්කොම කනපිට - එක මවකගේ දරුවෝ - සොඳුරු වසන්තය - සිහින ලොවක් සොය යන චිත්‍රපට කට්ටලයේ පට්ටල්කරු වශයෙන් ද ‘නෙන්ජිකු ඔරු නීති’ යන ලාංකික දමිළ චිත්‍රපටය සහ රූපවාහිනී මාධ්‍යයට ‘ටාසන් ද අපේ මෑන්’ නමින් නිර්මාණය කළ ටෙලි සිතුවම්පටයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද ‘රෝයි’ පිළිබඳ මා පෞද්ගලික ආඩම්බරයෙන් සඳහන් කරන්නේ එතුමා ෆිල්ම් ෆැක්ටරියක් වූ හෙයිනි.

සිනමාස් සමාගම වෙනුවෙන් ‘සැළමුතු පින්න’ ද, සිලෝන් තියටර්ස් සමාගම වෙනුවෙන් ‘ලව් 94’ ද තැප්‍රබෝන් චිත්‍රපට සමාගම වෙනුවෙන් ‘ලව් 2002’ ද, ඊ. ඒ. පී. සමාගම වෙනුවෙන් ‘සර් ලාස්ට් චාන්ස්’ සහ ‘රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1-2 සහ 3’ යන චිත්‍රපට මාලාව ද ඇතුළුව රෝයි ද සිල්වා ගේ නවතම නිර්මාණය වන ඇමරිකාවේදී රූ ගැන් වූ ‘මතක දෑසක් නිසා’ සමඟ මේ දක්වා චිත්‍රපට 40 ක් ද, ටෙලි සිතුවම් පට 03 ක් ද අප කථානායකයා විසින් නිර්්මාණය කොට තිබීම සුළුපටු කාර්යයක් නොවන බැවින්, දේශීය සිනමා කර්මාන්තයත්, ප්‍රේක්ෂක ජනතාවත් ඒ පිළිබඳ මේ ලිපියෙන්ම දැනුවත් කිරීම වැදගත් නොවන්නේද?

අර්බුදකාරී සිනමාවක් යනුවෙන් මැසිවිලි නඟන අධ්‍යක්ෂවරුන්, ආදර්ශයට ගන්නේ නම් රෝයි ද සිල්වා හොඳම ආදර්ශයකි. යථෝක්ත දත්ත මත ඔහු සිනමා ක්ෂේත්‍රයේ අති දක්ෂයෙකු බව නැවත - නැවත කිව යුතු නොවේ. රෝයි ද සිල්වා නම් සිනමාවේදියා සුජාගේ රහසේ සිට, අවුරුදු පනස් එකකට පසුවත්, ක්ෂේත්‍රය තුළ තවමත් පෙරමුණේ ගමන් කරන්නේ ‘සුමනාගේ රහසක්’ නිසාවෙන් යැයි මට නිකමට මෙන් සිතේ.

හැදෑරීමට තරම් සිනමා කලා පාඨමාලාවක් නැති මෙම දූපතේ එවැනි අති දක්ෂ ශිල්පීන් බිහිවීම පිළිබඳව මම තවදුරටත් පුදුම නොවෙමි. ඒ මන්ද යත් කලා තලෙන්තය ප්‍රදානය කරමින් පී. නීලකන්ටන් වන් දේව දූතයන්ව දෙවියන් වහන්සේ විසින් තෝරාගත් කිහිප දෙනෙකු වෙතට පමණක් එවන බැවිනි.

රෝයි ද සිල්වා සිනමාවේදියාණෙනි, ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තය වෙනුවෙන් ඔබ කළ විශිෂ්ට සේවාව තවදුරටත් දීර්ඝ වීමට ඉඩ හරිමින්, ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් නව නිර්මාණ කිරීමටත්, නරඹන්නන් අමන්දානන්දයට පත් කිිරිමටත්, නිරෝගී සම්පතත් - ඔබට සහ - ඔබ ජනප්‍රිය බිරියට ද ඔබ සිනමා දිවියට ද දීර්ඝායුත් ලැබේවායි දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් පතමි.