එඩ්වඩ් ගේ රස කතා

හාරත ආසියා

රෝහණ බැද්දගේ සහ බන්දල විජේවීර දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවුණු අපූරු නිර්මාණයක් වූ ‘මාමයි බෑනයි’ වේදිකා ප්‍රසංගය අසූව හා අනූව දශකවලදී අගනුවර මෙන්ම ලංකාවේ ගම් නියම්ගම් සිසාරා දර්ශන වාර පැවැත් වූ සංගීත ප්‍රසංගයක්.

රෝහණත්, බන්දුලත් එහිදී ගැයූ ගීතවල පැවැති ගැමිකමට, අපේකමට ප්‍රේක්ෂකයන් තදින් ඇලුම් කළා. ඒ නිසාම ඔවුන් ඉතා හෘදයාංගමව ඒ ප්‍රසංගය වැළඳ ගත්තා.

මෙම ප්‍රසංගයට වාද්‍ය ශිල්පීන් ලෙස සහභාගී වූ බොහෝ අය ගුවන් විදුලි වාද්‍ය ශිල්පීන්. ‘මාමයි බෑනයි’ කොළඹින් බැහැර දර්ශන සඳහා යද්දී ප්‍රවාහනය සඳහා යොදා ගත්තෙ බැද්දගේ දන්නා හඳුනන හොරණ ප්‍රදේශයේ අයකුගේ බස් රථයක්.

හොරණින් බැද්දගේ නංවාගෙන කොළඹ එන බස් රථය බොරැල්ලෙන් සහ ගුවන් විදුලි සංස්ථාව අසලින් සෙසු වාද්‍ය ශිල්පීන් සහ අනෙකුත් ශිල්පීන් නංවාගෙන දර්ශන පැවැත්වීමට නියමිත නගරය බලා පිටත්වීමයි සාමාන්‍ය සිරිත.

කොළඹින් ගමනාරම්භ කොට නියමිත නගරය බලා යාමේදී ගතවන හෝරා කිහිපය රස සාගරයක් වුණා. සිනා කතා, කලා ලෝකයේ ඕපාදූප, හැමදාම අනිවාර්යයෙන්ම කෙරෙන කාඩ් සෙල්ලම නිසා බස් රථයේ ගමනට ගතවන කාලය කාන්සියකින් තොරවම ගෙවී ගියා.

දවසක්දා දර්ශන වාර දෙකක් සඳහා ‘මාමයි බෑනයි’ කණ්ඩායම දෙනියාය බලා පිටත් වුණා. ගමනාන්තය සලකලා ඊට පෙර දින රාත්‍රියේ 10 ට පමණයි බස් රථය ගමන ඇරැඹුවේ.

බස් රථය බොරැල්ලෙන් පිටත් වෙලා දෙහිවල පසු කරන කොටම වාද්‍ය ශිල්පීන් කාඩ් සෙල්ලම ඇරැඹුවා.

කළුතර නගරය පසු වෙනකොට කාඩ් සෙල්ලම බොහොම ජයට කෙරීගෙන යමින් තිබුණා. පයාගල දුම්රිය පාර, මහා මාර්ගය හරහා වැටි තියෙන ඉසව්වේදී බන්දුල විජේවීරගෙ කාඩ් අතේ තිබුණු හාරත ආසියා හුළඟට ඉගිල්ලී ගිහින් බාගෙට ඇරිලා තිබුණු ජනෙල් කවුලුවකින් බසයෙන් පිටතට ගියා.

බස් රථය ඊගහක වේගයෙන් ඉදිරියට ඇදෙනවා. හාරත ආසියා ඩැහැ ගත් ජනෙල් කවුලුව තුළින් ඉවත බලා සුසුමක් හෙලූ බන්දුල ආපසු හැරී සඟයන්ට මෙහෙම කිව්වා.

‘මොනවා කරන්ඩද? දැන් ඉතින් හාරත ආසියා වෙනුවට කුට්ටමේ වල් කොළයක් දාලා ගහමු?’

ඒ අනුව කාඩ් සෙල්ලම එක දිගටම කෙරීගෙන ගියා. එදා දෙනියායේදී ‘මාමයි බෑනයි’ සාර්ථක දර්ශන දෙකක් අවසන් කරලා එදා රෑම කණ්ඩායම කොළඹ බලා පිටත් වුණා. බස් රථය ගාලු පාර දිගේ කොළඹ බලා වේගයෙන් ඉදිරියට ඇදෙද්දී අපේ කණ්ඩායම සුපුරුදු විදියටම කාඩ් සෙල්ලමේ යෙදී සිටියා.

පයාගල දුම්රියපළ අසලට බස් රථය ළංවෙද්දී දුම්රියක් පැමිණීම හේතුවෙන් වැසුණු මහා මාර්ගය විවෘත වෙලා රථ පෙළ හෙමිහිට ඉදිරියට ඇදෙන්නට ගත්තා. බන්දුලගෙ මතකයට නැ¼ගුණේ මේ ඉසව්වේදී බස් රථයෙන් ඉඟිල ගිය හාරත ආසියා.

ඔහු ළඟම තිබුණු ජනේලයකින් පිටත බලද්දී ඒ අසල පොලිස් භටයන් දෙදෙනෙකු සිටිනු දක්කා. ඔහු තරමක් උස් හඬින් ඔවුන්ගෙන් මෙසේ ඇසුවා.

‘රාළහාමි . . . මේ හරියේ හාරත ආසියා කොළයක් හෙම තියෙනවා දැක්කද?’

රාළහාමිලා කිසිවක් තෝරා බේරා ගත නොහැකිව පුදුමයෙන් එකිනෙකා දෙස බලද්දී බස් රථය තුළින් මහා සිනාවක් නැ¼ගුණා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව