වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිකැප්‍රියෝට පණ නවයක්

ඩිකැප්‍රියෝට පණ නවයක්

ජනපි‍්‍රය හොලිවුඩ් තරුවක් වන ලියනාඩෝ ඩිකැපි‍්‍රයෝ මරණාසන්න අත්දැකීම් කිහිපයක්ම ලත් කෙනෙක්. ඩිකැපි‍්‍රයෝ ට දැන් වයස 41ක්. ඔහු එක අවස්ථාවක මිනී මෝරකු සමඟ මුහුණට මුහුණ හමුවී තිබෙන බවත් තවත් අවස්ථාවක කි‍්‍රයා විරහිත වූ ගුවන් යානයක සිටි බවත් සඳහන්.

“බළලෙකුට පණ නවයක් තිබෙන බව සඳහන්. මා හිතන්නේ මා ඉන් කිහිපයක් පාවිච්චි කර තියෙනවා” ඩිකැපි‍්‍රයෝ කියනවා.

ඔහුට මුණ ගැසුණු Great White Shark ගණයට අයත් මිනී මෝරා ඔහුගේ හිසට අතක් දුරින් සිටියදී හය හත් වතාවක්ම දත් මිටි කෑ බවයි ඔහු කියන්නේ. ඔහු විශේෂ කූඩුවක සිට දකුණු අපි‍්‍රකාවේ දිය යට කිමිදෙමින් සිටියදීයි මේ අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ.

“මෝරා උගේ ඇගෙන් බාගයක්ම මගේ කූඩුව ඇතුළට දා ගත්තා. ඊට පස්සේ හය හත් වරක් මා හපන්න උත්සාහ කළා” ඩිකැපි‍්‍රයෝ කියනවා.

මරණාසන්න ගුවන්යානා අත්දැකීම ඔහුට ලැබුණේ රුසියාවේදී බවත් සඳහන්.

xXxට එක්වන දීපිකා පදුකෝන්

දැඩි කි‍්‍රයාදාම චිත්‍රටයක් වූ xXx, ජනපි‍්‍රය නළු වින් ඩීසල් ගේ චිත්‍රපට ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්. 2002 පළමුවරට තිරගත වුණු xXx හි දෙවන කොටස 2005 තිරගත වූයේ ‘Ice
Cube’
ප්‍රධාන චරිතය පණගන්වමින්.

පසුගිය දිනවල ජනපි‍්‍රිය හින්දි නිළි දීපිකා පදුකෝන් ට්විටර් හි පළකළ පින්තූරයකින් xXx හි තෙවන කොටසක් ගැන බලාපොරොත්තු දල්වා තිබෙනවා. එය දීපිකා පසුපස හැරී සිටින ඩීසල්ව වැලඳගන්නා ඡායාරූපයක්. එහි පසුපසින් xXx ලාංඡනය දිස් වනවා.

මේ අතරතුර ඩීසල් සිය ඉන්ස්ටග්‍රෑම් හි සඳහන් කර තිබෙන්නේ, තමන් නැවත එන xXx චිත්‍රපටයේ තෙවැනි කොටසක් පාඨකයින් විසින් බලාපොරොත්තු විය හැකි බවත්, එය මේ දෙසැම්බරයේ සිට රූපගත කරන බවත්.

විල් ස්මිත් ගණන් වැඩිලු

“අපි නිදහස වෙනුවෙන් සටන් කරන්නවුන් වෙමු. පැවැත්ම උදෙසා සටන් කරන්නෙමු. නිශ්ශබ්දව අඳුර කරා ගමන් නොකරන්නෙමු. සටනකින් තොරව වැනසී නොයන්නෙමු.”

මේ 2016 ජූනි මාසයේ තිරගත වීමට නියමිත ‘Independence Day : Resurgence’ හි ආදර්ශ පාඨයයි. 1996 තිරගත වූ පළමු චිත්‍රපටයට වසර 20කට පසුව තිරගත වීමට නියමිත මෙම චිත්‍රපටය ගැන කතන්දර බොහොමයක් මේ දිනවල පැතිරෙමින් යනවා.

ඉන් එකක් නම්, එහි ප්‍රමුඛ චරිතයක් වූ විල් ස්මිත් රඟපෑ කර්නල් ස්ටීවන් හිල් ගේ චරිතය හිතා මතාම ඉන් ඉවත් කර ඇති බවයි.

චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් මේ ගැන විමසූ විට දැනගන්නට ලැබී ඇත්තේ විල් ස්මිත් මෙම චරිතයට ඉතා විශාල මුදලක් ඉල්ලා ඇති නිසා ඔහුගේ චරිතය චිත්‍රපටයෙන් ඉවත් කර ඇති බවයි.

ෆී‍්‍රමන් ට අකරතැබ්බයක් මෝගන් ෆී‍්‍රමන්.

ඔහු රඟපෑ චිත්‍රපටයක් නරඹා නොමැති හොලිවුඩ් රසිකයෙක් නැති තරම්.

78 හැවිරිදි මේ ලෝක ප්‍රකට නළුවා පසුගියදා අකරතැබ්බයකට මුහුණ දීලා. ඔහු ඒ ගැන මෙලෙස විස්තර කරනවා.

“මා මගේ ගුවන් යානයෙන් ‘The Story of the God’ චිත්‍රපටයේ කොටසක් රඟපෑම සඳහා ටෙක්සාස් කරා ගමන් ආරම්භ කළා. සමහර අවස්ථාවල සියලු දේම අප අපේක්ෂා කරන අන්දමින්ම සිදු වන්නේ නැහැ. අප ගුවන් ගත කරන අවස්ථාවේ ගුවන් යානයේ ටයරයක් පිපිරුණා. ඉන් තවත් ප්‍රශ්න මතුවුනා. කෙසේ නමුත් මගේ අතිදක්ෂ ගුවන් නියමු ජිමී හොබ්සන් ට ස්තූතිවන්ත වන්න, අප කරදරයකින් තොරව ගොඩ බැස්සුවා. ගුවන් යානය ගැනනම් මට හොඳක් කියන්න බැහැ”. ඔහු කියනවා.

ඩැනියෙල් සහ 25 වන බොන්ඩ්

“මා බලාපොරොත්තු වනවා එම චරිතය ඩැනියෙල් ක්‍රෙග් ලවාම කරවන්න. අඩුම තරමින් තව එක් බොන්ඩ් චිත්‍රපටයකටවත් ඩැනියෙල් රඟපානවා දැකීමයි මගේ අරමුණ. මා පමණක් නොවෙයි, පේ‍්‍රක්ෂකයිනුත් ඔහුව බලාපොරොත්තු වනවා.” මෙසේ පවසන්නේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල නිෂ්පාදිකා බාබරා බ්‍රොකොලි. මීළඟ චිත්‍රපටයේ වැඩ කටයුතු 2016 ආරම්භ වීමට නියමිතයි.

අවසන් වරට තිරගත වූ 24 වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය වන ඩැනියෙල් ක්‍රේග් රඟපෑ ‘ස්පෙක්ට්‍ර ‘ සිය පිරිවැය වූ ඇ.ඩොලර් මිලියන 250 ට එරෙහිව මිලියන 823 ක ආදායමක් ලබා තිබුනා. කෙසේ නමුත් 47 වියෙහි පසුවන ඩැනියෙල් නම් මීළඟ බොන්ඩ් චිත්‍රපටයේ රඟපෑම ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බවයි ආරංචි. පසුගිය දා එක්තරා පුවත් පතක සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා තිබුනේ මෙවැන්නක්; “මීළඟ ජේම්ස් බොන්ඩ් චරිතයට රඟපානවාට වඩා හොඳයි මේ වීදුරුව කඩා අත තුවාල කරගන්නවා”.