වර්ෂ 2015 ක්වූ දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




‘මඟියා’ගේ උද්යෝගයෙන් නිම්වළල්ල තරණය කළෙමු

‘මඟියා’ගේ උද්යෝගයෙන් නිම්වළල්ල තරණය කළෙමු

'සෙවණ' පුවත්පතට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් ලිපියක් ලබා ගන්නා අදහසින් එකල ඔහු පදිංචිව සිට හැව්ලොක්ටවුමේ කැප්පෙටිපොළ මාවතේ නිවසකට මාත්, කුලරත්න ආරියවංශත් ගියෙමු. අලුතින් නිකුත් වූ 'සෙවණ' පුවත්පතේ එවකට තිරගත වෙමින් තිබූ ලෙස්ටර්ගේ 'රන්සළු' චිත්‍රපටය ගැන තරුණ කථිකාචාර්යවරයකු වූ සෝමරත්න බාලසූරියගේ විචාරයක් පළ වී තිබුණ ද එහි එම චිත්‍රපටයේ දුබලතා මතු කොට තිබුණි.

අප, අප ගැනම හැඳින්විමක් කොට 'සෙවණ' පුවත්පත ලෙස්ටර් සුමිත්‍රා යුවළට පිළිගැන්වීමු. පත්‍රය පෙරළා බැලූ ලෙස්ටර් මහතා 'රන්සළු' විචාරය කියවීමට හරිබරි ගැසී හාන්සි පුටුවට බර දුන්නේය. පත්‍රය බලන විට ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් විය.

'මගේ චිත්‍රපටයට හොඳටම පහර දීලා. අලුත් අයගේ අදහසුත් වටිනවනේ. මගේ ජීවිතය පටන් ගත්තෙත් ජර්නිලිස්ට් කෙනෙක් හැටියට. ඉතින් මගේන් ඕනෑ උදව්ව මොකක්ද?'

'අපිට සර්ගෙන් ලිපියක් ඕනෑ. ඔහු හාන්සි පුටුවෙන් නැඟිට අපව තම පුස්තකාලයට කැටුව ගියේය.

'මගේ ලයිබ්‍රරි එකෙන් අවශ්‍ය පොත් තෝර ගන්න, පරෙස්සම් කරලා ගෙනත් දෙන්න.' ඔහු විවෘත ආරාධනයක් කළේය.

ඔහු කෙතරම් නිහතමානී පුද්ගලයෙක්දැයි අපට සිතිණ. තමා ලියූ 'චිත්‍රපට අධ්‍යක්ෂණයේ කාර්යභාරය' මැයෙන් යුත් ලිපිය අපට දුන්නේය. ඒ ලිපිය ඊළඟ පත්‍රයේ පළ විය.

'උඹලා කැමති නම් රේඩියෝ සිලෝන් එකට යන්න මා එක්කලා වරෙල්ලා' ප්‍රේමකීර්ති ද අල්විස් කීවේ එක්තරා පාසලේ විවේක කාලයකදීය.

කුලරත්නත්, මාත් ඒ අනුව ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වලට සහභාගි වීමු. කරුණාරත්න අබේසේකර, නන්දා ජයමාන්න, මඩවල එස්. රත්නායක මෙහෙය වූ ළමා වැඩසටහන් ඒ අතර විය. ඒ අතරම ප්‍රේමකීර්ති නිසා අප සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ ද සාමාජිකයන් වීමු. එම සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ 'ධම්ම චින්තා' පුවත්පත සංස්කරණය කළේ ප්‍රේමකීර්තිය. සම්මේලනය සංවිධානය කළ 'බොදු හැඟුම්' චිත්‍ර ප්‍රදර්ශනයට ආනන්දයේ සිසුන් අපි දිිරිමත් කළෙමු. ආනන්දයේ අපට පහළ පන්තිවල සිටි රෝහණ සිරිවර්ධන (ප්‍රවීණ ගායක) චිත්‍ර කලාවට දැක් වූයේ විශිෂ්ට කුසලතාවකි.

ඔහු අඳින ලද 'පිණ්ඩපාතය' නම් චිත්‍රය තෝරා අප තරඟයට ඉදිරිපත් කළ අතර එහි මුල් තැන ගැනීම අප ලද ජයක් සේ සලකා අපි සතුටට පත් වීමු. චිත්‍ර තෝරන ලද්දේ ජෙෆ්රි බිලිං නම් චිත්‍ර ශිල්පියකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ චිත්‍ර උපදේශකයකු විසිනි. රෝහණ චිත්‍ර අංශයෙන් ඉහළට නොගියේ ඇයිදැයි විමතියකි. එකල බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ කැපී පෙනෙන ශිෂ්‍යයන් අතර ආනන්දේ යූ. ඩී. ඇල්. රත්නවීර, නාලන්දයේ නිමල් සිරිපාල ද සිල්වා (අමාත්‍ය), පොළොන්නරුව මධ්‍ය විද්‍යාලයේ මෛත්‍රිපාල සිරිසේන (ජනාධිපති), තර්ස්ටන් විද්‍යාලයේ ලාල් හෑගොඩ ද කි‍්‍රයාශීලී සාමාජිකයන් ලෙස කැපී පෙනුණි. කුලේත් මාත් ප්‍රේමකීර්තිගේ පුවත්පතට සහාය දුන්නෝය. පත්‍රයේ ශීර්ෂ පාඨ ඇන්දේ මවිසිනි'.

චිත්‍රපට බැලීම මගේ ප්‍රියතම විනෝදාංශය විය. මා මෙන්ම චිත්‍රපට උමතුවෙන් සිටි මගේ සමකාලීනයන් දෙදෙනෙකු කොස්ගස් හන්දියේ සිටියෝය. මට වඩා වසර දෙක තුනකින් වැඩිමහල් ටී. එම්. සංඝදාස (හිටපු නාගරික මන්ත්‍රී, චිත්‍රපට සංස්ථාවේ හිටපු උපදේශක) හා මට වඩා වසර පහකින් පමණ බාල ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු (දැනට ප්‍රංශයේ සිටින, පූජා, සඳරේඛා චිත්‍රපට නිෂ්පාදක හා 'සුදු සළු' චිත්‍රපටයේ අධ්‍යක්ෂ) මේ දෙදෙනාය. සංඝදාස මා හඳුනා ගත්තේ 1959 දී පමණ සැප්තැම්බර් මාසයක කොස්ගස් හන්දියේ තරඟයට සරුංගල් යවන කාලයේ සිටය. මේ දිනය මට හොඳට මතක ඊට ආසන්න දිනයක බණ්ඩාරනායක අගමැතිතුමා ඝාතනය වීම නිසාය. එදා කිරි කජු කොල්ලන් වූ අප කොස්ගස් හන්දියේ සංඝදාස ප්‍රමුඛ අවට මිත්‍ර පිරිස සුදු කොඩි එල්ලූ අයුරු ද අදත් සිහිපත් වේ.

සංඝදාස හා මා වඩා බැලුවේ හින්දි චිත්‍රපටය. ඉඳහිට පරණ හින්දි චිත්‍රපට නම් එකක්වත් මඟ හැරියේ නැත. ඔහු මාව පුෂ් බයිසිකලයක නංවා තොටළඟ මිනර්වා හා වැල්ලම්පිටියේ රුක්මණී සිනමාහල්වලට කැටුව ගොස් චිත්‍රපට බලා හෝටලයකට කැඳවාගෙන ගොස් ඔරේන්ජ් බාර්ලි බොමින් ඒ පැරණි ගී මිමිණු අයුරු මට අමතක නොවේ. කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු එම පක්ෂයේ ක්‍රියාකාරිණියක වූ ස්වර්ණා මල්ලවආරච්චි සමඟ නාගරික මැතිවරණවලදී කැපී පෙනුණි. එවකට මා සහාය දුන්නේ යූ. ඇන්. පීයටය.

ගාමිණී ලක්ෂ්මන් පදිංචිව සිටියේ ග්‍රෑන්ඩ්පාස් තැපැල් කන්තෝරුව අසලය. එය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ උපන් නිවසට යාබද නිවසය. මගේ බාල මල්ලී වසන්ත සමඟ ආමර් වීදියේ ජේතවනාරාම ධර්ම පරායණ දහම් පාසලේ එකම පන්තියේ ඉගෙන ගත් ගාමිණී අප නිවසට නිතර ආව ගිියේය. චිත්‍රපට ළමා නළුවකු වීමට ආසාවෙන් සිටි ඔහු මල්ලී සමඟ 'සීතල වතුර' චිත්‍රපටයට පෙනී සිටීමට ගියහ. ගාමිණීට කලාවට, සිනමාවට, නාට්‍යයට තිබුණ උණ තවමත් සුව වී නැත. අසෝකා සිනමාහලේ මුලින්ම තිරගත වූ 'ටජ්මහල්' චිත්‍රපටය ගැලරියේ සිට බලන කාලයේ සිට ගාමිණී ගැලරි සාමාජිකයෙකි.

'වෙර' කෙටි චිත්‍රපටය කිරිමෙන් පසු වෘත්තාන්ත චිත්‍රපටයක් කිරීමට අපි වෙර දැරුවෙමු.

'ඕව හිතන තරම් ලෙහෙසිද? පිස්සු වැඩ? ඉගෙනීම කඩාකප්පල් කර ගන්න වැඩ' ගුරුවරුන් මෙන්ම අපේ වැඩිහිටියෝ අපව අධෛර්ය කළහ.

'නෑ අපි කරනවාමයි'. 'වෙර' අධ්‍යක්ෂ අපේ නායක රංජිත් ලාල් දිනක් සපථ කළේය.

එදා අපි 'පැසෙන්ජර්' (මගියා) නම් පෝලන්ත චිත්‍රපටය බලා උද්දාමයෙන් බම්බලපිටියේ ලයන් හවුසියේ තේ බොමින් සිටියෙමු.

ආනන්දයේ ඉගෙන පාසල් වියේම ලේක්හවුසියේ 'සිළුමිණ' පුවත්පතේ සේවයට ගිය සුනිල් මාධව ප්‍රේමතිලක ද 'පැසෙන්ජර්' නරඹා අප සමඟ එදා තේ බොමින් සිටියේය.

'මචං අපි ෆීචර් (වෘත්තාන්ත) චිත්‍රපටයක් කරන්නම ඕනෑ. ජී. ඩී. එල්. රුපියල් දෙසිය පණහක් අතේ තියාගෙන 'සාමා' කළා නම් ඇයි අපිට බැරි' සුනිල් කීය.

'එහෙනං හොඳ කතා තේමාවක් උඹම ලියපන්' මම කීවෙමි.

'මචං තවම රෑ වෙලා නෑනේ අපි යමු ප්‍රෙස් ක්ල්බ් එකට. හොඳට අදහස් එනව, තැන මූද අයිනේ'

'අපි එතනට ගිහිල්ලා නෑ. දන්නෙත් නැහැ'

'මම එක්ක යන්නං. එතන සිමියාන් අයියත් ඉන්නවා.' සුනිල් කීවේ.

රන්ජිත් ලාල්, නම්මුනි සොයිසා, ආනන්ද නිලවීර, චන්ද්‍රසිරි මුදන්නායක, ඩිල්මන් ජයරත්න, මාත් සුනිල් සමඟ ප්‍රෙස් ක්ලබ් එකට ගියෙමු.

එම්. ඒ. සිමියොන්ගේ නම ගුවන් විදුලියෙන් අසා පුංචි කාලේ ගුවන් විදුලි රඟමඬලින් අප බිය කරන යක්ෂ කටහඬක් තිබූ මේ පුද්ගලයා අර යක්ෂ සිනාව සමඟ සුනිල් මාධව පිළිගත්තේය.

'සිමියොන් අයියා, මේ අපේ ඉස්කෝලේ කොල්ලෝ. අපිට බියර් ගෙන්න' සුනිල් ඇනවුම් කළේය. අපට බීර බීම පුරුදු කළ අපේ ගුරා සුනිල්ය.

තරුණ අසහනය, දුප්පත් පවුලක තරුණ කොල්ලෙක් තමන් ඇසුරු කරන ඉහළ මධ්‍යම පන්තික යහළුවන්ගේ සමාජ තලයට පිවිසීමේදී ඇතිවන ප්‍රතික්‍රියාවන්. මේක පුළුල් ක්ෂේත්‍රයක විකාශනය විය යුතු තේමාවක්. අපි දන්නේ නෑ ඒක කොච්චර දුරට සාර්ථක වේවි ද කියලා' සුනිල් කීවේය.

සුනිල් කතා සංකල්පය දුන්නේය. ඒ අනුව අපි තිර නාටකය විකාශනය කළෙමු. චිත්‍රපටයේ මුලින්ම නම 'යළිත් වසන්තය' විය. මුලින් අප හිතුවේ චිත්‍රපටය මි. මී. 16 ප්‍රමාණයෙන් කිරීමටය. මේ අතර උසස් පෙළ ප්‍රතිඵල චිත්‍රපට පිස්සුව නිසා දෙවන වරටත් අප සැමට විභාගයට පෙනී සිටීමට සිදු විය. චිත්‍රපටය කිරීමට ආර්ථික ශක්තිය නොතිබුණත් හිතේ ශක්තිය අපට තිබුණි.

'නෑ අපි මේ චිත්‍රපටය කරන්නේ මි. මී. 35 න්මයි' අධ්‍යක්ෂ රංජිත් ලාල් කීවේය.

මේ අතර 'යළිත් වසන්තය' නමින් චන්ද්‍රසේකර මල්ලවාරච්චිගේ නවකතාවක් නිකුත් විය. අපි චිත්‍රපටයේ නම 'නිම්වළල්ල' නමින් වෙනස් කළෙමු.

මේ කාලයේ කොස්ගස් හන්දියේ කලාවට ළැදි උසස් කලා රසාස්වාදයක් ඇති මගේ සමකාලීනයන් පිරිසක් සිටියහ. කොස්ගස් හන්දියේ විජයබා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජේ. කේ. තුංගසේන හා ඇම්. ඩී. ප්‍රේමරත්න මේ අතර ප්‍රමුඛයන්ය. මේ දෙදෙනා එම විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණු මුල්ම ශිෂ්‍යයන් දෙදෙනයා. අප චිත්‍රපට බැලුවේ එකටය. මින් තුංගසේන (ඔහු නුවරඑළියේ රජයේ සේවය කර සිටියදී මිය ගියේය) ගේ සහාය නිම්වළල්ල තිර නාටකය සඳහා දායක කර ගත්තේය.

කොස්ගස් හන්දියේ නයින් හාර්ට් අධිපති ඇල්බට් ගොඩමාන්න මහතාගේ (පාර දිගේ චිත්‍රපටයේ නිෂ්පාදක) නිවසට අප හවස් යාමයේ ගොඩ වදින්නේ චිත්‍රපට ගැන කතා කිරිමටය. ඒ සඳහා ආනන්දයේ අපේ සමකාලීන ශිෂ්‍යයකු වූ තිලක් ගොඩමාන්න ('බඹරු ඇවිත්' චිත්‍රපටයේ නිෂ්පාදක, වර්තමාන නයින් හාට්ස් ව්‍යාපාර ජාලයේ කළමනාකර අධ්‍යක්ෂ) හා චිත්‍ර ශිල්පියෙකු, චිත්‍ර කලා ආචාර්යවරයකු (පසුව) වූ ද එඩවඩ් පීටර්සන් අනිත් සහෘදයන්ය. එකල යතුරු ලියනය කොට සකස් කළ 'දියුණුව' නම් සඟරාවේ එඩ්වඩ් හා මා චිත්‍ර ඇන්දේය. මේ සඟරාවේ සංස්කාරක සුමනසිරි පෙරේරා (මිය ගියා) හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රේමසිරි පෙරේරාගේ වැඩිමහල් සොහොයුරාය. 'දියුණුව' සඟරාවේ එකම පිටපත එකල කොස්ගස් හන්දියේ අපේ සමකාලීන තරුණයන් මෙන්ම තරුණියන් අතින් අතට ගොස් බැලූ ජනප්‍රිය සඟරාවක් විය.

සිනමාහල්වල ප්‍රදර්ශනය වන වෘත්තාන්ත චිත්‍රපටයක් ආනන්දයෙන් බිහිවන බවට ප්‍රවෘත්ති පුවත්පත්වලින් පළ වෙද්දී අපි තැති ගත්තෙමු. අපේ සිහිනය සැබෑ වෙයිද? රංජිත් ලාල් ගේ පියා මිනුවන්ගොඩ පීල්ලවත්තේ විසූ ඉඩම් හිමි ධනවතෙකි. ඔහුගේ නම ඩේවිඩ් සිල්වා මහතාය. මව වූ වයලට් සිල්වා මහත්මිය හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ සමීපතම මිතුරියක් වූවාය. එබැවින් චිත්‍රපටයේ මූලික වැඩ කටයුතු සඳහා මුදල් ලැබුණි. ඒ සඳහා සම්බන්ධිකරණය කළේ අප සුමිතුරු චන්ද්‍රසිරි මුදන්නායකය. ඔහු ද මාලිගාකන්දේ විද්‍යාධාර පොත් සමාගමේ සම අයිතිකරුය.

'මුදේ, ලාල් ඇයි මේ පිස්සු වැඩ කරන්නේ ඉගෙන ගන්නේ නැතිව' ඩේවිඩ් අන්කල් මුදන්නායකට කියා ඇත. ඒත් ඩේවිඩ් අන්කල් කියන කියන ආකාරයට මුදන්නායකට මුදල් දුන්නේය.

මුදන්නායක නොසිටින්නට කිසිදා නිම්වළල්ලට මුදල් ලැබෙන්නේ නැත

'නිම්වළල්ල' තිර නාටකය ගැන රංජිත් ලාල්ට පැහැදීමක් නොතිබුණේය. කේමදාස මාස්ටර්ගේ සංගීත මංජරියේදී හඳුනා ගත් ධර්මසේන පතිරාජට මේ බව මම දිනක් කීවෙමි. ඒ වන විට පති 'හන්තානේ කතාව' චිත්‍රපටයේ තිර නාටකය සකස් කිරීමට හවුල් වී සිටියේය.

'අපි වෙලාවක හමුවෙලා තිර නාටකය කියවමු' පතී යෝජනා කළේය.

මරදානේ රවුෆ් ගොඩනැගිල්ල අසල පටු පාරක් දිගේ මමත්, රංජිත් ලාල් ඇවිදගෙන ගියෙමු.

පතී සිටි චමරියේ පතීත්, දයා තෙන්නකෝන්, ඩබ්ලිව් ජයසිරි, පියසේන අහංගම සිටියහ.

තිර නාටකය කිය වූ පතී අගනා යෝජනා කිහිපයක් දුන්නේ සහෝදරත්වයෙනි.

'ලාල්, අපි මේක තිස්ස අබේසේකරටත් පෙන්වමු. තිස්ස ලංකාවේ ඉන්න හොඳම තිර නාටක රචකයනේ' මම රංජිත් ලාල්ට කීවෙමි.

එහෙනම් අපි වෙලාවක තිස්ස හම්බ වෙන්න යමු. රංජිත්ගේ යාළුවනේ. උදව් කරාවි' රංජිත් ලාල් කීවේය.

තිස්ස අයියා හැම විටම තරුණ පරපුර ගැන අපරිමිත දයාවෙන් උදව් කිරීමට සැදී පැහැදී සිට දුර්ලභ ගණයේ මිනිසෙකි.