ග්‍රීක පුරාවෘත්තයක නිමාව

කහ ඉර මතින් පාර පැන්න තැනැත්තා සැනෙකින් අධික වේගයෙන් පැමිණි මෝටර් සයිකලයේ වැදිණ. අවට රැස්වූවෝ ලහිලහියේ තුවාලකරු රෝහලකට ගෙන ගිය ද පලක් නොවීය. වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වුවද තුවාලකරු බේරා ගත නොහැකි විය.

අනතුරින් පසු සිහි නොලබාම ඔහු මිය ගියේය. එකී මරණය සිනමාව පිළිබඳ දන්නා ලොවපුරා මිනිසුන්ගේ කම්පනයට හේතු වූයේය. මේ පොලිස් නිලධාරියා ඒ වනවිට සිටියේ නිල ඇඳුමෙන් නොවේ.

ඔහු රාජකාරිය නිමකොට ගෙදර යමින් සිටි ගමන් ය. එමෙන්ම ඔහු මෙරට පොලිස් නිලධාරියකු හෝ මේ අනතුර මෙරටදී සිදුවූවක් ද නොවේ. එය සිදුවූයේ ලෝකයාට ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දුන් ග්‍රීසියේ දීය. එසේ මිය ගියේ ද ග්‍රීක සිනමාව මෑත භාගයේ ලොව ඉහළින්ම සටහන් කළ සිනමාකරුවා ය. ඔහු තියෝ ඇන්ජිලෝපොලොස් ය. උත්පත්තියෙන් ලැබුණ නම තියෝඩර් ඇන්ජිලෝපොලොස්ය.

තියෝ උපන්නේ 1935 වසරේ අප්‍රේල් මස 27 වැනිදා ය. ඇතැන්ස් නගරයේය. ඒ ඉහළ මධ්‍යම පාන්තික පවුලක සාමාජිකයකු හැටියට ය. නීතිය හැදැරීමට පළමුව සූදානම් වුව ද අතරමග එය අත්හළ හෙතෙම අනිවාර්යය නීතිය අනුව හමුදාවට බැඳී පැරිසියට ගියේ ය.

පසුව ඔහු එහිදී ප්‍රංශයේ ඉහළම ආයතනයකින් සිනමාව හැදෑරුවේය. යළි තම මව්රට පැමිණි හෙතෙම පුවත්පත් කලාවේදියකු ලෙස ජීවිතය ඇරැඹුවේය. ඔහු වඩා පතළ වූයේ සිනමා විචාරකයකු ලෙසට ය. ඔහු දැඩි වාමාංශිකයකු විය. එහෙත් කිසි කලෙකත් හෙතෙම ග්‍රීසියේ අති බලසම්පන්න කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු නොවීය.

ලෝක ඉතිහාසය පුරා නාට්‍ය කලාවන්ගේ තිඹිරි ගෙයක් වූයේ ග්‍රීසිය හෙවත් යවනයන්ගේ දේශය බැව් අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් නූතන ග්‍රීක සිනමාකරුවන් බහුලව ආභාෂය ලද්දේ සිය පැරැණි සම්ප්‍රදායයන්ගෙන් නොවේ. විශේෂයෙන් එපැරැණි වූ ප්‍රකාශන රීතියක් සහිත රටක් වන ඉන්දියාවේ බිහිව යුරෝපයේ හෝ අමෙරිකාවේ ඉගෙනුම ලද සිනමාකරුවන් සිය චිත්‍රපට නිර්මාණයේදී ගුරු කොට ගත්තේ තම පැරැණි රීතින් වුවද ග්‍රීකයෝ සිය සිනමා වෘතාන්ත සඳහා රීතින් බවට පත්කොට ගත්තේ ප්‍රංශය හෝ අසල්වැසි ස්පාඥ්ඥයයි.

ග්‍රීක ඉතිහාසය මෙන්ම එහි සිනමාව ද පැරැණි ය. ග්‍රීසියේ මුල් වරට සිනමා කෘතියක් ප්‍රදර්ශනය වනුයේ 1897 වසරේ ය. ඔවුන් එරට චිත්‍රපට නිෂ්පාදනයට අත ගසනුයේ එයින් දෙවසරක් ගතවන තැන ය. 1906 වසරේ ඇතැන්ස් නගරයේ පැවැත්වූ නිල නොළත් ඔලිම්පික් උළෙල අළලා තැනුණ වාර්තා චිත්‍රපට දර්ශන පැරැණි වාර්තා චිත්‍රපට නැතහොත් ප්‍රවෘත්ති චිත්‍රපට අතර වඩාත් කැපී පෙනෙන බැව් සිනමා ඉතිහාසඥයන් ගේ මතයයි. 1914 වසරේ දී එරට තැනුණ ‘ගොල්ෆ් නම් ප්‍රේම වෘතාන්තය අති සාර්ථක එකක් විය.

යුරෝපීය කතානාද සිනමාවේ නිරුවත් ජවනිකා ඇතුළත් කළෝ ඔවුහුය. ඒ ඩැප්නිස් ඇන්ඩ් ක්ලෝ චිත්‍රපටය ඔස්සේ ය. කෙසේ වෙතත් 1944 වසරේ දී හොඳම සහාය නිළියට හිමි සම්මානය ෆො හූම් ද බෙල් ටෝල්ස් චිත්‍රපටය උදෙසා ග්‍රීක නිළි කැටිනා පැක්සිනෝ විසින් දිනා ගනු ලැබීම ග්‍රීක සිනමාව දෙස ලෝකයේ ඇස ගැටුණ වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ. කෙසේ වෙතත් ලොවපුරා ජනප්‍රියම ගී‍්‍රක සිනමා කෘතිය වූයේ සෝබා ද ග්‍රීක් ය. එහෙත් ග්‍රීක සිනමාවේ ස්වර්ණමය යුගය හැත්තෑව දශකයේ ආරම්භය වනවිට බිඳ වැටී තිබිණ.

තියෝ ඇන්ජිලෝපොලොස් බිහි වනුයේ එසමයෙහි ය. ඒ වනවිට රට ඇතුළත පවා තරුණයන්ගේ ඉච්ඡා භංගත්වය ඔඩු දුවමින් තිබුණ යුගයකි. තනන්නට ගිය මුල් කෙටි චිත්‍රපට යුගළ නිම කළ නොහැකි වුවද 1968 වසරේ දි තැනුණ බ්‍රෝඩ්කාස්ට් නම් කෙටි චිත්‍රපටය සමඟ තියෝ ඇන්ජිලෝස්පිලස් පිළිබඳ එරට විචාරකයන්ගේ අවධානය යොමු විය. සෙසු විචාරකයනට තම සමකාලීන සිනමා විචාරකයා චිත්‍රපට පිළිබඳ දන්නා බැව් හැඟී ගියේ ඔහුගේ මුල්ම චිත්‍රපටය නරඹද්දී ය. ඒ 1970 වසරේ තැනුණ රිකන්ස්ට්‍රක්ෂන් සමඟ ය.

ඔහු වඩාත් ජාත්‍යන්තර අවධානයට යොමුවූයේ ඩේස් ඔෆ් 36 චිත්‍රපටය සමඟ ය. චිත්‍රපට ත්‍රිතත්වයක ආරම්භය වූ එය සමකාලීන ග්‍රීසිය හා එහි දේශපාලනය සමාජ ගැටලු නිර්දය ලෙස පරීක්ෂාවේ යෙදීමක් විය. එහි ඊළඟ චිත්‍රපට යුගළ වූයේ අනතුරුව තැනුණ ද ට්‍රැවලින්ග් ප්ලෙයර්ස් සහ ද හන්ටර්ස් ය. ට්‍රැවලිංග් ප්ලෙයර්ස් ග්‍රීක සිනමාවේ නවයුගයක් සනිටුහන් කළ චිත්‍රපටය විය. මේ චිත්‍රපට පුරා කතා කළේ ග්‍රීසිය පිළිබඳ නමුදු පුදුමය නම් සමකාලීන ලෝකයේ ගැටලු සමඟ එය සියයට සියයක් හොඳින් පෑහීමයි.

මේ චිත්‍රපට ත්‍රිත්වයෙන් පසු ඔහු ඇලෙක්සැන්ඩර් ද ග්‍රේට් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන ලද අතර අනතුරුව ඔහුගේ ඊළඟ තුන් ඈදුතු චිත්‍රපට මාලාව නිර්මාණය කළේය. එය ඔහු හඳුන්වන ලද්දේ නිශ්ශබ්ද ත්‍රිත්වය ලෙසය. එහි පළමු වැන්න 1984 වසරේ දී තැනුණ වොයේජ් ටු සිතේරා වූ අතර දෙවැන්න 1986 වසරේ දී තැනුණ ද බීකීපර් ය. ඒ වනවිටත් ඔහු සිනමා තරු යොදාගත් සිනමාකරුවකු නොවීය. එහෙත් ද බීකීපර් චිත්‍රපටය සුප්‍රකට ඉතාලි නළු මාර්සෙලෝ මස්ත්‍රොයියානි ප්‍රධාන චරිතය රඟ පෑවේ ය. එහි තෙවැන්න 1988 වසරේ දී තැනුණ ලෑන්ඩ්ස්කේප් ඉන් ද මිස්ට් ය.

එය අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වූයේය. එමෙන්ම එය යුරෝපීය සිනමා උළෙලේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඔහු නිර්මාණය කළේ 1991 වසරේ ද සස්පෙන්ඩඩ් ස්ටෙප් ඔෆ් ද ස්ටොක් ය. 1992 වසරේ දී යුලිසිස් ගේස් ද 1998 වසරේ දී එටර්නිටි ඔෆ් ද ඩේ නිර්මාණය කළේය. එටර්නිට් ඔෆ් ද ඩේ එවර කාන් සිනමා උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි පැල්ම‘ඩි ඕර් සම්මානය දිනා දුන්නේය. ඔහු 2004 වසරේ දී නිර්මාණය කළ ද වීපිං මෙඩෝව් චිත්‍රපටය යළි තුන් ඈදුතු චිත්‍රපට මාලාවක පළමුවැන්න විය.

එය නිල නොළත් සිනමා ත්‍රිත්වයක් වූයේය. එහි දෙවැන්න 2009 වසරේ නිර්මාණය විය. ඒ ද ඩස්ට් ඔෆ් ටයිම් නමිනි. මේ චිත්‍රපටය තියෝ ඇන්ජිලොස්පිලොස් ග්‍රීසියෙන් පිටත රූ ගත කළ එකම චිත්‍රපටය විය. එහි තෙවැන්න දි අදර් සී තිරගත වන්නට නියමිත මේ වසෙර්ය. එහෙත් එහි ඉරණම කෙලෙසදැයි කිව නොහැක. එහි රූ ගැන්වීම් ඇතැන්ස් නගරයේ වරාය ආශ්‍රීතව සිදු කරමින් තිබිණ. ඔහු මෝටර් සයිකලයක හැපුණේ ඒ රූ ගන්වන අතරවාරයේය. එබැවින්ම එහි වැඩ කටයුතු කෙලෙස නිමවනු ඇත්දැයි තවමත් සටහනක් නැත.

ශ්‍රී ලාංකික අපට තරමක් නුහුරු සිනමාකරුවකු නමුදු තියෝ ඇන්ජිලෝපොලොස් යනු වර්තමාන ලෝකයේ විශිෂ්ට සිනමාකරුවෙකි. එමෙන්ම මෙරට විදේශ සිනමාව පිළිබඳ අධ්‍යයනයේ යෙදෙන බොහෝ ගැටවරයෝ මේ නම ද ඔහුගේ කෘති ද හඳුනති. ඔහු විවාහ වී සිටියේ පෝබි ඉකොනොමිපෝවුල් සමඟ ය. මේ දෙපළට ඇනා, කැතරිනා සහ එලිනි යනුවෙන් දූවරුන් තිදෙනෙකි.

කෙසේ වෙතත් ඵෙතිහාසික ග්‍රීසිය පිළිබඳ පුරාවෘත්තයන් අපි අසා ඇත්තෙමු. එහෙත් 76 හැවිරිදි වියේ දී අකල් මරණය ට ගොදුරු වූ තියෝ ඇන්ජිලෝපොලොස් නූතන ග්‍රීසිය පිළිබඳ අපූරු වෘතාන්ත රූපයට නැං වූයේය. එහෙත් එහි වීරයන් නොවී ය. වීරයා වූයේ එකී සිනමාකරුවා පමණි. ඔහු පිළිබඳඇමෙරිකානු සිනමාවේදී මාටින් ස්කොසෙසි පැවසුවේ තියෝ ඇන්ජිලෝස්පිලස් යනු රූපය තමන්ට අවශ්‍ය ලෙස මනාව හසුරැවන සිනමාකරුවකු බව ය. රූපය මනාව හැසිරවීම යනු රූපීය විශ්ව භාෂාවෙන් ලොවම ඇමතීමට සමත් බව ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව