වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මෙය සෞඛ්‍යය ගැන වගකියන කලාවක්

මෙය සෞඛ්‍යය ගැන වගකියන කලාවක්

ජයන්තා රණවක

තමා යම් ශිල්පයක නියැළෙන්නේ නම් ඒ පිළිබඳ දැන එහි නිරත වීම වඩා වටින්නේ ය. ඒ ශිල්පයේ ඔබ මෙතෙක් නිරත වන්නේ ඔබ උපතින් ගෙනෙන හැකියාවකින් හෝ ඔබට ම සුවිශේෂී වූ දක්ෂතාවකින් වන්නට පුළුවන. එය වර්ධනය කර ගැනීම මගින් පෙළහර පෑමේ යුතුකම භාර වී ඇත්තේ ඔබට ය. අප මෙවර ‘හැඩවැඩමැද’ මගින් ඔබට හඳුන්වා දෙන්නට අදහස් කරන්නේ ද එවැනි ශිල්පියෙකු පිළිබඳ ය. ඒ ඔහු ප්‍රවීණ අංගරචනා ශිල්පී ජයන්තා රණවකයි. අංගරචනා ශිල්පය පිළිබඳ විදේශ රටවල ගොස් හදාරා, හසළ දැනුමක් සහිතව ඒ පිළිබඳ උපාධි ඩිප්ලෝමාවක් ඇති ඔහු සිය අත්දැකීම් පිළිබඳ හා මේ ක්ෂේත්‍රයේ ඇති අඩුපාඩු පිළිබඳ මෙසේ කතාබහක නියැළෙයි.

අංගරචනා ක්ෂේත්‍රය කියන්නේ මොනවගේ වගකීමක් ඇති ක්ෂේත්‍රයක් ද කියලා පැහැදිලි කළොත් ?

අංගරචනා විෂයය ලෝකයේ ස්ථාපිත වෙලා තියෙන්නේ සෞඛ්‍ය ගැන වගකියන විෂයයක් ලෙසයි. පිටරට සිනමාව සම්බන්ධ දෙයක් රූපගත කරන්න කවුරු හෝ නළුවෙක් අපේ රටට එනවා නම් ඔවුන් මේකප් ආටිස්ලා මේ රටට ගේනවා. ඔවුන් එහෙම කරන්නේ නළුවාගේ සෞඛ්‍ය පිළිබඳ වගකීම දරන ශිල්පීන් අපේ රටේ නැති නිසයි. එවැනි පදනමක් ඒ විෂය ඇතුළේ තියෙනවා. එහෙම පදනමක් තියෙනවා කියලා මේ රටේ අය දන්නවද ? මේ ගැන අඩුම ගණනේ අධ්‍යක්ෂවරු දන්නව ද? එහි නියැළෙන ශිල්පීන් දන්නවද? මාධ්‍ය ආයතන දන්නවද? ඒ ආයතන මෙහෙය වන ශිල්පීන් දන්නවද? එහෙම නැත්නම් චිත්‍රපට සංස්ථාව දන්නවාද ? මේ කිසිම කෙනෙක් දන්නවා කියලා මම නම් හිතන්නේ නැහැ.

නමුත් චිත්‍රපට සංස්ථාවෙන් අංගරචනා ශිල්පීන්ට හැඳුනුම්පතක් ලබා දෙනවා නේද?

මෙහෙමයි චිත්‍රපට සංස්ථාව මගින් මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩකරන අංගරචනා ශිල්පීන් ඇතුළු සැමට හැඳුනුම්පතක් ලබා දෙනවා. ඒ විශේෂයෙන් අංගරචනා ශිල්පීන්ට චිත්‍රපට තුනක සහය අංගරචනා ශිල්පියෙක් විදියට නම දා ගත්තොත් මේ හැඳුනුම්පත ලබා දෙනවා. මම අහන ප්‍රශ්නය මේකයි උදාහරණයක් විදියට අපි හිතමු ඉස්පිරිතාලෙට නර්ස්ලා ගන්නවා කියලා. සෞඛ්‍ය සේවාව පිළිබඳ ස්වේච්ඡා සේවා තුනක සාමාජිකත්වය දැරුවාම ඇතිද එයාට නර්ස් කෙනෙක් වෙන්න සුදුසුකම්. අංගරචනා ශිල්පියා පිළිබඳ ඉදිරිපත් වෙලා තියෙන අදහසත් හරියට මෙන්න මේ වගෙයි. ඒ නිසා මේ වගේ දේවල් අපි ආකල්ප වශයෙන් විතරක් නොවෙයි නීතිමය වශයෙන් වුණත් වෙනස් කර ගන්නවා නම් මම කැමැතියි. මේවා සමාජශෝධනය සඳහා විය යුතු දේවල් විදියටයි මා සලකන්නේ.

අද බොහෝදෙනා පවසන්නේ අංගරචනා ශිල්පය රූපලාවණ්‍ය ශිල්පයක් බවට පත් වී ඇති බවයි ?

ඔබ ඔය පවසන්නේ අපේ ක්ෂේත්‍රයේ තියෙන තවත් වැරැදි ආකල්පයක්. චිත්‍රපට අධ්‍යක්ෂවරු හිතනවා රූපලාවණ්‍ය ශිල්පියොත් අංගරචනා ශිල්පීන් කියලා. ඒ අයව තුට්ටු දෙකට ගන්නවා. ඒ වගේම ඒ අයත් තුට්ටු දෙකට එනවා. හේතුව තමයි ඒ අයගේ සැලූන් එකේ නම දාගන්න හා ජනප්‍රිය වෙන්න. මේ නිසා අපේ අංගරචනා ශිල්පියාගේ වටිනාකම ගැන චිත්‍රපට හා රූපවාහිනි නාට්‍යවල අධ්‍යක්ෂවරු දන්නේ නැහැ.

මේ දෙක අතර තිබෙන වෙනස මොකක්ද?

රූපලාවණ්‍ය ශිල්පියා කියන්නේ රුව නඩත්තු කරන ශිල්පීන්. අංගරචනා ශිල්පියා කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයට ගැළපෙන චරිත නිරූපණය කරන ශිල්පීන්. මේ දෙකේ තේරුමවත් නිර්මාණකරුවෝ දන්නේ නැහැ. ඒක වැරැදි ආකල්පයක්. ඒ අය හිතනවා රූපලාවණ්‍ය ශිල්පියා මේ වගේ කෙනෙක් ගත්තට පස්සේ වඩා අඩුවෙන් අංගරචනා කාර්යය කර ගන්න පුළුවන් කියලා. ඒ නියමිත අදාළ දේ මේ අයගෙන් වෙනවා ද කියලවත් නිර්මාණකරුවෝ දන්නේ නැහැ. ඒ වගේ විශාල අර්බුදයක් අපේ රටේ තියෙනවා.

අංගරචනයට ජාත්‍යන්තර මට්ටමින් පිළි ගැනෙන වෘත්තිය මට්ටමක් අපේ රටේ නිර්මාණය වෙලා තියෙනවද?

ජාතික නිපුණතා සහතික ලෙවල් ෆෝ තියෙන්නේ අපේ රටේ විතරයි. මෙයයි අංගරචනා ශිල්පියෙක්ගේ ජාත්‍යන්තර මට්ටමින් පිළි ගැනෙන වෘත්තිය මට්ටම වන්නේ. මේ සහතියක තියෙන්නේ දකුණු ආසියාවෙන් අපට පමණයි. මේ වනවිට මේ සහතිකය ඇමෙරිකාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ජපානය වගේ රටවල් පිළි අරගෙන තියෙනවා. මේ සහතිකයේ වටිනාකම පිළිබඳ කිසිම කෙනෙක් දන්නවා කියලා මම හිතන්නේ නැහැ. අඩුම ගණනේ රැකියාව වශයෙන් අංගරචනා ශිල්පයේ නියැළෙන අයටවත් වෘත්තිකයෝ විදියට රටේ පෙනී සිටින්නට උවමනාවක් නැහැ.

ඔබ එහෙම පවසන්නේ ඇයි ?

මම මේ කාරණය ගැන අංගරචනා ශිල්පීන් කිහිපදෙනෙක් සමඟ සාකච්ඡා කළා. “අනේ දැන් අපේ කාලය ගෙවිලා ගිහින්. ඒ හින්ද දැන් අපට උවමනා නෑ. මෙතෙක් කල් මේවා කළේ ඕවා තිබිලා නෙමෙයි නේ” කියන තර්කයේ යි ඔවුන් ඉන්නේ. අපට ඔය සහතික උවමනා නැහැ කියන අදහසෙයි ඔවුන් ඉන්නේ. වෘත්තිය මට්ටමක් හදාගන්න එයාලට උවමනාවක් නැහැ. එහි තියෙන වටිනාමක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. එහෙම වුණත් මට නම් හැඟෙන්නේ ඒ අය ගොඩනඟා ගත් ශිල්පීය මට්ටම මේ සහතිකය ගන්නට යෑමේදී නැතිවෙයි කියලා ඔවුන් බය බවයි. ඒ නිසයි මේ සහතිකය ගන්න ඔවුන් එන්නේ නැත්තේ. හරි විදියට නම් රජය විසින් නීතියක් ගේන්න ඕන එන්.වී.කිව්. නැතිව නළු - නිළියන්ගේ මුහුණට අත තියන්න තහනම් කියලා. ඒක අනෙක් රටවල තියෙනවා. ඇයි ඒ නීතිය අපේ රටේ නැත්තේ.

ඔබ කරගෙන යන අංගරචනා පාසල ගැනත් යමක් කියමු ද?

අංගරචනා කලා හා තාක්ෂණ පුහුණු විද්‍යාතනය (ඒර්ඒඛ්ඊ) කියන්නේ දකුණු ආසියාවෙන්ම තියෙන එකම අංගරචනා පාසලයි. මෙහි පුහුණු මධ්‍යස්ථානයක් විදියට වෘත්තීය පුහුණු නිපුණතාව ලබන ශිල්පීන් බිහි කරනවා. මේ පාසලනේ බිහි වෙන්නේ ජාත්‍යන්තර සුදුසුකම් තියෙන ශිල්පීන්. මේ ආයතනය පටන් ගත්තේ 2005 දී. ඒත් අද වනවිට මට මේ ඔස්සේ බිහි කරන්නට හැකියාව ලැබුණේ තිස්පහක් වගේ සංඛ්‍යාවක්. අවුරුද්දටම මෙහි පුහුණු කරන්නේ ළමයි හයදෙනෙක් විතරයි. ඒ රටට, ජාතියට සේවයක් ලෙසයි මා මේ කටයුත්ත කරගෙන යන්නේ. එහෙම නැතිව මා මේ කටයුත්ත කරගෙන යන්නේ කැපී පේන්නවත්, මගේ මඩිය තරකර ගන්නවත් නොවෙයි. මොකද අපි තව ඉන්නේ ටික කාලයයි. අපි යනකොට මේ එකතු කරන දේවල්වලින් මොනවත් ගෙනියනවද? නෑ. අවසානයට ඉතිරි වන්නේ අපි රටට යම් දෙයක් කළොත් ඒ දෙය විතරයි. ඒ කාරණය මූලික කරගෙනයි කැපවීමෙන් මා මේ දරුවන් නිර්මාණය කරන්නේ. බය නැතුව මේ අය ජාත්‍යන්තරයට යවන්න පුළුවන්. ඒ වගකීම මම භාර ගන්නවා. ඒ වගේම අද මම එක පැත්තකින් සංතෝෂ වෙනවා. ටී.එන්.එල් ආයතනය, රූපවාහිනි ආයතනය, සිරස ආයතනය ආදී ආයතන කිහිපයකම වැඩ කරන්නේ අපේ නිබුණතා හතරේ ළමයි නිසයි. ඔවුන්ගේ වටිනාකම ඇතැම් ආයතන හඳුනනවා. ඒ ගැන වටහාගෙන තියෙනවා.

මේ ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ගිය ශිල්පීන් අපට ඉන්නව ද ?

මේ වනවිට මගේ ආයතනයේ ශිල්පීන් පස්දෙනෙක් විදේශ ගතවෙලා ඉන්නවා. ඒ අයගෙන් සමහර අය අධ්‍යාපනය සඳහාත්, සමහර අය රැකියාව සඳහාත් යොමුවෙලා තියෙනවා. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ සම්මාන ගත්ත වගේම යම් අලුත් වැඩක් කළොත් ඒ මගේ ගෝලයෙක්.

වර්තමානයේ බොහෝ ජනප්‍රිය වී ඇති ත්‍රිමාණ තාක්ෂණය පිළිබඳත් ඔබ එක් කාලයකදි කතා කරනවා.

ත්‍රිමාණ අංගරචනය හඳුන්වලා දෙන්න ඕන කියලා මම කතා කළේ 2005 වසරේදී. ඒත් ඒක උවමනා නැහැයි කියලා කිව්වේ මේ කලා ක්ෂේත්‍රයේ අයමයි. කොහොම වුණත් ත්‍රිමාණ අංගරචනයට උත්තරයක් විදියට මා 2007 දි නිර්මාණයකුත් ඉදිරිපත් කරලා ජාතික රූපවාහිනියට දෙනවා. ඒ ‘අන්තර්ජාන මිනිසා’ නමින්. විශේෂ ප්‍රයෝග යොදන ආකාරයයි මේ නිර්මාණය මගින් ඉදිරිපත් කළේ. මේ ගැන කතා කළොත් මේ නිර්මාණයට එතැනින් විකාශය සඳහා අනුමැතිය ලැබුණත් ඒත් අද වෙනතුරුත් ඒ නිර්මාණය විකාශය වෙලා නැහැ. අලුතින් පත්වුණු අය කියන්නේ ඒ බෝඩ් එකට නැවතත් නාට්‍යය ඉදිරිපත් කළ යුතු බවයි. ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ.

අංගරචනා ශිල්පියෙක් විදියට කටයුතු කරන විට ඒ කාලයේ ශිල්පීන් හා ශිල්පිනියන් අතරත්, වර්තමානයේ අය අතරත් යම් වෙනසක් තිබේ යැයි ඔබ සිතනවා ද?

ඒ ගැන මම මෙහමෙ කතා කරන්නම්. ඕනෑම ක්ෂේත්‍රයක සිටින කෙනෙකුට තමන්ගේ ක්ෂේත්‍රය ගැන තියෙන දැනුමත්, ක්ෂේත්‍රයට දක්වන ඇල්මත්, ආදරයත්, ශිල්පීයත්වයට දක්වන ගෞරවයත් කියන මේ කාරණා තුනම වැදගත්. අද ඒ කාරණා ක්ෂේත්‍රයෙන් ගිලිහිලා ගිහින්. අද අංගරචනා ශිල්පියා කිව්වට පස්සේ නිළියෝ සූදානම් වෙන්නේ ඔහුට කියලා එයාගේ ඇඳුම් පෙට්ටිය කාමරයට ගෙන්න ගන්නයි. මට ඒ විදියට සමහරු වැඩ පැවරුව අවස්ථා තියෙනවා. එහෙම නිළියොයි අද මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඒ තරමටම අද අංගරචනා ශිල්පියාව බාල මට්ටමකට වැටිලා තියෙනවා. ඒක අංගරචනා ශිල්පියාගේ වරදක් නොවෙයි. මේ ක්ෂේත්‍රයේ මෙහෙය වන අනෙක් අයගේ ආකල්පවල තියෙන වැරැද්දක්. අනෙක් එක රූපලාවන්‍ය කරන අයව ඒ ශිල්පය සඳහා යොදා ගැනීමේ ප්‍රතිඵලයයි අපි මේ අත්විඳීන්නේ.

ඒ කියන්නේ මුල් යුගයේ මේ තත්ත්වය වෙනස් බව ද ඔබ පවසන්නේ ?

ඒ කාලයේ අය අංගරචනා කරන්න ආවට පස්සේ අංගරචනා ශිල්පියාට ගෞරව කළා වගේම මේකප් ස්ටේෂන් එකටත් වැඳල, ගුරුවරයාටත් වැඳලයි වැඩ පටන් ගන්නේ. මෙහෙම කියන විට අදටත් හද සසල කරන අවස්ථාවක් මගේ සිතට නැඟෙනවා. වරක් මම තරුණ කාලයේ අංගරචනා ශිල්පියෙක් විදියට පාස්කු නාට්‍යයක වැඩ කරන්න ගියා. එහිදි ඒ පාස්කු නාට්‍යයේ රඟපෑව රැක්මණීදේවි නම් ශ්‍රේෂ්ඨ නිළිය මේකප් කරන්න පෙර මට දණ ගහලා වැන්ඳා. එදා එවෙලේ මගේ හදවත ගැහුණු විදියට අදත් ඒ සිදුවීම මතක් කරන විට මගේ හදවත ගැහෙනවා. ඒ මොකද ඒ තරම් අපි ගෞරව කළ නිළිය මගේ ශිල්පයට හා ශිල්පීය නාමයට ගෞරව කළ ආකාරයයි ඒ. අන්න එවැනි තත්ත්වයක් තමයි ඒ කාලයේ තිබුණේ. මේ නිසා අදටත් මම හැත්තෑව දශකයට ආදරය කරන මිනිහෙක්. අද ඒ තත්ත්වය කෙලෙසිලා.

ඔබගේ ඉදිරි වැඩකටයුතු පෙළ ගැසිලා තියෙන්නේ කොහොම ද?

මගේ දෙවැනි විෂයය වන අභිනය රංග කලාව කියන විෂයය (රූපණ විෂයයට පදනම් විෂයයක්) පාසලේ සහ විශ්වවිද්‍යාලය ඇතුළේ විෂය නිර්දේශයක් බවට පත්වෙලා තියෙනවා. මේ සඳහා උගන්වන ගුරුවරුන්ගේ හිඟයක් තියෙනවා. ඒ සඳහා වර්ක් ෂොප් එකක් ජනවාරි මාසයේ මැද වනවිට ආරම්භ කරනවා. ඒ වගේම වේදිකාව සඳහා රූපණ ශිල්පීන් පදම් කිරීමේ වැඩමුළුවක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. මෙහිදී දවස් දෙකේ වැඩමුළුව පැවැත්වෙන්නේ නොමිලේ. ඒකට සහභාගි වෙන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය නැහැ. නළු -නිළියෙක් වීමේ කුසලතාවක් තමාට තියෙනවා ද කියලා බලන්නත් මෙහිදි පුළුවන්. අපේ නිපුණතා හතරේ ඉගෙන ගත්ත ළමයින්ගේ සහතික බෙදා දීමකුත් ජනවාරියේදී පැවැත්වෙනවා. මේ හැම දෙයක්ම මා කරන්නෙ මගේ ශක්තියෙන්.