වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




56 විප්ලවයට 59 යි

56 විප්ලවයට 59 යි

56 විප්ලවයේ 59 වැනි සංවත්සරයට තව දින පහකි. 1956 යනු මෙරට ඉතිහාසයේ විශේෂ අවුරුද්දකි. දේශපාලන ලෝකයේ බලවත් සමාජ විප්ලවයක් ඇති කළ අවුරුද්ද එයයි. එමෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන් මනමේ කළේ ද, මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය බිහි කළේ ද, මහාචාර්ය සිරි ගුණසිංහයන් මස් ලේ නැති ඇට බිහි කළේ ද, සිබිල් වෙත්තසිංහගේ 'කුඩ හොරා' බිහිවූයේ ද එම අවුරුද්දේය. එපමණක් නොව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව බිහි කරනුයේ ද එම වසෙර්ය. මේ ලිපියේ පවසන විප්ලවය වූ කලී රේඛාව බිහිවීමය. රේඛාවේ විප්ලවය ලේ හැලීමකින් තොර විප්ලවයකි. එය එකල නම් බොහෝ ජනී ජනයාගේ අවධානයට පාත්‍ර වූයේ ද නැත. කලා කෘතියක් යනු 'නොව පැරණි වන රමණී' යන න්‍යාය සනාථ කරමින් අද ද එදාට වඩා රේඛාව ගැන කතා කරති. රේඛාව බිහි කිරීමට වෙර දුන් පිරිස අතර අද ජීවත් වනුයේ අල්ප දෙනෙකි. එහි මහා නියමුවාණන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ප්‍රධාන නළු නිළි යුවළ වූ ආනන්ද වීරකෝන්, මල්ලිකා පිලපිටිය, අයිරංගනී සේරසිංහ, සුදු සඳ එළියේ ගීයට කදිම රැඟුමක් පෑ සුනිලා ජයන්ති, ගායක අයිවෝ ඩෙනිස්, ගායිකා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර, ලතා වල්පොල කැමිලස් ප්‍රනාන්දු මේ අතර මගේ මතකයේ සිටිති.

ලෝක සිනමාවේ මෙන්ම ලාංකික සිනමාවේද සිය මුල්ම සිනමා කෘතියෙහි ගෙන ආ නැවුම් සුවඳ විහිදාලූ සිනමාකරුවන් රැසක් සිටිති. ලාංකික සිනමාවේදී නම් සිය මුල්ම චිත්‍රපටයෙන් අපූරු නැවුම් රටාවක් බිහි කළ පුරෝගාමී සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. (එහි වර්තමානිකයා මේ නොබෝදා හෝ ගානා පොකුණ තැනූ ඉන්දික ෆර්ඩිනැන්ඩු බව මගේ විශ්වාසයයි) ආචාර්ය ලෙස්ටර් රේඛාව බිහි කරන තුරු මෙරට සිනමාකරණයෙහි මතු වූ ලක්ෂණ කවරේද?

1947 ජනවාරි 21 වැනි දින කඩවුණු පොරොන්දුව නම් මුල්ම කතානාද සිනමා කෘතිය බිහි කරලීමෙන් පසු රේඛාව තිරගත වනුයේ 39 වන සිංහල කතානාද චිත්‍රපටය හැටියටය. එපමණක් නොව ලාංකික සිනමාවේ දස වස් පූර්ණය සිදු වනුයේ ද රේඛාව සමඟය. රේඛාව බිහි වනතුරු විචාරකයන් වැදගත් චිත්‍රපටයක් ලෙස අනුදක්නා ලද්දේ සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතාය. එහෙත් මේ හැම චිත්‍රපටයකම සියයට සියයක්ම දකුණු ඉන්දියානු ගති ලක්ෂණ හා මුහුණුවර පැහැදිලිව පෙනිණ. කොටින්ම රේඛාව චිත්‍රපටය තිරගත කරවිම සඳහා එවකට මෙරට චිත්‍රපට ලෝකයේ 'රජු' ලෙස වැජඹුණු ශ්‍රීමත් චිත්තම්පලම ඒ. ගාඩිනර් හමුවට ආචාර්ය ලෙස්ටර් ගිය විට ගාඩිනර් හොඳ චිත්‍රපට ලෙස අර්ථ නිරූපණය කරන ලද්දේ සැඩ සුළං චිත්‍රපටයයි. එය එකල ලාංකික සිනමාවේ පැවැති මතවාදයයි. සිනමාව පිළිබඳ මුල්ම මෙරට රාජ්‍ය කොමිෂන් සභා වාර්තාව වූ ජෝතියසේන වික්‍රමසිංහ කමිටු වාර්තාවේදී පවා මෙරට ප්‍රධාන සිනමා සමාගම් හුවා දක්වනුයේ ඉන්දීය මුහුණුවරින් යුත් සිනමාවේ වටිනාකමයි.

මේ වටිනාකම පිළිබඳ හැඟීම කෙතරම් ද යත් රේඛාව හා සන්දේශය සඳහා ගීත රැසක් යෙදවීමෙන් පෙනී යන්නේ ආචාර්ය ලෙස්ටර්ට පවා ඉන් මිදෙන්නට නොහැකි වූ වග වරක ආචාර්ය තිස්ස අබේසේකර පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙරටදී මුල්වරට සිනමාව යනු රූපයෙන් කතා කරන මාධ්‍යයකැයි පහදා දුන්නේ රේඛාවය. එය සමකාලීන සිංහල චිත්‍රපට සියල්ලේම පාහේ ඇති සියලු අංග ලක්ෂණ අබිබවා නැඟී සිටින්නේ එහෙයිනි. එසේ නොවන්නට ඒ වන විට ලාංකික සිනමාව පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව මෙරට පෞද්ගලික සංචාරයක නිරත වෙමින් සිටි ලෝ ප්‍රසිද්ධ සිනමා විචාරක මාරීයා ෂෙල් අහම්බයකින් මෙන් රේඛාව නරඹා එහි ඇති සිනමාත්මක ගති ලක්ෂණ පිළිබඳ මවිත වන්නට හැකියාවක් නැත.

 චිත්‍රපටය තිරගත වන සමයේ ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර හොඳ වූයේ නැත. එහි එවකට ජනප්‍රිය තරු සිටියේ නැත. චිත්‍රපටය නැරඹූ සල්ලිවලින් ආප්ප කෑවා නම් හොඳ යැයි ආචාර්ය ලෙස්ටර්ගේ මුහුණටම එකෙකු කියා පෑවේය. මාරීයා ෂෙල් රේඛාව නැරඹුවේ ඒ අතරතුරය. ඇය ඒ දවස්වල ගල්කිස්ස මහ හෝටලයේ නිවාඩුවක් ගත කරමින් සිටියාය. සිංහල චිත්‍රපට කෙබඳුදැයි විමසා බැලීමේ රුචි වූ මෙම සිනමා විචාරිකාව වැල්ලවත්තේ රොක්සි සිනමාහලේ ප්‍රදර්ශනය වන එවකට අමුතුම තාලේ සිංහල චිත්‍රපටයක් නැරඹීමට රැගෙන ගියේ හෝටලයේ ටැක්සි රියැදුරෙකි. උප ශීර්ෂ නොයෙදූ රේඛාව නැරඹූ ෂෙල් මහත්මිය යළි ප්‍රංශයට ගොස් මුලින්ම සොයා බලන ලද්දේ රේඛාව තැනූ සිනමාකරුවා ගැනය. ඒ වන විට ඇය කාන්ස් සිනමා උළෙලේ සංවිධායකවරියක වූවාය. අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් තරුණ සිනමාකරුවා සොයා රේඛාව කාන්ස් උළෙලට ගෙන්වා ගත්තාය. එවර බ්‍රිතාන්‍ය සිනමාකරු ලින්ඩ්සේ ඇන්ඩර්සන් රේඛාවේ විශේෂ සංස්කරණයක් කළේ එහි ගීත කිහිපයක්ම ඉවත් කරමිනි.

රේඛාව විප්ලවයේ ගිනි සිළු දැල් වූයේ එලෙසය. එයට විප්ලව කරන්නට සිදු වූයේ සම්මත සිනමා ආකල්ප සමඟය. රේඛාව බිහිවනතුරු බොහෝ ඉංග්‍රීසි උගතුන් සිතා සිටියේ සිංහල චිත්‍රපට යනු සිය කුස්සි අම්මාලාගේ විනෝද මාධ්‍යයක් ලෙසය. රේඛාවෙන් පසු ලාංකික සිනමාව යනු ගර්හාවට ලක් කළ යුතු නැත යන ආකල්පයට සමාජය හෙමිහිට පරිවර්තනය විය. යහපත් සිනමාකරුවන්, සිනමා තරකා මත යැපෙන්නන් නොව ඔවුන් සිය නිර්මාණය මත යැපෙන්නන් බැව් පසක් කරලනුයේ ආචාර්ය ලෙස්ටර්ය. යහපත් සිනමාව හා විචාරක ආකල්ප වෙනස් කරලීම රේඛාවේ ඊළඟ කාර්යය විය. රේඛාවට අට වසරකට පසු ගම්පෙරළිය නිර්මාණය කරන විට පවා ප්‍රේක්ෂකයන් එය එක එල්ලේ වැලඳ ගැනීමට සූදානම් වූයේ නැත. එහෙත් ඊළඟ දශක දෙක වන විට යහපත් සිනමාවක් පිළිබඳ මෙරට ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාවන් දෙගුණ තෙගුණ විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ වීර පුරන් අප්පු සමඟ ඇරඹුණ සම්භාවනීය චිත්‍රපට උදෙසා තැනුණු මණ්ඩලය ඒ හා එක් උදාහරණයකි. එම මණ්ඩලය පැවැති කළ මෙරට වඩාත්ම පේ‍්‍රක්ෂක අවධානය දිනා ගත් සිනමා මණ්ඩලය එය වූයේය. රේඛාව විප්ලවය සිදු වනුයේ එක රැයකින් නොවන වග වටහා ගත යුතුය. ඒකකාරී සිනමාව බිඳ හෙළීමට පමණක් නොව රටක අටුවන් බැස ගත් සිනමා ආකල්ප බිඳ හෙලීම පහසු කර්තව්‍යක් නොවේ. 59 වසරකට පෙර රේඛාව බිහි වීම අප අර්ථ ගැන්විය යුත්තේ එම මතවාද ගැටීම සලකාගෙනය. 1956 අවසානයේ රේඛාව බිහි නොවුණා නම් ගම්පෙරළිය, අහස් ගව්ව, හංස විලක් ඇතුළු විප්ලවීය සිනමා කෘතීන් බිහි නොවීමට ඉඩ තිබිණ. බිහි වුණද එම සිනමාව හරහා සුපසන් මතවාදයන් ගොඩ නොනැංවීමට ඉඩ තිබිණ.

1956 දී රේඛාව හරහා බිහි වූ ඊළඟ පරම්පරාව ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මෙන්ම ඔවුන්ගෙන් පසු ඊළඟට එහි යෂ්ටිය රැගත් පරම්පරාව ද මෙරට සිනමා ආකල්ප වෙනස් කළහ. ඇතැමකු සම්ප්‍රදායික වට්ටෝරුවෙන් පලා යන්නට අසමත් නමුත් සිනමාව පිළිබඳ රසාස්වාදය ඔවුහු පෙරට ගෙන ගියහ. සිනමාවේ ප්‍රකාශනය රූපය යයි ඇදහූය. සිනමා විචාරයේදී ද මේ ආකල්පය වෙනස් වූයේය. අලුත් පරම්පරාවක් බිහි වූයේ 56 වසරේ පරම්පරාව ගොඩ නැගූ අලුත් භූමිය මතුපිට විනා 1947 දී දකුණු ඉන්දියාවේ මදුරෙයි නගරයේ කුඩා චිත්‍රගාරයක් ඇතුළත නොවේ.

එක පැත්තකින් සමාජයේ පමණක් නොව කර්මාන්තයේ ආකල්ප ද හොඳ මට්ටමක තිබුණ් නැත. චිත්‍රාගාරයෙන් බැහැරව චිත්‍රපට ගත කළ හැකි යැයි කිසිවකු සිතුවේ නැත. ශබ්දය චිත්‍රාගාරයේ පටිගත කිරීම කෙලසකින්වත් යහපත් යැයි සිතුවේ නැත. කොටින්ම චිත්‍රපටයේ ගී තනු නිර්මාණය කළ සුනිල් ශාන්තයන් වෙතින් පළ වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. චිත්‍රපට යනු බයිස්කෝප් නොව ලෝකයේ සත්වැනි කලාව යනුවෙන් ඔප්පු කර සිටියේ රේඛාවේ විප්ලවයයි.

රේඛාව බිහි කරන්නට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් බොහෝ දේ කැප කළේය. එකක් නම් ඒ වන විට ඔහු දරමින් සිටි රජයේ චිත්‍රපට අංශයේ තානාන්තරයයි. ඔහු රට තොට දැන හැඳින ගනුයේ වාර්තා සිනමාකරුවකු හැටියටය. එහෙත් නිර්මාණකරුවකුට වඩාත්ම අවශ්‍ය දේ මිනිසුන්ගේ ජීවිත අභ්‍යන්තරයට කිඳා බසින්නට ඇති හැකියාවයි. ජීවිතය හා සමාජය විනිවිද දකින්නට ඇති හැකියාවයි. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මනාව ප්‍රගුණ කර ගත් වග පෙන්වා දුන්නේ ඔහුගේ අග්‍රගණ්‍ය නිර්මාණයන් වන ගම්පෙරළිය, දෙලොවක් අතර, නිධානය ආදී චිත්‍රපට හරහාය. රේඛාවට කළ කැපවීම ඔහුගේ සිනමාවේ එක් අන්තයක් ගිල ගත්තේය. රේඛාව මුලින්ම තිරගත කළ සමයේ එය වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැත. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා ගමනට සෘජුවම බලපෑවේය. රේඛාව තැනීමෙන් පසු සිව් වසරක්ම ඔහු බලා සිටියේ සිය දෙවැනි චිත්‍රපටය නිර්මාණය කරන්නටය. අවසානයේ රේඛාවේ අගය මුලින් වටහා ගත්තේ ද ලෝකයේ සිනමාව දන්නා මිනිසුන් බැව් සනාථ කරමින් දෙවැනි චිත්‍රපටය එනම් සංදේශය සඳහා ද කපුකම කරනුයේ විදේශිකයෙකි. ඒ රාජ් කපූර්ය. රාජ් කපූර් චෙකොස්ලීවැකියාවේ කාලෝවිවාරි උළෙලේදී රේඛාව නරඹා ඉන් කෙතරම් කුල්මත් වී ද යත් ඒ වන විට සිය දස වැනි සංවත්සරය සඳහා අලුත් චිත්‍රපටයක් තනන්නට නැවතත් ඉන්දියාවට ගිය සිනමාස් සමාගමේ අධිපති කේ. ගුණරත්නම්ට ලංකාවෙන් ඉස්තරම්ම අධ්‍යක්ෂවරයකු තෝරා දුන්නේය.

රේඛාවේ ජන විඥානය වෙනස් කරලන්නට ආචාර්ය ලෙස්ටර්ගේ විප්ලවය මල් පල ගැන්වනුයේ තවත් කාලයක් ගත වූ පසුවය. එහෙත් අද පවා රේඛාවේ විප්ලවයට එරෙහිව ප්‍රතිගාමීන් හිස ඔසවන වාර අනන්තය. අද සිනමාව පොදු රසාස්වාදයේ සිට හුදකලා රසාස්වාදයට යොමු වෙමින් සිටිති. 56 රේඛාවේ විප්ලවය පරම්පරවෙන් පරම්පරාවට විහිද ගොස් ඊළඟ පැම්පරාවේ ද මඟ හැසිරවීමට මුල පිරුවේය. එම රස වින්දනය අද ඇත්තේ තීරණාත්මක ඉසව්වකය. අඳුරට සාප කරනවාට වඩා එක් පන්දමක් දැල්වීම යෙහෙකි.