වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණ  අපයෝජකයන්ට වැඩ වරදියි

ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණ  අපයෝජකයන්ට වැඩ වරදියි

ගයාත්‍රි කේමදාස

‘තාත්තාගේ බුද්ධිමය දේපළ කොල්ලකරුවන්ට දඬුවම් කරනවා’

අභාවප්‍රාප්ත සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන්ගේ බුද්ධිමය දේපළ හා කර්තෘභාග කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකාවාසී සියලු දෙනාගේ දැන ගැනීම පිණිස Authors Composers and performers of Lanka (ACPO)  ආයතනය මඟින් පසුගිය දා නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව මින් ඉදිරියට කේමදාසයන්ගේ නිර්මාණ අපයෝජකයින්ට වැඩ වරදිනු ඇත. මන්ද 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත ප්‍රකාරව මින් ඉදිරියේදී කේමදාසයන්ගේ මොනයම් හෝ සංගීත නිර්මාණයක්, එයින් කොටසක්, ගායනාවක් හෝ එම කීර්තිමත් නාමය අනවසරයෙන් භාවිතයට ගෙන අපයෝජනයට ලක් කරනු ලබන අපයෝජකයින්ට එරෙහිව දැඩි අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට ACPO ආයතනයට බලය පැවරී තිබීම හේතුවෙනි. මේ පිළිබඳ වැඩි විස්තර විමසා බැලීමට අප පසුගිය දා පැවැති දෙරණ සිනමා සම්මාන උලෙළේ දී හොඳම චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ (ශ්‍රී ලාංකේය සංගීතඥවරියක් මෙවැනි සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මෙයයි) කේමදාසයන්ගේ දියණිය ගයාත්‍රි කේමදාස සමඟ කතාබහකට එක්වීමු. මේ අකුරු කරන්නේ එම කතාබහයි.

අපේ තාත්තාගේ සංගීත නිර්මාණ කොල්ලකෑම දිගින් දිගටම සිදු වෙනවා. අපේ තාත්තාගේ වියෝව නිසා තාත්තාට උරුම සෑම බුද්ධිමය දේපළකම හිමිකම තියෙන්නේ තාත්තාගේ ඥාතිත්වය ඇති ඔහුගේ බිරිය වන අපේ අම්මාටයි. (ලතා කේමදාස) ඉතින් අම්මාගේ අවසරයක් නැතුව තාත්තාගේ සංගීත නිර්මාණයක් හෝ ඒවයින් කොටසක් හෝ තාත්තාගේ නම හෝ භාවිතයට යොදා ගන්නවා නම් එය නීතියෙන් දඬුවම් කළ හැකි බරපතළ වරදක්. බුද්ධිමය දේපළ නීතියට අනුව එවැනි වැරදිකරුවන් අපයෝජකයින් ලෙස හඳුන්වන්න පුළුවන්. කෙසේ හෝ තාත්තාගේ නිර්මාණ, බුද්ධිමය දේපළ හිතුමතේ භාවිත කරමින් අපයෝජනය කරන හැමෝටම මින් ඉදිරියේදී ACPO ආයතනය මඟින් වැට බඳීවි. නීති විරෝධී ලෙස මින්පසු ප්‍රේමසිරි කේමදාසයන් ගේ බුද්ධිමය දේපළ අපයෝජනය කරන අපයෝජකයින්ට ACPO ආයතනය අධිකරණ ක්‍රියා මාර්ග ගෙන දඩුවම් දේවි.

ACPO ආයතනය මේ කාරණයේදී මැදිහත් වෙන්නේ කොහොමද?

‘තාත්තාගේ (ප්‍රේමසිරි කේමදාසයන්ගේ) බුද්ධිමය දේපළ අයිතිය වත්මන් හිමිකාරිය ලෙස අම්මා (ලතා කේමදාස) ACPO ආයතනයේ පූර්ණ සාමාජිකත්වය උසුලනවා. එම නිසා තාත්තා නිර්මාණය කළ සියලුම සංගීත සහ ගීත නිර්මාණ, සජීවී සන්දර්ශන තුළ ඉදිරිපත් කිරීම, ගුවන් විදුලි සහ රූපවාහිනී ඇතුළු විද්‍යුත් මාධ්‍ය භාවිතය, නැවත නිෂ්පාදන සඳහා බලපත්‍ර නිෂ්කාශනය කිරීම සහ සියලුම නිර්මාණ නව මාධ්‍ය භාවිතය හෝ කීර්තිමත් පුද්ගල නාමය හෝ දැනට පවතින හෝ නොපවතින ඉදිරියේ දී සොයා බැලීමට නියමිත මාධ්‍ය සඳහා වූ භාවිතය වෙනුවෙන් ද බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ අයිතිය ACPO ආයතනයට තියෙනවා. අප විසින් තාත්තාගේ නිර්මාණ හෝ නාමය අපයෝජනය වන අවස්ථා පිළිබඳ ACPO වෙත දැනුම් දුන් විට ඔවුන් නීති ප්‍රකාරව ක්‍රියා මාර්ගයන්ට ප්‍රවිෂ්ට වෙනවා.

ඒ අනුව ACPO ආයතනය මෙරට සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂ මෙහෙවරක් ඉටුකරන සංවිධානයක් නොවේද?

ඇත්ත වශයෙන්ම ACPO ආයතනයේ මෙහෙවරය සුවිශේෂයි. බුද්ධිමය දේපළ අනවසරයෙන් භාවිත කරමින් අපයෝජනයේ යෙදෙන අපයෝජකයින්ට එරෙහිව තදින් ක්‍රියා කිරීමට සියලුම සංගීත නිර්මාණකරුවන් ගේ නිර්මාණ අයිතිය, භුක්තිය සහ ඒ හා ඈදෙන වාණිජමය ප්‍රතිලාභ හා කර්තෘභාග කළමනාකරණය කරනු ලබන නීත්‍යානුකූල එකම ආයතනය වශයෙන් මෙහි මෙහෙවරය වඩා වැදගත් වෙනවා. විදේශ රටවල නම් මේ වගේ සංවිධාන තිබීම සාමාන්‍යයි. මං හිතන්නේ අපේ රටේ කලාකරුවෝ තාමත් තමන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් මදි. මෙය ඉතාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් කියන්නම්. කිසියම් වෙළඳ සැලකට ගිහිල්ලා එහි තිබෙන භාණ්ඩයක් හිතුමතේ අරගෙන එන්න. මොකද වෙන්නේ. අහු වුණොත් සොරකම් කළාට දඬුවම් විඳින්න වෙනවා. ඒ වගේ තමයි නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනවසරයෙන් භාවිත කිරීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. වැරදිකරුවන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමත් නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකමක්.

මින් පසු කේමදාස මාස්ටර්ගේ සංගීත නිර්මාණ සහ ගීත අපයෝජනය නවතියි කියා ඔබ විශ්වාස කරනවාද?

ඔව්, මොකද එවැනි අපයෝජනයක් සිදු වුණොත් ඊට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීමටත්, අපයෝජනයට දඬුවම් ලබා දීමටත් පියවර ගන්නා බව දැන් ඔවුන් දන්නා නිසා මින් ඉදිරියේ දී වැරදි කරන එකක් නැහැ කවුරුවත්. කාට හරි තාත්තාගේ නිර්මාණ භාවිත කරන්න ඕනෑ නම් අපිට දැනුම් දී අවසර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වැරදි කරන්න කාටවත් වුවමනාවක් වෙන්නේ නැහැ.

ඔබ ඔහොම කිව්වත් භාවිත කරන නිර්මාණ සඳහා කර්තෘභාග ගෙවීම් කරන්න සිදුවෙන නිසා නේද නිර්මාණ අපයෝජනය කරන්නේ?

ඔව්, එවැනි අවස්ථාවලදී කෙළින්ම අපයෝජයින්ට විරුද්ධව පියවර ගෙන දඬුවම් ලබා දීම සුදුසුයි කියා මං හිතනවා.

මෙහිදී ඔබේ පියා සමඟ නිර්මාණ සඳහා දායක වූ ගී පද රචකයින්ට කර්තෘභාග ගෙවීමක් සිදු කෙරෙනවාද?

ඔව්, ඔව්, ඒක සාධාරණයිනේ. තාත්තාට තියෙන අයිතිය වගේම අයිතියක් ගී පද රචකයන්ටත් ඒ ඒ නිර්මාණයන්ට අදාළව හිමි වෙනවා. එපමණක්ද නොවේ. නිර්මාණ යොදා ගැනීමේදී ඔවුන්ට දැනුම් දෙන්නත් ඕනේ.

ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංගීත අධ්‍යක්‍ෂවරියක ලෙස ප්‍රථම වරට සම්මානයට පාත්‍ර වූ ගයාත්‍රි ගේ සෞන්දර්ය චාරිකාවේ තොරතුරු බිඳක් විමසන්නට ද අපි මෙය අවස්ථාවක් කරගතිමු. අපේ චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයේ පළමු සංගීත අධ්‍යක්‍ෂවරිය සුජාතා අත්තනායක 1976 දී ‘හරියට හරි’ – විශාරද නන්දා මාලිනී 1981 දී ‘බඹා කෙටූ හැටි’ - සුනේත්‍රා සරච්චන්ද්‍ර 1996 දී ‘අමාන්තය’ සහ මෑතකදී නිරෝෂා විරාජිනී ‘සිනහව අතරින්’ චිත්‍රපටවල සංගීත අධ්‍යක්‍ෂවරියන් වුවත් ප්‍රථම වරට මෙම ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය සම්මානයෙන් පිදුම් ලැබුවේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ දියණියන් වන ගයාත්‍රි සහ අනූපා ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය උදෙසාය.

සතුටු වෙනවා සම්මානයට පාත්‍ර වී අගැයුමට ලක්වීම පිළිබඳ. ඒ ගැන අනිවාර්යයෙන්ම ස්තුතිවන්ත වෙනවා නිලේන්ද්‍ර දේශපි‍්‍රය මහත්මයාට. අපට ‘තණ්හා රතී රඟා’ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න දුන්නාට. විනිශ්චය මණ්ඩලයට වෙනස වැටහුණු එකත් ලොකු දෙයක්.

ඔබ සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේ සංගීත ක්ෂේත්‍රයේ කවුද ඔබට සුබ පැතුවේ?

සංගීත ක්ෂේත්‍රයේ නම් කවුරුත්ම මට සුබ පැතුවේ නැහැ. අඩුම වශයෙන් තාත්තාගේ වටේ උන්නු කිසිවෙකුගෙන්වත් සුබ පැතුමක් ලැබුණේ නැහැ. මං ඔය ප්‍රශ්නේ ගැන අද වෙනතුරු හිතුවෙත් නැහැ. (ඇත්තටම අම්මාගෙයි, මගෙයි හිතවතුන්ගෙන් මිසක් වෙන කවුරුත්ම සුබ පැතුවේ නැහැ නේන්නම්’ යයි මුමුණමින්)

එහෙම නම් ඔබට හුදකලාව යන ගමනක් යන්නයි සිදු වෙලා තියෙන්නේ?

අනිවාර්යයෙන්ම හුදකලාව තමයි මට මේ ගමන යන්න වෙලා තියෙන්නේ. ඒ ගැන මම නිතර අක්කා (අනූපා) එක්ක කතා වෙනවා. තාත්තාත් හුදකලා ගමනක්නේ ගියේ. මං හිතුවා ඒක වෙනස් වෙයි කියලා අක්කටයි මටයි. නැහැ. එහෙම නැහැ. තාත්තාට වගේම අපිටත් එය අභියෝගයක් වෙලා මේ වන විට.

ඒ අභියෝගයට ඔබ මුහුණ දෙන්නේ කොහොමද?

අපි කරන වැඩ කරගෙන යන්න මම ළමයි (ශිල්පින්) අරගෙන ඉන්නවා. එයාල හරිම කැපවීමෙන් හා සහයෝගයෙන් මාත් එක්ක වැඩවල යෙදෙනවා. එය මට ලොකු හයියක් වෙලා තියනෙවා. පැහැදිලිවම කියනවා නම් මට මගේ වැඩ කරගෙන යන්න මගේම කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අභියෝගයට අභියෝගයක් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. අපි 2016 අවුරුද්දේ කේමදාස පදනම මඟින් සංගීත පාඨමාලා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

'කේමදාස පදනම' දැනට ක්‍රියාකාරී වෙන්නේ කෙසේද?

රාජගිරියේ, රාජගිරිය පාරේ, අංක 5/21 අපේ ගෙදරමයි 'කේමදාස පදනම' ක්‍රියාකාරී වෙන්නේ. ඉදිරියේදී තාත්තාගේ සංගීත නිර්මාණ, ගීත, ඡායාරූප, පොත්පත්, ලිපි ආදී සියලුම දේ සංරක්ෂණය කරන්න කටයුතු කරගෙන යනවා. සංගීත පාඨමාලා ආරම්භ කළාම වයස අවුරුදු 18 න් ඉහළ කාටත් සංගීතය, ගායනය, කටහඬ පුහුණුව, චිත්‍රපට සංගීතය, ප්‍රාසාංගික රංගනය ඇතුළු විවිධ අංශයන්ගෙන් කේමදාස පදනමෙන් ඉගැන්වීම් කරනවා.

වත්මන් සංගීත ක්ෂේත්‍රය පිළිබඳව ඔබට හිතෙන්නේ මොනවාද?

අලුත් වෙනසක් නිර්මාණ ඉදිරිපත් කිරීමක් නැතුව අපේ සංගීත ක්ෂේත්‍රය එක තැන පල්වෙන බවක් මට හැඟෙනවා. ('මම දන්නේ නැහැ ඒ මගේ නොදැනුවත්කම ද කියලා' යයි හිනැහෙමින්) අපිට සමාජයත් සමග ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ අලුත් වෙනස් නිර්මාණ කරන්න අපි පෙලඹෙන තරමට කියලයි මා නම් හිතන්නේ. වර්තමානයේදී එවැනි අලුත් නිර්මාණ බිහිවෙනවා නම් හොඳයි.

කෝටි එකහමාරක් (මිලියන 15 ක්) වැය කරලා ඉරාජ් වීරරත්න නිර්මාණය කර ඇති 'සිනාසී ප්‍රියාවී' ගීතය අලුත් වෙනසකට මුල පුරයිද?

කාටද එහෙම මුදල් තියෙන්නේ එක ගීතයක් කරන්න. (මට නම් හිතා ගන්නත් බැහැ යයි මුමුණමින්) ඉරාජ්ගේ ගීතය මම තාම අහලා නැහැ. අහලා බලන්නම්කෝ . . .'

එවැනි මුදලක් ඔබටත් නිර්මාණයක් කරන්න අනුග්‍රාහකයෙක්ගෙන් ලැබුණොත්?

'හ්ම් . . . එකත් මට හිතාගන්න බැහැ (විමතියෙන් මෙන්) එහෙම අවස්ථාවක් කියන්නේ මගේ තාත්තාටවත් ලැබුණේ නැති වාසනාවක්. ඒ නිසා අනිවාර්යෙන්ම අලුත් වෙනස් නිර්මාණයක් කරන්න හොඳ අවස්ථාවක් කර ගන්නවා එය. තාත්තා ඉස්සරහට ආවෙත් අලුත් වෙනස් නිර්මාණ අරගෙනයි.

ඔබේ පියා ඔපෙරා, සිම්පනි ආදී නිර්මාණ කළා. ඔබ ඒ මඟ ගමන් නොකරන්නේ ඇයි?

මම GALLERY PERFORMANCE  එකක් 'කූඩු කළ සියොතුන් ගී ගයන විට' නමින් කරනවා. ඒ කියන්නේ කලාගාරික රංගනයක්. පේ‍්‍රක්ෂකයාත් මෙම කලාගාරික රංගනයට සහභාගි කර ගන්නවා. නියමිත පිටපතක් නැහැ. සමාජයේ කිසියම් යථාර්ථයක්, සිදුවන අසාධාරණයක් විශේෂයෙන් අපේ කලා ක්ෂේත්‍රයේ වෙන අසාධාරණකම් තමයි මෙහිදී කතා වෙන්නේ. තේමාවට තමයි ඉදිරිපත් කරන්නේ. දැනට ඩී. එස්. සේනානායක විදුහලේදීත්, කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවලදීත් මගේ මේ කලාගාරික රංගනය ඉදිරිපත් කළා. බුද්ධිමත් ප්‍රේක්ෂක ප්‍රජාවගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තියෙනවා.

සංගීත අධ්‍යක්ෂවරියක ලෙස ඔබ දායක වූ නිර්මාණ මොනවාද?

තිරගත වූ 'තණ්හා රතී රඟා' සහ 'දුවන මුවන්' වගේම 'කාලි' ටෙලි නාට්‍ය මම සංගීත අධක්ෂවරිය ලෙස දායක වී ඇති නිර්මාණයි. නිලේන්ද්‍ර දේශප්‍රියගේ නව නිෂ්පාදනයෙත් සංගීත අධ්‍යක්ෂවරිය මමයි. කොහොමත් හැකියාව තිබුණාට අපේ චිත්‍රපට කලාවේ සංගීතඥවරියන්ට ලැබෙන අවස්ථාව හරිම අඩුයි.

චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය සඳහා ඔබ ලොකු මුදලක් අය කරනවා ඇති නේද?

කෝ ඉතින්. ඒකවත් දැනගන්න කතා කරන්න එපායැ. වැඩ බාර දෙනවා නම් කරලා පෙන්නන්න පුළුවන්. වැඩිපුරම කාන්තා සංගීතඥවරියන් කෙරෙහි විශ්වාසයයක් නැතිකම කියලයි මං හිතන්නේ. එහෙම පටු විදිහට කල්පනා නොකර TALENT  තියෙන සංගීතඥවරියන්ටත් අවස්ථා ලබා දෙනවා නම් එය අපේ සංගීත ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් වේවි කියලා මං විශ්වාස කරනවා.