ඇගයීමකට ලක් නොවූ රංග ප්‍රතිභාවක්
කමල් අද්දරආරච්චි
නිසි විචාරක සැලකිල්ලකට, ඇගැයීමකට ලක් නොවූ සමකාලීන නළුවකු වෙත් නම් ඒ කමල්
අද්දරආරච්චි විය යුතු යැයි මම සිතමි. මේ කාරණය සාක්ෂාත් කිරීමට මට හොඳ උදාහරණයක්
දිය හැකිය.
එනම් ගුණසිරි සිල්වාගේ ‘තාරකා මේඝයෙන් ඔබ්බට අඩ සියවසක රංග ආශ්චර්ය’ ග්‍රන්ථයයි.
එයින් නළු නිළියන් රැසකගේ රංග කලා භාවිතය විචාරයට හසු වුණත් කමල් ඊට ඇතුළත් නොවන
බවක් පෙනී යයි. ඒ කෙසේ වෙතත් කමල් මෙතෙක් සිංහල සිනමාවේ කර ඇති චරිතාංග නිරූපණ
සියල්ල සමස්තයක් ලෙස ගෙන සලකා බැලීමේදී ඔහුගේ රංග ප්‍රතිභාව මීට වැඩි බුහුමනකට ලක්
කළ යුතු බව පළමුවෙන්ම අවධාරණය කරනු කැමැත්තෙමි.
කමල් වේදිකාවෙන් සිනමාවට අවතීර්ණ වූ නළුවෙකි. 1978 දී පමණ බටහිර ජර්මනියේ
නාට්‍යකරුවකු වූ ආචාර්ය නෝබට් ජේ. මයර් ලංකාවට පැමිණ නාට්‍ය වැඩමුළුවක් පැවැත්
වූයේය. තරුණ තරුණියන් 25 දෙනෙක් පමණ ඊට සහභාගී වූහ.
ජයන්ත චන්ද්‍රසිරි, ශ්‍රියන්ත
මෙන්ඩිස්, චිත්‍රා කළුබෝවිල, ජූඩ් ශ්‍රීමාල්, කීර්ති රණවීර මෙන්ම කමල් අද්දරආරච්චි
ද ඔවුන් අතර සිටි තරුණයෙකි. මේ සියලු ආධුනිකයන් එකතු කර ගෙන ආචාර්ය මයර් ‘අනේ
අබ්ලික්’ නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. කමල්ගේ මුල්ම රංගනය ඇතුළත් වූයේ එම
නාට්‍යයේය.
ඉනික්බිතිව කමල් ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍ය පාඨමාලාවකට සම්බන්ධ වූයේය. එදා
කමල් සමඟ එම පාඨමාලාවට එක්ව සිටි තවත් නවකයකු අද ප්‍රවීණ නළුවකු බවට පත්ව සිටින
මහේන්ද්‍ර පෙරේරාය. ආචාර්ය සාලමන්, නාට්‍ය කලාව උදෙසා විදෙස් රටකින්
(චෙකොස්ලොවැකියාව) ආචාර්ය උපාධියක් ලත් පළමුවැන්නා ලෙස සැලකෙන්නෙකි.
එසේම කාලයක්
විදෙස්ගතව සිටි බැවින් නූතන රංග කලාව පිළිබඳ න්‍යායික හා ප්‍රයෝගික අත්දැකීම්
රාශියක් ඔහු සතුව තිබිණි. මහේන්ද්‍ර හා කමල් රංග කලා පිළිබඳ අත්පොත් තැබුවේ එවන්
විද්වතකුගෙන් වීම කිසියම් සුවිශේෂත්වයක් දරයි. මහේන්ද්‍ර මෙන්ම කමල් ද ආචාර්ය
සාලමන් ෆොන්සේකා නිෂ්පාදනය කළ ‘අහිමි ජීවිත’ නාට්‍යයේ රඟපෑවේය.
කමල් සිනමා රංගනයට එළඹෙන්නේ ගාමිණී ෆොන්සේකාගේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයෙනි. එහි
දොස්තර මොලදණ්ඩගේ විප්ලවවාදී පුතා රණබාහු මොලදණ්ඩ ලෙස රඟපෑවේ ඔහුය. මෙබඳු චරිතයකට
එකල යොවුන් වියේ සිටි කමල්ගේ රූපකාය පවා මැනවින් ගැළපුණේය.
1962 දී උපන් කමල්ගේ සම්පූර්ණ නම වූයේ අද්දරආරච්චිගේ ගුනේන්ද්‍ර කමල්ය. මූලික
අධ්‍යාපනය ලැබුවේ කොළඹ වෙස්ලි විදුහලෙනි. ප්‍රකට නාට්‍යකරුවකු හා නළුවකු වූ ගාමිණී
සමරකෝන් එකල මෙම විදුහලේ ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළේය. කමල් කෙරෙහි ඔහු කිසියම්
බලපෑමක් කළා යැයි මම අනුමාන කරමි.
වේදිකා නාට්‍ය කලාවේත්, සිනමාවේත්, ටෙලි නාට්‍ය කලාවේත් කමල් රංග ප්‍රතිභාව
ගැඹුරින් මතු කර ගත් අධ්‍යක්ෂවරයා ජයන්ත චන්ද්‍රසිරිය. ඔහුගේ ‘අත්’, ‘ඔත්තුකාරයා’
වැනි වේදිකා නාට්‍ය, ‘වෙද හාමිනේ’, ‘දඬුබස්නාමානය’ වැනි ටෙලි නාට්‍ය මෙන්ම ‘අග්නි
දාහය’, ‘ගරිල්ලා මාකටිං’ වැනි සිනමාපට ද ඊට මාහැඟි නිදසුන්ය.
කමල් වේදිකාවේ ඇඳුම් නිර්මාණ ශිල්පියකු වශයෙන් ද කටයුතු කර ඇත. ‘අත්’, ‘මෝරා’,
‘සුදු සහ කළු’, ‘පැන්ස දෙකේ හංසයා’ වැනි නාට්‍යවල ඇඳුම් නිර්මාණ ඔහුගේය.
‘සාගරයක් මැද’ චිත්‍රපටයෙන් පසු කමල්ට ‘කලියුගය’ වැනි සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක
දෙකක සුළු සුළු චරිත රඟපෑමට ලැබුණ ද ඔහුට වැඩි වශයෙන්ම ලැබුණේ වාණිජ චිත්‍රපටවල
රඟපෑමටය.
ඇතැම් චිත්‍රපටවල ඔහු පෙම්වතා - වීරයාගේ චරිතය රඟපෑවත් කුමක් හෝ අහේතුවකට
ඔහු සනත්, ජීවන්, රන්ජන් මට්ටමේ ‘තරුවක්’ බවට පත් වුණේ නැත. සනත් - සබීතා, ජීවන් –
අනෝජා යුගයක් මෙන් යුග බිහි කිරීමට ද ඔහුට පසුබිමක් නොතිබිණි.
මගේ විග්‍රහයට අනුව නම් වාණිජ චිත්‍රපටවලදී කමල් වඩාත් සාර්ථක වූයේ දුෂ්ට චරිත
නිරූපණයේදීය. විශේෂයෙන් ‘සුජාතා’ වැනි චිත්‍රපටයක ඔහුගේ රඟපෑම් ප්‍රශංසා පූර්වකය.
එහි මුල් නිෂ්පාදනයේ විකී නම් වූ එම දුෂ්ට චරිතය රඟපෑවේ ඩොමී ජයවර්ධනය.
මෙහි කමල්ගේ
රංගනය ඩොමී ගේ රංගනය හා සැසඳීම යුක්ති සහගත නොවූවත් කමල් ඉතාම සාර්ථක අයුරින් එම
දුෂ්ට චරිතය මූර්තිමත් කළ බව කිවමනාය.
‘ගෙදර බුදුන් අම්මා’ චිත්‍රපටයේ ද කමල්ගේ රංගනය වඩාත් කැපී පෙනුණි.
‘සප්ත කන්‍යා’ කමල්ගේ චිත්‍රපට නළු ජීවිතයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරයි. ඔහු
එහි ගීතයක් ද (‘උන්මාද වූ ප්‍රේමාදරේ’) ගයමින් තමා ගායකයකු වශයෙන් ද කුසලතා පූර්ණ
බව විදහා දැක් වූයේය.
‘එකදා වැහි’ (චාලි), ‘ලොකු දුව’ (දුමින්ද), ‘බිතුª සිතුවම්’ (මහින්ද), ‘මහමෙර උසට’
(පාලිත), ‘බව කර්ම’ (අගොස්තීනු), ‘ජුලියට්ගේ භූමිකාව“ (දේවින්ද), ‘අග්නිදාහය’
(සොබනා), ‘රන්දිය දහර (සමන්ත), ‘සලෙළු වරම’ (සුරේන්), ‘ගරිල්ලා මාකටිං’ (තිසර)
කමල්ගේ විශිෂ්ට රඟපෑම් ඇතුළත් චිත්‍රපට කීපයකි.
ඒ අතරින් ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙක (‘අග්නිදාහය’ හා ‘ගරිල්ලා
මාකටිං’) වඩාත් සුවිශේෂය. ඒ අතරිනුත් ‘ගරිල්ලා මාකටිං’ හි කමල් රඟපෑවේ නළුවකුට
ලේසියෙන් රඟපෑ නොහැකි අතිශය අභියෝගාත්මක චරිතයකි. එය භින්නෝන්මාදය
(SCHIZOPHKENIA) නම් වූ උග්‍ර මානසික රෝගයෙන් පෙළෙන චරිතයකි. මෙය
කමල්ගේ සිනමා නළු දිවියේ වඩාත්ම අද්විතීය චරිතාංග නිරූපණය යැයි මම සිතමි.
‘අග්නිදාහය’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා කමල් 2004 දී පැවැති ‘සරසවිය’ සම්මාන උළෙලේ දී
හොඳම නළුවා වූ අතර ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේ දී නිර්මාණශීලී රංගනය උදෙසා රජත
සම්මානය හිමිකර ගත්තේය. (මෙහිදී ස්වර්ණ සම්මානය ලැබුණේ එහි රඟපෑ ජැක්සන් ඇන්තනිටය).
ජයන්තගේ චිත්‍රපට හැරුණු කොට උදයකාන්ත වර්ණසූරියගේ ‘රන්දිය දහර’ චිත්‍රපටයේ කමල්
ඉදිරිපත් කළ රංගනය ද ප්‍රශස්තකරය. නළුවකු වශයෙන් කමල්ගේ සුවිශේෂත්වය වන්නේ ඔහු
රඟපාන චරිත ගැඹුරින් ඥානනය කර ගැනීමයි. ඉන්පසු එම චරිත චිත්‍ර ශිල්පියකු මෙන් වර්ණ
ගන්වයි. ඒ වර්ණ සංකලනයෙන් අදාළ චරිතය වඩාත් සංකීර්ණ වෙයි.
‘සිනමාවේ ‘තරුවක්’ ජනප්‍රිය නළු සම්මානයක් නොලද්දෙක් වුව කමල් ටෙලි නාට්‍යවලදී නම්
‘තරුවක්’ වූයේය. ඔහු රඟපෑ ‘ඉරට මුවාවෙන්’, ‘රතු රෝස’ වැනි ටෙලි නාට්‍ය ඔහුට ඉහළම
ජනප්‍රියත්වයක් ගෙන ආවේය. 1995 ප්‍රථම සුමති ටෙලි නාට්‍ය උළෙලේදී ජනප්‍රිය නළුවා
ලෙස කිරුළ පැළඳියේ කමල්ය.
කලින්ද දැක් වූ පරිදි කමල්ගේ රංග කෞශල්‍යයෙන් උපරිම ප්‍රයෝජන ගත් ටෙලි නාට්‍යවේදියා
ජයන්ත චන්ද්‍රසිරිය. ඒ විශේෂයෙන් ‘වෙද හාමිනේ’ හා ‘දඬුබස්නාමානය’ යන ටෙලි නාට්‍ය
දෙකේදීය. ඒවායෙහි කමල්ගේ චරිතාංග නිරූපණ අති විශිෂ්ට බව පැහැදිලිවම ප්‍රකාශ කරමි.
චරිතාංග නළුවකු ලෙස කමල් මොන තරම් කෘතහස්තයකු වුවද අද ඔහු තම වෘත්තීය ක්ෂේත්‍රයේ
දැඩි අර්බුදයකට මුහුණ පා සිටියි. ඔහු ඉංග්‍රිසි උපකාරක පන්ති පැවැත්වීම දක්වා
පල්ලම් බැසීමෙන් සාක්ෂාත් වන්නේ එකී අර්බුදයයි. කමල් එවැන්නකට තල්ලු වී, රඟපාන්නට
තබා හැරෙන්නටවත් බැරි නළුවන් ටෙලි නාට්‍ය ලෝකයේ ජනප්‍රිය ‘තරු’ බවට පත්ව සිටීම
ඇත්තෙන්ම කනගාටුදායක යථාර්ථයකි.
සුනිල් මිහිඳුකුල
|